Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මෑන්හැට්න් ව්‍යාපෘතියෙන් පණ ලැබූ න්‍යෂ්ටික අවි

ලොව මුල්ම න්‍යෂ්ටික අවි නිපදවූ මෑන්හැට්න් ව්‍යාපෘතිය ගැන අපි මීට පෙර ලිපියකින් කථා කළා. න්‍යෂ්ටික අවි නිපදවන ප්‍රධාන ක්‍රම ගැනත් එහිදී විස්තර වුණා. අද ලිපියෙන් න්‍යෂ්ටික අවි සහ මෑන්හැට්න් ව්‍යාපෘතියේ තවත් තොරතුරු ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

ලොස් ඇලමෝස්. (www.visitlosalamos.org)

මෑන්හැට්න් ව්‍යාපෘතිය හා සම්බන්ධව සිට න්‍යෂ්ටික අවි නිපදවීමට දායක වූ ප්‍රධානම පුද්ගලයන් වන්නේ රොබට් ඔපන්හයිමර්, ඩේවිඩ් බොම්, ලියෝ සිලඩ්, ඇල්බට් අයින්ස්ටයින්, ඉයුජින් විග්නර්, අටෝ හාන්, රුඩොල්ෆ් පර්ල්ස්, ජේම්ස් ෆ්‍රෑන්ක්, එන්රිකෝ ෆර්මි, එඩ්වඩ් ටෙලර් සහ ෆ්‍රිට්ස් ස්ට්‍රාස්මන් යන අයයි. මීට සම්බන්ධ කර්මාන්තශාලා සහ පර්යේෂණාගාර 40කට ආසන්න ප්‍රමාණයක් තිබූ අතර මේවායේ 200,000 කට අධික පිරිසක් සේවය කරලා තියෙනවා. න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට භාවිතා වුණ ප්‍රධාන මූලද්‍රව්‍ය වන්නේ යුරේනියම් සහ ප්ලූටෝනියම්. මෙහිදී Little Boy සහ Fat Man යන කේත නාම ලද එකිනෙකට වෙනස් අවි දෙකක් නිපදවනු ලැබුවා.

1945 ජූලි 16

1945 ජූලි 16 වැනිදා නිව් මෙක්සිකෝහි අප්‍රසිද්ධ ප්‍රදේශයක අළුයම් කාලයේදී සිදු වූ සිදුවීමක් ලෝක ඉතිහාසයම වෙනස් කළා. සිද්ධාන්ත වලට පමණක් සීමා වී තිබුණු පරමාණුක න්‍යෂ්ටියක ගැබ් වී තිබෙන ශක්තියේ විනාශකාරී ස්වභාවය එදින සැබෑවක් බවට පත් වුණා. ලොස් ඇලමෝස්හි ඉතා රහසිගතව තෙවසරක් තිස්සේ කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස පළමු න්‍යෂ්ටික බෝම්බය අත්හදා බැලුවේ මෙදිනයි.  කේත නාමය “Trinity” ලෙස සඳහන් වූ මෙම අත්හදා බැලීමට සැතපුම් 230ක භූමි ප්‍රදේශයක් වෙන් කර තිබුණා. පළමු අත්හදා බැලීම කරන්නටත් පෙර ජපානයේ හිරෝෂිමාවට හෙලීම සඳහා නිර්මාණය කළ බෝම්බය රහසින්ම ශාන්තිකර කලාපයට යවා තිබුණා.

Trinity අත්හදා බැලීම

Trinity අත්හදා බැලීම සිදුවන අවස්ථාවක් (www.wikimedia.org)

අළුයම 5.29ට පමණ තත්පරයට අඩි 360ක වේගයෙන් ඉහළ අහස දෙසට සිදුවුණු පිපිරීම ගැන කිසිදු අදහසක් නොතිබුණු ඈත ප්‍රදේශ වල සිටි ජනයා එදින දෙවරක් හිරු පැයූ බවට දිවුරා සිටියා. තවත් විශ්මයජනක සිදු වීමක් වන්නේ බෝම්බය පිපිරුණු ස්ථානයට සැතපුම් 120ක් ඈතින් සිටි අන්ධ ගැහැණු ළමයෙකු පවා මෙම සිදුවීම ක්ෂණික දීප්තියක් ලෙස දැක තිබීමයි.

