2018 හා 2019 වසර දෙක සැලකිල්ලට ගැනීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය, ඉන්දියාවේ ISRO, චීනයේ හා ඊශ්‍රායලයේත් ඒ වගේම රුසියාවෙත් විවිධ අභ්‍යවකාශ මෙහෙයුම් දියත් වෙනවා. ඒ අතරින් සමහර මෙහෙයුම් සාර්ථක වන අතර තවත් මෙහෙයුම් අසාර්ථක වෙනවා.
ඒ ආකාරයට සාර්ථක හා අසාර්ථක වූ අභ්‍යවකාශ මෙහෙයුම් අතරින් කිහිපයක් පිළිබඳව මේ ලිපිය ඔස්සේ කරුණු ගෙන එනවා.
නාසා ආයතනයේ සාර්ථක මෙහෙයුම්
නාසා ආයතනය මෑත ඉතිහාසයේ ඉර ආසන්නයටම ගමන් කළ යානය මෙන්ම, වැඩිම වේගයක් ඇති අභ්‍යවකාශ යානය ලෙස ද වාර්තා තබා ඇති පාකර් යානය එම ආයතනය විසින් කක්ෂගත කරන්නේ 2018 වසරේ දී යි. මේ වන විට එම යානය සූර්යයා සම්බන්ධයෙන් තොරතුරු එවීම ආරම්භ කර තිබෙනවා. යානය යැවීමේ ප්‍රධාන අරමුණ වන්නේ සූර්යයාගේ බාහිර අවකාශය අධ්‍යයනය කිරීම යි.
පාකර් යානය සූර්යයාට වඩාත් සමීපව පියාසර කිරීමෙන් මෙන්ම, වැඩිම වේගයක් සහිත අභ්‍යවකාශ යානය ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබෙනවා. එහි වේගය පැයට කිලෝමීටර් 375,000ක්. මීට පෙර අභ්‍යවකාශ යානයක් සටහන් කර තිබූ වැඩිම වේගය පැයට කිලෝමීටර් 250,000ක් පමණයි.
තවමත් ගමන් කරමින් පවතින මෙම යානය සූර්යයාට තවත් සමීප වන විට වේගය තව තවත් වැඩි වීමට නියමිත යි. අඟහරුගේ මතුපිට පෘෂ්ටය සිදුරු කර, අභ්‍යන්තරයේ පාෂාණවල ගුණාංග පරික්ෂා කිරිමේ මෙහෙයුමේ මේ වන විට එම යානය නිරත වෙමින් සිටිනවා.
2004 වසරේ නාසා ආයතනය විසින් අඟහරු මතට යැවූ රෝවර් යානයක් වූ ඔපචුනිටි රෝවරය, 2019 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙනවා. පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් නාසා ආයතනය කියා සිටින්නේ ඔපචුනිටි රොබෝ රෝවරයේ මෙහෙයුම් කටයුතු අවසන් බව හා තවදුරටත් ඒ සමග සන්නිවේදන ක්‍රියාවලිය සිදුනොවන බව යි. ඒ අනුව වසර ගණනාවක් පැවති ඔපචුනිටි මෙහෙයුම නැවතී යන්නෙත් පසුගිය වසරේ දී යි.
ISRO හි මෙහෙයුම්
ISRO හෙවත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් පළමු වරට සඳ තරණය සඳහා උත්සාහයක් 2019 වසරේ සිදුකළ අතර, එය අවාසනාවන්ත ලෙස ආසාර්ථක වෙනවා. සඳ තරණය සඳහා ඔවුන් විසින් යවන ලද යානය චන්ද්‍රයාන්-2 ලෙස නම් කර තිබෙනවා.
මේ වසරේ දී ඉන්දියාව මෙන්ම තවත් රටවල් දෙකක් චන්ද්‍ර තරණය සඳහා උත්සාහ කළ අතර, චීනයේ චන්ද්‍ර තරණ උත්සාහය සාර්ථක වන අතර ඔවුන් ලෝකයේ ප්‍රථම වතාවට චන්ද්‍රයාගේ නොපෙනෙන පැත්තට යානාවක් ගොඩබැස්සවීමට සමත් වෙනවා. එම යානය වන්නේ Chang’e 4 යානාව යි. මේ ඔස්සේ සඳේ කපු බීජ ප්‍රරෝහණයකට ද චීනය උත්සාහ දරන නමුත්, එම උත්සාහය අසාර්ථක වෙනවා. ඊට අමතරව ඊශ්‍රායල ද චන්ද්‍ර තරණයක් සඳහා පසුගිය වසරේ උත්සාහ දරන අතර, එම උත්සාහය ද අසාර්ථක වෙනවා. පෞද්ගලික වියදමින් සඳ තරණය කිරීමට ගත් පළමු උත්සාහය ලෙස එය වාර්තා වෙනවා.
ISS වෙත සම්බන්ධ වූ ෆෙඩෝර් නම් මානව අනුකාරක රොබෝ යන්ත්‍රය
පසුගිය වසරේ දී ISS හෙවත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග මානව අනුකාරක රෝබෝවරයෙකු සම්බන්ධ කිරීමට රුසියාව සමත් වෙනවා. මෙම මානව අනුකාරක රොබෝ යන්ත්‍රය ෆෙඩොර් නමින් නම් කරන ලද අතර, අසාර්ථක පළමු උත්සායහයකින් පසුව දෙවන උත්සාහයේ දී සෝයුස් රෝකොට්ටුවක ආධාරයෙන් රොබෝ යන්ත්‍රය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ කිරීමට රුසියානු විද්‍යාඥයන් සමත් වෙනවා. රුසියානුවන් විසින් මෙම රෝබෝවා ෆෙඩොර් නමින් හැඳින්වූවත්, අන්තර්ජාතිකව නිල වශයෙන් එම රොබෝ යන්ත්‍රය හඳුන්වනු ලබන්නේ ස්කයිබෝට් එෆ් 850 නමින්.
අනාගත දිනෙක සඳ මතුපිට ජනාවාස පිහිටුවීමේ ක්‍රියාවලියක දී මෙවැනි මානව අනුකාරක රොබෝ යන්ත්‍රවලින් ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරගත හැකි බව රුසියානු විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. ඇමෙරිකාව විසින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකරන නමුත්, වර්තමානයේ දී ඇමෙරිකාව රුසියාව හා තවත් රටවල් එකතුව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා.
මෙම මෙහෙයුම්වලට අමතරව පසුගිය වසරේ ශ්‍රී ලංකාව ද අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබමින් තම පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරනවා. එය නම් වන්නේ රාවණා- 01 ලෙස යි. ඊට අමතරව පසුගිය වසරේ දී ලොව කුඩාම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරමින් වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වෙනවා. ඉන්දියානු ශිෂ්‍යන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ කුඩාම චන්ද්‍රිකාව නම් කරන්නේ කාලාම් සැට්- V2 නමින්.
මේ ආකාරයට ක්‍රියාත්මක වූ අභ්‍යවකාශ මෙහෙයුම්වලින් ප්‍රධාන ඒවා කිහිපයක් තමයි අප ඉහත දක්වා තිබෙන්නේ. ලෝකයේ ප්‍රධාන අභ්‍යවකාශ ආයතන ඉදිරි වසරවල දී ද නව අභ්‍යවකාශ මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පිළිබඳව විස්තර ලියැවුණු තවත් ලිපියකින් හමුවෙමු.