Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහිනෙන් භූතයන් දකින Sleep Paralysis

මධ්‍යම රාත්‍රියත් පසු වී තිබෙන මොහොතක නිදි සුව විඳිමින් ඔබ සිටිනවා. සුවබර නින්දක පසුවන ඔබ නපුරු අවතාරයකගේ ගොදුරක් බවට එක් වරම පත් වනවා. අවතාරය ඔබ හඹා එන්නේ දුර්වල ගොදුරක් ඩැහැ ගැනීමට දිව එන ව්‍යාඝ්‍රයකු ලෙස යි. ඔබ සිටින්නේ බයෙන් බිරාන්තව යි. නිවසේ තිබෙන බිත්ති මුල්ලක සැඟව සිටීමට ඔබ දැඩි උත්සහයක නිරත වනවා.

බිත්ති මුල්ලේ සිටින ඔබගේ ගෙල පෙදෙස, සැණින් අල්ලා ගැනීමට අවතාරය පියවර ගන්නවා. බියෙන් සලිත වූ ඔබ මර හඩ නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නවා. අවාසනාවකට මෙන් ඔබගේ මුව ගොළු ව තිබෙනවා. හිසේ සිට පාදාන්තය දක්වා සියලු ශරීර අවයව අඩපණ ව ඇති සෙයක් මෙහිදී ඔබට දැනෙනවා.

සිහිනයේ තිබෙන භයානකකම වැඩි වත් ම, අඩවන් වූ දෙනෙතින් ඔබ අවදි වෙනවා. මෙවන් වූ අත්දැකීමකට ඔබත් මුහුණ පා තිබෙනවාද?

නින්දෙන් සිදුවන අඩපණ වීම – Sleep Paralysis

ත්‍රාසජනක චිත්‍රපටවල බොහෝමයක මෙවැනි දර්ශන අන්තර්ගත ව පැවතියත්, අත්භූත දසුනින් පරිපූර්ණ සිහින දැක එයට ම බිය වී අවදිවීමේ සංසිද්ධිය Sleep Paralysis යනුවෙන් හඳුන්වනවා. හයකට වැඩි රටවල් සංඛ්‍යාවක සිදු කළ පර්යේෂණවලට අනුව නින්ද හා බැඳුණු මෙවන් අත්දැකීමකට කිසියම් හෝ පුද්ගලයෙක් මොනයම් හෝ අවස්ථාවක මුහුණ පා තිබෙන බවත් සඳහන් වනවා.

සෑම පුද්ගලයන් 5 දෙනකුගෙන් එක් අයකු ම මෙකී Sleep Paralysis තත්ත්වයට ගොදුරු ව තිබෙනවා. නපුරු මායාකාරියක, අධම යක්ෂයකු හෝ ලේ උරා බොන කුහක වැම්පයර්වරයකු නිදන කාමරයකට ඇතුළු ව සුව නින්දේ පසුවන තැනැත්තාට බිහිසුණු අන්දමට බාධා පැමිණිවීම, Sleep Paralysis තත්ත්වය යටතේ දක්නට ලැබෙන සාමාන්‍යය සිදුවීමක්. මෙවැනි අධි යථාර්ථවාදී දර්ශන හට ගැනීමට පුද්ගල මනසේ අභ්‍යන්තරය හේතු වන බව මනෝ විද්‍යාව පෙන්වා දී තිබෙනවා.

නිවසේ තිබෙන බිත්ති මුල්ලකට සැඟව සිටීමට ඔබ දැඩි උත්සහයක නිරත වනවා – t3.ftcdn.net

Sleep Paralysis තත්ත්වය ඇති වන්නේ කෙසේද? අද්භූත රූප පමණක් මෙහිදී දර්ශනය වන්නේ මන්ද? මනස මූලිකත්වයෙන් සිදුවන ක්‍රියාදාමයක් ලෙස මෙකී අවස්ථාව සලකනු ලැබූවත්, අවතාර දසුන් පමණක් පුද්ගල මනසට එහිදී කා වැද තිබෙන්නේ කෙසේද යන වග තවමත් අබිරහසක් ව පවතිනවා.

