Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගයේ පෙර විමසුම

2019 ලෝක කුසලාන තරගාවලියේ 13 වන තරගය දිවා/ රාත්‍රී තරගයක් ලෙසින් ටෝන්ටන් පිටියේ දී පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර යි. තරගාවලියට පෙර ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් හැඳින්වුවත්, ඔවුන් මෙම තරගයට අවතීර්ණ වන්නේ මුල් තරග දෙක ම පරාජය වීමෙන් අනතුරුව යි. නමුත් නවසීලන්ත කණ්ඩායම ඔවුන් සහභාගි වුණු පළමු තරග දෙක ජයග්‍රහණය කරමින් ඉතාමත් හොඳ මානසිකත්වයකින් මෙම තරගයට අවතීර්ණ වනවා. එම නිසා මෙම තරගයේ වාසිය නවසීලන්තය දෙසට හැරී තිබුණත්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පෙරළියක් කිරිමට ඉඩ ඇති නිසා ම තරගයේ පෙර විමසුම ඔබ වෙත ගෙන එනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත-ඇෆ්ගනිස්ථාන් ගැටුම්

එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම එකිනෙකා හමුවී ඇත්තේ එක් අවස්ථාවක දී පමණයි. 2015 ලෝක කුසලාන තරගාවලිය යටතේ පැවති එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන්නේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම යි. එදා ට්‍රෙන්ට් බෝල්ට් සහ ඩැනියල් විටෝරිගේ මනරම් පන්දු යැවීම ඉදිරියේ අන්ත අසරණ වුණු ඇෆ්ගනිස්ථාන් කණ්ඩායමේ මුල් කඩුලු 6ම ලකුණු 59ක් තුළ දැවී ගියා. නමුත් ඉන් නොසැලුණු නජිබුල්ලා සඩ්‍රාන් සහ සමියුල්ලා ෂෙන්වාරි, 7 වැනි  කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 86 නිසා පන්දුවාර 47.4ක් තුළ සියලු දෙනා ම දැවී යන විට ඔවුන් ලකුණු 186ක් ලබා සිටියා.

ඉන්පසුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් බ්‍රැන්ඩන් මැකලම්, පන්දු 19කින් ලකුණු 42ක් සහ මාටින් ගප්ටිල් ලකුණු 57ක් ලබාගනිමින් ලබාදුන් සාර්ථක ආරම්භය නිසා ඔවුන් තරගය පහසුවෙන්ම ජයග්‍රහණය කළා.

ඇෆ්ගනිස්ථානය- 186/10 (47.4)

නජිබුල්ලා සඩ්‍රාන්- 56 (56)

සමියුල්ලා ෂෙන්වාරි- 54(110)

ඩැනියල් විටෝරි – 18/4 (10)

ට්‍රෙන්ට් බෝල්ට්- 34/3 (10)

නවසීලන්තය- 188/4 (36.1)

මාටින් ගප්ටිල්- 57 (76)

බ්‍රෙන්ඩන් මැකලම්- 42 (19)

මොහොමඩ් නබී- 39/1 (7.1)

නවසීලන්තයට කඩුලු 6ක ජයක්

තරගයේ වීරයා- ඩැනියල් විටෝරි

නවසීලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගයේ අවස්ථාවක් (gettyimages)

ටෝන්ටන්  පිටිය පිළිබඳව දත්තයන්

ටෝන්ටන් පිටියේ පවත්වා ඇත්තේ එක්දින තරග 3ක් පමණයි. අවසන් වරට මෙම පිටියේ  එක්දින තරගයක් පැවැත්වුණේ 1999 ලෝක කුසලාන තරගාවලිය යටතේ දී යි. එම නිසා මෙම පිටියේ පැවැත්වෙන මුල්ම දිවා/ රාත්‍රී එක්දින තරගය මෙය යි. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවූ මුල්ම සබඳතාවය ඩ්‍රාවිඩ් සහ ගංගුලී මෙම පිටියේ දී වාර්තා කර තිබීමත් මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතු යි.

කාසියේ වාසිය තරගයේ තීරණයට බලපෑම් කරනු ඇත් ද?

මෙම පිටියේ පවත්වා ඇති එක්දින තරග 3න් 2ක් ජයග්‍රහණය කර ඇත්තේ, කාසියේ වාසිය දිනාගත් කණ්ඩායම යි. බොහෝ විට පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වීමට ඉඩ ඇති ටෝන්ටන්හි දී කාසියේ වාසිය එතරම් තීරණාත්මක සාධකයක් නොවනු ඇත.

කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ තීරණය කුමක් වේවි ද?

ටෝන්ටන් පිටියේ පැවැත්වෙන මුල්ම දිවා/ රාත්‍රී තරගය මෙය යි. එම නිසා මෙම තරගයේ කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරාගැනීමට ඉඩ තිබෙනවා. නමුත් තණතීරුවේ හැසිරීම පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති නිසා මේ පිළිබඳව ස්ථීරව ම යමක් කිව නොහැකි යි.

ටෝන්ටන් පිටියේ දී කණ්ඩායම් දෙකේ දක්ෂතා

මෙම ක්‍රීඩා පිටියේ දී මෙම කණ්ඩායම් 2ක මීට පෙර කිසිදු එක්දින තරගයක් ක්‍රීඩා කර නැහැ. එම නිසා මෙම කණ්ඩායම් 2ක මෙම පිටියේ දී තරග කරන මුල්ම අවස්ථාව මෙය යි.

අද පැවැත්වෙන නවසීලන්ත-ඇෆ්ගනිස්ථාන් තරගය පිළිබඳව

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම එකිනෙකා හමුවී ඇත්තේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී පමණයි. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඉන් වසර 4කට පසුව මෙම කණ්ඩායම් 2ක එක්දින තරගයක දී එකිනෙකා හමුවීම සුවිශේෂී අවස්ථාවක්. මෙවර තරගාවලියට එක්ව සිටින ප්‍රබල කණ්ඩායමක් වන නවසීලන්ත කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙනවා. නමුත් පසුගිය සමයේ එක්දින පිටිය තුළ පෙරළිකාර දස්කම් දැක්වූ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම කිවියන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළහොත් මෙම තරගය උණුසුම් තරගයක් වනු ඇති බවට සැකයක් නැහැ.

2019 ICC ලෝක කුසලාන තරගාවලිය සජීවීව නරඹන්න ඩයලොග් TV හරහා Star Sports නාලිකාවන් සමග එක්වන්න.

කවරයේ ඡායාරූපය- Roar සිංහල

Related Articles