36 වසරක සෝවියට්-අමෙරිකා ඔලිම්පික් යුද්ධය

වසර 125ක් පැරණි ඔලිම්පික් තරග ඉතිහාසයේ වඩාත් සාර්ථක ම රට බවට පත්ව සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදය යි. එදාමෙදා තුර ගිම්හාන ඔලිම්පික් උළෙල 27කට සහභාගි වුණු අමෙරිකාව රන් පදක්කම් 1022 ක් ලබාගෙන අද්විතීය වාර්තාවක් පිහිටුවා තිබෙනවා.  එක්තරා යුගයක ඔලිම්පික් බිමේ අමෙරිකානු ආධිපත්‍යය බිඳ වැටී තිබුණා. ඒ සෝවියට් රුසියාව හමුවේ යි. දශක 3කට මඳක් වැඩි කාලයක් ඔලිම්පික් බිමේ දී උරෙනුර ගැටුණු මෙම රාජ්‍යයන් දෙක එවකට ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානය දිනාගැනීම සඳහා කරට කර සටනක නිරත වුණා. මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරන්නේ 36 වසරක රුසියා-අමෙරිකා ඔලිම්පික් යුද්ධය පිළිබඳව යි. 

අමෙරිකා-සෝවියට් රුසියා මුල් ම ඔලිම්පික් හමුව 

1952 ගිම්හාන ඔලිම්පික් උළෙල පින්ලන්තයේ හෙල්සින්කි නුවර දී පැවැත්වුණා. එදා සෝවියට් දේශය මුල් වරට ඔලිම්පික් තරග බිමට පිවිසීම සුවිශේෂී සිදුවීමක් වුණා. එවර ඔලිම්පික් තරගාවලියට සෝවියට් රුසියාව නියෝජනය කරමින් 295ක කණ්ඩායමක් සහභාගි වුණා. එම කාලය වන විට ඔලිම්පික් පිටියේ අණසක පතුරුවාගෙන සිටි අමෙරිකාව ද 286 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඔලිම්පික් උළෙලට සහභාගි කරවූවා. ඒ අනුව අමෙරිකාව සහ සෝවියට් රුසියාව මුල් වරට ඔලිම්පික් බිමේ දී උරෙනුර ගැටුණු ඔලිම්පික් තරගාවලිය ලෙසින් ඉතිහාසගත වුණේ 1952 හෙල්සින්කි ඔලිම්පික් තරගාවලිය යි.

එම කාල වකවානුව වන විට මලල ක්‍රීඩා පිටියේ ආධිපත්‍යය පතුරවාගෙන සිටි අමෙරිකානුවන් මලල ක්‍රීඩා තරග ඉසව්වලින් රන් පදක්කම් 15ක් දිනාගනිද්දී රුසියාවනුවන්ට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 9ක් හිමි වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. ඊට අමතර ව සෝවියට් දේශයට මල්ලවපොර රන් පදක්කම් 6ක් හිමි වෙද්දී ඇමරිකාවට බොක්සිං රන් පදක්කම් 5ක් හිමි වුණා. ඒ ආකාරයට අමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර කරට කර සටනක් පැවතිය ද අවසානයේ දී අමෙරිකානුවන් පහසුවෙන් ම පදක්කම් සටහනේ පෙරමුණ ගත්තා.

මලල ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ ඇමරිකානුවන්
මලල ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ අමෙරිකානුවන් – gettyimages

එලෙස අමෙරිකාවට පහසු ජයක් හිමි වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් වුණේ අමෙරිකානුවන්ට රන් පදක්කම් හිමි වුණු තරග ඉසව් 8ක ම රිදී පදක්කම සෝවියට් රුසියාවට හිමිව තිබීම යි. යම් ආකාරයකින් එදා සෝවියට් රුසියාව රිදී  පදක්කම් දිනා ගත් එම ඉසව් 8හි ම රන් පදක්කම් ඔවුන්ට හිමිවුණා නම් පදක්කම් සටහනේ පළමු ස්ථානය සඳහා තියුණු තරගයක් නිර්මාණය වීමට ඉඩ තිබුණා. හෙල්සින්කි ඔලිම්පික් උළෙලේ දී අමෙරිකාව සහ සෝවියට් දේශය ලබාගත් පදක්කම් ප්‍රමාණය පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

