2008-2012 සමයේ පාපන්දු ලොව අධිපතීන් වූ ස්පාඤ්ඤ කණ්ඩායම​

මෑත අතීතයේ පාපන්දු ලෝකයෙහි සිය ආධිපත්‍ය පැතිර වූ කණ්ඩායමක් වූයේ නම් ඒ ස්පාඤ්ඤ කණ්ඩායමයි. 2008 යුරෝපීය ශූරතාවයෙන් ආරම්භ කළ ඔවුන්ගේ ආධිපත්‍ය ඉන්පසු 2010 ලෝක කුසලානය සහ 2012 යුරෝපීය ශූරතාවය දක්වාම පවත්වාගෙන යාමට ස්පාඤ්ඤයට හැකිවිය. ලෝකයේ එතෙක් මෙතෙක් සිටි හොඳම පාපන්දු කණ්ඩායම ලෙසද ඇතැම් විචාරකයන් විසින් මෙම ස්පාඤ්ඤ කණ්ඩායම සලකනු ලබයි. එසේනම් 2008-2012 කාලයේ දී ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම සමස්ත ලෝකය පුරාම පැතිර වූ ආධිපත්‍ය පිළිබඳව අද අපි “Roar සිංහල සමඟින් 2018 පාපන්දු ලෝක කුසලානය” විශේෂාංගය මඟින් විමසා බලමු.

1964 යුරෝපීය ශූරතාවය හිමිකරගැනීමට ස්පාඤ්ඤයට හැකිවී තිබූ අතර 1950 ලෝක කුසලානයේ දී සිව් වැනි ස්ථානය ලබාගැනීමට ද ස්පාඤ්ඤයට හැකිවී තිබේ. නමුත් ඒ හැර 2008 වසරට පෙර ස්පාඤ්ඤය ලෝක කුසලාන වලදී හෝ යුරෝපානු ශූරතා වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වී නැත. තම රටේදී ලෝක කුසලානය පැවති 1982 වසරේදී පවා ස්පාඤ්ඤය ලෝක කුසලානයේදී අසාර්ථක වූයේ ය​. ලෝක මට්ටමේ ක්‍රීඩකයන් සහිත වූ නමුත් ලෝක කුසලානයේදී දිගින් දිගටම අසාර්ථක වූ රටක් වේ නම් එය ස්පාඤ්ඤයයි.

2002 සහ 2006 ලෝක කුසලාන දෙකටම ඉතා හොඳ කණ්ඩායම් ඉදිරිපත් කළද 2002 වසරේ දී අර්ධ අවසාන වටයේ දී සත්කාරක දකුණු කොරියාව හමුවේ ද 2006 වසරේ දී අවසාන 16 දෙනාගේ වටයේ දී ප්‍රංශය හමුවේ ද තරඟාවලියෙන් ඉවත් වීමට ස්පාඤ්ඤයට සිදුවිය.

2006 පාපන්දු ලෝක කුසලානයෙන් පසුව ස්පාඤ්ඤ කණ්ඩායමේ නිත්‍ය නායකත්වය ගෝල රකින ක්‍රීඩක ඊකර් කැසියාස්ට​ (Iker Casillas) පිරිනැමුන අතර ස්පාඤ්ඤ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම නායකයා බවට තමාට පත්විය හැකියැයි එම අවස්ථාවේ දී කැසියස් නොසිතන්නට ඇත.

2008-2012 කාල වකවානුවේ දී ස්පාඤ්ඤය ලොව හොඳම පාපන්දු කණ්ඩායම ලෙස වැජඹීමට හේතු වූ කරුණු පිළිබඳ දැන් අවධානය යොමු කරමු.

බොහෝ ක්‍රීඩකයින් තමන්ගේ ක්‍රීඩා ජීවිතයෙහි උපරිමයෙහි සිටීම

“ඊකර් කැසියස්” (Daniel Ochoa de Olza/AFP/VEJA)

