2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉතිහාසයේ පළමු වතාවට අරාබි රාජ්‍යකට හිමි වුණා. දේශගුණික දුෂ්කරතා, දැඩි ආගමික මතවාද සහ නීතිවලින් සමන්විත අරාබි රටකට මෙවැනි ලෝක මට්ටමේ ක්‍රීඩා උත්සවයක සංවිධානය හිමි වීම විමතියට තුඩු දෙන කාරණයක්. විශේෂයෙන් ම කටාර් රාජ්‍යයට පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය හිමි වූ බවට නිවේදනය වෙද්දී එය සමස්ත ලෝකය ම මවිත කිරීමට සමත් වුණා.
2002 වර්ෂයේ දී ජපානය සහ දකුණු කොරියාව සත්කාරකත්වය දැරීමෙන් අනතුරු ව ආසියානු රටක් පාපන්දු ලෝක කුසලානයක සත්කාරකත්වය දරන්නේ ද ප්‍රථම වතාවට යි. ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ ඉදි කිරීමේ දී ඇතිවුණ අනතුරු හේතුවෙන් මියගිය කම්කරුවන් දහස් ගණනක ගේ පුවත් අනාවරණය වීමත් සමඟින් ලෝකයේ බොහෝ රටවල ප්‍රේක්ෂකයන් පාපන්දු ලෝක කුසලානය වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීමට පටන් ගත්තා. කෙසේ වුවත් එයට වෙනස් මතයක් දැරූ ක්‍රීඩකයන් ප්‍රකාශ කළේ මෙය වසර හතරකට වතාවක් තමන්ට ලැබෙන අවස්ථාවක් වන බැවින් එයට දේශපාලනය ඈඳා ගැනීමෙන් වලකින ලෙසට යි.
කටාර් රාජ්‍යය ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීමට අල්ලස් ලබා දුන් ආකාරය පසුව ලෝකයේ ම ප්‍රසිද්ධියට පත් වුණා. මෙම සිදුවීමට කෙළින් ම හවුල් වූ එවකට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති වූ සෙප් බ්ලැටර් සහ උප සභාපති ධූරයක් දැරූ මිෂෙල් ප්ලැටිනිට එම දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වීමට ද සිදු වුණා. ඒ වන විට සත්කාරකත්වය කටාර් රාජ්‍යයෙන් වෙනත් රටකට හැරවීමට තරම් කාලය ප්‍රමාණවත් වූයේ නෑ. මේ නිසා තරගාවලියේ සත්කාරකත්වය සුපුරුදු පරිදි කටාර් රාජ්‍යයට හිමි වුණා. මෙම සිදුවීම නිසා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ද විශාල කළු පැල්ලමක් එකතු වුණා.
කටාරය, අමෙරිකාව, දකුණු කොරියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව
2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීම සඳහා කටාරයට අමතර ව මේ නම් සඳහන් රටවල් 4 තරග වැදුණා. ශෙයික් මොහොමඩ් බින් හමාඩ් බින් කලීෆා අල්-තානි සහ ඔහුගේ පුත්‍රයා ලෝක කුසලාන සත්කාරකත්වය තමන්ගේ රට වෙනුවෙන් ලබා ගැනීමට සටන් කළා. ඉහත සඳහන් රටවල් සියල්ලට ම වඩා ජනගහනයෙන් මෙන් ම භූමි ප්‍රමාණයෙන් ද කටාර් රාජ්‍යය කුඩා එකක් වුණා.
ඉහත කරුණුවලට අමතරව ඒ වන විටත් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ කටාරයට විශාල ඉතිහාසයක් හිමි ව තිබුණේ නෑ. ඔවුන්ගේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක් සඳහා කිසිම දිනෙක සුදුසුකම් ලබා නොතිබූ අතර ම පාපන්දු ක්‍රීඩාවෙන් සැලකිය යුතු මට්ටමේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ද ඔවුන් අපොහොසත් ව සිටියා. කටාරය සමඟින් තරග වැදුණු අනෙක් සියලු ම රටවල් මීට ප්‍රථම ලෝක කුසලාන තරගාවලි එකක් හෝ නියෝජනය කර තිබුණා. උෂ්ණාධික දේශගුණය, ආගමික නීති වැනි කරුණු ද සලකා බැලූ විට කටාරය යනු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගනු ඇතැයි සිහිනෙකින්වත් සිතන්නට නොහැකි රාජ්‍යයක් ව තිබුණා.