The Gadget (www.oldpicz.com)

Trinity අත්හදා බැලීමට ඔවුන් නිපදවන ලද අවිය “ගැජට්” (The Gadget) ලෙස නම් කර තිබුණා. පසුව නිපදවූ Fat Man අවියේ තිබෙන්නේත් මීට සමාන ආකෘතියක්. මෙම අත්හදා බැලීම භාරව සිටියේ සහ සැලසුම් කළේ කෙනත් බේන්බ්‍රිජ් නමැත්තායි. රොබට් ඔපන්හයිමර් විසින් “Trinity” කේත නාමය යෝජනා කර තිබෙන්නේ ජෝන් ඩන් නමැත්තාගේ කවියක් ඇසුරු කරගෙනයි.

“Trinity යන නම මම යෝජනා කළා, නමුත් ඊට හේතුව පැහැදිලි කරන්න මට තේරෙන්නෙ නැහැ. ජෝන් ඩන් ඔහු මිය යාමට පෙර ලියූ කවියක් මගේ හිතේ තදින් කා වැදී තිබුණා. මේ නම ඒ ඇසුරින් පැන නැඟුණක්”

ඔපන්හයිමර් වරක් එසේ පවසා සිටියා.

Little Boy සහ Fat Man

Trinity අත්හදා බැලීමෙන් පසු Little Boy නම් න්‍යෂ්ටික අවිය හිරෝෂිමාවට හෙලනු ලැබූ අතර Fat Man අවිය නාගසාකි වෙත හෙලනු ලැබුවා. මෙම න්‍යෂ්ටික අවි නිපදවීමට එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය සහ ක්‍රමවේද භාවිතා වෙනවා.

ප්‍රතික්‍රියාවෙන් පසු බෝම්බය ඇතුළ පෙනෙන අයුරු (www. wikipedia.org)

Little Boy

ආකෘතියේ තිබූ සිහින් දිගටි ස්වභාවය නිසා මුලදී Thin Man ලෙස හැඳින්වූ මෙම අවිය නිපදවීමෙන් පසු කෙටි හැඩයක් ලද නිසා පසුව Little Boy ලෙස හඳුන්වනු ලැබුවා. යුරේනියම් කිලෝග්‍රෑම් 64ක් භාවිතා කර නිර්මිත Little Boy අවියේ සම්පූර්ණ බර පවුම් 9700ක් එනම් කිලෝග්‍රෑම් 4400ක් වෙනවා. තුවක්කුවක පෙනුම සහිතව නිර්මාණය වුණු මෙය අඩි 10ක පමණ දිගකින් යුක්ත අතර විශ්කම්භය අඟල් 28ක් වෙනවා. 1945 අගෝස්තු 6 වැනිදා හිරෝෂිමාවට හෙලනු ලැබුවේ TNT පුපුරන ද්‍රව්‍ය ටොන් 21,000ක ශක්තියකින් යුතු මෙම අවියයි.

න්‍යෂ්ටික අවියක පෙනුම ඩිජිටල් සිතුවමකින්. (cheezjet.deviantart.com)

මෑන්හැට්න් ව්‍යාපෘතියේ ප්‍රධාන මූලද්‍රව්‍ය වුණේ යුරේනියම්. ඔවුන් යුරෝනියම් ලබාගත් ප්‍රධාන ස්ථාන හතරක් තිබුණා. කොලරාඩෝ ප්‍රාන්තය, උතුරු කැනඩාව, චෙකොස්ලෝවැකියාව සහ බෙල්ජියම් කොංගෝව එම ස්ථාන හතරයි. මෙම මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින්නෙ යුරෝනියම්-238 සමස්ථානිකය ලෙසයි. 0.7%ක් වගේ ඉතා සුළු ප්‍රමාණයකින් යුරේනියම්-235 ස්වභාවයේ පවතිනවා.

mstecker.com

Little Boy න්‍යෂ්ටික අවිය යුරේනියම්-235 හරය සහිතයි. මෑන්හැට්න් ව්‍යාපෘතිය හා සම්බන්ධව සිටි විද්‍යාඥයින් යුරේනියම් නිස්සාරණය සහ බලගැන්වීම පිළිබඳව කටයුතු කරමින් සිටියා. ඔවුන්ගේ ප්‍රධානම අභියෝගය වුණේ අධික සාන්ද්‍රණයකින් පවතින යුරෝනියම්-238 සමඟ මිශ්‍රව පවතින යුරේනියම්-235 වෙන්කර ගැනීමයි. මෙම සමස්ථානික දෙකෙහි තිබෙන රසායනික සමානකම් නිසා සම්මත නිස්සාරණ ක්‍රම මේ සඳහා ගැලපුනේ නැහැ. අවසානයේදී ජනරාල් ලෙස්ලි මෙහි පුරෝගාමීව කටයුතු කළ විද්‍යාඥයින් සමඟ සාකච්ඡා කර චුම්භක යොදාගෙන යාන්ත්‍රික ක්‍රමයකින් යුරේනියම්-235 නිස්සාරණය කිරීමට පියවර හතරක ක්‍රියාවලියක් යෝජනා කරනවා.  වායු අපවිලයනය, කේන්ද්‍රාපසරණය, විද්‍යුත් චුම්භක වෙන් කිරීම සහ ද්‍රව තාපජ අපවිලයනය එම පියවර හතරයි.

