අප සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති අතර ප්‍රදේශයේ ග්රහක රාශියකින් පිරි ග්රහක වළල්ලක් දැකගනන්ට පිළිවන්. මෙහි සම්භවය පිළිබඳව විවිධ මත පවතිනවා. සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටා ඇති මේ ග්රහක වළල්ල ‘ඇස්ටරොයිඩ් පටිය‘ ලෙස හඳුන්වනවා. දිගින් අඟල් කිහිපයක සිට මීටර ගණනාවක් විශාල ග්රහක කැබලි මෙහි හමු වෙනවා. ඒවායින් සමහරක් කලාතුරකින් පෘථිවිය දෙසටත් ඇදී එනවා. අපි ‘ඇස්ටරොයිඩ’ ලෙස හඳුන්වන්නේ මේවායි.
ඉහත කී ග්රහක වළල්ලේ විශාලම සාමාජිකයා ‘සෙරෙස්’ යනුවෙන් හැඳින්වෙනවා. වර්තමානය වන විට ඊට ‘වාමන ග්‍රහලොවක’ තත්ත්වය ලබා දීමට විද්‍යාඥයින් තීරණයකොට තිබෙනවා. අද අපි ඔබ වෙත ගෙන එන්නට අදහස් කළේ ඇස්ටරොයිඩ පටියේ පිහිටා ඇති එකම වාමන ග්‍රහලොව වන ‘සෙරෙස්’ පිළිබඳ තතුයි.
සෙරෙස් සොයාගැනීම
සෙරෙස් මුලින්ම හඳුනාගත්තේ ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයෙකු වන ගුසෙප්පේ පියස්සි විසින් 1801 වසර තරම් ඈත අතීතයකදීයි. මෙය නම් කරනු ලැබ ඇත්තේ අස්වනු වලට අධිපති රෝමානු දෙවඟනගේ නාමයෙනුයි.
ගුසෙප්පේ පියස්සි මෙය මුලින්ම හඳුනාගත් අවස්ථාවේදී ලොව සතුව දියුණු නිරීක්ෂණ උපකරණ නොතිබූ නිසා හුදෙක් නිගමන මත යැපෙන්නට එකළ විද්‍යාඥයින්ට සිදු වී තිබුණා. එනයින් ඔහු එය අඟහරු හා බ්‍රහස්පති අතර ඇති ග්රහලොවක් ලෙස නිගමනය කළා. අනතුරුව එම ප්‍රදේශයෙන්ම තවත් ග්‍රහවස්තු සොයාගැනීමත් ස්මඟ සෙරෙස් ඇත්තෙන්ම ග්රහලොවක්දැයි කුකුසක් මතු වුණා. කාලයත් සමඟ අඟහරු හා බ්‍රහස්පති අතර අවකාශයේ ග්රහක කැබලි රාශියක්ම හඳුනාගන්නට විද්‍යාඥයින් සමත් වූ අතර සෙරෙස් ඇතුළු ඒවා සියල්ලම ‘ඇස්ටරොයිඩ’ ලෙස නම් කෙරුණා. මෙලෙස පුරා වසර 140ක් සෙරෙස් ඇස්ටරොයිඩයක් ලෙස නම්ව තිබූ අතර 2006 වසරේදී එය වාමන ග්රහලොවක් ලෙස නැවත නම් කරනු ලැබුවා. ඇස්ටරොයිඩ පටියේ ඇති සියළු අංශු හා ග්රහක වල සමස්ථ ස්කන්ධයෙන් 25% ක ප්‍රමාණයක් සෙරෙස් දරා සිටියත් මෙය ප්ලූටෝ වාමන ග්‍රහලොවට වඩා 14 ගුණයක් කුඩා වෙනවා.
සෙරෙස් පිළිබඳ මූලික තතු
සෙරෙස් හි අරය කිලෝමීටර 476 ක් වෙනවා. එය පෘථිවියේ අරය මෙන් 13න් පංගුවක්. මෙය සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 257 ක් දුරින් පිහිටා තිබෙනවා. එම දුර සමාන වන්නේ අභ්‍යාවකාශ ඒකක 2.8 කටයි. හිරුගෙන් පිට වන ආලෝක කිරණක් සෙරෙස් වෙත ළඟා වීමට මිනිත්තු 22ක් ගන්නවා.
සෙරෙස් සූර්යයා වටා ඉලිප්සීය පථයක කක්ෂ ගත වී ඇති අතර එයට සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට පෘථිවි දින 1,682 ක් හෙවත් පෘථිවි වසර 4.6 ක් ගත වෙනවා. ඉතා වේගයෙන් භ්‍රමණය වන සෙරෙස් සිය අක්ෂය වටා එක් වටයක් ගමන් කිරීමට ගත කරන්නේ පෘථිවි පැය 9ක් පමණයි. සෙරෙස් හි අක්ෂය අංශක 4 ක ඇලයකින් යුතුව පිහිටා තිබෙනවා. මෙහි අර්ථය එය බොහෝ සෙයින්ම ඍජු අක්ෂයක පිහිටා ඇති බවයි. මේ නිසා සෙරෙස් හි ඍතු භේදයක් ඒ තරම් බලපවත්වන්නේ නැහැ.
සම්භවය හා ව්‍යුහය
සෙරෙස් සම්භවය වීම සිදු වී තිබෙන්නේ ද මීට වසර බිලියන 4.5 කට පෙර අප සෞරග්‍රහමණ්ඩලය නිර්මාණය වෙද්දීම යි. විද්‍යාඥයින් මෙය සම්භවය පටන් ගෙන අතරමග නතර වූ ලොවක් ලෙස සලකනවා. සෙරෙස් අද පවතින තත්ත්වයට පත්වී ඇත්තෙ මීට වසර බිලියන 4කට පමණ පෙරයි. සෙරෙස් හට සම්පූර්ණ ග්රහලොවක් බවට පත් වීමට නොහැකි වීමට හේතුව බ්‍රහස්පතිගේ ප්‍රබල ගුරුත්වය බව සැලකෙනවා.
