Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්‍රිකට් පිටියේ වැඩ පෙන්වූ, නිවුන්නු

එක ම පවුලේ සොහොයුරන් හා සොහොයුරියන් දෙදෙනෙකු එකම ක්‍රීඩාවකට යොමු වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. බොහෝ විට මින් එක් අයෙකු ඉන් පරතෙරට ම යන විට, අනෙකා සුළු වශයෙන් එම ක්‍රීඩාවේ නිරත වී ඉන් ඉවත් වනු දැකගත හැකියි. සමහරක් අවස්ථාවන් හි දී එම සොහොයුරන් දෙදෙනා ම එක සේ දස්කම් දක්වමින් ඉදිරියට ගිය අවස්ථා ද වාර්තා වෙනවා.
නිවුන් සොහොයුරන් දෙදෙනෙකු යම් ක්‍රීඩාවකින් එක සේ ඉදිරියට ගොස් සිටිනු වාර්තා වෙන්නේ කලාතුරකින්. නිවුන් සොහොයුරන් හෝ සොහොයුරියන් දෙදෙනෙකු එලෙස  දස්කම් පෑ අවස්ථා ලොව හමුවන්නේ ඊටත් වඩා කලාතුරකිනුයි. ක්‍රිකට් ක්‍රීඩාව සලකන කල්හි ජාත්‍යන්තර මට්ටමට හෝ ඒ ආසන්නයට ම ගිය නිවුන් සහෝදරයින් ගැන වාර්තා වෙන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුවෙනුයි. මේ සටහන එවැනි ‘අතිදක්ෂ’ නිවුන් ක්‍රිකට් තරු කිහිපදෙනෙකු ගැන යි.

මාක් වෝ හා ස්ටීව් වෝ

Pinterest.com

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දුටු සුප්‍රසිද්ධ ම නිවුන් සොයුරන් යුවළ ලෙස මාක් වෝ හා ස්ටීව් වෝ හඳුන්වන්නට පුළුවන්. 1965 වසරේ ජුනි මස දෙවන දා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී උපන් මේ යුවළ කුඩාකල සිට ම ක්‍රිකට් ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූවා. දෙදෙනා ම වඩා දක්ෂ වූයේ පිතිකරණයට යි.

කවදත් තරගකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට යමෙකුට ක්‍රීඩා කිරීමට ලැබීම ම මහත් වූ වාසනාවක් ලෙස බොහෝ දෙනා සලකනවා. සිය යොවුන් විය ආරම්භයේ දී ම ස්ටීව් වෝට එම වරම් හිමි වූ අතර, 1985 වසරේ දී ඉන්දියාව සමග මෙල්බෝර්න් හී දී පැවති බොක්සින් දින ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් හිමි වන විට 20 වියැති යෞවනයෙකු වී සිටියා. ඊට තුන් වසරකට පසු, එනම් 1988 වසරේ දෙසැම්බර් මස 11 වන දා පාකිස්ථානයට එරෙහිව ඇඩිලේඩ් නුවර පැවති එක්දින තරගයෙන් මාක් වෝ එක්දින වරම් දිනාගන්නා අතර, ඉක්මනින් ම මේ දෙදෙනා ම කණ්ඩායමේ ස්ථාවර වෙනවා.

වසර ගණනාවක් ජාතික කණ්ඩායමේ වැජඹුණු මේ දෙදෙනාගෙන් මාක් වෝ, ටෙස්ට් තරග 128ක දී ලකුණු 8029ක් හා එක්දින තරග 244ක දී ලකුණු 8500ක් ලබා ගනිද්දී ස්ටීව් වෝ, ටෙස්ට් තරග 168ක දී ලකුණු 10927ක් හා එක්දින තරග 325ක දී ලකුණු 7569ක් ලබා ගැනීමට සමත්කම් පෑවා. මේ අතරින් ස්ටීව් වෝ නායකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවට 1999 එක්දින ලෝක කුසලානය දිනා දීමට පුරෝගාමී ව කටයුතු කිරීම ද විශේෂත්වයක්.

හමීෂ් මාෂල් හා ජේම්ස් මාෂල්

Getty Images

නවසීලන්තය නියෝජනය කළ හමිෂ් මාෂල් හා ජේම්ස් මාෂල් නිවුන් සොහොයුරන් යුවළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මෑතක දී දුටු සාර්ථක ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙනවා. සම නිවුන්නුන් දෙදෙනෙකු වන මේ දෙදෙනා රූපකාය අතින් අතිශය සමාන වීමත් සුවිශේෂියි. ඔවුන් දෙදෙනාට ම රන්වන් පැහැ අක්බමරු කෙස්වැටියක් පිහිටා තිබුණා.