Fat Man

Fat Man (www.atomicheritage.org)

බලගන්වන ලද ප්ලූටෝනියම් හරයක් සහිතව නිර්මාණය කළ Fat Man අවිය Little Boy අවියට වඩා බරින් වැඩියි. ප්ලූටෝනියම්-239 සමස්ථානිකය භාවිතා කර ඇති මෙහි බර පවුම් 10300 (කිලෝග්‍රෑම් 4670) ක් වන අතර අඩි 10කට වඩා දිගකින් යුක්තයි. විශ්කම්භය අඟල් 60ක් වෙනවා. හැන්‍ෆෝඩ් හිදී නිස්සාරණය කරගත් ප්ලූටෝනියම් වල ක්‍රියාවට තුවක්කු ආකාර නිර්මාණයක් ගැලපුණේ නැහැ. මේ නිසා ලොස් ඇලමෝස්හි භෞතික විද්‍යාඥ සෙත් නෙඩමයර් විසින් ප්ලූටෝනියම් බෝම්බය සඳහා සුදුසු ආකෘතියක් ඉදිරිපත් කළා.

wikimedia.org

ස්වභාවිකව පවතින ප්ලූටෝනියම් ප්‍රමාණය ඉතාම අල්ප නිසා විශාල ප්‍රමාණයකින් නිපදවා ගැනීම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් කළ යුතු වුණා. පළමුව යුරේනියම්-238 යුරේනියම්-239 බවට පත් කරනවා. ඉන්පසුව වේගවත්ව ක්ෂය වෙමින් නෙප්චූනියම්-239 බවට පත් වන අතර අවසානයේදී ප්ලූටෝනියම්-239 බවට පත් වෙනවා.

මෙහිදී මධ්‍යගතව පවතින ප්ලූටෝනියම් ස්කන්ධය තදින් සම්පීඩණය කළ හැකි වන ලෙස අවිය ඇතුළත පීඩනය සහ ඝණත්වය ඉහළ මට්ටමක පවත්වා ගත යුතු වුණා. ප්ලූටෝනියම් වලට අවධි ස්කන්ධය වෙත ළඟා වීමට, නියුට්‍රෝන ප්‍රතික්‍රියා වීමට සහ පිපිරුම් දාම ප්‍රතික්‍රියාව දිගටම පවත්වා ගැනීමට අභ්‍යන්තරයේ ඉහළ ඝනත්වයක් පැවතීම අත්‍යාවශ්‍ය වුණා. බෝම්බය පිපිරීම සඳහා ස්ඵෝටක (පුපුරන ද්‍රව්‍ය) ජ්වලන උෂ්ණත්වයට (ප්‍රතික්‍රියාවක් ආරම්භ වීම සඳහා අවශ්‍ය අවම උෂ්ණත්වය) පත් විය යුතුයි. ඉන්පසු ඇතුළත ප්ලූටෝනියම් හරය සම්පීඩණය කිරීමට කම්පන තරංගයක් යැවූ පසු පිපිරුම් ක්‍රියාවලිය ඇරඹෙනවා.

wordpress.com

මෙය Little Boy අවියට වඩා දස ගුණයක් බලසම්පන්න අතර TNT පුපුරන ද්‍රව්‍ය ටොන් 21,000ක් නිදහස් කරන ශක්තියට සමාන ශක්තියක් මුදා හරිනවා. 1945 අගෝස්තු 9 වැනිදා නාගසාකි වෙත එල්ල කළේ මෙම න්‍යෂ්ටික අවියයි.

පුරෝගාමී කාන්තාවෝ

www.magzinehd.com

පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවයත් මෑන්හැට්න් ව්‍යාපෘතියට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඈන් මැකූසෙක්, ලිලී හෝරින්ග්, කොලීන් බ්ලැක්, ලියෝනා වුඩ්ස් මාර්ෂල් සහ ඉසබෙලා කාල් ඔවුන් අතරින් කිහිප දෙනෙක්.