ඕනෑම ක්‍රීඩකයෙකු තමන්ගේ ක්‍රීඩා ජීවිතයෙහි උපරිමයේ සිටින විට ඔහු ඉතා විශිෂ්ට ලෙසින් ක්‍රීඩා කරයි. එකම කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩකයින් සමූහයක් සිය ක්‍රීඩා ජීවිතයේ උපරිම තලයේ සිටියහොත් ප්‍රතිඵලය කුමක් වේද? ස්පාඤ්ඤ කණ්ඩායමේ ආධිපත්‍යට හේතු වූ ප්‍රධානම කරුණ ලෙසින් මෙය හැඳින්විය හැක. ෂාවී, ඉනියෙස්ටා, නායක ඊකර් කැසියස්, දාවිද් වියියා, ෆර්නැන්ඩෝ ටොරස්, කාර්ල්ස් පුයොල් ඇතුළු බොහෝ ක්‍රීඩකයින් සිය ක්‍රීඩා ජීවිතයෙහි උපරිමයෙහි සිටි අතර ඔවුන් සියලුම දෙනා එකම අවස්ථාවේ දී සිය උපරිමය පෙන්වූ බැවින් ස්පාඤ්ඤ කණ්ඩායමේ සාර්ථකත්වයට​ දොරටු විවර විය.

අනෙකුත් කණ්ඩායම් වල දුර්වලතාවය

“2010 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ස්පාඤ්ඤ කණ්ඩායම” (goal.com)

මෙය විවාදයට බඳුන් කළ යුතු කරුණකි. නමුත් බොහෝ පාපන්දු විචාරකයින්ට අනුව මෙම කාල පරිච්ඡේදයේ දී බොහෝ ජාත්‍යාන්තර පාපන්දු කණ්ඩායම් ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කර තිබේ. ස්පාඤ්ඤයට අමතරව ජර්මනිය සහ නෙදර්ලන්තය හැර අනෙකුත් ජාත්‍යන්තර​ පාපන්දු කණ්ඩායම් උපරිම තලයේ නොසිටි අතර වසර 50 ක කාලයකින් පසුව බොහෝ දුර්වල කණ්ඩායම් ජාත්‍යාන්තර මට්ටමේ එකවර ක්‍රීඩා කළ බව විචාරකයින්ගේ මතයයි.

මෙම කාරණය සනාථ වන කරුණක් වන්නේ මෑත කාලීන​ පාපන්දු ලෝක කුසලාන අතුරින් මෙතෙක් පැවති හොඳම ලෝක කුසලානය 2006 පාපන්දු ලෝක කුසලානය වීම සහ තරඟකාරීත්වයෙන් අඩුම ලෝක කුසලානය 2010 වීම නිසාය. 2006 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ඉතා විශිෂ්ට මට්ටමේ ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ අතර 2010 වන විට එම ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන තිබීම හෝ උපරිමයේ නොසිටීම 2010 ලෝක කුසලානය තරඟකාරීත්වයෙන් අඩුවීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙසින් සැලකිය හැක. ඒ අනුව 2008-12 කාලයේ දී උපරිමයේ සිටි ස්පාඤ්ඤයට එයින් උපරිම ඵල නෙලාගැනීමට හැකිවිය.

ටිකි – ටකා ක්‍රමය

“ටිකි ටකා ක්‍රමය පැහැදිලි කෙරෙන කෙටි චිත්‍රයක්” ( youtube/weedens)

ස්පාඤ්ඤ කණ්ඩායම ලද සාර්ථකත්වය සහ ටිකි – ටකා ක්‍රමය ගහට පොත්ත මෙන් එකට බැදී තිබුණි. ටිකි – ටකා ක්‍රමය යනු කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් එකිනෙකාට පන්දුව හුවමාරු කරගැනීමයි (passing). බොහෝ විට මෙහිදී සිදුකරන්නේ කෙටි පන්දු හුවමාරු කරගැනීම් සිදු කිරීමයි. එවිට ක්‍රීඩකයින් සිටිනා ස්ථාන වැඩි වශයෙන් වෙනස් නොකොට ඒ වෙනුවට පන්දුව ක්‍රීඩකයින් අතර හුවමාරු වීම සිදුවිය. ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායමට පන්දුව බොහෝ වෙලාවක් තබා ගැනීමට හැකි වූ අතර (possession) අවස්තාවක් ලද සැනින් ගෝලයක් වාර්තා කිරීමට හැකිවිය.

මෙම ටිකි – ටකා ක්‍රමය සොයාගනු ලැබුවේ විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙකු වන නෙදර්ලන්තයේ යොහාන් ක්‍රයිෆ් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අවධියේ දීය (1988-96). ඉන්පසු ලුයී වාන් හාල් (ලුයී වාන් හාල් 2000-02 අතර කාලයේ දී සහ පසුගිය ලෝක කුසලානයේ දී නෙදර්ලන්ත කණ්ඩායමේ පුහුකරු වශයෙන් කටයුතු කරන ලදී. එයට අමතරව බාර්සිලෝනා කණ්ඩායම ද දෙවරක් මෙහෙයවන ලදී. ජර්මනියේ බයර්න් මියුනික් කණ්ඩායමේ සහ එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙසින් වසර දෙක බැගින් කටයුතු කර තිබේ.) , ෆ්‍රෑන්ක් රයිකාඩ් යන පුහුණුකරුවන් යටතේද මෙම ටිකි ටකා ක්‍රමය වර්ධනය විය.

