විවිධ වර්ගයේ මෝටර් රථ සම්බන්ධ වන ධාවන පථ තරගාවලි විශාල ප්‍රමාණයක් ලෝකයේ පැවැත්වෙනවා. හැබැයි ඒ අතරින්, ගොඩක් දෙනෙකුට එක පාරම මතක් වෙන තරගාවලිය තමයි ෆෝමියුලා වන් කියන්නේ. ඇත්තටම ලෝකයේ ජනප්‍රියම මෝටර් රථ ධාවන තරගාවලිය වන්නේ මේ ෆෝමියුලා වන් තමයි. මිලියන 550ක් වූ ක්‍රීඩාලෝලීන් ප්‍රමාණයක් සෑම වසරකම නරඹන මේ ක්‍රීඩාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආදායමක් වසරකට ලබනවා.
ෆෝමියුලා වන් ක්‍රීඩාලෝලියෙක් යම් තාක් දුරකට හෝ ෆොර්මියුලා මෝටර් රථයක සැකැස්ම, ක්‍රියාකාරිත්වය, සහ මූලික භෞතික විද්‍යා මුලධර්ම දැනගෙන සිටීම වැදගත්. වෙනත් ක්‍රීඩාවලට සාපේක්ෂව විශාල වශයෙන් තාක්ෂණය භාවිතා කෙරෙන ක්‍රීඩාවක් විදිහට ෆෝමියුලා වන් හඳුන්වා දෙන්න පුළුවන්. අලුතෙන්ම නරඹන්නෙක් විදිහට එකතු වන කෙනෙකුට රේස් තරගයක් බැලීමෙන් ඇතිවන පොදු ආශ්වාදය හැරෙන්නට කිසිම ආකර්ෂණිය බවක් මෙය නැරඹීමෙන් ඇති නොවෙන්න පුළුවන්. එය වළක්වා ගන්න නම් ෆෝමියුලා වන් ගැන මේ කරුණු දැනගැනීම අත්‍යවශ්‍ය යි.
ෆෝමියුලා වන් හැඳින්වීම සහ ඉතිහාසය
ෆෝමියුලා වන්, එහෙමත් නැත්තම් Formula 1, කෙටියෙන් F1 කියන්නේ තනි ආසනයක්, විවෘත රෝද සහ විවෘත නියමු කුටියක් එකක් සහිත මෝටර් රථ ධාවන තරගාවලි අතර ඉහළම තලය යි. F1 ට අමතරව F2 සහ F3 ඊට පහතින් පවතිනවා. F2 සහ F3 සඳහා භාවිතා කෙරෙන මෝටර් රථ සහ නීති රෙගුලාසි වෙනස් වනවා වගේම F3 සඳහා අවුරුදු 25ක වයස් සීමාවක් ද පවතිනවා. F1 , F2, සහ F3 සඳහා වන නියාමනයන් සිදු කරන්නේ ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය යි (FIA – Fédération Internationale de l’Automobile). මෙය 1904 පිහිටවූ ක්‍රීඩා සංවිධානයක් වන අතර රටවල් 146ක ජාත්‍යන්තර මෝටර් රථ හා ක්‍රීඩා සංවිධාන 245ක් මෙමඟින් එක් කරනු ලබනවා.
ෆෝමියුලා 1 ධාවන තරග 1920-30 ගණන්වල දී වෙනත් ඒ හා සමාන ධාවන තරගවලින් යුරෝපයේ දී ආරම්භ වුණා. 1946 දී FIA විසින් මෝටර් රථ ධාවනයට අදාළ නීති රීති ප්‍රමිතිගත කිරීම ෆෝමියුලා වන් ධාවන තරගාවලියේ පදනම වුණා. ඒ අනුව සමාරම්භක ෆෝමියුලා වන් වර්ල්ඩ් ඩ්‍රයිවර්ස් ශූරතාවය 1950 දී පැවැත්වූ අතර, එය පළමු ෆෝමියුලා වන් ලෝක ශූරතා තරගාවලිය යි.
