ඇෆ්ගනිස්ථාන්-බංග්ලාදේශ තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගය සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටියේ දී පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර යි. මෙවර තරගාවලිය තුළ පෙරළිකාර දස්කම් දක්වමින් ඉදිරියට පැමිණ සිටින බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා මෙම ජයග්‍රහණය ඉතාමත් වැදගත්. පසුගිය ලෝක කුසලාන තරගාවලිවලට වඩා මෙවර ඉතාමත් විශ්වාසයෙන් ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම දළ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරගැනීම සඳහා මෙම තරගය භාවිතා කිරීමට ඇති ඉඩ වැඩියි. මෙම තරගය එතරම් උණුසුම් එකක් නොවුණත් මෙම පෙර විමසුම ඉදිරිපත් කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන්.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඇෆ්ගනිස්ථාන්-බංග්ලාදේශ  ගැටුම්

මෙම කණ්ඩායම් දෙක ලෝක කුසලාන තරගයක දී හමුවුණේ 2015 තරගාවලියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම එක් අවස්ථාවක කඩුලු 4ක් දැවී ලකුණු 119ක් ලබා සිටියා. එහෙත් ශකීබ් සහ මුෂ්ෆිකර් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ 114ක සබඳතාවය නිසා නියමිත පන්දුවාර 50 අවසානයේ දී බංග්ලාදේශ ඉනිම නිමාවුණේ 267/10ක් ලෙසින්. ඉන්පසුව පිළිතුරු ඉනිම ඇරඹූ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 3කට දැවීගියේ බංගලාදේශ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාගේ මනරම් පන්දු යැවීම නිසා යි. නමුත් ඇෆ්ගනිස්ථාන් මැද පෙළ පිතිකරුවන් ඉතාමත් සීරුවෙන් පන්දුවට පහරදුන් නිසා ඔවුන්ගේ සියලුම පිතිකරුවන් දැවීයන විට ලකුණු පුවරුවේ ලකුණු 162ක් සටහන් වුණා.

බංග්ලාදේශය – 267/10(50)

ඇෆ්ගනිස්ථානය – 162/10 (42.5)

බංග්ලාදේශයට ලකුණු 105ක ජයක්

ඇෆ්ගනිස්ථාන්-බංග්ලාදේශ තරගයේ අවස්ථාවක් (gettyimages)

සදම්ප්ටන් නුවර රෝස් බෝල් පිටිය පිළිබඳව දත්තයන්

මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර පසුගිය වසර 10 ඇතුළත රෝස් බෝල් පිටියේ පවත්වා ඇති දිවා තරග ප්‍රමාණය 6ක්. එම තරගවල දී පිතිකරුවන්ට වඩාත් උචිත අයුරින් හැසිරී ඇති මෙම තණතීරුවේ මුලින්ම පන්දුවට පහර දී ඇති කණ්ඩායම්වල ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය අගය 325ක්. නමුත් මෙම ලෝක කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ පැවති තරගවල දී  මුලින්ම පන්දුවට පහරදුන් කණ්ඩායමට හොඳින් ලකුණු රැස් කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායම යම් පීඩනයකට හසුවීමට ඉඩ තිබෙනවා.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ අවසන් වරට පැවති දිවා තරග 8න් 6ක් ජයග්‍රහණය කර තිබෙන්නේ කාසියේ වාසිය පරාජය වුණු කණ්ඩායම යි. එම නිසා මෙම තරගයේ තීරණය සඳහා කාසියේ වාසියෙන් කෙරෙන බලපෑම අඩු යි.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

අවසන් වරට මෙම පිටියේ දී පැවති දිවා තරග 8 දී කාසියේ වාසිය දිනූ කණ්ඩායම අවස්ථා 4ක දී මුලින්ම පන්දුවට පහර දී ඇති අතර, ඉතිරි අවස්ථාවන් 4 දී ප්‍රතිවාදී කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර තිබෙනවා. නමුත් මෙම තරගාවලිය යටතේ රෝස් බෝල් පිටියේ දී  පැවති තරග වැඩි ගණනක දී ජයග්‍රහණය කර තිබෙන්නේ දෙවනි වර පන්දුවට පහරදුන් කණ්ඩායම යි. එම නිසාම කාසියේ වාසිය දිනාගන්නා නායකයා මුලින්ම පන්දුවට පහරදීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කිරීමට ඇති ඉඩ වැඩි යි.

රෝස් බෝල් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

ඇෆ්ගනිස්ථානු කණ්ඩායම මෙම පිටියේ දී කිසිදු එක්දින තරගයකට සහභාගි වී නැහැ. නමුත් බංග්ලාදේශ කණ්ඩායම 2004 වසරේ පැවති ශූරයන්ගේ කුසලාන තරගාවලිය යටතේ මෙම පිටියේ දී පැවති එක්දින තරගයකට සහභාගි වුණා. එහිදී මර්වින් ඩිලන් ලකුණු 29කට කඩුලු 5ක් දවාගනිමින් සිදුකළ මනරම් පන්දු යැවීම නිසා කොදෙව් කණ්ඩායම හමුවේ බංග්ලාදේශයට උරුම වුණේ ලකුණු 138ක පරාජයක්. ඩිලන් එලෙස ලබාගත් කඩුලු 5 රෝස් බෝල් පිටියේ පැවති එක්දින තරගයක දී වාර්තා වුණු හොඳම පන්දු යැවීම ලෙසින් තවමත් වාර්තා අතර පවතිනවා.

බටහිර ඉන්දීය කොදෙව් – 269/3 (50)

ක්‍රිස් ගේල් – 99 (121)

වේවල් හයින්ඩ්ස් – 82 (119)

ටපාෂ් බසියා -58/2 (10)

බංග්ලාදේශය – 131/10 (39.3)

කලිඩ් මහමුඩ් – 34 (51)*

මර්වින් ඩිලන් – 29/5 (10)

ක්‍රිස් ගේල් – 12/2 (4)

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 138ක ජයක්

තරගයේ වීරයා – ක්‍රිස් ගේල්

බංග්ලාදේශය රෝස් බෝල් පිටියේ දී තරග වදිමින් (gettyimages)

අද පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන්-බංග්ලාදේශ  තරගය පිළිබඳව

අවසන් වරට මෙම කණ්ඩායම් දෙක 2018 ආසියානු තරගාවලිය යටතේ පැවති එක්දින තරග 2ක ට සහභාගි වුණා. එහිදී පළමු තරගය ඇෆ්ගනිස්ථානය පහසුවෙන්ම ජයග්‍රහණය කරන විට දෙවන තරගය බංග්ලාදේශය ජයග්‍රහණය කළේ තියුණු සටනකින් පසුව යි. එදා ඇෆ්ගනිස්ථානු කණ්ඩායම බංග්ලාදේශයට ප්‍රබල සටනක් ලබාදුන්නත් මෙවර මෙම කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයේ ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශ කණ්ඩායම යි. එම නිසාම ඔවුන්ට මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඇත්තේ පැහැදිලි අවස්ථාවක්

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය-  Roar සිංහල

Related Articles

Exit mobile version