“යොහාන් ක්‍රයිෆ්” (remezcla.com)

ඉන්පසු 2008 වසරේ දී පෙප් ගාර්ඩියෝලා බාර්සිලෝනා කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාරගැනීමත් සමඟ ඔහු ද මෙම ක්‍රමය භාවිතා කරන ලදී. එම කාල වකවානුවේ දීම ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමත් මෙම ක්‍රමය භාවිතා කිරීම ආරම්භ කළ බැවින් මෙම කණ්ඩායම් ද්විත්වය යටතේම මෙම ක්‍රමය වර්ධන වෙමින් එහි උපරිම තලයට පැමිණෙන ලදී. පන්දුවත්, ප්‍රතිවාදී කණ්ඩායමත්, තරඟයත් සම්පූර්ණයෙන් ම පාලනය හැකි මෙම ක්‍රමය භාවිතා කිරීම ද ස්පාඤ්ඤ කණ්ඩායමේ සාර්ථකත්වයට මුල් වූ ප්‍රධානම කරුණකි.

ස්පාඤ්ඤ කණ්ඩායම සිය අණසක පැතිර වූ අවධියේ දී ඔවුන් විසින් ජයග්‍රහණය කළ ප්‍රධානම ශූරතා ත්‍රිත්වය වන 2008 යුරෝපීය ශූරතාවය, 2010 ලෝක කුසලානය සහ 2012 යුරෝපීය ශූරතාවය පිළිබඳ කෙටි ආවර්ජයක් දැන් සිදුකරමු.

2008 යුරෝපීය ශූරතාවය

ඔස්ට්‍රියාවේ හා ස්විට්සර්ලන්තයේ සම සත්කාරකත්වය යටතේ පැවති 2008 යුරෝපීය ශූරතාවයේ දී ස්පාඤ්ඤ කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලැබුවේ ලුයිස් ඇරගෝනස් විසිනි. 2008 ජූනි 7 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවති මෙම තරඟාවලියට යුරෝපීය රටවල් 16 ක් සහභාගී වූ අතර මූලික වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම ක්‍රීඩා කළේ D කාණ්ඩයෙනි.

“සෙස්ක් ෆැබ්‍රිගාස්” (skysports.com)

D කාණ්ඩය යටතේ ස්පාඤ්ඤ කණ්ඩායම ප්‍රථමයෙන්ම ක්‍රීඩා කළේ රුසියාවට එරෙහිවයි. එම තරඟයෙන් ගෝල 4-1 ක විශිෂ්ට ජයක් ලැබීමට ස්පාඤ්ඤයට හැකිවිය. ස්පාඤ්ඤය වෙනුවෙන් දාවිද් වියියා ගෝල ත්‍රිත්වයක් (20′, 44’, 75′) වාර්තා කළ අතර 90 වැනි මිනිත්තුවේ දී සෙස්ක් ෆැබ්‍රිගාස් ගෝලයක් වාර්තා කරන ලදී.

