මාතර සාන්ත තෝමස් සහ සාන්ත සර්වේශස් විද්‍යාල අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟය මෙරට “big match” හෙවත් “මහා තරඟ” සංස්කෘතියේ පැරණිතම තරඟ අතුරින් එකක් වේ. වසර 118ක් පැරණි මේ මහා ක්‍රිකට් තරඟය හැඳින්වෙන්නේ “රුහුණු නිල් මහා සටන” ලෙස යි. කෙසේ නමුත් මේ මහා ක්‍රිකට් තරඟය “රුහුණු සංග්‍රාමය”, “නිල්වලා නදී මහා සටන” වැනි නාමයන් ගෙන් ද හැඳින්වීය. 1900 වසරේ දී ආරම්භ වූ රුහුණු නිල් මහා සටනෙන් බිහිව ජාතික තලය නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිපදෙනා නම් දැරූ ක්‍රීඩකයින් වූහ.
2000 වසරේ දී ශතවර්ෂය සම්පූර්ණ කරන ලද මේ මහා ක්‍රිකට් තරඟය, එතැන් පටන් දින තුනක තරඟයක් ලෙස වාර්ෂිකව පැවැත් වේ. දින තුනක මහා ක්‍රිකට් තරඟ මෙරට පැවැත්වෙන්නේ ද අතලොස්සක් පමණ යි. මොවුන් එකිනෙක ගැටුණු අවස්ථා 118 න් සාන්ත තෝමස් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ 32ක් සහ සාන්ත සර්වේශස් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ 27ක් වාර්තා කර තිබේ.
සාන්ත තෝමස් විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය 2007 වසරේ දී වාර්තා වූ අතර එය රුහුණු නිල් මහා සටනේ අවසන් වරට වාර්තා වූ පූර්ණ ජයග්‍රහණය යි. එවර සාන්ත තෝමස් පිල තාරක දුශාන්ත විසින් මෙහෙයවන ලදී. සාන්ත සර්වේශස් විද්‍යාලයේ අවසන් ජයග්‍රහණය වාර්තා වන්නේ වසර 1971 වසරේ දී යි. වසර 46 කට පෙර වාර්තා වූ එම ජයග්‍රහණය සඳහා සර්වේශස් පිල මෙහෙයවූයේ නිමල් මුණවීර යි.
රුහුණු නිල් මහා සටනේ ක්‍රීඩා කළ සුවිශේෂී ක්‍රීඩකයින්
සනත් ජයසූරිය
1988 වසරේ දී සාන්ත සර්වේශස් විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය රුහුණු නිල් මහා සටනේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතුරින් අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමක් ඇති ක්‍රීඩකයා ලෙස හැඳින්වීම වරදක් නොවේ. පාසල් ක්‍රිකට් දිවියට තිත තැබීමෙන් අනතුරුව 1988/89 සමයේ දී ශ්‍රී ලංකා B කණ්ඩායම නියෝජනය කරමින් පකිස්තානු B කණ්ඩායමට එරෙහිව පළමු පෙළ තරඟ දෙකක දී පිට පිට ද්විත්ව ශතක දෙකක් රැස්කිරීමට ඔහු සමත් විය. ඒ අනුව එකල පළමු පෙළ ඉනිමක දී ද්විත්ව ශතකයක් රැස්කළ ලාබාලතමයා ලෙසට ද ඔහු වාර්තාවක් පිහිටුවී ය. වේගයෙන් ලකුණු රැස්කිරීමට කැමැත්තක් දක්වන සනත් ඕවර 50 ආකෘතියේ බිහිවූ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ප්‍රමුඛස්ථානයක් ගනීයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද වසර 4ක් කටයුතු කළ සනත් 1996 ලෝක කුසලාන තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයා මෙන්ම 1997 විස්ඩන් ක්‍රිකට් සඟරාවට අනුව එක්දින ඕවර 50 ආකෘතිය වෙනස්ම මානයක් කරා ගෙන ගිය අපූරු ක්‍රීඩකයෙක් ද වෙයි. එයට ඔහු විසින් පිහිටුවන ලද ලෝක වාර්තාවන් වූ වේගවත්ම එක්දින අර්ධ ශතකය සහ වේගවත්ම ශතකය (මේ වාර්තා 2ම පසු කලක බිඳ වැටින) හේතු විය. එමෙන්ම 1997 වසරේ දී ටෙස්ට් තරඟ තුළ ඉනිමක වැඩිම ලකුණු වාර්තා කළ ශ්‍රී ලාංකිකයා ලෙසට ද ඔහු වාර්තාවක් පිහිටුවිය (එය පසු කලෙක මහේල ජයවර්ධන විසින් බිඳ දමන ලදී). ලෝක වාර්තා සහ ශ්‍රී ලංකා වාර්තා රැසක් බිහි කළ සනත් ජයසූරිය වැන්නෙකුට සමකරන්නට වර්තමානයේ කිසිදු ක්‍රීඩකයෙකු බිහිවනු ඇත්දැයි සැක සහිත ය.