අමෙරිකාව – රන්- 40    රිදී- 19    ලෝකඩ- 17

සෝවියට් දේශය- රන්- 22    රිදී- 30    ලෝකඩ- 19 

සෝවියට් දේශය හමුවේ අමෙරිකාව දණ නමයි 

1952 ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ දෙවන ස්ථානය ලබා ගත් සෝවියට් රුසියාව ඉන් වසර 4කට පසු ව පැවති මෙල්බර්න් ඔලිම්පික් තරගාවලියට අවතීර්ණ වුණේ පදක්කම් සටහනේ පළමු ස්ථානය ලබාගැනීම සඳහා ස්ථීර අධිෂ්ඨානයකින් යුක්තව යි. එවර තරගාවලිය සඳහා අමෙරිකානුවන් ක්‍රීඩා ඉසව් 18ක් සඳහා 297කින් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කරද්දී රුසියානුවන් ක්‍රීඩා ඉසව් 17ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 272ක් ඉදිරිපත් කළා. 

එවර තරගාවලියේ දී සුපුරුදු පරිදි ජිම්නාස්ටික් ඉසව්වල ආධිපත්‍යය රඳවා ගත් රුසියානුවන් ඉන් රන් පදක්කම් 11ක් දිනා ගත්තා. ඔවුන්ට මල්ලවපොර ක්‍රීඩාවෙන් රන් පදක්කම් 6ක් හිමි වුණා. ඊට අමතර ව මලල ක්‍රීඩා ඉසව්වලින් ද සාර්ථක ප්‍රතිඵල නෙළා ගත් රුසියානුවන් තවත් රන් පදක්කම් 5ක් එකතු කරගත්තා. බොක්සිං, ඉලක්කයට වෙඩි තැබීම සහ බර ඉසිලීම වැනි ක්‍රීඩාවලින් රන් පදක්කම් තුන බැගින් හිමිවීම ඔවුන්ට අමතර වාසියක් වුණා. ඒ අයුරින් ලබාගත් රන් පදක්කම් 31ට අමතර ව තවත් ක්‍රීඩා 4කින් රන් පදක්කම් 6ක් රුසියානුවන්ට හිමි වුණා.

ජිම්නාස්ටික් ක්‍රිඩාවෙන් රන් පදක්කම් 4ක් දිනාගත් රුසියාවේ ලැරිසා ලැටිනිනා
ජිම්නාස්ටික් ක්‍රිඩාවෙන් රන් පදක්කම් 4ක් දිනාගත් රුසියාවේ ලැරිසා ලැටිනිනා – gettyimages

එලෙස සෝවියට් රුසියාවේ රන් පදක්කම් එකතුව 37ක් දක්වා ඉහළ යද්දී අමෙරිකානුවන්ට මලල ක්‍රීඩාවෙන් පමණක් රන් පදක්කම් 16ක් හිමි වුණා. බර ඉසිලීමෙන් තවත් රන් පදක්කම් 4ක් හිමි වුණා. ඊට අමතර ව තවත් ක්‍රීඩා ක්‍රීඩා 6කින් රන් පදක්කම් 12ක් හිමිවුණත් එය රුසියානුවන් අභිබවා යන්නට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී සෝවියට් රුසියාව මුල්ම වරට ඔලිම්පික් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තා. පහත දක්වා තිබෙන්නේ එදා පදක්කම් සටහන දිස්වුණු ආකාරය යි.