ඈන් මැකූසෙක් (ඕක් රිජ්)

ඈන් මැකූසෙක් – වම්පස (profiles.nlm.nih)

ඈන් ඕක් රිජ් වෙත යන විට එහි එකම එක භෞතික විද්‍යාඥවරියක්වත් හිටියෙ නැහැ. ඒ දිනවල කාන්තාවන් එවැනි විශයන් ඉගෙන ගැනීම එතරම් සුලභ නොවූ නිසා එය පුදුමයට කාරණයකුත් නෙවෙයි. ඇය හා නේවාසිකව සිටි අනෙක් කාන්තාවන් හතර දෙනාත් කිසි දිනෙක භෞතික විද්‍යාව හදාරා තිබුණේ නැහැ. ඕක් රිජ්හි ඇයට ගෙවන්නට සිදු වුණේ පිළිවෙළක් නැති ජීවිතයක්. ඒ කාලය තුළ සාම්ප්‍රදායික තරුණියකගේ චරිතය බොහෝ දුරට ගිලිහී තිබුණා.

ලිලී හෝරින්ග් (ලොස් ඇලමෝස්)

ලිලී රසායන විද්‍යා අංශයේ සේවය කළ අතර ප්ලූටෝනියම් මූලද්‍රව්‍ය ගැන පර්යේෂණ සිදු කළා. ඇය සමඟ තවත් තරුණියක් එහිදී සේවය කර තිබූණා.

කොලීන් බ්ලැක් (ඕක් රිජ්)

එකල විද්‍යාව සහ ගණිතය “කාන්තාවන්ගේ විෂයයන්” නොවුණත් මෑන්හැට්න් හා සම්බන්ධ වන සියළුම ආධුනිකයන්ට ඒවා උගන්වනු ලැබුවා. සිද්ධාන්ත සහ විද්‍යාගාර පුහුණුව ලබා දීමට බොහෝ ගුරුවරු සිටියා.

“මෑන්හැට්න් ව්‍යාපෘතියට අදාල හැම පර්යේෂණාගාරයම තිබුණෙ හමුදා පාලනයක්. ඕක් රිජ් වලත් එහෙමයි. සියළුම නීති රීති හමුදාවේ අනුමැතිය යටතේ සකස් කෙරුණා. අපි ජීවත් වුණේ එවන් පරිසරයකයි. ඔවුන් කියන්නෙ මොකක්ද, අපි එය කළ යුතු වුණා.” කොලින් පවසනවා.

ලියෝනා වුඩ්ස් මාර්ෂල් (හැන්ෆෝඩ්)

ලියෝනා (wikipedia.org)

ජෝන් වීලර් සමඟ පර්යේෂණ කටයුතු කළ ලියෝනා බරැති නිශ්ක්‍රීය වායුවක් වන සෙනෝන් (Xenon – Xe) විසවීමේ ගැටළුව නිරාකරණය කිරීමට තම දායකත්වය ලබා දුන්නා. එය ලොව පළමු විශාලතම ප්‍රතික්‍රියාකාරකයයි. ඇය කාලයක් ඕක් රිජ්හිත් සේවය කර තිබෙනවා.

ඉසබෙලා කාල් (චිකාගෝ)

ඉසබෙලා කාල් (www.nrl.navy.mil)

මෑන්හැට්න් ව්‍යාපෘතිය සමඟ සම්බන්ධව සිටි සරසවි ශිෂ්‍යාවක් වූ ඉසබෙලා චිකාගෝ සරසවියේ ඉගෙනුම ලැබුවා. විසිතුන් වියැති මෙම තරුණ සරසවි ශිෂ්‍යාව බොහොම සාමාන්‍ය, නිදහස් ජීවිතයක් ගත කළ නිසා කිසිවකුත් ඇය මේ හා සම්බන්ධ බවට සැක කළේ නැහැ. වරක් ඉසබෙලා විසින් සාදනු ලැබූ ප්ලූටෝනියම් ක්ලෝරයිඩ් සාම්පලයක් රහසේම පර්යේෂණ කටයුත්තකට භෞතික විද්‍යාගාරයට රැගෙන යමින් සිටියදී ඇයව ආරක්ෂකයන් විසින් අල්ලාගෙන තිබෙනවා.

මූලාශ්‍ර: tokyotravels.wordpress.com, www.atomicheritage.org, nuclearfiles.org, www.livescience.com, www.wikipedia.org

කවරයේ පින්තූරය: wikimedia.org

Related Articles