රාත්‍රී භෝජන සංග්‍රහය
මිෂෙල් ප්ලැටිනි යනු පිට පිට ම තෙවරක් බැලොන් ඩොර් සම්මානයෙන් පවා පිදුම් ලැබූ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු ප්‍රංශ පාපන්දුව වෙනුවෙන් නොමැකෙන සේවාවක් ඉටු කළා. 2010 වර්ෂය වන විට ප්ලැටිනි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උප සභාපති ධූරය දරමින් සිටියා. ඔහුත් සමඟින් සම්මේලනයේ ඉහළ ම පුටුවල සිටි 24 දෙනෙක් පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය තේරීම වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට සූදානමින් පසු වුණා. මෙම තීරණාත්මක ඡන්දයට සති කිහිපයකට ප්‍රථමයෙන් එවකට ප්‍රංශ ජනපති වූ නිකොලස් සාර්කෝසි, මිෂෙල් ප්ලැටිනිට රාත්‍රී භෝජනයකට ඇරියුම් කළා.
ජනපතිගේ ඇරයුම පිළිගත් ප්ලැටිනි එම සංග්‍රහයට පැමිණි විට දුටුවේ කටාර් රාජ්‍යයේ නියෝජිතයන් පිරිසක් ද එහි සිටින බව යි. එදින ඔවුන් රහස් සාකච්ඡා වටයක් පැවැත්වූ අතර තමන්ට ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීමට උදව් වන මෙන් ප්ලැටිනි ගෙන් කටාර් නියෝජිතයන් ඉල්ලීමක් කළා. මෙම සාකච්ඡා වටය පවතින විටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ඡන්ද අතුරින් වැඩි ප්‍රමාණයක් පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයට ලැබීමට නියමිත වුණා. කටාර් නියෝජිතයන් ගේ ඉල්ලීම වූයේ එම ඡන්ද තමන් වෙත හරවා දෙන ලෙස යි.
ඒ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම් කිරීමට ඔවුන් සූදානමින් පසු වුණා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මෙන් ම පෞද්ගලික මට්ටමෙන් ද ඩොලර් මිලියන ගණනින් වියදම් කිරීමට කටාර් රාජ්‍යය දෙවරක් සිතුවේ නෑ. ලැබෙන වාසි මෙන් ම තමන්ගේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම ද ඉවත දැමීමට නොහැකි නිසා මිෂෙල් ප්ලැටිනි ඡන්ද වෙනස් කිරීමේ කාර්යය සිදු කිරීමට එකඟ වුණා. ඒ අනුව දෙපාර්ශවය අතර ඩොලර් මිලියන ගණනක එකඟතාවක් ගොඩනැගුණා.
රහස් ඡන්දය ආරම්භ වෙයි
ඡන්ද වට තුනක් අවසන් වෙද්දී ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ ජපානය අඩු ඡන්ද ලැබීම නිසා තරගයෙන් ඉවත් වුණා. අවසන් වටයට ඉතිරි ව සිටියේ අමරිකා එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යය යි. ඒ වන විටත් පැවති තත්ත්වය අනුව අමෙරිකාව ඡන්ද විමසීමෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගනු ඇති බව බොහෝ දෙනෙක් විශ්වාස කළා.
ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණයේ මුල් පුටුවල සාමාජිකයන් වූ රෙනාල්ඩ් ටෙමාරි සහ අමෝස් අඩාමු එහිදී ඡන්දය දීමෙන් වැලකී සිටියා. මේ නිසා අවසන් වටයේ දී ඡන්දය ප්‍රකාශ කළේ 22 දෙනෙක් පමණ යි. අවසන් ප්‍රතිඵලයට අනුව කටාරයට ඡන්ද 14 ක් සහ අමරිකා එක්සත් ජනපදය ට ඡන්ද 8 ක් හිමි ව තිබුණා. ඒ අනුව වැඩි ඡන්ද 6 කින් 2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය නිල වශයෙන් කටාර් රාජ්‍යයට හිමි වුණා.