1979 වසරේ පෙබරවාර් මස 15 වන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි උපන් මේ දෙදෙනාත් වඩා දක්ෂතා දැක්වූයේ පිතිකරණයට යි. මේ දෙදෙනා අතුරින් මුලින්ම ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබුණේ හමිෂ් මාෂල්ට යි. 2000 වසරේ දෙසැම්බර් මස දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර දී නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට වරම් ලබා ගන්නා විට ඔහු 21 වියැති වුණා. ජේම්ස් මාෂල්ට ජාත්‍යන්තර වරම් ලැබුණේ 2005 වසරේ පෙබරවාරි මස 26 වන දා ඕස්ට්‍රේලියාවට එරෙහිව යි.

මාෂල් සොහොයුරන් යුවළට වෝ සොහොයුරන් මෙන් ජාත්‍යන්තර පිටියේ සාර්ථක වන්නට ලැබුණේ නැහැ. මින් වඩා සාර්ථක වූ හමිෂ් මාෂල් ටෙස්ට් තරග 13ක දී ලකුණු 652ක් හා එක්දින තරග 66ක දී ලකුණු 1454ක් ලබා ගත්තා. ටෙස්ට් තරග 7ක දී පමණක් නවසීලන්තය නියෝජනය කළ ජේම්ස් මාෂල් එහි දී ලබා ගත්තේ ලකුණු 218ක් පමණයි. ඊට අමතර ව එක්දින තරග 10ක දී ඔහු ලකුණු 250ක් ලබා ගත්තා. මින් 161ක් ම 2008 වසරේ දී අයර්ලන්තයට එරෙහිව එක ඉනිමක දී ලබාගැනීමත් විශේෂයි.

සිසිලියා හා ඉසබෙල් ජොයිස්

Cricket Ireland

අයර්ලන්තයෙන් හමුවන මේ නිවුන් සොයුරියන් දෙදෙනා එංගලන්තය හා අයර්ලන්තය යන දෙරට ම ක්‍රීඩා කළ එඩ් ජොයිස්ගේ කණිටු සොයුරියන් වෙනවා. 1983 වසරේ අයර්ලන්තයේ වික්ලෝ හි උපන් මේ දෙදෙනා ම පිතිකරණයට දක්ෂයි. නමුත් ඉසබෙල් පන්දු ‍යැවීමට ද ඉහළ දක්ෂතාවක් දක්වනවා.

මේ දෙදෙනා අතුරින් මුලින්ම ජාත්‍යන්තර තරග වරම් දිනාගත්තේ ඉසබෙල් ජොයිසුයි. 1999 වසරේ ජුනි මස 26 වන දා අයර්ලන්තය වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව එක්දින වරම් දිනාගත් ඇය, ඒ වන විට පසුවූයේ 16 වැනි වියේ. ඉසබෙල් අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකට ද සහභාගී වී ඇති අතර, එහි දී කඩුලු 6ක් බිඳහෙළුවා. ඇය මේ වන විට එක්දින තරග 79ක දී ලකුණු 995ක් ද කඩුලු 66 ක් ද ලබාගෙන තිබෙනවා. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 55 කටද සහභාගී වී ඇති ඇය එහිදී ලකුණු 944ක් ලබා කඩුලු 33ක් බිඳහෙළා තිබෙනවා. ඉසබෙල් අයර්ලන්ත නායිකාව හැටියට ද කටයුතු කර තිබෙනවා.

සිසිලියා ජොයිස්ට ජාත්‍යන්තර වරම් හිමිවන්නේ 2001 වසරේ ජූලි මස 20 වන දා ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩබ්ලින් හී දී යි. ඇය මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 57කට සහභාගී වී ලකුණු 1172ක් ලබාගෙන තිබෙනවා. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 43කට ද සහභාගී වී ඇති ඇය, එහි දී ලකුණු 659ක් ලබාගෙන තිබෙනවා.

ඇලෙක් හා එරික් බෙඩ්සර්

horsellcommon.org.uk

එංගලන්තයෙන් හමුවන මේ සොහොයුරන් දෙපළ කුඩාකල සිට ම පන්දු යවන්නට දක්ෂතා දැක්වූවා. 1918 වසරේ ජූලි මස 4 වැනි දා බර්ක්ෂයරයේ රෙඩිං හි උපන් මේ දෙදෙනා අතරින් එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලැබුවේ ඇලෙක් පමණයි. මේ දෙදෙනා ම 1939 වසරේ පටන් සරේ කණ්ඩායම නියෝජනය කළ අතර මඳවේග පන්දු යැවූ ඇලෙක්ට 1946 වසරේ ජුනි මාසයේ දී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබුණා. සාර්ථක ක්‍රීඩා දිවියක් ගත කළ ඔහු, ටෙස්ට් තරග 51ක දී කඩුලු 236ක් බිඳ හෙළුවා. පිටදඟ පන්දු යැවූ එරික්ට කිසිදා ටෙස්ට් වරම් නොලැබුණත්, සරේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු 833ක් දවාගන්නට සමත්කම් පෑවා.

කවරයේ පින්තූරය: Getty Images

Related Articles