Sleep Paralysis මතු වන අධියර

නින්දකදී ඔබ පසුවන්නේ Rapid-Eye-Movement (REM) නමැති අවස්ථාවේ නම්, (ඒ සුවබර නින්දකදී මොළයේ ක්‍රියාකාරිත්වය, ආශ්වාස ප්‍රාශ්වාස වේගය, හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය ඉහළ අගයක පවතින අවස්ථාවයි. දෙනෙත්වල වේගවත් චලනයක් ද මෙහිදී දැකගත හැකි යි. බාහුවල සහ පාදවල මාංශ පේශී චලනය කිරීමට තාවකාලික අපොහොසත් වීමක් මෙම අවස්ථාවේ සිදු වනවා.) Sleep Paralysis තත්ත්වය හට ගැනීමේ වැඩි සම්භාවිතාවක් මේ අවස්ථාවේ පවතිනවා.

ඉහත සඳහන් (REM) අවධියට එළඹි පුද්ගලයකුට පැහැදිලි සිහින දැකගැනීමේ අවකාශය උදා වනවා. සිහින දැකීමේ ක්‍රියාදාමය අඛණ්ඩව සිදු වීමේ දී මතුවන භයංකාර තත්ත්වයන් සමනය කිරීමට පුද්ගලයකුගේ මොළය මුළු ශරීරය ම තාවකාලික අඩපණ වීමකට නතු කොට ගෙන සිටිනවා.

හිසේ සිට පාදාන්තය දක්වා සියලු ශරීර අවයව අඩපණ ව ඇති සෙයක් මෙහිදී ඔබට දැනෙනවා -cdn.cdnparenting.com

මෙම සංක්‍රාන්තික අවස්ථාව මනා සංයමයකින් යුතු ව පවත්වාගෙන යාමට නින්දත් අවදි වීමත් අතරට ඔබව නංවාගන්නා රසායනික ද්‍රව්‍යයක් මොළයෙන් නිකුත් වනවා. මොනයම් හෝ අවස්ථාවක අවදිවීමට තැත් කළ විටෙක, එතෙක් සැරිසරන්නට වූ සිහින ලෝකය ද ඔබගේ මතකයෙන් ක්‍රමානුකූලව දුරස් වනවා.

අභ්‍යන්තර ශරීරය හා බැඳුණ අත්දැකීම්

Sleep Paralysis අවස්ථාවට මුහුණ පා සිටින යම් තැනැත්තකුට තමාගේ අභ්‍යන්තර ශරීරය හිස් අවකාශය තුළ පාවෙන බවට වන හැඟීමක්ද පහළ වනවා. නිදන කාමරයක සිවිලිම් මට්ටමට සමාන උසකින් පාවෙමින් හිඳින එම පුද්ගලයා, තමාගේම බාහිර කය දෙස බලා සිටින ආකාරයේ ගුප්ත හැඟීමක් පහළ වන්නේ ඉන් පසුව යි.

භෞතික ශරීරයෙන් ඉවත්ව සූක්ෂම ශරීරය හා ලබන මෙකී අත්දැකීම් “ තාරකාචාරය (Astral Travel) ” යනුවෙන් බොහෝ විට හඳුන්වනවා. ස්වකීය භෞතික ශරීරයෙන් මිදුණු පුද්ගලයකු සමාන්තර මානයක් (Parallel Dimension) වෙත ගමන් කිරීමක් මෙහිදී සිදු වනවා. Sleep Paralysis තත්ත්වය සොබාදම් මාතාවගේ විස්මිත වූ නිර්මාණයක් බව ඊජිප්තු සහ ඉතාලි සංස්කෘතීන් හුවා දක්වනවා.

