න්‍යෂ්ටික තාක්ෂණය යනු මිනිසා විසින් නිර්මාණය කරන ලද අනභිභවනීය මෙන්ම අතිශය විනාශකාරී බල මූලාශ්‍රයක්. මේ වන විට ලෝකයේ රටවල් 31ක් න්‍යෂ්ටික බලාගාර තම රට තුළ පිහිටුවාගෙන තිබෙනවා. මේ රටවල් අතුරින් ඉතාමත්ම සීග්‍රයෙන් තම රට තුළ න්‍යෂ්ටික බලාගාර ව්‍යාප්ත කරමින් සිටින්නේ චීනයයි. එපමණක් නොව, න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බැලූ ලොව පස්වන රට වන්නේද චීනයයි.
ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයට පසුව න්‍යෂ්ටික බලය අත්හදා බැලූ පස්වන රට වන චීනය 1964 වසරේ ඔක්තෝබර් මස 16 වනදා ලොප් නූර් පරීක්ෂණ අංගනයේදී (Lop Nur test cite) සිය ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය අත්හදා බැලූ අතර, න්‍යෂ්ටික අවි අත්හදා බලා ඇති රටක් ලෙස චීනයට ලබා දුන් කේත අංකය වන්නේ 596යි. මෙසේ අත්හදා බැලුනේ කිලෝ ටොන් 22ක බරකින් යුත් යුරේනියම් – 235 වර්ගයේ බෝම්බයක්. (මෙම බෝම්බ Implosion Fission devices යනුවෙන් හැඳින්වෙනවා) බොහෝ රාජ්‍යයන් මෙවැනි බෝම්බ නිපදවීමට පාවිච්චි කරන්නේ නිපදවීමට වඩාත් පහසු ප්ලුටෝනියම් නැමති මූලද්‍රව්‍යය වුවද, චීන රජය යුරේනියම් භාවිතා කොට මෙම බෝම්බය නිපදවා තිබුණා.
1950 – 1953 කාලය අතර පැවති කොරියානු යුද්ධයෙන් පසුව න්‍යෂ්ටික අවි නිපදවීම කෙරෙහි චීන රජයේ අවධානය යොමු වූ අතර තම ව්‍යාපෘති වල මුල් අවධියේදී චීනය රුසියාවෙන් මූලික දැනුම සහ තාක්ෂණය ලබාගෙන තිබෙනවා. 1959 වසරේදී රුසියානු ජාතික න්‍යෂ්ටික අවි විද්‍යාඥයකු වූ නිකිටා කෘෂ්නෙව් විසින් චීනය සමග පර්යේෂණ කටයුතු වල නියැලීම ප්‍රතික්ෂේප කිරීමත් සමගම චීනය විසින් ස්වාධීනව තම පර්යේෂණ කටයුතු කරගෙන යාමට මෙන්ම, “596 ව්‍යාපෘතිය” ප්‍රකාශයට පත් කරන්නටත් පෙළඹුණා.
න්‍යෂ්ටික අවි නිපදවීමේ අවශ්‍යතාවය එකල චීනයේ නායක මාඕ සේතුන් හට දැඩිව පැවතීම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිටුපස වූ ප්‍රධානතම හේතුව වුණා. ඔහුගේ විශ්වාසය වූයේ චීනය න්‍යෂ්ටික අවි නිපදවන්නේ නොමැති නම් චීනය ලෝක බලවතෙකු ලෙස පිළිනොගනු ඇති බවයි. එමෙන්ම, තායිවානය චීනයෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් ලෙස වෙන්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී හටගත් ගැටුම් වලින් අනතුරුව, චීනය වෙත ඇමරිකාවෙන් විවිධාකාරයේ බලපෑම් එල්ල විය හැකි බවට මාඕ සේතුන් විසින් සැක පහල කිරීමද මෙම ව්‍යාපෘතිය ඉක්මන් කිරීමට උත්තේජනයක් වූ බව කිව හැකියි.
