Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ත්‍රිත්ව ගෝල ලාභියෝ

ත්‍රිත්ව ගෝලයක් ලබාගැනීම යනුවෙන් හැඳින්වෙන්නේ යම් ක්‍රීඩකයෙකු පාපන්දු තරගයක දී ගෝල 3ක් වාර්තා කිරීම යි. බොහෝ විට කණ්ඩායමක සිටින ඉදිරිපෙළ සහ මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයන් පාපන්දු තරගයක් තුළ දී මෙම සිහිනය සැබෑ කරගැනීමට මාන බලනවා. එලෙස ක්‍රීඩකයන් ලබාගන්නා ත්‍රිත්ව ගෝලවල වටිනාකම එය වාර්තා කරන තරගාවලිය අනුව වෙනස් වනවා. එම නිසාම යම් ක්‍රීඩකයෙකු පාපන්දු ලෝක කුසලාන තරගයක දී ත්‍රිත්ව ගෝලයක් වාර්තා කළොත්, එය ඔහුගේ පාපන්දු දිවියේ අමරණීය සිහිවටනයක් බවට පත් වනවා. එසේ නම් මෙම ලිපිය ලියැවෙන්නේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දී ත්‍රිත්ව ගෝල 2ක බැගින් ලබාගත් ක්‍රීඩකයන් සිව්දෙනා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

සැන්ඩර් කොක්සිස් (හංගේරියාව)

1954 ලෝක කුසලාන තරගාවලිය තුළ සුපිරිම දස්කම් පෙන්වූ ක්‍රීඩකයන් අතුරින් හංගේරියාවේ සැන්ඩර් කොක්සිස්ට සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. එවර තරගාවලියේ මූලික වටයේ තරගවල දී බටහිර ජර්මනිය සහ දකුණු කොරියාව හමුවේ ත්‍රිත්ව ගෝල ලබාගත් මෙම සුපිරි තරුව, සමස්ත තරගාවලිය පුරාවටම ගෝල 11ක් වාර්තා කළා.

දකුණු කොරියාවට එරෙහිව ලැබූ ත්‍රිත්ව ගෝලය 

1954 පාපන්දු ලෝක තරගාවලිය නියෝජනය කළ ආධුනික කණ්ඩායමක් වුණු දකුණු කොරියාව ප්‍රබල හංගේරියානු කණ්ඩායම ඉදිරියේ ගෝල 9-0ක දරුණු පරාජයක් ලැබුවා. එහි දී හංගේරියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා කළ කොක්සිස් 24, 36, සහ 50 වැනි විනාඩිවල දී  ගෝල වාර්තා කළා. 

බටහිර ජර්මනියට එරෙහිව කොක්සිස්ගෙන් ගෝල 4ක් 

1954 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක දී ප්‍රබල බටහිර ජර්මානු කණ්ඩායම හංගේරියාව හමුවේ ගෝල 8-3ක දරුණු පරාජයක් ලැබුවා. එම තරගයේ 3, 21, 69, සහ 78 විනාඩිවල දී ගෝල වාර්තා කළ කොක්සිස්, හංගේරියාව ලබාගත් ගෝල 8න් 4කම හිමිකරුවා වුණා. එලෙස මූලික වටයේ දී හංගේරියාව අතින් අන්ත පරාජයක් උරුම කර ගත් බටහිර ජර්මනිය අවසන් තරගයේ දී හංගේරියාව පරදවා 3-2ක ජයක් ලබන විට කොක්සිස්ට කිසිදු ගෝලයක් ලබාගැනීමට හැකි වුණේ නැහැ.

තරගාවලිය තුළ කොක්සිස් තරග වදිමින් (gettyimages)

ජස්ට් ෆොන්ටේන් (ප්‍රංශය) 

1958 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වුණු ජස්ට් ෆොන්ටේන් තරග 6ක දී ගෝල 13ක් වාර්තා කළා. එහි දී පැරගුවේ සහ බටහිර ජර්මනිය යන කණ්ඩායම් හමුවේ ත්‍රිත්ව ගෝල ලබාගත්   ෆොන්ටේන්, තරගාවලි ඉතිහාසය තුළ එවැනි දස්කමක් දැක්වූ දෙවන ක්‍රීඩකයා බවට පත් වුණා.

පැරගුවේ පිලට එරෙහිව ලැබූ ත්‍රිත්ව ගෝලය 

මෙම තරගයේ දී ප්‍රංශය 1-0 ලෙස පිටුපසින් සිටි අවස්ථාවේ ක්‍රියාත්මක වුණු ෆොන්ටේන්, 24 සහ 30 වැනි  විනාඩිවල දී ලබාගත් ගෝල නිසා ප්‍රංශ කණ්ඩායම 2-1 ලෙසින් තරගයේ පෙරමුණ ගත්තා. ඉන් අනතුරුව නැවතත් 67 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වුණු ෆොන්ටේන්, යළි ගෝලයක් ලබාගත්තේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක ප්‍රංශය වෙනුවෙන් ත්‍රිත්ව ගෝලයක් ලබාගත් මුල්ම ක්‍රීඩකයා බවට පත් වෙමින්. 

බටහිර ජර්මනියට එරෙහිව ෆොන්ටේන්ගෙන් ගෝල 4ක් 

තරගාවලියේ තෙවන ස්ථානය තේරීම සඳහා පැවති තරගයේ දී ෆොන්ටේන් නම් සුපිරි තරුව බටහිර ජර්මනියට එරෙහිව 16, 36, 78 සහ 89 යන විනාඩිවල දී ගෝල ලබාගැනීමට සමත් වුණා. එලෙස ෆොන්ටේන් ලබාගත් ත්‍රිත්ව ගෝලය සටහන් වුණේ තරගාවලිය තුළ ඔහු වාර්තා කළ දෙවන ත්‍රිත්ව ගෝලය ලෙස යි.