සෙරෙස් හි ව්‍යුහය වඩාත් නෑකම් කියන්නේ බුධ, සිකුරු, පෘථිවිය හා අඟහරු වැනි සෞරග්‍රහමණ්ඩලයේ ඇතුලත පෙදෙසේ පිහිටි ග්‍රහලෝක වලටයි. කෙසේ නමුත් සෙරෙස් ඒවාට වඩා ඝණත්වයෙන් අඩු වෙනවා. සෙරෙස් හට දෘඪ මධ්‍යයක් හා අයිස් වලින් සුසැදි පිටත ස්ථරයක් ඇති බව සැලකෙනවා. මෙහි කබොල පාෂාණ හා විවිධ ලවණ අවසාධිත වලින් නිර්මිතයි. සෙරෙස් හි ස්කන්ධයෙන් 25% ක් අයිස් වලින් සුසැදි බවට අනුමානයක් තිබෙනවා.
සෙරෙස් හි මතුපිට ආවාට විශාල ප්‍රමාණයක් දැකිය හැකියි. කෙසේ නමුත් මේවා සාපේක්ෂව කුඩා ඒවා වන අතර ඉන් විශාලම ආවාටය කිලෝමීටර 280 ක පමණ විශ්කම්භයකට උරුමකම් කියනවා. අවට ඇති ග්රහක කැබලි නිරන්තරයෙන් ගැටීම නිසා මේ ආවාට නිර්මාණය වන්නට ඇතැයි සැලකෙනවා. මේ සමහරක් ආවාට තුල ඍජු සූර්යයාලෝකය නොලැබෙන ස්ථාන පිහිටා තිබෙනවා. මේවා තුල අයිස් මිදී තිබේයැයි විශ්වාස කෙරෙනවා.
වායුගෝලය හා තවත් තොරතුරු
සෙරෙස් සතුව ඉතා තුනී වායුගෝලයක් පවතිනවා. මීට අමතරව සෙරෙස් හි මතුපිට ආසන්නයේ ජල වාෂ්පද ඇති බව විද්‍යාඥයින් මෑතකදී සොයාගෙන තිබෙනවා. මේවා සෙරෙස් සතුව ඇති ‘අයිස් යමහල්’ විදාරණය වීමේදී සිදු වන ජල ඌර්ධවපාතන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබෙන බවට විශ්වාස කෙරෙනවා.
අප සෞරග්‍රහමණ්ඩලයේ පෘථිවියට අමතරව ජීවය රැඳී පැවතිය හකියැයි අංශුමාත්‍රික ලෙස හෝ විශ්වාස කළ හැකි ස්ථාන ස්වල්පයෙන් එකක් ලෙස සෙරෙස් සැලකෙනවා. පෘථිවිය හැරුණුකොට සෞරග්‍රහමණ්ඩලයේ ජලය හමුවන සුළුතරයක් වූ ස්ථාන වලින් එකක් වන සෙරෙස් හි ජීවයට හිතකර අනෙකුත් සාධක සුළු වශයෙන් හෝ පැවතියහොත් එහි ජීවය සම්හවය වී තිබීමට හැකියැයි විද්‍යාඥයින් විශ්වාස කරනවා. කෙසේ නමුත් අනෙකුත් පරිසර සාධක ජීවයට එතරම් හිතකර නොවීම නිසා වර්තමානය වන විට එහි ජීවය පැවතීමේ සම්භාවිතාව ඉතා අල්පයැයි ඔවුන් පවසනවා. තත්ත්වය එසේ වූවත් අතීතයේ යම් දිනෙක බැක්ටීරියා වැනි සරළ ජීවීන් හෝ මෙහි සිටින්නට නැතැයි යන්න බැහැර කළ නොහැකියි.
සෙරෙස් සතුව කිසිදු චන්ද්‍රයෙක් නැහැ. එමෙන්ම ඒ සතුව ග්රහක වළලුද දකින්නට නොහැකියි. තවම හරි හැටි නිශ්චිත තීරණයකට එළැඹී නැතත් සෙරෙස් සතුව සැළකිය යුතු තරමේ චුම්භක ක්ෂේත්රයක් නැතැයි විද්‍යාඥයින් නිගමනය කරනවා.
ප්‍රමාණයෙන් කුඩා වාමන ග්රහලොවක් වන සෙරෙස් පෘථිවියට ආසන්නම වාමන ග්‍රහලොවයි. මේ නිසා වාමන ග්‍රහලෝක පිළිබඳව අධ්‍යනය කිරීමේදී සෙරෙස් නිරන්තරයෙන් පාහේ නිරීක්ෂණයට බඳුන් වෙනවා. අනෙක් අතට මේ සතුව ‘ජලය’ පවතින්නේ යැයි බොහෝ සෙයින් තහවුරුව තිබීම නිසා එහි කුඩා ප්‍රමාණය පරයා යෝධ වැදගත් කමක් ඊට ලැබී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යනය කිරීම සඳහා Dawn නම් යානය නාසා ආයතනය විසින් සෙරෙස් වෙත පිටත් කර හැරියා. මෑතක දී එය සෙරෙස් වෙත ලඟා වූ අතර ඉන් ලැබුණු තොරතුරු සාධනීය බව පැවසෙනවා.
කවරයේ පින්තූරය (NASA)