සිහිනයේ තිබෙන භයානකකම වැඩි වත් ම, අඩවන් වූ දෙනතකින් ඔබ අවදි වනවා – reallifecounseling.us

මිනිස් මොළයේ ඉහළ-මැද කොටස “Temporoparietal Junction” ලෙස හඳුන්වන කලාපයකින් සමන්විත යි. පුද්ගලයකුගේ “ශරීර ප්‍රතිරූපය” ගොඩනඟා ගැනීමට මෙම කලාපය බෙහෙවින් උපකාර වනවා. සාමාන්‍යය නින්දක පසුවන තැනැත්තකු REM – (Rapid-Eye-Movement) අවධියට එළඹෙත් ම මොළයේ මෙම කලාපය ක්‍රියා විරහිත වනවා.

සිහිනවල දී තමාගේ වූ ආත්මීය හැඟීම ලිහිල් වන්නේ මෙකී “Temporoparietal Junction” කලාපය අක්‍රිය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. Netflix චිත්‍රපටයක සිදු වනවාක් මෙන්, තමාට තමා ම තුන්වන දෘෂ්ටි කෝණයකින් යුතුව දැක ගැනීමේ හැකියාව එහිදී හිමි වන බව මෙහිදී සඳහන් කළ යුතුයි.

සිහිනෙන් දකින අමනුස්ස පරාණ

මෙම සංසිද්ධියට අනුගාමී ව සිදුකළ පර්යේෂණයට අනුව, Sleep Paralysis තත්ත්වය අත්විඳින පුද්ගලයන්ගෙන් 40% ක් පමණ බිහිසුණු අවතාර සහ මායාකාර රූ සිහිනෙන් දුටු බව පවසා සිටියා. නිදන කාමර කොනක සැඟවී සිටින සෙවණැලි මිනිසුන්, (Shadow Figures) නිදි සුව විඳින තැනැත්තා වෙත සෙමින් ළඟා වී ප්‍රචණ්ඩකාරී ව ගෙල සිර කර දමන්නා වූ සිහිනයක් දුටු බව එය අත්විඳි පුද්ගලයන් පවසා තිබුණා. ඇතැම් යක්ෂ රූප තමා ලිංගික අතවරවලට ලක් කළ බවත් මෙකී Sleep Paralysis තත්ත්වයට ගොදුරු වූ බහුතරය පෙන්වා දී තිබෙනවා.

සෑම පුද්ගලයන් 5 දෙනකුගෙන් එක් අයකුම Sleep Paralysis තත්ත්වයට ගොදුරු ව තිබෙනවා -media.istockphoto.com

Sleep Paralysis තත්ත්වය යටතේ අත්විඳිය හැකි තවත් අත්දැකීමක වනුයේ අතක් අහිමි ව උප්පත්තිය ලැබූ අයකුට, අහිමි ව තිබූ අත තමා වෙත නැවත ලැබී තිබෙන බවක් සිහිනෙන් දැනී යාම යි. හස්තයක් නොමැතිව උපත ලැබූ පුද්ගලයකුට අහිමි හස්තය තමා වෙත නැවත ලැබී තිබෙන බව හැඟවීමට පුද්ගල මොළය අභ්‍යන්තරයේ පවතින “Homunculus” නමැති ස්ථානය නින්දේදී සක්‍රීයව පැවතීම හේතු වනවා.