ෆෝමියුලා වන් ලෝක ශූරතා තරගාවලිය
ෆෝමියුලා වන් ලෝක ශූරතා තරගාවලිය සෑම වසරකම පැවැත්වෙනවා. මාර්තු මාසයේ දී ආරම්භ වන මෙය දෙසැම්බර් මාසය දක්වා මාස 10ක් පමණ කාලයක් ක්‍රියාත්මක වනවා. මෙම තරගාවලියට අවම වශයෙන් ධාවන තරග 20ක් අඩංගු යි. 1950 වසරේ දී පැවැත්වුණේ ධාවන තරග 7ක් පමණයි. නමුත් එම අගය ක්‍රමයෙන් වැඩි වී, 2012 සිට 2020 දක්වා ධාවන තරග 20 බැගින් පැවැත්වුණා. 2015 දී පැවැත්වුණේ තරග 19ක් පමණ යි. නමුත් මේ වසරේ දී ධාවන තරග 23ක් පැවැත්වීමට FIA සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.
ෆෝමියුලා වන් තරගාවලියක එක් ධාවන තරගයක් හැඳින්වෙන්නේ ග්‍රෑන්ඩ් ප්‍රික්ස් හෝ ග්‍රෑන්ඩ් ප්‍රී එකක් නමින්. මෙය කෙටියෙන් GP ලෙස හඳුන්වනවා. යම් රටක ධාවන පථයක පැවැත්වෙන ග්‍රෑන්ඩ් ප්‍රී එකක් හඳුන්වන්නේ අදාළ රටේ නමින්. උදාහරණයක් ලෙස පසුගිය දා අවසන් වූ බාර්සිලෝනාහි පැවැත්වූ ධාවන තරගය හඳුන්වන්නේ “ස්පාඤ්ඤ ග්‍රෑන්ඩ් ප්‍රී තරගය” ලෙස යි. එක් රටක F1 ධාවන පථ කිහිපයක් තිබී ඒවා කීපයක්ම යම් වසරක ලෝක ශුරතා තරගාවලිය පැවැත්වීමට යෝජනා වුවහොත්, එවැනි අවස්ථාවල එම ධාවන පථයේ නමින් අදාළ ග්‍රෑන්ඩ් ප්‍රී එක හඳුන්වනු ලබනවා. උදාහරණයක් ලෙස 2020 දී ඉතාලියේ ග්‍රෑන්ඩ් ප්‍රී 3ක් පැවැත්වුණා. ඉන් මොන්සා ධාවන පථයේ තරගය පමණක් ඉතාලි ග්‍රෑන්ඩ් ප්‍රී තරඟය ලෙස හැඳින්වුණා. ඉතිරි ග්‍රෑන්ඩ් ප්‍රී දෙක හැඳින්වුණේ අදාළ ධාවන පථයේ සහ එය පිහිටි නගරයේ නම්වලින්.
ෆෝමියුලා වන් ග්‍රෑන්ඩ් ප්‍රී තරගයක අවම දුර ප්‍රමාණය කිලෝමීටර 300ක් විය යුතු යි. මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක සඳහා මෙම අගය විශේෂ එකක්. එහි පමණක් දුර ප්‍රමාණය කිලෝමීටර 260 යි. ඇතැම් ධාවන පථ කිලෝමීටර 3.5ක් පමණ දිගු වෙද්දී ඇතැම් ඒවා කිලෝමීටර 6ක් පමණ දිගු වෙනවා. ඒ අනුව යි කිලෝමීටර 300ක දුර ප්‍රමාණය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ධාවන පථයේ වට ගණන තීරණය වන්නේ.