සෝවියට් දේශය- රන්- 37    රිදී- 29    ලෝකඩ- 32

අමෙරිකාව – රන්- 32    රිදී- 25    ලෝකඩ- 17

වසර 12ක් පුරාවට කරට කර සටනක් 

1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ දී ලක්වුණු අවමානය අකාමකා දැමීමේ අරමුණෙන් අමෙරිකානුවන් 1960 රෝම ඔලිම්පික් තරගාවලියට අවතීර්ණ වුණා. රුසියානුවන් ද පදක්කම් සටහනේ මුල් තැන රැකගැනීම සඳහා සටනට පිවිසියා. එහි දී ඔවුන්ගේ සැලසුම වුණේ අමෙරිකානුවන් ආධිපත්‍යය පතුරුවාගෙන සිටි ක්‍රීඩාවන්ගෙන් හැකිතරම් පදක්කම් ප්‍රමාණයක් දිනාගැනීම යි. එදා රුසියානුවන්ගේ සැලසුම සාර්ථක වුණු නිසා ඔවුන්ට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 11ක් ද, බර ඉසිලීමෙන් රන් පදක්කම් 5ක් ද හිමි වුණා. කවදත් ඔවුන්ට වාසිදායක වුණු ජිම්නාස්ටික් තරගවලින් රන් පදක්කම් 10ක් හිමි වුණා. අවසානයේ දී සෝවියට් රුසියාව රන් පදක්කම් 43ක් දිනාගනිද් දී අමෙරිකානුවන්ට හිමි ව තිබුණේ රන් පදක්කම් 34ක් පමණ යි. එහි දී ඔවුන්ට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 12ක් ද, පිහිනුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 9ක් ද හිමි ව තිබුණා.

1960 රෝම ඔලිම්පික් උළෙලේ දී සෝවියට දේශය සහ අමෙරිකාව දිනාගත් පදක්කම් ප්‍රමාණයන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

සෝවියට් දේශය- රන්- 43    රිදී- 29    ලෝකඩ- 31

අමෙරිකාව – රන්- 34    රිදී- 21    ලෝකඩ- 16

රුසියානු මලල ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින්
රුසියානු මලල ක්‍රීඩිකාවන් දස්කම් දක්වමින් – getty images

1964 ගිම්හාන ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වුණා. ඊට පෙර පැවති රෝම ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානු පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් වැඩි ප්‍රමාණයක් දිනා ගෙන තිබුණා. එනිසා ඔවුන් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී පිහිනුම් ක්‍රීඩාවෙන් වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් ලබාගැනීමට සැලසුම් කළා. එම සැලැස්ම සාර්ථක වුණු නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී අමෙරිකානුවන්ට පිහිනුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 13ක් හිමි වුණා. ඔවුන්ට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 14ක් දිනා ගැනීමට හැකි වුණා. ඊට අමතර ව තවත් ක්‍රීඩා ඉසව් කිහිපයකින් රන් පදක්කම් හිමි වුණු නිසා අමෙරිකානුවන්ට රන් පදක්කම් 36ක් දිනා ගැනීමට හැකියාව ලැබුණා.

පිහිනුම් රන්පදක්කම් 4ක් ලබාගත් ඇමරිකානුවෙක්
පිහිනුම් රන්පදක්කම් 4ක් ලබාගත් අමෙරිකානුවෙක් – getty images

 

