දේශපාලකයන් ගැන තියෙන අදහස් උදහස් කොහොමද? සාමාන්‍ය ජනතාව දේශපාලකයන් ගැන පැහැදීමකින් ඉන්නවාද? මැතිවරණයක් ආවාම නම් ලංකාවෙ අපි සියයට 60 ක් 70 ක් වත් ඡන්දය පාවිච්චි කරනවා. ඒ කියන්නෙ දේශපාලකයන්ට කැමැත්තක් තියෙනවා කියන එක ද?
මේ කාන්තාව ඉදිරිපත් කරන අදහස සාමාන්‍යයෙන් බොහෝ දෙනා තුළ තිබෙන්නක්.
“දේශපාලඥයින් ඔක්කෝම දොරකඩට ඇවිල්ලා ඉන්නවා. ඔයගොල්ලන්ට ඒක කරන්නම්, මේක කරන්නම් කියනවා. දොරකඩ පසු කරගෙන ගියාට පස්සෙ දකින්න හම්බවෙන්නෙත් නැහැ. ඡන්දෙ ගත්තට පස්සේ අපිව අමතකයි.”
ඇතැම් අය මේ විදියට ඡන්දය පාවිච්චි කරන්නෙ විකල්පයක් නැති නිසා වෙන්න පුළුවන්. සමහරු විකල්ප නැති වුණත් මේ පවතින විදිහ යටතේ ම සිටිනවා. මේ අතරෙ සමහරු විකල්ප හොයන්න උත්සාහ කරනවා. ඉහත කාන්තාව ඊට එක් උදාහරණයක්. ඇය තමන්ගේම දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවාගන්න උත්සාහයක් දැරූ කාන්තාවක්.
දේශපාලකයින් ගැන කලකිරීමක් ඇති වෙන්නට බලපාන එක හේතුවක් තමයි කියන දේ නොකරන එක සහ නොකරන දේ කියන එක. ආණ්ඩු පක්ෂයේ ඉන්න කාලෙ යමක් නොකර විපක්ෂයට යන කෙනෙක් එතනදි ආණ්ඩු පක්ෂයට බනින විදිහ දකින අය “බලය තියෙනකොට මොළය නෑ. මොළය තියෙනකොට බලය නෑ” යනුවෙන් ඒ ගැන අදහස් දක්වනවා ඔබත් දැක ඇති.
එතකොට, දේශපාලකයො මැතිවරණ සඳහා ඉදිරිපත් වෙද්දි ප්‍රකාශයට පත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන මොනවද? ඒවා ප්‍රෝඩාවල් ද?
සරලව ම කෙනෙක්ට මතු වෙන ප්රශ්නය තමයි මේ කියන ප්‍රතිපත්ති ප්රකාශනවල හැටියට දේශපාලකයො වැඩ කරනවා නම් අද මේ රට මෙතන තියෙන්නෙ කොහොමද කියන එක.
මෑතකදී විකාශය වෙච්ච කූඹියෝ නාට්‍යයයේ මේ පිළිබඳ අපූරු දෙබසක් තිබෙනවා. එහිදී විපක්ෂ නායක මල්දෙණිය සහ ඔහුගේ ලේකම් අධිකාරි අතර සංවාදයක් විදියටයි මේ දෙබස දිග හැරෙන්නේ.
මල්දෙණිය: එතකොටත් මට තිබ්බා අපේ පක්ෂය දිනවන්න මොකක්ද කරන්න ඕන කියලා සැලසුමක්
අධිකාරි: ඉතාම පැහැදිලියි. අපි ඒක ප්‍රතිපත්ති ප්රකාශනයක් හැටියට එළියට දැම්ම නෙ.
මල්දෙණිය: අයිසේ! මං කතා කරන්නෙ ඔය කෙහෙල්මල් ප්‍රතිපත්ති ප්රකාශනය ගැන නෙවෙයි. අපේ පක්ෂය දිනවන නියම වැඩපිළිවෙල ගැන.