මෙය අමෙරිකා පාර්ශවයට විශ්වාස කිරීමට පවා අපහසු සිදුවීමක් බවට පත් වුණා. අමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් පැමිණි හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මෙම පරාජයෙන් දැඩි ලෙස කෝපාවිෂ්ට වී සිටියා. ඔවුන්ට ද මෙම ඡන්ද ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව ලැබුණේ නෑ. පිළිගැනීමට අපහසු වුවත් කටාරය 2022 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය හිමිකර ගත්තා.
ඇතෙක් බරට තෑගි!
මිෂෙල් ප්ලැටිනි සහ ප්‍රංශය ලබා දුන් උපකාර කටාර් නියෝජිතයන් අතිශය උද්දාමයට පත් කිරීමට සමත් වුණා. ඔවුන් පොරොන්දු වූ පරිදි ම මේ පිරිසට අවශ්‍ය ත්‍යාග ලබා දුන්නා. ප්ලැටිනිට ලැබුණ මුදල් සම්බන්ධයෙන් නිල වශයෙන් අනාවරණය වන්නේ නෑ. පසුකාලීනව එම සමයේ දී ඔහුගේ බැංකු ගිණුම්වල හදිසියේ ඩොලර් මිලියන 6.7 ක පමණ මුදලක් හුවමාරු වී ඇති බවට අනාවරණය වුණා. මෙහිදී එක් ඡන්දයක් හැරවීම වෙනුවෙන් ඩොලර් මිලියනක පමණ මුදලක් වෙන ම ගෙවා ඇති බවට ද සැක පළ කෙරෙනවා.
කටාරයේ මැදිහත් වීම මත ප්‍රංශයට වාසි සහගත ගුවන් යානා ගනුදෙනුවක් ද සිදු වුණා. මේ කාලයේ දී ප්‍රංශයේ පාපන්දු ලීගය එතරම් හොඳ මට්ටමක පැවතියේ නෑ. ජනපති නිකොලස් සාර්කෝසි ගේ ප්‍රියත ම පාපන්දු ක්‍රීඩා සමාජය වන පැරිස් සෙන්ට් ජර්මෙයින් හෙවත් PSG ක්‍රීඩා සමාජය කටාරයේ ධන කුවේරයෙක් වන නසාර් අල් කලීෆි මිල දී ගැනීමට කටයුතු කළා. ඔහු එම ක්‍රීඩා සමාජය මේ වන විට ලොව ධනවත් ම ක්‍රීඩා සමාජයක් බවට පත්කොට තිබෙනවා. බ්‍රසීලයේ නෙයිමාර්, ආජන්ටිනාවේ ලියොනල් මෙසී සහ ප්‍රංශයේ කිලියන් ම්බප්පේ යන ක්‍රීඩකයන් තිදෙනා ම ඉහත PSG කණ්ඩායමේ සාමාජිකයන් වනවා.
එම ක්‍රීඩකයන් තිදෙනාට පමණක් වසරකට යුරෝ මිලියන 250 ඉක්මවූ වැටුපක් ගෙවීමට තරම් PSG ක්‍රීඩා සමාජය ධනවත් වී තිබෙනවා. ඔවුන් සතුව තවත් ලෝක මට්ටමේ ක්‍රීඩකයන් රැසක් ම සිටිනවා. ප්‍රංශ පාපන්දු ලීගය විකාශය සඳහා ඉහත නසාර් අල් කලීෆි ගේ ම මූලිකත්වය සහිතව බෙයින් ස්පෝර්ට්ස් (Bein Sports) නමින් නව චැනලයක් පවා ආරම්භ වුණා. එම චැනලය මඟින් ප්‍රංශයේ ක්‍රියාත්මක වන සියලු ම දේශීය මට්ටමේ පාපන්දු තරග ආවරණය කෙරෙනවා.
රජයට, ප්‍රංශ පාපන්දුවට මෙන් ම මිෂෙල් ප්ලැටිනි ගේ පුත්‍රයාට කටාර් රාජ්‍යයේ සුවපහසු රැකියාවක් ලබා දීමට ද එරට නියෝජිතයන් කෘතඥ වුණා. නිකොලස් සාර්කෝසිට පෞද්ගලික ව ලැබුණ දෑ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වන්නේ නෑ. එකී සියලු ම ත්‍යාග සමඟින් ප්‍රංශ – කටාර් රාජ්‍යතාන්ත්‍රික බැඳීම තවදුරටත් ශක්තිමත් වුණා.