අමෙරිකානුවන්ගේ සැලසුම් ඒ අයුරින් සාර්ථක වෙද්දී සෝවියට් රුසියාව බලාපොරොත්තු නොවුණු ආකාරයේ පසුබෑමකට ලක්වුණා. එයට ප්‍රධානත ම හේතුව වුණේ සෝවියට් රුසියාවට වඩාත් වාසිදායක වුණු ජිම්නාස්ටික් සහ මල්ලව පොර යන ක්‍රීඩා යුගළයෙන් ජපානයට වැඩි රන් පදක්කම් ප්‍රමාණයක් හිමිවීම යි. ඒ අනුව රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් රන් පදක්කම් 4ක් පමණක් හිමි වෙද්දී මල්ලවපොර ක්‍රීඩාවෙන් හිමි වුණේ රන් පදක්කම් 3ක් පමණ යි. මලල ක්‍රීඩාවෙන් ද පසුබෑමකට ලක්වුණු රුසියානුවන් එම තරග ඉසව්වලින් ලබා ගත්තේ රන් පදක්කම් 5ක් පමණ යි. ඊට අමතර ව බර ඉසිලීමෙන් ද ඔවුන්ට රන් පදක්කම් 4ක් හිමි වුණා. කැනෝයිං සහ කඩු හරඹ, බොක්සිං වැනි ක්‍රීඩාවලින් ද රුසියානුවන්ට රන් පදක්කම් 3 බැගින් හිමි වුණත් එය අමෙරිකාව පසුකර යාමට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව සෝවියට් රුසියාවනුවන්ට ලබාගැනීමට හැකි වුණේ රන් පදක්කම් 30ක් පමණ යි. පහත දක්වා තිබෙන්නේ 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී අමෙරිකාව සහ සෝවියට් රුසියාව ලබා ගත් පදක්කම් ප්‍රමාණ යි.

ඇමරිකාව– රන්- 36    රිදී- 26    ලෝකඩ- 28

සෝවියට් දේශය- රන්- 30    රිදී- 31    ලෝකඩ- 35

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ලද පසුබෑම නිසා සෝවියට් රුසියානුවන් 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලට අවතීර්ණ වුණේ පදක්කම් සටහනේ පෙරමුණ ලබාගැනීම සඳහා යි. තරගාවලිය ආරම්භ වීමට පෙර සිටම අමෙරිකානුවන්ට යම් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ ඔවුන්ට වඩාත් වාසිදායක ක්‍රීඩාවක් වුණු පිහිනුම් ක්‍රිඩාවේ ඉසව් ප්‍රමාණය වැඩිකර තිබීම යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිනැමුණු පිහිනුම් රන් පදක්කම් 18 වෙනුවට 1968 ඔලිම්පික් උළෙලේ දී පිහිනුම් රන් පදක්කම් 29ක් පිරිනැමීමට නියමිත ව තිබුණා. එහි උපරිම වාසිය ලබාගත් අමෙරිකා එක්සත් ජනපදය පිහිනුම් තරග ඉසව්වලින් පමණක් රන් පදක්කම් 21ක් ලබා ගත්තා. ඊට අමතර ව ඔවුන්ට මලල ක්‍රීඩාවෙන් තවත්  රන් පදක්කම් 15ක් හිමි වුණා. අමෙරිකානුවන්ට තවත් ක්‍රීඩා කිහිපයකින් ද රන් පදක්කම් හිමි වුණු නිසා ඔවුන්ට හිමි වුණු සමස්ත රන් පදක්කම් ප්‍රමාණය 45 දක්වා ඉහළ ගියා. 

පිරිමි දුර පැනීම ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබූ බොබ් බීමන්
පිරිමි දුර පැනීම ඉසව්වෙන් ලෝක වාර්තාවක් තැබූ බොබ් බීමන් – getty images

 

අමෙරිකානුවන් පිහිනුම් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් වැඩි පදක්කම් ප්‍රමාණයක් හිමි කර ගනිද්දී සෝවියට් රුසියාවට වඩාත් වාසිදායක වුණු ජිම්නාස්ටික් සහ මල්ලව පොර ක්‍රීඩා පෙර වසරේ මෙන් ම ජපන් අණසකට නතු ව තිබුණා. එනිසා රුසියානුවන්ට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් හිමි ව තිබුණේ රන් පදක්කම් 5ක් පමණ යි. ඊට අමතර ව ඔවුන්ට තවත් ක්‍රීඩා ඉසව් 10කින් රන් පදක්කම් හිමි ව තිබුණත් අමෙරිකානුවන්ට අභියෝගයක් එල්ල කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් තරගාවලියේ දී අමෙරිකාව සහ සෝවියට් රුසියාව ලබාගත් පදක්කම් ප්‍රමාණයන් පහත ආකාරයට දක්වන්නට පුළුවන්.