ඉන්දික ද සේරම්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තවත් දක්ෂ පිතිකරුවෙකු වන ඉන්දික ද සේරම් මාතර සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙකු විය. 1993 වසරේ දී එවකට 19 හැවරිදි වියේ වූ සේරම් දේවානන්ද විද්‍යාලයට එරෙහිව ත්‍රිත්ව ශතකයක් පවා රැස්කිරීමට සමත් වෙමින් ඔහුගේ පිතිකරණ හැකියාව නිරූපණය කළේ ය. පළමු පෙළ මට්ටමේ දී ලකුණු දස දහස පසු කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් කිහිපය අතර සේරම් ද වේ. 2007 වසරේ දී සේරම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං සය සාමාජික තරඟාවලියේ ශුරතාවය දිනාගැනීමට සමත් විය.
රුචිර පල්ලියගුරුගේ
1986 සර්වේශස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ රුචිර පල්ලියගුරුගේ වර්තමානයේ අන්තර්ජාතික තරඟ පවා විනිශ්චය කරන විනිසුරුවරයෙකි. වසර ගණනාවක් පමණ දේශීය පළමු පෙළ පිටියේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස රුචිර පල්ලියගුරුගේ නම් දරා සිටියේ ය.
ප්‍රභාත් නිස්සංක
2003 ලෝක කුසලාන සංචිතයේ වේග පන්දු බල ඇණියේ පුරුකක් වූ ප්‍රභාත් නිස්සංක වසර කිහිපයක් සඳහා ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලබා දීමට සමත් විය. විටින් විට පැමිණි ආබාධ හේතුවෙන් ඉක්මනින්ම ක්‍රිකට් දිවියට සමුදුන් ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙකු බවට පත්වීය.
කසුන් රාජිත
මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රාජිත සාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් දායකත්වය ලබාදුන් ක්‍රීඩකයෙකි. ඉන්දියාවට එරෙහිව 2016 වසරේ දී 20යි 20 තරඟාවලියේ දී පන්දු යැවීමෙන් ඉහළ දායකත්වයක් ලබාදීමට ඔහුට හැකි විය.
මාර්තු මස 23, 24 සහ 25 වන දින තුනේ දී මෙවර රුහුණු නිල් මහා සටන පැවැත්විණ. මෙවර සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරමින් තරූශ කාවින්ද්‍ය නායකයා ලෙස කටයුතු කළ අතර එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස චරිත් පල්ලියගේ කටයුතු කළේය. සාන්ත සර්වේශස් විද්‍යාලීය නායකයා ලෙස තිලාන් ලොරෙන්සුහේවා ක්‍රියාකළ අතර, ඔවුන්ගේ පුහුණුකරු ලෙස රවින්ද්‍ර පල්ලියගුරුගේ කටයුතු කළේය.
Cover Image Courtesy: batsman.com
මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ MILO අනුග්‍රහයෙනි.