Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියෙන් මතු වූ ඇමරිකානු දිය කිඳුරා

2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී මයිකල් පෙල්ප්ස් ඇමරිකාව වෙනුවෙන් පිහිනුම් ක්‍රීඩාවෙන්  ලෝක වාර්තා 7ක් සහ ඔලිම්පික් වාර්තාවක් සමගින් රන් පදක්කම් 8ක් දිනාගැනීම ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වුණා. එහි දී පෙල්ප්ස් මීටර් 100 සහ 200 සමනල ආර, මීටර් 200 නිදහස් ආර, සහ මීටර් 200 හා 400 මෙඩ්ලි ඉසව්වල රන් පදක්කම් දිනාගත්තේ තනි ඉසව්වලින් ඔහු ලබාගත් රන් පදක්කම් ලේසිනුයි. ඊට අමතර ව නිදහස් ආර 4 x 100 සහ 4 x 200, මෙඩ්ලි 4 x 100 යන කණ්ඩායම් ඉසව්වලින් ද පෙල්ප්ස්ට රන් පදක්කම් හිමිවිය. ඉහත මා සඳහන් කළ ඉසව් අතුරින් මෙඩ්ලි ඉසව්ව පිළිබඳ ව වැඩි යමක් සඳහන් කළහොත් එහි දී සිදුවන්නේ තරගකරුවා සමනල ආර, පසුපස ආර, ළය ආර, සහ නිදහස් ආර යන ආර 4 යටතේ ම පිළිවෙළින් නියමිත දුරෙන් 1/4ක් බැඟින් පිහිනුමේ යෙදීම යි. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී මයිකල් පෙල්ප්ස් දැක්වූ සුවිශේෂී දස්කම් තුළින් ඔහු ඔලිම්පික් ඉතිහාසයේ වීරයෙකු වුව ද, ඔහුට පෙර 70 දශකයේ ඔලිම්පික් පිහිනුම් පිටියෙන් තවත් සුවිශේෂී ඇමරිකානු පිහිනුම් ශූරයෙකු බිහි වුණා. 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තා 7ක් සමගින් රන් පදක්කම් 7ක් දිනාගත් මාක් ස්පිට්ස් නම් එම ක්‍රීඩකයා සහ පෙල්ප්ස් අතර ඇති ප්‍රධානම සමානකමක් වූයේ දෙදෙනා ම එකම ඉසව් යටතේ තරග කිරීම යි. එසේනම්, 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියෙන් මතු වූ ඇමරිකානු දිය කිඳුරාගේ කතාව  මෙසේ ඔබ වෙත ගෙන එන්නම්.

1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ දී සුවිශේෂී දස්කම් දැක්වීමට ස්පිට්ස් අසමත් වුණා

18 වන වියේ දී මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වූ ස්පිට්ස්, එහි දී මීටර් 200 නිදහස් ආර සහාය සහ මීටර් 100 මෙඩ්ලි සහාය යන කණ්ඩායම්  ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්ත ද, මීටර් 100 සමනල ආර සහ මීටර් 100 නිදහස් ආර යන ඉසව්වලින් ඔහුට හිමිවූයේ පිළිවෙළින් රිදී සහ ලෝකඩ පදක්කම යි. එලෙස එතරම් සාර්ථක දස්කම් මුල්ම ඔලිම්පික් තරගාවලියේ දී දැක්වීමට මාක් ස්පිට්ස් නම් තරුණ ක්‍රීඩකයා අසමත් වුව ද, ඔහු 1972 මියුනිච් ඔලිම්පික් උළෙල ආරම්භ වන විට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු බවට පත් ව සිටියා.

1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියෙන් මතු වූ දිය කිඳුරා

1972 ඔලිම්පික් තරගාවලියේ දී මාක් ස්පිට්ස් මීටර් 100 සහ 200 නිදහස් ආර, මීටර් 100 සහ 200 සමනල ආර, මීටර් 100 සහ 200 නිදහස් ආර සහාය සහ මීටර් 100 මෙඩ්ලි සහාය යන ඉසව්වලට සහභාගි වුණා. එහි දී ඔලිම්පික් පිහිනුම් ඉතිහාසය අලුතින් ලියූ ස්පිට්ස් මෙම ඉසව් 7න් ම රන් පදක්කම් 7ක් දිනාගත්තේ ලෝක වාර්තා 7ක් ද සමගිනුයි.

ස්පිට්ස් ඔහු දිනාගත් රන් පදක්කම් කිහිපයක් සමග (gettyimages)

මීටර් 100 සමනල ආර ඉසව්ව

මෙම ඉසව්ව යටතේ 1968 ඔලිම්පික් තරගාවලියේ දී ද තරග කළ ස්පිට්ස්, එහි දී ඔහුගේ ම රටේ පිහිනුම් ක්‍රීඩක ඩග් රසල්ට පමණක් පසුපසින් සිටිමින් රිදී පදක්කම දිනාගත්තා. නමුත් එම වකවානුව වන විට ද මෙම ඉසව්වේ ලෝක වාර්තාව ස්පිට්ස් සතු ව තිබීම නිසා, එම රිදී පදක්කමින් ඔහු ව සෑහිමකට පත් වුණේ නැහැ. එම නිසා ම ඔහු මියුනිච් ඔලිම්පික් තරගාවලියට සහභාගි වූයේ ලෝක වාර්තාව හිමි ක්‍රීඩකයා ලෙසින් මෙහි රන් පදක්කම දිනාගැනීමට යි. ස්පිට්ස් එදා බලාපොරොත්තු වූ විලසින් ම ඔහු තත්පර 54.56ක් ලෙසින්  තබා තිබූ ලෝක වාර්තාව ඔහු ම නැවතත් අලුත් කරමින් තත්පර 54.27ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් සමගින් ම රන් පදක්කම දිනාගත්තා.