ස්පාඤ්ඤය මූලික වටයේ සිය දෙවැනි තරඟයට සහභාගී වූයේ ස්වීඩනයත් සමඟින්ය. එහිදී ගෝල 2-1 ක් ලෙසින් ජය ලබන්නට ස්පාඤ්ඤයට හැකිවිය. ස්පාඤ්ඤය වෙනුවෙන් ෆර්නැන්ඩෝ ටොරස් සහ දාවිද් වියියා ගෝලය බැගින් වාර්තා කළහ. ස්වීඩනය වෙනුවෙන් ගෝලය රැස් කළේ විශිෂ්ට ක්‍රීඩක ස්ලාතන් ඊබ්‍රහිමොවිච් විසිනි. මූලික වටයේ සිය අවසන් තරඟයට ස්පාඤ්ඤය ක්‍රීඩා කළේ ග්‍රීසියත් සමඟිනි. 2004 වසරේ යුරෝපීය ශූරයින් වූ ග්‍රීසිය ගෝල 2-1 ක් ලෙසින් පරාජය කළ ස්පාඤ්ඤය D කාණ්ඩයේ ප්‍රමුඛස්ථානය ලබාගැනීමට සමත් විය. මෙහිදී ස්පාඤ්ඤය වෙනුවෙන් ඩෙ ලා රෙඩ් සහ ඩැනී ගෙසා ගෝල වාර්තා කරන ලදී.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායමේ ප්‍රතිවාදී කණ්ඩායම වූයේ එවකට ලෝක ශූරයින් වූ ඉතාලි කණ්ඩායමයි. ඉතා තියුණු තරඟයක් වූ මෙම තරඟයේ දී ගෝල වාර්තා කිරීමට දෙපිලේම ක්‍රීඩකයින් කිහිප අවස්තාවකදීම උත්සාහ කළද එම සියලුම අවස්ථා ව්‍යර්ත විය. අවසානයේ දී අතිරේක කාලයෙන් පසුව පැවති දඬුවම් පහර වලදී 4-2 ක් ලෙසින් තරඟය ජයගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකිවිය. ස්පාඤ්ඤයේ විජයග්‍රාහී ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍ය ලෙසින් ද මෙම තරඟය හැඳින්වීම වරදක් නොවේ. ලෝක ශූර ඉතාලිය පරාජය කිරීම ස්පාඤ්ඤය තව තවත් ශක්තිමත් කළ කාරණයක් විය.

“ෆර්නැන්ඩෝ ටොරස්” (ava7.com)

අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම මුහුණ දෙන ලද්දේ රුසියාවටයි. මූලික වටයේ දී රුසියාව පරාජය කළා මෙන්ම පහසුවෙන් මෙම තරඟයේදීත් ගෝල 3-0 ක් ලෙසින් ස්පාඤ්ඤය ජයග්‍රහණය කරන ලදී. ස්පාඤ්ඤය වෙනුවෙන් ෂාවී, ඩැනී ගෙසා සහ දාවිද් සිල්වා ගෝල රැස් කරන්නට සමත් වූහ.

අවසාන මහා තරඟය 2008 ජූනි 29 වැනි දින ඔස්ට්‍රියාවේ වියේනා හී දී පැවැත්වුනේ ස්පාඤ්ඤය සහ ජර්මනිය අතරයි. මෙම තරඟයද ඉතා උණුසුම් එකක් වූවත් ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ටොරස් විසින් තරඟයේ 33 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලය ස්පාඤ්ඤයට යුරෝපීය ශූරයින් වීමට ප්‍රමාණවත් විය. ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායම වසර 44 කට පසු යුරෝපීය ශූරයින් බවට පත් වූ අතර 2010 ලෝක කුසලානයට තවත් ඉතා ප්‍රබල තරඟකරුවෙක් සිටිනවා යැයි ලොවට පෙන්වන ලදී. ෆර්නැන්ඩෝ ටොරස් අවසාන මහා තරඟයේ වීරයා බවට පත් විය. ගෝල 4 ක් ලබා තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා වූ දාවිද් වියියා රන් පාවහන ජයග්‍රහණය කළේය. තරඟාවලිය පුරා දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් මැදපෙළ ක්‍රීඩක ෂාවී තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත් විය.

”ස්පාඤ්ඤ කණ්ඩායම යූරෝ කුසලානයත් සමඟින්” (rasdehierba.com)

2010 පාපන්දු ලෝක කුසලානය

2010 පාපන්දු ලෝක කුසලානය පැවැත්වුනේ 2010 ජූනි 11 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දීය. පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම​ සඳහා ස්පාඤ්ඤ කණ්ඩායම මුහුණදුන් තරඟ 10 ම ජයග්‍රහණය කරමින් පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ ස්පාඤ්ඤය මූලික වටයේ දී ක්‍රීඩා කළේ H කාණ්ඩය යටතේ ය.

H කාණ්ඩය යටතේ ස්විට්සර්ලන්තය, හොන්ඩුරාස් සහ චිලී දේශය, ස්පාඤ්ඤය සමඟින් සටන් වැදුනි. 2008 යූරෝ ශූරතාවයෙන් අනතුරුව ස්පාඤ්ඤයේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ලද්දේ වින්සන්ට් ඩෙල් බොස්කේ ය. ( ඩෙල් බොස්කේ ඉතා ඉහළ ගණයේ පුහුණුකරුවෙක් වන අතර ඔහු වසර 4 ක කාලයක් ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් චැම්පියන්ස් ලීග් ශූරතා සහ ලා ලීගා ශූරතා දෙක බැගින් සහ තවත් බොහෝ ශූරතා ප්‍රමාණයක් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ජයග්‍රහණය කර දී තිබේ.)