ෆෝමියුලා වන් ලෝක ශූරතා තරගාවලිය සඳහා 2015 සිට කණ්ඩායම් 10ක් සහභාගී වනවා. එක් කණ්ඩායමකට තරග සඳහා ඉදිරිපත් කළ හැකි මෝටර් රථ සංඛ්‍යාව දෙකක්. කෙසේ වෙතත් FIA නීති රීතිවලට අනුව ලෝක ශුරතාව සඳහා මෝටර් රථ 26ක් යොදාගැනීමට අවසර තිබෙනවා. මෙසේ සහභාගී වන කණ්ඩායම් සහ රියදුරන් ශූරතා දෙකකට තරග වදිනවා. ඉන් එකක් වන්නේ රියදුරු ලෝක ශූරතාවය යි. එය හිමි වන්නේ තරගාවලියේ වැඩිම ලකුණු ලබාගන්නා රියදුරාහට යි. ඔහු ෆෝමියුලා වන් ලෝක ශූරයා බවට පත්වනවා. අනෙක් ශූරතාව වන්නේ මෝටර් රථය ඉදිකරන්නා හට වෙන් වන ශූරතාව යි. මෙහිදී කණ්ඩායම් දක්ෂතාවය සලකා බැලෙන අතර වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායමට ශූරතාවය හිමි වනවා. එනම් මෙම ශූරතාවය ලැබීමට කණ්ඩායමක රියදුරන් දෙදෙනාම ඉහළ දක්ෂතා පෙන්විය යුතු යි.
ග්‍රෑන්ඩ් ප්‍රී සති අන්තය
ෆෝමියුලා වන් ලෝක ශුරතා තරගාවලියක සියලු ධාවන තරග, එසේත් නැතිනම් ග්‍රෑන්ඩ් ප්‍රී පැවැත්වෙන්නේ සති අන්තයේ යි. සිකුරාදා දිනයේ (Free Practice – FP) පුහුණුවීම් ද සෙනසුරාදා දිනයේ සුදුසුකම් ලැබීමේ තරගය ද (Qualification – Qualie) ඉරිදා දිනයේ ප්‍රධාන ධාවන තරගය (Main Race) වශයෙන්. නිදහස් පුහුණුවීම් සඳහා කාල වෙලාවන් 3ක් වෙන්වනවා. ඒවා FP1, FP2, සහ FP3 වශයෙන් හැඳින්වෙනවා. සිකුරාදා දිනයේ FP1 සහ FP2 පැවැත්වෙන අතර FP3 පැවැත්වෙන්නේ සෙනසුරාදා දිනයේ දී යි. FP1, FP2, සහ FP3 සඳහා වෙන්වන කාලය මිනිත්තු 60 බැගින් වනවා. මෙම කාල සීමා තුළ කණ්ඩායම් තම මෝටර් රථවල අවශ්‍ය වෙනස්කම් සිදුකර අවශ්‍ය අත්හදා බැලීම් කරගත යුතු වනවා.
එයට හේතු වන්නේ ධාවන පථයේ ඝර්ෂණ ස්වභාවය, ධාවන පථයේ මතුපිට උෂ්ණත්වය, ධාවන පථය හරහා සුළං හැමීම, වම් සහ දකුණු අතට ඇති වංගු ගණන්, සෙමින් ගත යුතු වංගු ගණන, සහ වේගයෙන් ගත යුතු වංගු ගණන ආදි බොහෝ දෑ ධාවන පථයෙන් පථයට වෙනස් වන බැවින්. එම නිසා මෙම වෙනස්කම් සිදු කරගැනීම මගින් හොඳම සැකැස්මක් සහිතව සුදුසුකම් ලැබීමේ තරගයට සහ ඉරිදා පැවැත්වෙන අවසාන තරගයට ඉදිරිපත් විය හැකියි. තරගයේ වැඩි ලකුණු ප්‍රමාණයකට යෑම හෝ ඉහළම දක්ෂතාවයක් පෙන්වීම සඳහා මෝටර් රථයේ හොඳම සැකැස්මක් සකසා ගැනීම ඉතා වැදගත් කරුණක්. FP3 අවසන්වීමෙන් පසු කිසිදු මෝටර් රථයකට කිසිදු වැඩි දියුණු කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කිරීම තහනම්.