නිදි යහනේදී ශරීරය අඩපණ වීම

Sleep Paralysis අවස්ථාවකට මුහුණ පා ඇති පසුබිමක, ඔබගේ මොළයේ තිබෙන Motor Cortex (මොළය හා සම්බන්ධ වෙමින් ශරීර චලනයන් සිදුවන ස්ථානය) මඟින් එම තත්ත්වයෙන් මිදීමට අවස්ථාව එළඹ ඇතැයි පුද්ගල මනසට සංඥා ලබා දෙනවා. එකී පණිවිඩය මොළයේ තිබෙන Parietal Lobes කලාපය වෙත ලබා අමතර ව ලබා දීමක් මෙම ක්‍රියාදාමයට පසුව සිදු වනවා. ගැඹුරු නින්දකදී තාවකාලික අඩපණ වීමකට ලක් ව තිබෙන පුද්ගල ශරීරයක් නැවත චලනය වීමට අවශ්‍යය නියුරෝන සංඥා මොළයෙන් නිකුත් කිරීම අවසානයට සිදු වනවා.

නින්දකදී ඔබ පසුවන්නේ Rapid-Eye-Movement (REM) නමැති අවස්ථාවේ නම්, Sleep Paralysis තත්ත්වය හට ගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා – www.verywellhealth.com

අතීතයේ සිදු වූ සහ අනාගතයේදී සිදුවිය හැකි සංසිද්ධි මොනවා දැයි උපකල්පනය කොට,එම සිදුවීම් පුද්ගල සිතිවිලි සමඟ ගළපා ඒවා සියල්ල සිහිනයකින් ජනනය කර දීමේ සහජ හැකියාව මිනිස් මොළයට පවතිනවා.

ඔබ පසුවන්නේ සුව නින්දක REM (Rapid-Eye-Movement) අවධියක නම්, ඔබගේ ශරීරයෙන් කිසිදු චාලක ප්‍රතික්‍රියාවක් මෙම අවස්ථාවේ සිදු වන්නේ නෑ. අපගේ මොළයේ ඉදිරිපස කොටස මන්දගාමී ව ක්‍රියාත්මක වීමද මෙම අවධියේදී සිදු වනවා. මෙකී සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක් ලෙස සෙවණැලි ශරීර දරණ තැනැත්තන් යම් අයකුගේ නිදන කාමරයකට අනවසරයෙන් ඇතුළු වන බවට වූ පරිකල්පනමය හැඟීම් පහළ වනවා.

අද්භූත දසුනින් පරිපූර්ණ සිහින දැක එයටම බියවී අවදිවීමේ සංසිද්ධිය Sleep Paralysis යනුවෙන් හඳුන්වනවා – deviantart.com

නින්දේදී ක්‍රියාකාරී වන මොළය

සිහින ලෝකයක සැරිසන විටදී නොයෙකුත් කතාන්දර මවා පෙන්වන යන්ත්‍රයක් බවට ඔබගේ මොළය පරිවර්තනය වනවා. සිනමා ශාලාවක සිටින විටක එම ශාලාව පිටුපස තිබෙන ප්‍රොජෙක්ටරයකින් චිත්‍රපටයක මෙතෙක් නොදුටු දර්ශන පෙළක් ඔබ හට නිරූපණය වනවා සේම පුද්ගල මොළය ද ඒ හා සමාන අත්දැකීමක් නින්දකට එළඹි පුද්ගලයකුට ලබා දෙනවා.

පුද්ගලයකුගේ මොළය වනාහි අප සිතනවාට වඩා බොහෝ සෙයින් අද්භූත ඉන්ද්‍රියක් බව මෙමඟින් ඔබට සනාථ වනවා ඇති – www.frontiersin.org

ජීවිතයේ අත්විඳි සුවිශේෂී සිදුවීම් සහ එම සිදුවීමට අදාළ ව ඔබගේ සිතිවිලි ප්‍රතිචාර දක්වා තිබූ ආකාරය උපයෝගී කොටගෙන අර්ථාන්විත සිහිනයක් ගලායාමේ සංසිද්ධිය ඉටු කිරීමට අපගේ මොළය සැමවිට සූදානමින් සිටිනවා.

සිහින ලොවත්, යථා ලෝකයත් අතර පැහැදිලි වෙනස හඳුනාගැනීමට නිදි යහනෙන් අනපේක්ෂිතව බිමට වැටුණ පුද්ගලයකුට හැකියාවක් පවතිනවා.