අමෙරිකාව – රන්- 45   රිදී- 28    ලෝකඩ- 34

සෝවියට් දේශය- රන්- 29    රිදී- 32    ලෝකඩ- 30

සෝවියට් දේශය ඔලිම්පික් පිටියේ අණසක පතුරවයි 

පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි දෙකක දී අමෙරිකානුවන් හමුවේ පරාජය වුණු සෝවියට් දේශය 1972 මියුනිච් ඔලිම්පික් තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා හොඳින් සැලසුම් කළා. එහි දී රුසියානුවන්ගේ ප්‍රධාන සැලැස්ම වුණේ පිහිනුම් සහ මලල ක්‍රීඩාවේ අමෙරිකානු ආධිපත්‍ය බිඳ දැමීම යි. පිහිනුම් ක්‍රීඩාවෙන් අමෙරිකාවට අභියෝග කිරීම ලෙහෙසි පහසු නොවන බව අවබෝධ කරගත් රුසියානුවන් මලල ක්‍රීඩාවෙන් අමෙරිකාවට අභියෝග කිරීම සඳහා පිඹුරුපත් සකස් කළා. ඒ අතරතුර ඔවුන් අනිකුත් ක්‍රීඩාවලින් ද පදක්කම් වැඩි ප්‍රමාණයක් දිනා ගැනීම සඳහා සැලසුම් කළා. අවසානයේ දී මලල ක්‍රීඩා පිටියේ දී අමෙරිකානුවන් අභිබවා ගිය සෝවියට් රුසියාව රන් පදක්කම් 9ක්  අමෙරිකාවට හිමි වුණේ රන් පදක්කම් 6ක් පමණ යි. එහි දී වැලෙරි බොර්සෝව් නම් රුසියානුවා අමෙරිකානුවන්ට ම උරුම ව තිබුණු පිරිමි මීටර් 100 සහ 200 ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා. දිගු කලකට පසුව යළි හිස එසවූ සෝවියට් රුසියානු මල්ලව පොර ක්‍රීඩකයන් සිය රටට රන් පදක්කම් 9ක් දිනා දුන්නා. ඊට අමතර ව ජිම්නාස්ටික් සහ කැනෝයිං යන ක්‍රීඩාවලින් සෝවියට් දේශයට රන් පදක්කම් 6 බැගින් හිමි වුණා. එදා තවත් ක්‍රීඩා රැසකින් රන් පදක්කම් දිනා ගත් රුසියානුවන් අවසානයේ දී සිය රන් පදක්කම් ප්‍රමාණය 50 දක්වා වැඩි කර ගත්තා. 

බොර්සෝව් මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කළ මොහොත
බොර්සෝව් මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කළ මොහොත – getty images

එදා මාක් ස්පිට්ස් ලෝක වාර්තා 7ක් තබමින් පිහිනුම් රන් පදක්කම් 7ක් දිනා දුන් නිසා අමෙරිකානුවන්ට පිහිනුම් රන් පදක්කම් 17ක් හිමි වුණා. ඔවුන්ට මලල ක්‍රීඩාවෙන් හිමි වුණේ රන් පදක්කම් 6ක් පමණයි. එදා මලල ක්‍රීඩාවෙන් අමෙරිකානුවන් අභිබවා ගිය සෝවියට් දේශය සහ නැගෙනහිර ජර්මනිය පිළිවෙළින් රන් පදක්කම් 9ක් සහ 8ක් ලබා ගත්තා. ඒ අයුරින් ඔලිම්පික් පිටියේ දැඩි පසුබෑමකට පත්වුණු අමෙරිකානුවන්ට දිනා ගැනීමට හැකිවුණේ රන් පදක්කම් 33ක් පමණ යි. පහත දක්වා තිබෙන්නේ එදා පදක්කම් සටහන දිස්වුණු ආකාරය යි.