සුදුසුකම් ලැබීමේ තරග වටය පැවැත්වෙන්නේ FP3වලින් අනතුරුව යි. මේ සඳහාත් මිනිත්තු 60ක පමණ කාලයක් ලබා දෙනවා. සුදුසුකම් ලැබීමේ තරග වටය ප්‍රධාන කොටස් 3කින් යුක්ත යි. ඒවා Q1, Q2 සහ Q3 ලෙස නම් කෙරෙනවා. Q1 සඳහා මෝටර් රථ 20ම සහභාගී වන අතර තනි තනිව හොඳම කාලයන් වාර්තා කිරීමට අවස්ථාව ලැබෙනවා. එහිදී තෝරාගැනෙන වේගවත්ම මෝටර් රථ 15 Q2 සඳහා සුදුසුකම් ලබනවා. Q1 සඳහා වෙන්වන කාලය මිනිත්තු 20ක් වන අතර එය අවසන් වීමෙන් පසු මිනිත්තු 7ක විවේකයක් ලැබෙනවා. Q2හි දී ද සිදුවන්නේ එම ක්‍රියාවලියම යි. එහිදී තෝරාගැනෙන තරගකරුවන් ගණන 10ක්. එම 10 දෙනා Q3හි දී නැවත සිය හොඳම කාලය දැක්විය යුතු වනවා. Q2 සඳහා මිනිත්තු 15ක කාලයක් සහ එය අවසන් වීමෙන් පසු මිනිත්තු 8ක විවේකයක් ලැබෙනවා.
අවසානයේ දී වේගවත්ම කාලයන් වාර්තා කළ පිළිවෙල අනුව යි ඉරිදා පැවැත්වෙන ප්‍රධාන ධාවන තරගය සඳහා ආරම්භක ස්ථාන තීරණය කරනු ලබන්නේ. Qualie එකේ දී හොඳම කාලය වාර්තා කරන රියදුරා ප්‍රධාන ධාවන තරගය ආරම්භ කරන්නේ ඉදිරියෙන්ම සිට යි. මෙම ස්ථානය Pole Position ලෙස හඳුන්වනවා. මෝටර් රථ 20 ස්ථානගත කෙරෙන්නේ පේළි 10කට යි. ඒ අනුව එක් පෙළක මෝටර් රථ දෙකක් ස්ථානගත කෙරෙනවා. නමුත් වඩා හොඳ කාලයක් වාර්තා කළ රියදුරු තම පෙළේ අනෙකාට වඩා තරමක් ඉදිරියෙනුයි ස්ථාන ගතවන්නේ.
ජයග්‍රහණය සහ ලකුණු ලැබීම
ප්‍රධාන ධාවන තරගය ජයග්‍රහණය කරන මුල් ස්ථාන තුනට කුසලාන ලබාදීම තරගය අවසානයේ දී සිදුවනවා. එම නිසා මුල් ස්ථාන තුන හඳුන්වන්නේ වේදිකා අවසානයක් (Podium Finish) විදිහට යි. ඊට අමතරව දිනයේ හොඳම දක්ෂතා පෙන්වූ කණ්ඩායමේ ධාවන තරග ඉංජිනේරුවාට ද කුසලානයක් ලබාදීම සෑම ග්‍රෑන්ඩ් ප්‍රී එකක් අවසානයේම සිදුවනවා.
ලකුණු ලබා දීම සිදුවන්නේ ප්‍රථම ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා යි. එහිදී ප්‍රථම ස්ථානය ලබාගත් තරගකරුවාට ලකුණු 25කුත් දෙවන ස්ථානයට ලකුණු 18කුත් තෙවන ස්ථානයට ලකුණු 15කුත් හිමිවනවා. ඉන්පසු ලකුණු 12, 10, 8, 6, 4, 2, 1 ආදී වශයෙන් පිළිවෙලින් සිව්වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා හිමිවනවා. සෙසු තරගකරුවන් 10ට ලකුණු හිමි නොවුණත් තමන්ට හැකි ඉහළම ස්ථානය ලබාගැනීම ඔවුන්ට ඉතා වැදගත්. ඒ වඩා හොඳ අනුග්‍රාහක දායකත්වයක් ලබාගැනීමත්, තම වෘත්තීය දිවිය වැඩිදියුණු කරගැනීම හරහා ඉහළ කණ්ඩායම්වලට සුදුසුකම් ලබාගැනීමත් වැනි හේතු නිසාවෙන්. මිට අමතරව අදාළ තරගය අතරතුර වේගවත්ම ධාවන වටය (Fastest Lap) සිදුකළ තරගකරුවාට අමතර ලකුණක් ද එකතුවනවා.