නිදන කාමර කොනක සැඟවී සිටින සෙවණැලි මිනිසුන්, (Shadow Figures) නිදි සුව විඳින තැනැත්තා වෙත සෙමින් ළඟා වී ප්‍රචණ්ඩකාරීව ගෙල සිර කර දමන්නා වූ සිහිනයක් දුටු බව යම් තැනැත්තන් පවසා සිටියා – images.squarespace-cdn.com

අධම යක්ෂයකු ඇඳ අසලට පැමිණ යම් අයකුගේ රීරී මාංශය උරා බීම දක්වා වූ සංසිද්ධිය සිහින ලෝකය තුළ සත්‍යයක් සේ දිස් වුවත්, පියවි ලෝකයට පිවිසි විඟස එවැනි දෙයක් මෙතෙක් සිදු ව නොමැති බව එකී තැනැත්තාට පසක් වනවා. අපගේ මොළය එම අවස්ථාවේ දී මතක කලාපවලින් ඈතට ඇදී ගොස් තිබූ බව නොයෙකුත් පර්යේෂණ සනාථ කොට තිබෙනවා.

අවතාර දර්ශන සඳහා සුදුසු පරිසරය

මිනිස් මොළයෙහි පවතින දහස් සංඛ්‍යාත ස්නායු රසායනික උච්චාවචනවලට ලක් ව තිබීම, අවතාර වැනි රූප ඔබගේ සිත තුළ නිර්මාණය වීමට හේතු වනවා. පුද්ගලයකුගේ මානසික අවපීඩනය වැඩි දියුණු කිරීමට මොළයෙන් ශ්‍රාවය වන සෙරොටොනින් (Serotonin) නමැති රසායනිකය, REM නින්දට යොමුව සිටි අයකු ක්‍රමානුකූලව අවදි කිරීමට සමත් වනවා.

පුද්ගල මනස තුළ “නොයෙකුත් විකාරරූපී දර්ශන” ආරෝපණය කිරීමත් මෙම රසායනිකය පෙලඹෙන අතර එකී තැනැත්තාගේ මනස තුළ නොබිඳිය හැකි මට්ටමක බියක් මෙමඟින් ඇති වනවා. මිනිස් මනස තුළ අවතාර රූප දර්ශනය වීම සමෘද්ධිමත් කිරීමටත් මෙකී රසායනිකය සමත් ව තිබෙනවා.

Sleep Paralysis තත්ත්වය අත්විඳින පුද්ගලයන්ගෙන් 40% ක් පමණ බිහිසුණු අවතාර සහ මායාකාර රූප සිහිනෙන් දුටු බව පවසා සිටියා – content.instructables.com

මුහුණතක් නොමැති අඳුරු සෙවණැලි ජීවීන් Sleep Paralysis අවධිය තුළ වැඩි වශයෙන් දර්ශනය වනුයේ කුමක් නිසා දැයි යන වග තවමත් අභිරහසක් ව පවතිනවා. ” පියවි ඇසට දර්ශනය වන දෙයට සාපේක්ෂ ව ඇසට නොපෙනෙන දෙයට බොහෝ මිනිස්සු බිය වෙති ”යන කියමනට සනාථ කරන්නාක් මෙන් අපහැදිලි සෙවණැලි රූප මිනිස් මනසෙහි සැරිසැරීමට හේතුපාදක වන බව සඳහන් කළ යුතුයි.

අවතාර රූප පසුපස තිබෙන මායාව

සෙවණැලි සහිත අපැහැදිලි ජීවීන් පරිකල්පනය කිරීමට අපගේ මොළයට ගත වන්නේ ඉතා ස්වල්ප වේලාවක්. භයංකාර මුහුණකින් සමන්විත, අසාමාන්‍යය කළු පැහැ සමකින් යුත්, නාසය මැදින් රුධිරය වහනය වන, මුව විවර කළ සැණින් කොළ පැහැති දිවක් එළියට පැමිණෙන ජීවියකු පරිකල්පනය කිරීමට අපගේ මොළයට සැලකිය යුතු වේලාවක් ගත වනවා.