සෝවියට් දේශය- රන්- 50    රිදී- 27  ලෝකඩ- 22

අමෙරිකාව – රන්- 33    රිදී- 31    ලෝකඩ- 30

1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී අමෙරිකාව සහ සෝවියට් රුසියාව සමඟ සටන් කිරීමට තවත් ප්‍රබල රටක් එක්වුණා. ඒ නැගෙනහිර ජර්මනිය යි. නැගෙනහිර ජර්මනිය සටනට එක්වීමෙන් වැඩි ම බලපෑමක් සිදුවුණේ අමෙරිකාවට යි. එදා අමෙරිකාව අණසක පතුරුවා ගෙන සිටි මලල ක්‍රීඩා සහ පිහිනුම් යන ක්‍රීඩාවලින් නැගෙනහිර ජර්මානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුපිරි දස්කම් දැක්වීම නිසා සෝවියට් රුසියාවට විශාල වාසියක් හිමි වුණා. ඒ අතරතුර සෝවියට් රුසියානුවන් මල්ලව පොර ක්‍රීඩාවෙන් රන් පදක්කම් 12ක්, ජිම්නාස්ටික් සහ බර ඉසිලීමෙන් රන් පදක්කම් 7 බැගින් සහ කැනෝයිං ක්‍රීඩාවෙන් රන් පදක්කම් 6ක් දිනා ගත්තා. තවත් ක්‍රීඩාවලින් හිමි වුණු රන් පදක්කම් ද සමඟින් සෝවියට් රුසියාවේ සමස්ත රන් පදක්කම් ප්‍රමාණය 49 දක්වා ඉහළ ගියා.

සෝවියට් රුසියානු බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් දස්කම් දක්වමින්
සෝවියට් රුසියානු බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් දස්කම් දක්වමින් – gettyimages

ඒ අයුරින් සෝවියට් රුසියාවට පහසුවෙන් ම පළමු ස්ථානය හිමි වෙද්දී දෙවන ස්ථානය දිනා ගැනීම සඳහා අමෙරිකාව සහ නැගෙනහිර ජර්මනිය අතර තියුණු තරගයක් පැවතුණා. එහි දී මලල ක්‍රීඩාවේ ආධිපත්‍යය සියතට ගත් නැගෙනහිර ජර්මනිය රන් පදක්කම් 11ක් ලබා ගනිද්දී අමෙරිකාවට හිමි වුණේ මලල ක්‍රීඩා රන් පදක්කම් 6ක් පමණ යි. අමෙරිකාවට පිහිනුම් රන් පදක්කම් 13ක් හිමි වෙද්දී නැගෙනහිර ජර්මනියට පිහිනුම් රන් පදක්කම් 11ක් හිමි වුණා. ඊට අමතර ව නැගෙනහිර ජර්මනියට ඔරු පැදීමේ ක්‍රීඩාවෙන් රන් පදක්කම් 9ක් හිමි වුණා. ඒ අනුව  නැගෙනහිර ජර්මනිය පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනාග නිද්දී අමෙරිකාවට තෙවන ස්ථානය උරුම වුණා. එය අමෙරිකාව ඔලිම්පික් පදක්කම් සටහනක තෙවන ස්ථානය උරුම කර ගත් මුල්ම අවස්ථාව ලෙසින් ඉතිහාසගත වුණා. 

සෝවියට් දේශය- රන්- 49    රිදී- 41  ලෝකඩ- 35

නැගෙනහිර ජර්මනිය- රන්- 40    රිදී- 25    ලෝකඩ- 25

අමෙරිකාව – රන්- 34    රිදී- 35   ලෝකඩ- 25

1980 මොස්කව් ඔලිම්පික් උළෙල අමෙරිකාව වර්ජනය කිරීමත්, 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සෝවියට් රුසියාව සහ නැගෙනහිර ජර්මනිය වර්ජනය කිරීමත් හේතුවෙන් යළිත් වරක් සෝවියට් රුසියාව, අමෙරිකාව සහ නැගෙනහිර ජර්මනිය අතර ඔලිම්පික් තුන්කොන් සටන දක්නට ලැබුණේ 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දීයි. 

