Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාර්යබහුල ටෙස්ට් සතියක නිමාවත් සමඟ LPL කරළියට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය පසුගිය සිකුරාදා නිමාවට පත්වුණා. ශ්‍රී ලංකාව එම තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීම හේතුවෙන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වුණා.

වසර කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළ මිකී ආතර්ට හොඳ සමුදීමක් ලබාදීමට අපේ ක්‍රීඩකයන්ට ඒ ජයග්‍රහණයත් සමඟ හැකිවුණා. එලෙස ජයග්‍රාහී ව අවසන් වුණු ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු විශේෂ පුවත් පිළිබඳව තොරතුරුයි මේ. 

ශ්‍රී ලංකාව හමුවේ කොදෙව්වන් දණ නමයි 

තරග 2කින් සමන්විත වුණු ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා  නිමාව දුටුවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 2-0ක පහසු ජයග්‍රහණයක් හිමි කර දෙමින්. එම තරගාවලිය යටතේ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ධනංජය ද සිල්වා සහ පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන්ගේ දක්ෂ පිතිහරඹයත්, රමේෂ් මෙන්ඩිස් සහ ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු යැවීමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164ක පහසු ජයක් හිමි වුණා. එහි දී රමේෂ් මෙන්ඩිස් මුල් ම වරට ටෙස්ට් තරගයක දී කඩුලු 10 ඉක්මවා ලබා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරන රමේෂ් මෙන්ඩිස් – gettyimages.com

 

ඒ අයුරින් ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා. මෙය ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ රැඳී සිටි අවසන් ටෙස්ට් තරගය බවට පත්වුණා. ඒ අනුව  ඔහුට හොඳ සමු දීමක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ලැබීම විශේෂත්වයක් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් ව ගිය මිකී එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත පුහුණුකරුවා වශයෙන් ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිත යි.

පහතින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ කෙටි ලකුණු පුවරුව යි.

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකා පළමු ඉනිම- 204/10, (නිස්සංක- 73, දිමුත්- 42, පර්මෝල්- 35/5, වැරිකන්- 50/4)

කොදෙව් පළමු ඉනිම- 253/10, (බ්‍රැත්වේට්- 72, බ්ලැක්වුඩ්- 44, රමේෂ්- 70/6, ජයවික්‍රම- 59/2)

ශ්‍රී ලංකා දෙවන ඉනිම- 345/9, (ධනංජය- 155*, නිස්සංක- 66, පෙර්මෝල්- 106/3, චේස්- 82/2)

කොදෙව් දෙවන ඉනිම- 132/10, (බොනර්- 44, බ්ලැක්වුඩ්- 36, ඇඹුල්දෙණිය- 35/5, රමේෂ්- 66/5)

ශ්‍රී ලංකාවට ලකුණු 164ක ජයක් 

තරගයේ වීරයා- ධනංජය ද සිල්වා 

තරගාවලියේ වීරයා- රමේෂ් මෙන්ඩිස් 

ධනංජය සිය ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – gettyimages.com

 

වනිඳුගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස්ට අබුඩාබි T10 ශූරතාව 

අබුඩාබි T10 තරගාවලිය ෂෙයික් සෙයිඩ් ක්‍රීඩාංගණයේ දී පසුගිය දිනවල දී ක්‍රියාත්මක වුණා. ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් එම තරගාවලියේ අවසන් තරගය සඳහා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ දිල්ලි බුල්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තා.

තීරණාත්මක අවසන් තරගයේ දී කාසියේ වාසිය පරාජය වී මුලින් ම පන්දුවට පහර දුන් ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ දී කිසිවකු නොදැවී ලකුණු 159ක් ලබා ගත්තා. එහි දී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩ්‍රේ රසල් හයේ පහර 7ක් සමඟින් පන්දු 32ක දී ලකුණු 90ක් වාර්තා කළා. ටොම් කැඩ්මෝර් හයේ පහර 5ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

රසල්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – espncricinfo.com

 

ඉන් අනතුරුව ලකුණු 160ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දිල්ලි බුල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 103ක් පමණ යි. එම ඉනිමේ දී චන්ද්‍රපෝල් හේම්රාජ් ලකුණු 42ක් ලබා ගත්ත ද සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවකාශයක් ලැබුණේ නැහැ.

ඩෙකෑන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් හපන්කම් පෑ වනිඳු හසරංග, ටයිමාල් මිල්ස් සහ ඔඩේන් තෝමස් කඩුලු 2 බැගින් දවා ගත්තා. සමස්ත තරගාවලිය පුරාවට කඩුලු 21ක් බිඳ දමමින් පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ වනිඳු හසරංගට තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණා. 