රුසියානු රජය සිය සහයෝගය නැවැත්වීමට හදිසියේ ගත් තීරණය හමුවේ වුවද සිය රටේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල “ලෝක සුපිරි බලවතුන්ගේ න්‍යෂ්ටික ඒකාධිකාරය මැඩ පැවැත්වීම පිණිස” ඉදිරියට ගෙන යා යුතු බවට චීනය රජය ප්‍රකාශ කළේ එබැවිනුයි. රුසියාව භූගෝලීය වශයෙන් ඉතා ආසන්නව පිහිටා තිබීම නිසා ඔවුන්ගෙන් එල්ල විය හැකි තර්ජන වලට සාර්ථකව මුහුණ දීමට මෙන්ම 1960 වසරේදී න්‍යෂ්ටික අවි අත්හදා බලමින් ලෝක කරළියට ආ ප්‍රංශය සමග තරඟකාරී බවක් ගොඩනගා ගැනීමටද චීන රජයට අවශ්‍යතාවයක් තිබීම මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හේතු වූ තවත් සාධක ලෙස හඳුනාගත හැකියි.
සුපුරුදු පරිදි ඇමරිකානු ඔත්තු සේවාවන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධව තොරතුරු සොයා බැලීමට උත්සුක වූ අතර, ඔවුන්ගේ මතය වූයේ චීනයට මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගත නොහැකිවනු ඇත යන්නයි. නමුත් ඒ සියලු දුර්මත බිඳ හෙලූ චීනය තම “596 ව්‍යාපෘතිය” සාර්ථකව නිම කළා පමණක් නොව, මුල් අත්හදා බැලීමෙන් දෙවසරකට පසු, 1966දී චීනය තම පළමු න්‍යෂ්ටික මිසයිලය අත්හදා බැලූ අතර, 1967 වසරේදී චීනය සිය ප්‍රථම හයිඩ්‍රජන් බෝම්බයද අත්හදා බැලූයේ ලොව වඩාත් වේගයෙන් න්‍යෂ්ටික බලාගාර ව්‍යාප්ත කළ රට බවට පත් වීමටද මුල් අඩිතාලම දමමිනුයි.
චීනය තමා සතු විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණය සීඝ්‍රයෙන් තම රත තුළ ව්‍යාප්ත කරමින් ප්‍රයෝජනයට ගන්නාක් මෙන්ම වෙනත් රාජ්‍යයන් සමගද එය බෙදා හදා ගැනීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති රාජ්‍යයක්. පාකිස්ථානය සමග මේ වන විට අත්වැල් බැඳගෙන තිබෙන චීනය 2030 වන විට සමස්ථ පාකිස්ථානු විදුලි උත්පාදනයෙන් පහෙන් එකක් උත්පාදනය කිරීමට හැකියාව ඇති න්‍යෂ්ටික විදුලි බලාගාර ත්‍රිත්වයක් එරට තුළ නිපදවීම සඳහා ගිවිසුම් අත්සන් කොට තිබෙනවා. CNNC හෙවත් චීන ජාතික න්‍යෂ්ටික සංස්ථාව (Chinese National Nuclear Corporation) සහ පාකිස්ථානු පරමානුක ශක්ති සංස්ථාව (PAEC – Pakistan Atomic Energy Corporation) 2013 වසරේ නොවැම්බර් මසදී මෙසේ ගිවිසගෙන ඇත්තේ මෙගාවොට් 1,000ක බලයකින් යුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් හෙවත් රිඇක්ටරයක් පන්ජාබයේ පිහිටුවීමටයි. 2020 සහ 2021 වර්ෂයන්හිදී ආරම්භ වීමට නියමිත අනෙකුත් බලාගාර ද්විත්වය මේ වන විට කරච්චි වරාය නගරය අසල ඉදිකෙරෙමින් පවතිනවා. “ද හින්දු” පුවත්පත වාර්තා කළේ සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැය වන ඩොලර් බිලියන දහයක බරපැන චීනය විසින් දරනු ඇති බවයි. එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන අන්දමට පාකිස්ථානයේ බලශක්ති සහ යටිතල පහසුකම් අංශයන්ගේ විශාලතම ආයෝජකයා වන්නේද චීනයයි.
කවරයේ ඡායාරූපය – pinterest.com
තොරතුරු උපුටා ගැනීම – worldhistoryproject.org වෙබ් අඩවියේ “China tests its first atomic bomb to become the world’s fifth nuclear power, code named 596” ලිපිය ඇසුරිනි.