සියල්ල හෙළි වෙයි
2015 වර්ෂයේ දී ලොව පුරා කුණාටුවක් මෙන් හමා ගිය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවලට කටාර් ලෝක කුසලානය ද අයත් වුණා. එම ලෝක කුසලාන සත්කාරකත්වය ලබා දීම මෙන් ම තවත් මූල්‍ය වංචා ගණනාවක් ම අනාවරණය වීම වැලැක්වීමට හැකි වුණේ නෑ. නමුත් ඒ වන විටත් ලෝක කුසලාන සත්කාරකත්වය වෙනත් රටකට පැවරීමට කාලයක් ඉතිරි වූයේ ද නෑ.
2010 වර්ෂයේ දී කටාර් රාජ්‍යය ලෝක කුසලාන සත්කාරකත්වය ලබා ගැනීමට කළ ඡන්ද විමසීමේ දී රහස් ඡන්දයට සහභාගී වූ ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණයේ ඉහළ පෙළේ සාමාජිකයන් 24 දෙනාගෙන් පහත සඳහන් අයට චෝදනා එල්ල වුණා. මෙවර පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට දින කිහිපයකට උඩදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සෙප් බ්ලැටර් ප්‍රකාශ කළේ 2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට ලැබීම අත්වැරැද්දකින් සිදුවූවක් බව යි.
1. සෙප් බ්ලැටර් (සභාපති) – 2015 වර්ෂයේ දී එල්ල වූ මූල්‍ය වංචා චෝදනා නිසා ඔහුට වසර 8 ක් යනතුරු පාපන්දු ක්‍රීඩාවට කුමන හෝ අයුරකින් සම්බන්ධ වීම තහනම් වුණා.
2. හූලියෝ ග්‍රාන්ඩෝනා (ජ්‍යෙෂ්ඨ උප සභාපති) – මූල්‍ය වංචා චෝදනා එල්ල වුවත් ඔහු ඒ වන විට ජීවතුන් අතර සිටියේ නෑ.
3. ජැක් වර්නර් (උප සභාපති) – මූල්‍ය වංචා චෝදනා එල්ල වුණා.
4. මිෂෙල් ප්ලැටිනි (උප සභාපති) – මූල්‍ය වංචා චෝදනා එල්ල වීම නිසා ඔහුට ද වසර 8 ක කාලයක් පාපන්දු ක්‍රීඩාවට කුමන හෝ අන්දමකින් සම්බන්ධ වීම තහනම් වුණා. පසුව මෙම දඬුවම වසර 4 කට ලිහිල් කෙරුණා.
5. රිකාඩෝ ටෙක්සියේරා (ජ්‍යෙෂ්ඨ සාමාජික) – මූල්‍ය වංචා චෝදනා එල්ල වුණා.
6. මොහොමඩ් බින් හමාම් (ජ්‍යෙෂ්ඨ සාමාජික) – පාපන්දු සම්මේලනෙයේ ආචාර ධර්ම උල්ලංඝණය කිරීම නිසා 2011 දි ජීවිතාන්තය දක්වා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වීම තහනම් කෙරුණා.
7. චක් බ්ලේසර් (ජ්‍යෙෂ්ඨ සාමාජික) – මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් වරද පිළි ගත්තා.
8. වොරාවි මකුදි (ජ්‍යෙෂ්ඨ සාමාජික) – 2015 මූල්‍ය වංචා සිදුවීම් සහ සාවද්‍ය තොරතුරු ලබා දීම මත වසර 5 ක කාලයකට පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වීම තහනම් කෙරුණා.
9. නිකොලස් ලියෝස් (ජ්‍යෙෂ්ඨ සාමාජික) – මුල්‍ය වංචා චෝදනා එල්ල වුණා.
10. රෆායෙල් සල්ගුයේරෝ (ජ්‍යෙෂ්ඨ සාමාජික) – මූල්‍ය වංචා චෝදනා එල්ල වුණා.
*ඉහත ලිපිය සකස් කිරීමේ දී සඳහන් වන නම් එම රටේ භාෂාවේ උච්චාරණය මත ලියා ඇති බව කරුණාවෙන් සලකන්න