“වින්සන්ට් ඩෙල් බොස්කේ” (worldcupguide.org)

ස්පාඤ්ඤය තමන්ගේ ප්‍රථම තරඟයට මුහුණ දුන්නේ ස්විට්සර්ලන්තය සමඟින් ය. මෙම තරඟයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතා දක්වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුව සිටියත් ස්විට්සර්ලන්තයේ ගෙල්සන් ෆර්නැන්ඩස් විසින් තරඟයේ 52 වැනි මිනිත්තුවේ දී ලබාගත් ගෝලය හේතුවෙන් ගෝල 1-0 ක අනපේක්ෂිත පරාජයක් ලැබීමට ස්පාඤ්ඤයට සිදුවිය. එම තරඟය පරාජය වුවද ඉන්පසුව හොන්ඩුරාස් කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ගෝල 2-0 ක් ලෙසින් ජයගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකිවිය. ස්පාඤ්ඤය ලබාගත් ගෝල ද්විත්වයම වාර්තා කරන ලද්දේ දාවිද් වියියා විසිනි. ඒ 17 සහ 51 මිනිත්තු වලදී ය. වියියා විසින් ලබාගත් පළමු ගෝලය තරඟාවලියේ දී වාර්තා වූ හොඳම ගෝල වලින් එකක් ලෙසින් නම් කළ හැක.

මූලික වටයේ අවසාන තරඟයේ දී ස්පාඤ්ඤය මුහුණ දුන්නේ චිලී දේශය සමඟිනි. එහිදී 2-1 ක් ලෙසින් තරඟය ජයගන්නා ස්පාඤ්ඤ කණ්ඩායම H කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. ස්පාඤ්ඤය වෙනුවෙන් දාවිද් වියියා 24 වැනි මිනිත්තුවේ ද අන්ද්‍රේස් ඉනියෙස්ටා 37 වැනි මිනිත්තුවේ ද ගෝල වාර්තා කරන්නට සමත් විය. චිලී දේශය වෙනුවෙන් ගෝලය වාර්තා කරන ලද්දේ රොඩ්‍රිගෝ මිල්ලාර් ය. ඒ 47 වැනි මිනිත්තුවේ දීය. මෙම තරඟය පරාජය වූවත් චිලී දේශය ඉදිරි වටයට යාමට සුදුසුකම් ලැබීය. ඒ H කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින්ය.

“දාවිද් වියියා පෘතුගාලයට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව” (matheosmessakh.blogspot.com)

අවසාන 16 දෙනාගේ වටයේ දී ස්පාඤ්ඤ කණ්ඩායමට මුණගැසුනේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායමයි. මෙම තරඟය පුරාවටම සිය ආධිපත්‍ය පැතිර වූ ස්පාඤ්ඤ ක්‍රීඩකයින් තරඟය ජයගත්තේ 1-0 ක් වශයෙනි. ජයග්‍රාහී ගෝලය වාර්තා කරන ලද්දේ 63 වැනි මිනිත්තුවේ දී දාවිද් වියියා විසිනි.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤයේ ප්‍රතිවාදී පිළ වූයේ පැරගුවේ කණ්ඩායමයි. මෙම තරඟයෙන් ස්පාඤ්ඤ කණ්ඩායමට ඉතා පහසු ජයක් ලැබේ යැයි බොහෝ දෙනා සිතුවත් තරඟය පුරාවටම ස්පාඤ්ඤයට විශාල අභියෝගයක් දීමට පැරගුවේ කණ්ඩායමට හැකිවිය. කණ්ඩායම් දෙකටම දඬුවම් පහර මඟින් ලැබුනත් දෙපිලේම දඬුවම් පහර සාර්ථක නොවීමද විශේෂත්වයකි. 2010 පාපන්දු ලෝක කුසලානයේ දී පැරගුවේ කණ්ඩායමේ පුහුණුකරු වූයේ ටාටා මාටිනෝ වන අතර පසුව ඔහු විසින් බාර්සිලෝනා සහ ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායම් ද මෙහෙය වූයේය. තරඟාවලිය පුරාවටම ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන් ගෝල ලබාගත් දාවිද් වියියා මෙම තරඟයේ ද ජයග්‍රාහී ගෝලය වාර්තා කරනු ලැබුවේ තරඟයේ 83 වැනි මිනිත්තුවේ දීය.