වසරකට අදාළ සියලු ග්‍රෑන්ඩ් ප්‍රී පවත්වා අවසන් වීමෙන් පසු ලකුණු එකතුව සලකා බැලීමෙන් ලෝක ශුරතාවය හිමි කරගන්නේ කවුරුන්දැ යි තෝරා ගන්නවා.
ෆෝමියුලා වන් පිටුපස කතාව
ෆෝමියුලා වන් තරගයක සජීවීව සිදුවන අප දකින ක්‍රියාවලියට පිටුපසින් අති විශාල ක්‍රියාවලියක් සිදුවනවා. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වනවා. උදාහරණයක් වශයෙන් Mercedes AMG කණ්ඩායම සතුව සාමාජිකයින් 1400ක් පමණ සිටිනවා. ඔවුන්ගේ රියදුරන් යනු ඉන් දෙදෙනෙකු පමණ යි. ඔවුන්ට අමතරව වායු ගතිකය පිළිබඳ විශේෂඥයින්, රබර් ඇතුළු ද්‍රව්‍ය සම්බන්ධ ඉංජිනේරුවන්, යාන්ත්‍රික ඉංජිනේරුවන්, භෞතික විද්‍යාඥයින්, මානසික වෛද්‍යවරුන්, ශාරීරික යෝග්‍යතා උපදේශකයින්, වෛද්‍යවරුන්, විවිධ අංශවල කළමනාකරුවන්, මාධ්‍යවේදීන්, දත්ත විශ්ලේෂකයින්, පරිගණක ඉංජිනේරුවන්, කාර්මිකයින් ඇතුළු මෙකී නොකී විශාල පිරිසක් එක් කණ්ඩායමක් සතුවනවා. ඔවුන් සියල්ලගේම දායකත්වය එක ලෙස වසරක් පුරාවට ලැබීමෙන් පමණයි ලෝක ශුරතාවයක් ලබාගැනීම පහසු වන්නේ.
සෑම වසරක්ම අවසානයේ ඊළඟ වසර සඳහා තම මෝටර් රථයේ වැඩි දියුණු කිරීම් සියලුම කණ්ඩායම් විසින් සිදු කරනවා. ඇත්තෙන්ම අලුත්ම මෝටර් රථයක් නිෂ්පාදනයවීම යි මෙහිදී සිදුවන්නේ. ඒ සඳහා ඔවුන් වසර ගණනක සිට කළ පර්යේෂණයන් යොදාගන්නවා. ඒ අනුව නිපදවෙන මෝටර් රථයත් තරගාවලිය පැවැත්වෙන අතරතුර දී තව දුරටත් වැඩි දියුණු කරනවා. උදාහරණයක් ලෙස වඩා කාර්යක්ෂම එන්ජිමක්, ගියර් පද්ධතියක් මෝටර් රථයට ඇතුළු කිරීම තරගාවලියක් අතරතුර දී අනිවාර්යයෙන්ම සිදුවනවා.
ෆෝමියුලා වන් තරගවල භාවිතා කෙරෙන යෙදුම්
F1 සඳහාම ආවේණික වචනවල තේරුම් දැනගැනීම ෆෝමියුලා වන් තරග නැරඹීමේ දී අත්‍යවශ්‍ය යි. පහතින් දැක්වෙන්නේ එවැනි මූලික වචන කිහිපයක අදහස යි.
Backmarker – ධාවන තරගයක දී ඉදිරියෙන්ම ගමන් කරන තරගකරුවන්, වේගය අඩු පසු පසින් ධාවනය කෙරෙන තරගකරුවන් වටයකින් ඉස්සර කිරීම සිදුවනවා. එවැනි පසු පසින් ධාවන වෙන තරගකරුවන් හඳුන්වන්නේ මේ නමින්. එවැනි අවස්ථාවක බැක්මාකර් තරගකරු වේගයෙන් පැමිණෙන කාරයට ඉඩ දිය යුතු වනවා.