වනිඳු ජයග්‍රාහී කුසලානය සමඟ – papare.com

 

නවසීලන්ත පන්දු යවන්නකුගෙන් විරල දස්කමක් 

ඉන්දු-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයමුම්බායි නුවර වන්කඩේ පිටියේ දී පසුගිය සිකුරාදා  ආරම්භ වුණා. එම තරගයේ දී නවසීලන්ත දඟ පන්දු යවන්නකු වන අජාස් පටෙල් විරළ දස්කමක් දැක්වීමට සමත් වුණා. ඒ ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 10 ම දවා ගැනීම යි. එහි දී පටෙල්ගේ පන්දු යැවීම 119/10 ලෙසින් සටහන් වුණා. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නකු ටෙස්ට් ඉනිමක කඩුලු 10ක් ලබා ගත් තෙවන අවස්ථාව යි. ඊට පෙර එංගලන්තයේ ජිම් ලේකර් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ එම දස්කම දක්වා තිබුණා.

පහතින් දක්වා තිබෙන්නේ ඒ පිළිබඳව යි. 

1) ජිම් ලේකර් (එංගලන්තය)- 53/10- ඕස්ට්‍රේලියාවට එරෙහිව 1956 වසරේ දී 

2) අනිල් කුම්බ්ලේ (ඉන්දියාව)- 74/10- පාකිස්ථානයට එරෙහිව 1999 වසරේ දී 

3) අජාස් පටෙල් (නවසීලන්තය)- 119/10- ඉන්දියාවට එරෙහිව 2021 වසරේ දී 

පටෙල් කඩුලු 10ක් දවාගැනීමෙන් පසුව – espncricinfo.com

 

ගෙවුණු සතියේ නිමා වුණු තවත් ටෙස්ට් තරග 2ක් 

මේ දිනවල පැවැත්වෙන ඉන්දු-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය නොවැම්බර් 29 වැනිදා කාන්පූර් නුවර ග්‍රීන් පාක් පිටියේ දී නිමාව දුටුවා. වරින් වර දෙපසට දෝලනය වුණු එම තරගය අවසානයේ දී ජය පරාජයෙන් තොර ව අවසන් වුණා. එහි දී නවසීලන්ත කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීම සඳහා තරගයේ අවසන් භාගයේ දී රචින් රවීන්ද්‍ර ප්‍රබල සටනක නිරත වීම කාගේත් අවධානයට ලක් වුණා.

එය ඔහුගේ මංගල ටෙස්ට් තරගය බවට පත්වීම ද සුවිශේෂී සිදුවීමක් වුණා. ඒ වගේම ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි කර ගත් ෂ්‍රෙයාස් අයියර් 105 සහ 65 ලෙසින් ලකුණු ලබා ගෙන තරගයේ වීරයා බවට පත්වීම අමතක නොවන සිදුවීමක් වුණා. 

මංගල ටෙස්ට් ඉනිමේ දී අයියර් ශතකය ලබාගත් මොහොත – deccanherald.com

 

මෙය නවසීලන්ත කණ්ඩායමක් 2010 වසරෙන් පසු ව ඉන්දීය බිමේ දී ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොර ව නිමා කළ එකම අවස්ථාව ලෙසින් සටහන් වුණා. මෙම තරගයට පෙර ගෙවුණු වසර 11ක කාලයේ දී නවසීලන්තය ඉන්දු බිමේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 6 ම පරාජයට පත් ව තිබුණා. 

කෙටි ලකුණු පුවරුව 

ඉන්දීය පළමු ඉනිම- 345/10, (අයියර්- 105, ගිල්- 52, ජඩේජා- 50, සවුති- 69/5, ජේමිසන්- 91/3)

නවසීලන්ත පළමු ඉනිම- 296/10, (ලේතම්- 95, යංග්- 89, අක්සාර්- 62/5, අශ්වින්- 82/3)

ඉන්දීය දෙවන ඉනිම- 234/7, (අයියර්- 65, සහා- 61*, ජේමිසන්- 40/3, සවුති- 75/3)

නවසීලන්ත දෙවන ඉනිම- 165/9, (ලේතම්- 52, සමර්විල්- 36, ජඩේජා- 40/4, අශ්වින්- 35/3)

තරගය ජය පැරදුමෙන් තොර ව අවසන් 

තරගයේ වීරයා- ෂ්‍රෙයාස් අයියර්    

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුණු අවස්ථාව – www.sportskeeda.com 

 

ඉන්දු-නවසීලන්ත ටෙස්ට් තරගයේ ඉරණම ඒ අයුරින් විසඳෙද්දී පසුගිය අඟහරුවාදා තවත් ටෙස්ට් තරගයක නිමාව සටහන් වුණා. ඒ චිතගොං හි සහූර් අහමඩ් චෞද්‍රි පිටියේ දී පැවැත්වුණු පාකිස්තාන-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය යි. එම තරගයේ දී පාකිස්තාන ආරම්භක පිතිකරු අබිඩ් අලි පිත්තෙන් පෑ සුපිරි හපන්කම් නිසා පාකිස්තානයට කඩුලු 8ක පහසු ජයක් හිමිවුණා.