“ජර්මනියට එරෙහිව ගෝලය වාර්තා කිරීමෙන් අනතුරුව කාර්ල්ස් පුයොල් (මැද)” (DavidGray/Reuters)

අවසන් පූර්ව වටයේ එක් තරඟයක් පැවැත්වුනේ උරුගුවේ දේශය සහ නෙදර්ලන්තය අතරයි. එම තරඟයෙන් 3-2ක් වශයෙන් ජයගත්තේ නෙදර්ලන්ත කණ්ඩායමයි. අනෙක් අවසන් පූර්ව තරඟය පැවැත්වුනේ ස්පාඤ්ඤය හා ජර්මනිය අතරයි. මෙම තරඟයේ දීත් ඉතා විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ස්පාඤ්ඤ පිළ, බොහෝ තරුණ ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ජර්මනියට එරෙහිව 1-0 ක් ලෙසින් තරඟය ජයගැනීමට සමත්විය. ජයග්‍රාහී ගෝලය වාර්තා කරන ලද්දේ 73 වැනි මිනිත්තුවේ දී කාර්ල්ස් පුයොල් විසිනි. ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක කුසලාන තරඟමාලාවක අවසන් තරඟය සඳහා වරම් ලැබීය.

2010 පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරඟය පැවැත්වුනේ ජූලි මස 11 වැනි දින දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සොකර් සිටි ක්‍රීඩාංගනයේ දීය. ඒ ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය අතරයි. දෙපිලටම ගෝල වාර්තා කිරීම සඳහා අවස්ථා ලැබුනත් දෙපිලේම ගෝල රකින්නන් විසින් එම අවස්ථා සාර්ථක කරගන්න ඉඩ ලබා නොදෙන ලදී. අවසානයේ දී නියමිත විනාඩි 90 තුළදී  කිසිදු කණ්ඩායමකට ජයග්‍රහණය වාර්තා කිරීමට නොහැකි වූ බැවින් තරඟය මිනිත්තු 30 ක් වූ අතිරේක කාලය දක්වා පැවතුණි. එහිදී තරඟයේ 116 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤයේ අන්ද්‍රේස් ඉනියෙස්ටා ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන් තරඟයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් වූයේය. ඔහුට එම ගෝලය වාර්තා කිරීම සඳහා පන්දුව යොමු කරන ලද්දේ සෙස්ක් ෆැබ්‍රිගාස් විසිනි. ඉනියෙස්ටා ගෝලය වාර්තා කළ පසු ක්‍රීඩාංගනයේ එක් කොනකට සමස්ත ස්පාඤ්ඤ කණ්ඩායම ම දිවයාම බොහෝ ක්‍රීඩා ලෝලීන්ට අදටත් මතකයේ තිබෙන කරුණකි. ඒ අනුව පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කරමින් පාපන්දු ලොවෙහි සිය අණසක පැතිරවීමට ස්පාඤ්ඤයට හැකිවිය.

“අවසාන මහා තරඟයේ දී ඉනියෙස්ටා විසින් ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අවස්තාව” (tribuna.com)

තරඟාවලිය පුරා එක් ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ වැඩිම ගෝල ප්‍රමාණය වූයේ ගෝල 5 කි. ඒ ලෙස ගෝල 5 ක් වාර්තා කළ ක්‍රීඩකයින් සිව් දෙනෙක් සිටි නමුත් රන් පාවහන පිරිනැමුවේ අඩු මිනිත්තු සංඛ්‍යාවකින් ගෝල 5 වාර්තා කළ ජර්මනියේ තෝමස් මුලර්ටය. මුලර් හැර ස්පාඤ්ඤයේ දාවිද් වියියා, නෙදර්ලන්තයේ වෙස්ලි ශ්නයිඩර් සහ උරුගුවේ දේශයේ ඩියේගෝ ෆෝර්ලෑන් ද ගෝල 5 බැගින් රැස් කරන්නට සමත් වූහ. හොඳම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගනු ලැබුවේද එවකට 21 හැවිරිදි වියෙහි පසුවූ තෝමස් මුලර් ය. තරඟාවලිය පුරා විශිෂ්ට ලෙසින් ගෝල රැකීමේ කාර්යය සිදුකළ ස්පාඤ්ඤ නායක ඊකර් කැසියස් තරඟාවලියේ හොදම ගෝල රකින්නාට හිමි රන් අත්වැසුම හිමිකරගන්නා ලදී. උරුගුවේ දේශයේ ඩියේගෝ ෆෝර්ලෑන් තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි රන් පන්දුවෙහි හිමිකරු බවට පත්විය. අවසාන මහා තරඟයේ වීරයා වූයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ අන්ද්‍රේස් ඉනියෙස්ටා ය.

