Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

‘හියුමන්සී’ හෙවත් අසාර්ථක වූ මනුෂ්‍ය-චිම්පන්සි දෙ‍මුහුම්කරණය

මිනිසා ස්වභාව ධර්මයේ නීති රීතීන්ට පටහැනි ව අසම්මත විද්‍යාත්මක පර්යේෂණයන් හි නියැලීම ආරම්භ කළේ මෑත අතීතයේ දී නොවෙයි. මහජන විරෝධයට සහ සමාජ සාරධර්මයන්ට පිටුපාමින් සිදු කරන ලද එවැනි පර්යේෂණ අතරින් අතළොස්සක පමණ ප්‍රමාණයක් සාර්ථක වුව ද බොහෝමයක් පර්යේෂණයන් මුළු මහත් ලෝකය ම කම්පනයට පත් කළ ප්‍රතිඵල රැගෙන ආ බව පැවසීම වැරදි නැහැ. මහා පරිමාණයෙන් කාලය, ශ්‍රමය සහ මුදල් යොදවමින් සොබාදහමට පිටුපාමින් සිදු කරන ලද එවැනි අසම්මත පර්යේෂණයන් හි අස්වාභාවික ප්‍රතිඵල විනාශ කර දැමීමට සිදු වූ අවස්ථා ද නැතුවා ම නොවෙයි.

© Homo & Evolució

අදින් සියවසක පමණ පෙර සෝවියට් ජීව විද්‍යාඥයෙකුගේ අදහසකට අනුව නිර්මාණය කිරීමට උත්සාහ කරන ලද ‘හියුමන්සී’ නම් වූ මනුෂ්‍ය-චිම්පන්සි දෙ‍මුහුම් සත්ත්වයා ද එවැනි අස්වාභාවික ප්‍රතිඵලයක්. 1920 දශකයේ දී රුසියානුවන් පමණක් නොව ඇමෙරිකානුවන් ද ‘හියුමන්සී’ දෙමුහුම් නිර්මාණය කිරීම සඳහා දැඩි උත්සාහයක් ගත් බව යි මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ. ඇමෙරිකානු ජාතික පරිණාමවාදී මනෝවිද්‍යාඥ ගෝඩන් ජී. ගැලප්, 2018 වර්ෂයේ මුල් භාගයේ දී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ විද්‍යාගාරයක් තුළ දී සත්‍ය වශයෙන් ම ‘හියුමන්සී’ දෙමුහුම් නිර්මාණය කිරීමට ඇමෙරිකානු විද්‍යාඥයින් සමත් වූ බව යි. නමුත් ‘හියුමන්සී’ සත්ත්වයාගේ ස්වරූපයෙන් කැලඹීමට පත් වූ වෛද්‍ය කණ්ඩායම, ඔහු ව විනාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉල්යා ඉවානොවිච් ඉවානොව්ගෙන් අමුතු අදහසක්

සෝවියට් ජීව විද්‍යාඥයෙකු වූ ඉල්යා ඉවානොවිච් ඉවානොව් විද්‍යා ලොව තුළ ප්‍රසිද්ධියක් අත් කර ගත්තේ ගෘහස්ථ සතුන් කෘතිම ව සිංචනය කිරීමේ (inseminate) ක්‍රමවේදයක් හඳුන්වාදීම මගින්. ඔහුගේ අරමුණක් වුණේ දෙමුහුම්කරණය භාවිතා කර වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින සත්ත්ව විශේෂ රැක ගැනීම යි. ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කරමින් සිටින අතරතුර දී සමාන ඩී.එන්.ඒ. රටා සහිත මානවයින් (Homo sapiens sapiens) සහ චිම්පන්සීන් (Pan troglodytes) දෙමුහුම්කරණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමේ අවස්ථාවක් පවතින බව ඔහුට පෙනී ගොස් තිබෙනවා.

ජීව විද්‍යාඥ ඉල්යා ඉවානොවිච් ඉවානොව් (© Pinterest)

1910 දී ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර දී පැවති ලෝක සත්ත්වවේදීන්ගේ සම්මේලනයේ දී කෘතිම සිංචනය භාවිතා කර මනුෂ්‍ය-චිම්පන්සි දෙ‍මුහුම් සත්ත්වයෙකු නිර්මාණය කළ හැකි බව සඳහන් කරමින් ඉල්යා ඉවානොවිච් ඉවානොව් මතභේදාත්මක අදහසක් ඉදිරිපත් කළා. ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ මිනිස් පරිණාමයේ අතුරුදන් වූ පුරුක ‘හියුමන්සී’ විය හැකි බව යි. කෙසේ හෝ බලාපොරොත්තු නොවූ ලෙස ‘හියුමන්සී’ නම් මනුෂ්‍ය-චිම්පන්සි දෙ‍මුහුම්කරණය සඳහා බොහෝ විද්‍යාඥයින් ඉල්යා ඉවානොවිච් ඉවානොව්ට අනුබල දුන් බව සඳහන්.