ඇත්තට ම තත්ත්වය මෙච්චර භයානක ද? මෙච්චර අප්‍රසන්න ද? ඒ ගැන හිතන වෙලාවට අපට දිස් වෙන්නෙ දිගටම දේශපාලකයන් තම තමන්ගෙ පොරොන්දු අමතක කරලා බලය රැකගන්න දඟලන එක. ඒක කොයි පක්ෂයටත් පොදුයි. ඒ වගේම අඩු වැඩි වශයෙන් ලෝකෙ ගොඩක් රටවල්වල තත්ත්වය එහෙමයි. ලංකාව කියලා විශේෂයක් නැහැ.
ජෙහාන්ලා ගැන
කූඹියෝ කතාව නිසා ලාංකේය දේශපාලනය තුල ඇති වෙච්ච අලුත් ප්‍රවණතාවය තමයි මේ කියන “ගේම්” ගැන යම් අවධානයක් යොමු වීම. කොයි දේශපාලකයාත් ගේම්කාරයකු යයි කියන අදහස යම් පිරිසක් අතරෙ හෝ ව්‍යාප්ත වීම දේශපාලකයන්ට පොදුවේ නරක දෙයක්.
කූඹියෝ අවසන් කතාංග විකාශය වන දිනවලට සමගාමීව ම මහනුවර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තා ඔබට මතක ඇති. ඒ අතරවාරයේ සමාජ මාධ්‍ය වාරණයක් ද සිදු වුණා. නමුත් පසු කාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න කළා ඇත්තෙන්ම මේ කෝලාහල පසුපස හිටපු “ජෙහාන්” කවුද කියන එක. මේක ලාංකේය දේශපාලනයෙදි මීට කලින් එතරම් ම දකින්න නොලැබුණ ප්‍රවණතාවයක්.
සංහිඳියාව ඇති කිරීමට
කූඹියෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න එක් රූපවාහිනී සංවාදයකදී සඳහන් කරන්නේ රටේ විවිධ ජාතීන්ට අයත්, එහෙත් එකම පන්තියට අයත් පුද්ගලයින්, එකිනෙකා පිළිබඳ නුහුරුව හේතුවෙන් අනියත බියකින් පෙළෙන බවයි. යමෙකුට එරෙහිව අවි ගන්නා තැනැත්තා ද එසේ කරන්නේ මේ අනියත බිය හේතුවෙන් බවයි ඔහු පවසන්නේ. මෙම බිය පාවිච්චි කරන අයකුට එය තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගත හැකි බව ඔහු පෙන්වා දෙනවා.
ජාතීන් අතර සංහිඳියාව සාක්ශාත් කරගැනීමට නම් වෙන කවර දෙයකට ද පෙර ජනතාව අතර ඇති අනියත බිය තුරන් කළ යුතු බව ඔහුගේ මතය වනවා. ඔහු කියා සිටින්නේ එකිනෙක ජන කොටස් එකිනෙකා හඳුනා නොගන්නා තෙක් මෙම බිය තුරන් කිරීම අපහසු වන බවයි.
මේ අර්ථයෙන් ගත් කළ, සාමාන්‍ය පුරවැසියකුට කළ හැකි ප්‍රධාන ම දෙය නම්, රටෙහි පවතින විවිධ ගැටුම් පිළිබඳ ඇති සත්‍යය, එනම් දේශපාලනය, අවබෝධ කරගැනීම සහ එකිනෙකා හා අවබෝධය වර්ධනය කිරීමට එකිනෙකා හඳුනා ගැනීමට උපකාරී වන ක්‍රියාකාරකම්වල නිරත වීමයි. එකිනෙකා අවබෝධ කරගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් එකක් වන්නේ නැහැ. එහෙයින් විවෘත මනසකින් යුතුව එකිනෙකා පිළිබඳ ඉගෙනීම වැදගත් වනවා.
මෙසේ සාමාන්‍ය ජනතාව එකිනෙකා හඳුනා නොගන්නා තෙක් දේශපාලකයන්ට ජාතිකවාදය, දේශප්‍රේමය, ලිබරල්වාදය ආදී එකී මෙකී නොකී සිද්ධාන්තවලට මුවා වී රටේ ජනතාව රැවටීමටත්, තම බල ව්‍යාපෘති ක්‍රියාවට නැගීමටත් හැකි වනු ඇති අතර රටේ නියම සංහිඳියාවක් ඇති කිරීම ද අසීරු වනු ඇති.
Cover Image: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවක් (AP)