“ජයග්‍රාහී ස්පාඤ්ඤ කණ්ඩායම ලෝක කුසලානයත් සමඟින්” (Martin Meissner/AP/VEJA)

2012 යුරෝපීය ශූරතාවය

2012 යුරෝපීය ශූරතාව සඳහා වූ සියලුම තේරීම් තරඟ ද ස්පාඤ්ඤ විසින් ජයග්‍රහණය කරන ලදී. 2012 වසරේ ජූනි මස 8 වැනිදා සිට ජූලි 1 වැනිදා දක්වා පැවති 2012 යුරෝපීය ශූරතාවයේ සම සත්කාරකත්වය දැරුවේ යුක්රේනය හා පෝලන්තයයි. ස්පාඤ්ඤ කණ්ඩායම මූලික වටයේ දී ක්‍රීඩා කළේ C කාණ්ඩය යටතේ දීය. ආබාධ හේතුවෙන් මෙම තරඟාවලිය දාවිද් වියියාට සහ ආරක්ෂක පෙළ ක්‍රීඩක කාර්ල්ස් පුයොල්ට අහිමිවිය.

මූලික වටයේ ප්‍රථම තරඟයට ස්පාඤ්ඤ කණ්ඩායම මුහුණ දුන්නේ ඉතාලි කණ්ඩායම සමඟින්ය. මෙම තරඟය 1-1 ක් ලෙසින් නිමාවිය. ඉතාලිය වෙනුවෙන් ඩි නටාලි 60 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළ අතර ස්පාඤ්ඤය වෙනුවෙන් සෙස්ක් ෆැබ්‍රිගාස් 64 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන ලදී.

“ෂාවී” (khelnow.com)

මූලික වටයේ ස්පාඤ්ඤය සහභාගී වූ දෙවැනි තරඟය පැවැත්වුනේ අයර්ලන්තයට එරෙහිවයි. එහිදී 4-0 ක් ලෙසින් පහසු ජයක් ලබන්නට ස්පාඤ්ඤ කණ්ඩායමට හැකිවිය. ස්පාඤ්ඤය වෙනුවෙන් ෆර්නැන්ඩෝ ටොරස් (4′,70′), දාවිද් සිල්වා (49’) සහ සෙස්ක් ෆැබ්‍රිගාස් (83’) ගෝල වාර්තා කරන ලදී. මූලික වටයේ ස්පාඤ්ඤය සහභාගී වූ අවසන් තරඟය ක්‍රොයේෂියාවට එරෙහිව පැවති අතර 88 වැනි මිනිත්තුවේ දී හේසුස් නවාස් විසින් වාර්තා කළ ගෝලය හේතුවෙන් ස්පාඤ්ඤයට එම තරඟයේ ජය හිමිවිය. ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායම C කාණ්ඩයේ ප්‍රුමුඛයා ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී ස්පාඤ්ඤ ක්‍රීඩා කළේ ප්‍රංශයට එරෙහිවයි. එහිදී විශිෂ්ට ලෙසින් ක්‍රීඩා කළ ස්පාඤ්ඤ ක්‍රීඩකයින් 2-0 ක් ලෙසින් තරඟය ජයග්‍රහණය කරන ලදී. ගෝල දෙකෙහිම හිමිකරු වූයේ ශබි අලොන්සෝ ය. ඒ තරඟයේ 19 වැනි සහ 90+1 මිනිත්තු වලදීය.

පෘතුගාලයට එරෙහිව පැවති අවසන් පූර්ව වටයේ තරඟයේ දී ද ස්පාඤ්ඤයේ ක්‍රීඩා විලාශය හොඳින්ම කැපී පෙනුනද නියමිත කාලය හා ඉන්පසු අතිරේක කාලයේ දී දෙපිලටම ගෝල රැස් කළ නොහැකි විය. ඒ අනුව තරඟය 4-2 ක් ලෙසින් දඬුවම් පහරවලින් ජයගෙන පිට පිට දෙවැනි වතාවට යුරෝපීය ශූරතාවයක අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය හැකිවිය.