මෙවන් වූ විස්තරාත්මක හොල්මන් රූපයක් පුද්ගල මනසෙහි පරිකල්පනය කිරීමට විශේෂිත වූ ස්නායු ජාලයක අඛණ්ඩ සේවාව ලබා ගැනීමටත් පුද්ගල මොළයට සිදුවනවා. යම් තැනැත්තකු සුව නින්දක පසුවන අවස්ථාවකදීත් සක්‍රීය ව පවතින මොළය, අපැහැදිලි යක්ෂ රූප මිනිස් මනස තුළ මවා පෙන්වීමටත් බෙහෙවින් උත්සුක වනවා.

සිහින ලෝකයක සැරිසන විටදී නොයෙකුත් කතාන්දර මවා පෙන්වන යන්ත්‍රයක් බවට ඔබගේ මොළය පරිවර්තනය වනවා – qph.cf2.quoracdn.net

වඩා සරල අමනුස්ස රූප සුළු වේලාවක් ඇතුළත නිර්මාණය කොට සිහිනයක් මඟින් ඒවා ජනනය කිරීමට අපගේ මොළයට සහජ හැකියාවක් පවතින බව කිව යුතුයි. යම් පුද්ගලයකු Sleep Paralysis අවධියට එළඹෙත් ම, මුහුණතක් නොමැති විකාරරූපී ජීවී කාණ්ඩ සිහිනෙන් දැක ගැනීමේ හැකියාව මෙමඟින් මිනිසාට අවකාශය ලැබී තිබෙනවා.

ගැඹුරු නින්දකදී පුද්ගලයකුගේ මනස ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගනිමින් එයට සමාන්තර ව ප්‍රතිචාර දැක්වීමටත් මෙකී අවතාර රූප සමත් ව තිබෙනවා. මෙයට සමගාමීව මිනිසාගේ ස්නායු පද්ධතිය ද අනේකවිධ ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා.

පුද්ගලයකුගේ මානසික අවපීඩනය වැඩි දියුණු කිරීමට මොළයෙන් ශ්‍රාවය වන සෙරොටොනින් (Serotonin) රසායනිකය, REM නින්දට යොමුව සිටි අයකු අවදි කිරීමට සමත් වනවා – images.everydayhealth.com

සිහින ලෝකයක ආධිපත්‍යය හොල්මන් රූප පතුරුවා ගෙන සිටීම දැඩි පිළිකුලකින් හෙළා දැකිය යුතු සංසිද්ධියක්. එසේ වුවත් සිහිනයකින් අවතාරයක් දුටු විගස එයට සමගාමී ව මිනිස් මොළය සංකීර්ණ යන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වනවා. අප සිතනවාට වඩා මිනිස් මොළය අද්භූත බව මෙමඟින් ඔබට සනාථ වනවා ඇති.

” පෙනෙන දෙයට වඩා නොපෙනෙන දෙයට මිනිස්සු බොහෝ බිය වෙති ” යන කියමනට අනුව මෙකී අපහැදිලි රූප මිනිස් මනසෙහි සැරිසැරීමට හේතුපාදක වන බව සඳහන් වනවා – images.theconversation.com

කවරයේ ඡායාරූපය: Sleep Paralysis අවස්ථාවට මුහුණ පා සිටින යම් තැනැත්තකුට තමාගේ අභ්‍යන්තර ශරීරය හිස් අවකාශය තුළ පාවෙන බවට වන හැඟීමක්ද පහළ වනවා - www.sleepcycle.com

මූලාශ්‍ර :
www.cancer.gov
www.ncbi.nlm.nih.gov

Related Articles