ඒ අනුව 1920 දශකයේ මැද භාගයේ දී ගිනියාවේ කොනැක්‍රි හි විද්‍යාගාරයක් තුළ දී මානව ශුක්‍රාණු යොදා ගනිමින් ගැහැනු චිම්පන්සීන් සිංචනය කිරීමට ඔහු උත්සාහ කළ ද එය සාර්ථක වී නැහැ. පසු ව 1929 දී සුකුමි ප්‍රයිමේට් පර්යේෂණ ආයතනයේ දී කෘතිම ක්‍රමවේද යොදා ගනිමින් කාන්තාවන් පස් දෙනෙකුගෙන් ලබා ගන්නා ලද ඩිම්බ, චිම්පන්සීන්ගේ ශුක්‍රාණු සමග සිංචනය කිරීමට ඉල්යා ඉවානොවිච් ඉවානොව් කටයුතු කර තිබෙනවා. නමුත් එම උත්සාහයන් ද සාර්ථක වී නොමැති අතර 1930 වර්ෂයේ දී රුසියානු පශුවෛද්‍ය සංගමය සහ සෝවියට් රජය විසින් ඔහුගේ අසම්මත පර්යේෂණයන්ට විරුද්ධත්වය පළ කර ඔහු ව පිටුවහල් කිරීමට කටයුතු කළ බව යි වාර්තා වන්නේ.

© BuzzViral Online

‘හියුමන්සී’ නිපදවීම සඳහා චීනය සහ ඇමෙරිකාව ඉදිරියට

‘හියුමන්සී’ නිර්මාණය කිරීම සඳහා ඉල්යා ඉවානොවිච් ඉවානොව් සිදු කළ පර්යේෂණ කටයුතු අසාර්ථක වුව ද එය විද්‍යා ලෝකයේ අලුත් දොරටුවක් විවෘත කළ බව පැවසීම වැරදි නැහැ. ඒ අනුව ඔහුගේ මග යමින් මානව ශුක්‍රාණු යොදා ගනිමින් ගැහැනු චිම්පන්සීන් කෘතිම ව සිංචනය කිරීමට චීන විද්‍යාඥයින් කටයුතු කර තිබෙනවා. 1967 වර්ෂයේ දී එම පර්යේෂණ කටයුතු සාර්ථක වී ඇත්තේ ගැහැනු චිම්පන්සී සත්ත්වයෙක් ගැබ් ගන්වමින්. නමුත් ඒ කාලයේ දී චීනයේ සිදු වූ සංස්කෘතික විප්ලවය හේතුවෙන් ‘හියුමන්සී’ නිර්මාණය කිරීම සඳහා සම්බන්ධ වී සිටි විද්‍යාඥයින් ව කෘෂිකාර්මික කටයුතුවල නියැලීම සඳහා පිටත් කර යවන ලද අතර පසු ව නොසැලකිල්ල හේතුවෙන් ‘හියුමන්සී’ ගැබ දරාගෙන සිටි චිම්පන්සියා මිය ගොස් තිබෙනවා.

© Pinterest

චීනය පමණක් නොව ඇමෙරිකාව ද ඉල්යා ඉවානොවිච් ඉවානොව්ගේ පර්යේෂණ පිළිබඳ ව උනන්දුවක් දැක් වූ අතර 1920 දශකයේ දී ඔවුන් ද ‘හියුමන්සී’ නිර්මාණය කිරීම සඳහා උත්සාහ කර ඇති බව සඳහන්. පරිණාමවාදී මනෝවිද්‍යාඥ ගෝඩන් ජී. ගැලප් පුවත්පත් සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් සඳහන් කර ඇත්තේ ෆ්ලොරීඩා හි ඔරේන්ජ් පාක් නගරයේ විද්‍යාගාරයක් තුළ දී මනුෂ්‍ය-චිම්පන්සි දෙ‍මුහුම් සත්ත්වයෙක් මෙලොව එළිය දුටු බව යි. මානව ශුක්‍රාණු යොදාගෙන ගැහැනු චිම්පන්සියෙකු ව කෘතිම ව සිංචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම සත්ත්වයා බිහි වූ බව යි වාර්තා වන්නේ. නමුත් අසම්මත විද්‍යාත්මක පර්යේෂණයක් හේතුවෙන් උපන් ‘හියුමන්සී’ සදාචාරාත්මක හේතූන් මත සුඛ මරණයකට පත් කිරීමට  වෛද්‍ය කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

කවරයේ පින්තූරය : © TKM

Related Articles