“දාවිද් සිල්වා” (eurosport.com)

අවසාන මහා තරඟය පැවැත්වුනේ 2012 ජූලි මස 1 වැනි දින යුක්රේනයේ කීව් අගනුවර ඔලිම්පික් ක්‍රීඩාංගනයේ දීය. ඒ ස්පාඤ්ඤය හා ඉතාලිය අතරයි. මෙම කණ්ඩායම් දෙක මීට පෙරද විවිධ අවස්ථාවන් වලදී මුණගැසී තිබූ බැවින් දෙපිලම ප්‍රතිවාදී කණ්ඩායම පිළිබඳ යම් වැටහීමකින් පසුවිය. නමුත් තරඟයේ ආරම්භයේ සිටම තරඟයේ පාලනය සියතට ගත් ස්පාඤ්ඤ කණ්ඩායම තමන් නියම යුරෝපීය ශූරයින් සහ ලෝක ශූරයින් ලෙසින් ක්‍රීඩා කළ අතර එහි ප්‍රතිඵලය වූයේ පිට පිට දෙවැනි වතාවටත් ස්පාඤ්ඤ කණ්ඩායමට යුරෝපීය ශූරතාවය හිමිවීමයි. අවසාන මහා තරඟය ස්පාඤ්ඤය විසින් ජයගත්තේ ගෝල 4-0 ක් ලෙසින් වූ අතර දාවිද් සිල්වා (14’), යෝර්ඩි අල්බා (41’), ෆර්නැන්ඩෝ ටොරස් (84′) සහ යුවාන් මාටා ( 88′) ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝල වාර්තා කරන ලදී.

තරඟාවලියේ සම වැඩිම ගෝල ලාභීන් 6 දෙනෙකු සිටි නමුත් අඩුම මිනිත්තු සංඛ්‍යාවකින් වැඩිම ගෝල වාර්තා කර තිබුනේ ස්පාඤ්ඤයේ ෆර්නැන්ඩෝ ටොරස් වූ අතර ඔහුට රන් පාවහන හිමිවිය. යුරෝපීය ශූරතා ද්විත්වයක අවසාන මහා තරඟ වලදී ගෝල වාර්තා කළ එකම ක්‍රීඩකයා ද ටොරස් වේ. ස්පාඤ්ඤයේ අන්ද්‍රේස් ඉනියෙස්ටා තරඟාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගන්නා ලදී. චැම්පියන්ස් ලීග් ශූරතාවයක්, යුරෝපීය ශූරතාවයක් සහ ලෝක කුසලානයක් හිමිකරගත් එකම පුහුණුකරු ලෙසින් වින්සන්ට් ඩෙල් බොස්කේගේ නම ඉතිහාසයට එක්වුණි.

“ස්පාඤ්ඤය 2012 යුරෝපීය ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව” (artsfon.com)

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් සම්මානයේ අවසාන තිදෙනා අතරට පැමිණීමට මෙම කාලවකවානුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම හැකිවිය. 2008 වසරේ ෆර්නැන්ඩෝ ටොරස් ද (තෙවැනි ස්ථානය), 2009, 2010 සහ 2011 (වසර තුනෙහිම තෙවැනි ස්ථානය) වසර වලදී ෂාවී ද, 2010 (දෙවැනි ස්ථානය) සහ 2012 (තෙවැනි ස්ථානය) වසර වලදී අන්ද්‍රේස් ඉනියෙස්ටා ද ඒ ආකාරයට බැලෝන් ඩෝ’ර් සම්මානයේ අවසාන තිදෙනා අතරට එක්වීය. නායක ඊකර් කැසියස් ද එතෙක් මෙතෙක් ලොව පහල වූ හොඳම ගෝල රකින්නන් අතරට එක්වීය.

ජෙරාඩ් පීකේ (weloba.com)

ඉහත නම් සඳහන් නොවූවත් ගෝල වාර්තා කිරීමට සහය දැක්වීමට, මැදපෙළ පාලනය කිරීමට, ආරක්ෂක පෙළ ශක්තිමත් කිරීමට ජෙරාඩ් පීකේ, සර්හියෝ රාමෝස්, සර්හියෝ බුස්කෙට්ස්, හාවී මාර්ටිනස්, පෙඩ්රෝ, යොආන් කැප්ඩෙවියා, වික්ටර් වැල්ඩස් සහ පෙපේ රෙයිනා (දෙදෙනාම ගෝල රකින්නන්) වැනි බොහෝ ක්‍රීඩකයින් පිරිසක් මෙම ස්පාඤ්ඤ පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ දී ස්පාඤ්ඤ කණ්ඩායම නියෝජනය කළ අතර මෙම බොහෝ ක්‍රීඩකයින්ගේ ද ක්‍රීඩා ජීවිතයෙහි හොඳම කාලය වූයේ 2008-2012 කාලයයි.

Related Articles

Exit mobile version