ෆොන්ටේන් බටහිර ජර්මනියට එරෙහිව ක්‍රීඩා කරමින් (gettyimages)

ගර්ඩ් මුලර් (බටහිර ජර්මනිය) 

1970 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ගෝල මැෂිම බවට පත් වුණු  බටහිර ජර්මානු ක්‍රීඩක ගර්ඩ් මුලර්, තරගාවලිය තුළ ගෝල 10ක් ලබාගත්තා. එහි දී මුලර්, බල්ගේරියාව සහ පේරු කණ්ඩායම් හමුවේ වාර්තා කළ ත්‍රිත්ව ගෝල කැපී පෙනුණා.

බල්ගේරියාවට එරෙහිව ලබාගත් ත්‍රිත්ව ගෝලය  

මූලික වටයේ තරගයක දී බල්ගේරියානු කණ්ඩායම හමුවේ 27, 52 සහ 88 වන විනාඩිවල දී ගෝල වාර්තා කළ මුලර් වසර 16කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගයක දී බටහිර ජර්මනිය වෙනුවෙන් ත්‍රිත්ව ගෝලයක් වාර්තා කිරීම සුවිශේෂී කරුණක් වුණා.

පේරුවලට එරෙහිව ලබාගත් ත්‍රිත්ව ගෝලය 

තරගාවලියේ 4 වැනි කාණ්ඩයේ තියුණුම තරගය පැවැත්වුණේ බටහිර ජර්මනිය සහ පේරු යන කණ්ඩායම් අතර යි. එම මොහොත වන විට කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටි නිසා මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අවස්ථාව හිමි වුණා. එහි දී බටහිර ජර්මනිය වෙනුවෙන් ක්‍රියාත්මක වුණු මුලර්, තරගයේ 19, 26 සහ 39 යන විනාඩිවල දී ක්‍රියාත්මක වෙමින් ත්‍රිත්ව ගෝලයක් ලබාගත්තේ බටහිර ජර්මනියට 3-1ක ජයක් හිමිකර ගැනීමට සහාය වෙමින්.

මුලර් තරගාවලිය තුළ දස්කම් දක්වමින් (gettyimages)

ගේබ්‍රියල් බැටිස්ටුටා (ආජන්ටිනාව)

ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ ත්‍රිත්ව ගෝල 2ක් ලබාගත් ක්‍රීඩකයන් පිළිබඳව කතා කරන විට ආජන්ටිනාවේ ගේබ්‍රියල් බැටිස්ටුටාට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. ඒ, ඔහු පාපන්දු ලෝක කුසලාන තරගාවලි 2ක් තුළ එම දස්කම් දැක්වූ නිසා යි. එහි දී 1994 තරගාවලියේ ග්‍රීසියට එරෙහිව සිය මුල්ම ත්‍රිත්ව ගෝලය වාර්තා කළ බැටිස්ටුටා, සිය දෙවන ත්‍රිත්ව ගෝලය වාර්තා කළේ 1998 තරගාවලියේ දී ජැමයිකාවට එරෙහිව යි.

1994 දී ග්‍රීසියට එරෙහිව වාර්තා කළ ත්‍රිත්ව ගෝලය 

ග්‍රීසියට එරෙහිව පැවති මෙම තරගය, බැටිස්ටුටා ආජන්ටිනාව වෙනුවෙන් ක්‍රීඩා කළ මුල්ම පාපන්දු ලෝක කුසලාන තරගය වුණා. එහි දී 2, 44 සහ 90 යන විනාඩිවල දී ගෝල ලබාගත් බැටිස්ටුටා, ඔහුගේ ලෝක කුසලාන දිවියේ මුල්ම ත්‍රිත්ව ගෝලය දඬුවම් පහරකින් වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

1998 දී ජැමයිකාවට එරෙහිව වාර්තා කළ ත්‍රිත්ව ගෝලය 

මෙය පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වාර්තා වුණු දෙවන වේගවත්ම ත්‍රිත්ව ගෝලය බවට පත් වුණා. එහි දී බැටිස්ටුටා ගෝල වාර්තා කළේ 73, 78 සහ 83 වන විනාඩිවලදී යි. එදා බැටිස්ටුටාට බිඳදැමීමට නොහැකි වුණු වේගවත්ම ත්‍රිත්ව ගෝල වාර්තාවේ හිමිකරු වන්නේ ලාසියෝ කිස් නම් හංගේරියානු ක්‍රීඩකයා යි. ඔහු, එම වාර්තාව එල් සැල්වදෝර් කණ්ඩායමට එරෙහිව වාර්තා කළේ 1982 ලෝක කුසලාන තරගාවලියේ දී යි. එදා 56 වැනි විනාඩියේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙසින් පිටියට පිවිසි කිස්  69, 72 සහ 76 යන විනාඩිවල දී ගෝල ලබාගත්තේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ත්‍රිත්ව ගෝලය වාර්තා කරමින්.

බැටිස්ටුටා 1998 තරගාවලියේ දී ජැමයිකාවට එරෙහිව ක්‍රීඩා කරමින් (gettyimages)

කවරයේ ඡායාරූපය- බැටිස්ටුටා 1994 තරගාවලියේ දී (gettyimages)

Related Articles