Delta Time – තරගකරුවෙකුගේ කලින් වටය සහ මේ වටය අතර වෙනස ඩෙල්ටා ටයිම් ලෙස හඳුන්වනවා. එසේම තමාට ඉදිරියෙන් හෝ පසුපසින් ගමන් කරන තරගකරුවා සමග ඇති සජීවී කාල වෙනස හඳුන්වන්නේ ද මේ නමින්.
Formation Lap හෝ Warm up Lap – ප්‍රධාන ධාවන තරගයට පෙර සියලු තරගකරුවන් එක් වටයක් ගමන් කිරීමෙන් පසුව යි තමන්ට හිමි ස්ථානවල ස්ථාන ගත වන්නේ. මෙම වටය හඳුන්වන්නේ ෆෝමේෂන් වටය ලෙස යි.
Jump Start – තරග ආරම්භ සංඥාවට පෙර යම් රථයක් ඉදිරියට ඇදුණේ නම් එවැන්නක් ජම්ප් ස්ටාර්ට් එකක් ලෙස හඳුන්වනවා. එවැනි අවස්තාවක අදාළ තරගකරුට දඬුවම් කාලයක් එකතු කිරීම සිදුවනවා.
Parc Ferme – පුහුණුවීම් සහ තරග නිමාවෙන් පසු සියලු මෝටර් රථ නැවැත්විය යුතු ස්ථානය මෙනමින් හඳුන්වනවා. මෙම ස්ථානයේ තම මෝටර් රථය නැවැත්වීමෙන් පසු කිසිදු රියදුරෙකුට හෝ කණ්ඩායම් සාමාජිකයෙකුට එම ස්ථානයට ඇතුළු විය නොහැකියි. ඇතුළු විය හැකි ස්ටුවර්ඩ්ස්ලාට පමණ යි.
Pit – ධාවන පථයෙන් ඇතුළු විය හැකි සහ නැවත ධාවන පථයට එක් විය හැකි නමුත් ධාවන පථයෙන් වෙන්ව පිහිටා ඇති ප්‍රදේශයක්. මෙම ස්ථානයේදී රථයේ ටයර මාරු කිරීම, ඉන්ධන පිරවීම, සහ වෙනත් අලුත්වැඩියා කටයුතු සිදුවනවා.
Pit Wall – පිට් එක සහ ධාවන පථය වෙන්වන සීමාව මෙනමින් හඳුන්වනවා. මෙය ෆෝමියුලා වන් කණ්ඩායම් සඳහා වෙන් කර තිබෙනවා. එක් එක් කණ්ඩායම් තම ගරාජය ඉදිරියේ පිට් වෝල් එකේ සිට තම මෝටර් රථය සජීවීව නිරීක්ෂණය කරනවා. ඒ සඳහා ධාවන ඉංජිනේරුවන් සහ කළමණාකරුවන සහභාගී වනවා.
Pit Board – පිට් වෝල් එකේ සිට තරගකරුවන්ට පෙනෙන සේ අල්ලන පුවරුවක්. මෙහි දැනට තරගකරුවා සිටින ස්ථානය, ඉතිරිව ඇති වට ගණන, සහ ඩෙල්ටා කාලය පෙන්වනවා.
Stewards – ස්ටුවර්ඩ්ස් ලා යනු ධාවන තරගය පිළිබඳව අවසන් තීරණ ගන්නා ඉහළ නිලධාරීන් පිරිස යි. ඔවුන් තම පරිගණක තිරවලින් සියලු තරගකරුවන් නිරීක්ෂණය කරනවා. එසේම ඔවුන්ට මෝටර් රථ තුළ ඇති බොහොමයක් සංවේදක (sensors) නිරීක්ෂණය කළ හැකියි (එක් මෝටර් රථයක සංවේදක 300ක් පමණ අඩංගු යි).
ෆෝමියුලා වන් මෝටර් රථයක සැකැස්ම, තරගාවලියක නීති රීති, රියදුරන්ගේ කැපවීම, තරගයක දී භාවිතා වන උපායමාර්ග ආදිය ගැන සවිස්තරාත්මකව ඉදිරි ලිපිවලින් කරුණු ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වනවා.