ස්පිට්ස් මීටර් 100 සමනල ආර රන් පදක්කම දිනාගත් මොහොත (gettyimages)

මීටර් 200 සමනල ආර ඉසව්ව

1967 වසරේ මුල්ම වරට මෙම ඉසව්වේ ලෝක වාර්තාව පිහිට වූ ස්පිට්ස්ට 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේ අවසන් තරගයේ දී හිමිවූයේ අවසන් ස්ථානය යි. එලෙසම ඔහුගේ ලෝක වාර්තාව ද ඉන් අනතුරුව ඇමරිකානු ක්‍රීඩක ගැරී හෝල් සහ බටහිර ජර්මානු ක්‍රීඩක හාන්ස් විසින් අලුත් කළ ද, 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය ආසන්න වන විට ලෝක වාර්තාව නැවතත්, ස්පිට්ස් සතු වීම නිසා ම මෙම ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීම ස්පිට්ස්ගේ අරමුණ වුණා. නමුත් අවසන් තරගය සඳහා ඔහුගේ ම රටේ ක්‍රීඩකයෙකු වූ ගැරී හෝල් සහභාගි වීම ස්පිට්ස්ට තරමක අභියෝගයක් වුණා. සැමදෙනා ම අනුමාන කළ ආකාරයට ම ස්පිට්ස් සහ හෝල් අතර අවසන් තරගයේ දී තියුණු සටනක් ඇති වුව ද, අවසානයේ දී ස්පිට්ස් විනාඩි 2.01.53 ලෙස පැවති ඔහුගේ ම ලෝක වාර්තාව විනාඩි 2.00.70 ලෙස අලුත් කරමින් නව ලෝක වාර්තාවක් සමග ම රන් පදක්කම දිනාගත්තා.

ස්පිට්ස් මීටර් 200 සමනල ආර ඉසව්වේ අවසන් තරගයේ දී (gettyimages)

මීටර් 100 නිදහස් ආර ඉසව්ව

මෙම ඉසව්ව සඳහා ස්පිට්ස් 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ දී සහභාගි වුව ද, එහි දී ස්පිට්ස්ට හිමිවූයේ තෙවන ස්ථානය යි. එදා එම ඉසව්ව ලෝක වාර්තාවක් ද සමගින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මයිකල් වෙන්ඩන් 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලියට ද සහභාගි වෙමින් ස්පිට්ස් සමග අවසන් තරගය සඳහා ද සුදුසුකම් ලැබුවා. නමුත් මෙවර අවසන් තරගයේ දී තත්පර 51.22කින් තරගය නිම කළ ස්පිට්ස්, ඔහු සතු ව තිබූ තත්පර 51.47ක ලෝක වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනාගත්තේ මයිකල් වෙන්ඩන් ව 5 වන ස්ථානයට ඇඳ දමමිනුයි.

මීටර් 200 නිදහස් ආර ඉසව්ව

1969 වසරේ දී මෙම ඉසව්වේ ලෝක වාර්තාව මුල්මවරට ස්පිට්ස් සතු වූ අතර, ඉන් අනතුරුව 1972 වසර දක්වා ම ඔහු කිහිපවරක් එය අලුත් කළා. එම නිසා ම මෙම ඉසව්ව එතරම් අපහසුවකින් තොරව ජයගත් ස්පිට්ස්, එහි දී විනාඩි 1.53.5 ලෙස පැවති ලෝක වාර්තාව විනාඩි 1.52.78 ලෙස අලුත් කළා.

මීටර් 200 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනාගත් ස්පිට්ස් (gettyimages)

කණ්ඩායම් ඉසව්වලින් ස්පිට්ස්ට තවත් රන් පදක්කම් 3ක්

1968 ඔලිම්පික් තරගාවලියේ දී ද ඇමරිකානුවන් විසින් රන් පදක්කම් දිනාගත් නිදහස් ආර මීටර් 100 සහ 200 සහාය ඉසව් මෙන්ම මීටර් 100 මෙඩ්ලි සහාය ඉසව්වලින් ද 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී මාක් ස්පිට්ස් ප්‍රමුඛ ඇමරිකානු පිල රන් පදක්කම් දිනාගත්තේ ලෝක වාර්තා 3ක් සමගිනුයි.

මීටර් 200 නිදහස් ආර සහාය රන් පදක්කම දිනූ ඇමරිකානු පිල (gettyimages)
මීටර් 100 මෙඩ්ලි සහාය ඉසව්ව ජයග්‍රහණය කළ ඇමරිකානු පිල (gettyimages)

ස්පිට්ස් ඔලිම්පික් ඉතිහාසයේ වීරයෙකු විය

2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී ඇමරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්, රන් පදක්කම් 8ක් ලබාගන්නා තුරු ම තනි ඔලිම්පික් තරගාවලිය ලබාගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණයේ වාර්තාවට උරුමකම් කීවේ 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් 7ක් දිනාගත් ඇමරිකානු පිහිනුම් ශූර මාක් ස්පිට්ස්. එම නිසා ම මාක් ස්පිට්ස් නාමය ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ බිහි වූ සුපිරිතම ක්‍රීඩකයන් කිහිපදෙනා අතරට එකතු වෙනවා.

ස්පිට්ස්ගේ රන් පදක්කම් 7 (dpchallenge.com)

කවරයේ ඡායාරූපය: මාක් ස්පිට්ස් 1972 ඔලිම්පික් උළෙලේ දී (gettyimages)

Related Articles