1988 සෝල් ඔලිම්පික් උළෙලේ දීත් පිහිනුම් ඉසව්වල දී අමෙරිකාව සහ නැගෙනහිර ජර්මනිය උරෙනුර ගැටුණා. එහි දී අමෙරිකානු පිහිනුම් ආධිපත්‍යය බිඳ දැමූ නැගෙනහිර ජර්මානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිනුම් රන් පදක්කම් 11ක් දිනා ගනිද්දී අමෙරිකාවට හිමි වුණේ පිහිනුම් රන් පදක්කම් 8ක් පමණ යි. මලල ක්‍රීඩාවෙන් යළි සාර්ථක වුණු අමෙරිකානුවන් රන් පදක්කම් 13ක් ලබා ගත්තා. අමෙරිකාවට එහි වාසිය ලබාගැනිමට නොහැකි වුණේ සෝවියට් රුසියාවට මලල ක්‍රීඩා රන් පදක්කම් 10ක් හිමි වුණු නිසා යි. ජිම්නාස්ටික් තරග ඉසව්වලින් රන් පදක්කම් 12ක් හිමි කර ගත් සෝවියට් දේශය මල්ලව පොර සහ බර ඉසිලීමෙන් තවත් රන් පදක්කම් 14ක් දිනා ගත්තා. ඊට අමතර ව තවත් ක්‍රීඩා රැසකින් සාර්ථක වුණු රුසියානුවන් රන් පදක්කම් 55ක් දිනා ගත්තා. ඒ අයුරින් නැවත වරක් සෝවියට් රුසියාව තුන්කොන් ඔලිම්පික් සටන ජයග්‍රහණය කරද්දී තියුණු සටනකින් පසුව අමෙරිකාව අභිබවා ගිය නැගෙනහිර ජර්මනිය දෙවන ස්ථානයට පත්වුණා. පහත දක්වා තිබෙන්නේ එවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහන යි.

සෝවියට් දේශය- රන්- 55    රිදී- 31  ලෝකඩ- 46

නැගෙනහිර ජර්මනිය- රන්- 37    රිදී- 35   ලෝකඩ- 30

අමෙරිකාව – රන්- 36    රිදී- 31   ලෝකඩ- 27

සෝවියට් රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්
සෝවියට් රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් – gettyimages

 

90 දශකයේ මුල් භාගයේ දී සෝවියට් දේශය බිඳී යාමෙන් පසුවසෝවියට් රුසියාව ඔලිම්පික් බිමේ දී  යළිත් දක්නට ලැබුණේ නැහැ. ඒ සමඟ ම යළිත් වරක් ඇමරිකානුවන්ට ඔලිම්පික් බිමේ සිය අණසක පතුරවන්නට අවස්ථාව උදා වුණා. පසුගිය කාලයේ දී චීනය ඔලිම්පික් බිමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. එනිසා නුදුරු දිනක දී සෝවියට් දේශය මෙන් අමෙරිකාවට අභියෝග කිරීමට චීනය සමත් වනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- ඔලිම්පික් බිමේ හපන්කම් පෑ සෝවියට් රුසියානුවන් -getty images

මූලාශ්‍ර- 

olympic.com 

 

*Caption 1952-1988 කාල සමයේ සෝවියට් රුසියාව සහ ඇමරිකාව ඔලිම්පික් උළෙල 8කදී උරෙනුර ගැටුණා. ඉන් අවස්ථාවන් 5කදී ඇමරිකාව අභිබවා යාමට සෝවියට් රුසියානුවන්ට අවස්ථාව ලැබුණා. *Tags-  *Topics- , ,  *URL- 

Related Articles

Exit mobile version