කෙටි ලකුණු පුවරුව 

බංග්ලාදේශ පළමු ඉනිම- 330/10, (ඩාස්- 114, රහීම්- 91, හසන්- 51/5, අෂ්‍රෆ්- 54/2)

පාකිස්තාන පළමු ඉනිම- 286/10, (අබිඩ්- 133, ෂෆීක්- 52, ටයිජුල්- 116/7, එබඩොට්- 47/2)

බංග්ලාදේශ දෙවන ඉනිම- 157/10, (ඩාස්- 59, යසීර්- 36, අෆ්රිඩී- 32/5, සජීඩ්- 33/3)

පාකිස්තාන දෙවන ඉනිම- 203/2, (අබිඩ්- 91, ෂෆීක්- 73, මෙහිදි- 59/1, ටයිජුල්- 89/1)

පාකිස්තානයට කඩුලු 8ක ජයක් 

තරගයේ වීරයා- අබිඩ් අලී 

තරගය පුරාවට පිත්තෙන් දස්කම් පෑ අබිඩ් අලි – gettyimages.com

 

කාල්සන් මැග්නස් 5 වන වරටත් ලෝක චෙස් ශූරයා වන ලකුණු 

2021 ලෝක චෙස් ශූරතාවලිය මේ දිනවල ඩුබායි හීදී ක්‍රියාත්මක යි. එහි දී වත්මන් ලෝක ශූර නෝර්වේ රාජ්‍යයේ කාල්සන් මැග්නස් සමඟින් රුසියානු ක්‍රීඩක ඉයන් නෙපොම්නියාචි තරග වදිනවා.

තරග 14කින් සමන්විත තරගාවලියේ තරග 8ක් මේ වන විට පවත්වා අවසන්. එම තරගවලින් හයක් ජය පැරදුමෙන්  තොර ව අවසන් වෙද්දී ඉතිරි තරග 2ක ජයග්‍රහණය කිරීමට කාල්සන්ට හැකියාව ලැබුණා. කාල්සන් මේ වන විට ලකුණු 5-3ක් ලෙස ඉදිරියෙන් සිටිනවා. 

කාල්සන් මැග්නස්  – gettyimages.com

 

එහි දී මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර පැවති 6 වන තරගය ලෝක චෙස් ශූරතා ඉතිහාසයේ පැවති දීර්ඝත ම තරගය ලෙසින් සැලකෙනවා. පැය 7 විනාඩි 45ක් පුරාවට පැවති එම තරගය ඇදීම් වාර 136ක් අවසානයේ දී ජයගැනීමට කාල්සන්ට හැකියාව ලැබුණා.

රුසියානු ක්‍රීඩක නෙපොම්නියාචිට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීම සඳහා ඉතිරි තරග හයෙන් ලකුණු 4ක් ලබා ගත යුතුයි. එය ඉතාමත් අපහසු ඉලක්කයක් බව චෙස් ක්‍රීඩා විචාරකයන් පවසනවා. එනිසා කාල්සන් මැග්නස් පිට පිටම 5 වන වතාවටත් ලෝක චෙස් ශූරයා වන ලකුණු පෙනෙන්නට තිබෙනවා.  

LPL තරගාවලිය ඇරඹෙයි

කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පසුගිය ඉරිදා ආරම්භ වුණා. එහි දී ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් තරග වැදුණා. එම තරගයෙන් පසුගිය වර ශූරතාව දිනාගත් ජැෆ්නා කණ්ඩායමට ලකුණු 54ක පරාජයක් හිමි වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම තරගයේ දී තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වූ සමිට් පටෙල්ට තරගයේ වීරයා සම්මානය හිමිවුණා.

ගෝල් ග්ලැඩියේටර්ස්- 164/7 (20), (රාජපක්ෂ- 56, පටෙල්- 42, සීල්ස්- 23/3, හසරංග- 30/2)

ජැෆ්නා කිංග්ස්- 110/10 (18.4), (රියාස්- 27, පටෙල්- 21/3, හෆීස්- 11/2, පුලින- 13/2)

ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 54ක ජයක් 

තරගයේ වීරයා- සමිට් පටෙල් 

සමිට් පටෙල් පන්දු යවමින්  -gettyimages.com

 

කවරයේ ඡායාරූපය- මිකී ආතර්ට ජයග්‍රාහීව සමුදෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ  - gettyimages.com 

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

fide.com 

Related Articles