01. ලෝවාමහාපාය
මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයනේ පොහොය ගෙයක් කරවන ලදී. පසුව දුටුගැමුණු මහරජ තුමා මෙම ස්ථානයේ මහල් නවයකින් යුතු ප්‍රාසාදයක් කරවා සංඝයාට පුජා කරන ලදී. එය ලෝවාමහාපාය ලෙසින් හැඳින්වේ. පසුව මෙය පරාක්‍රමබාහු රජු ප්‍රතිසංස්කරණය කර තිබේ. අද දක්නට ලැබෙන ලෝවාමහාපායේ ගල් කණු 1600ක් ඇත. මෙයට ලෝවාමහාපාය ලෙසින් නම් ලැබී ඇත්තේ මෙහි වහලය තඹ ලෝහයෙන් නිම කර ඇති නිසායි.
02. ශ්‍රී මහා බෝධීන් වහන්සේ
මිනිස් අතකින් සිටවූ ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස ශ්‍රී මහා බෝධිය හැඳින්වේ. ක්‍රි. පු 288දි සිටුවන ලද මෙම බෝධිය ඉන්දියාවේ බුද්ධගයාවේ ඇති මවු බෝධියේ දකුණු අංකුර පැලයකි. ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා තෙරණියයි. ඒ දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීය. ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමඟ සිදු වූ වැදගත් සිදුවීමක් වුයේ ලාංකික භික්ෂුණි ශාසනය ආරම්භ වීමයි. වර්තමානයේ අනුරාධපුර උඩ මළුවේ වැඩසිටින ශ්‍රී මහා බෝධීය බෞද්ධාගමේ ප්‍රධාන සංකේතයකි.
03. ථූපාරාමය
අනුරාධපුරයේ මුලින්ම ඉදිකළ ස්ථූපය වන ථූපාරාමය කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව මෙහි තැන්පත් කර ඇත. ඉදිකළ කාලයේ ථූපාරාමය ධාන්‍ය ගොඩක හැඩයෙන් යුතු විය. නමුත් 1864දි කළ ප්‍රතිසංස්කරණ වලින් පසු මෙහි හැඩය වෙනස් විය. අද වන විට මෙය ඝණ්ඨාකාර හැඩයෙන් දිස්වේ.
04. මිරිසවැටිය
මිරිසවැටිය කරවන ලද්දේ දුටුගැමුණු රජු විසිනි. වංශකතා වලට අනුව රජු මෙය කරවා ඇත්තේ රජු මිරිස් ආහාරයක් ගැනීමට පෙර භික්ෂුන් වහන්සේලාට පූජා කිරීමට නොහැකි වූ නිසා එයට දඬුවමක් ලෙසයි. වරින් වරට සිදුවූ ඉන්දියානු ආක්‍රමණ නිසා මෙය බොහෝ දුරට විනාශ වුවත් නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. මිරිසවැටිය රියන් 80ක් දක්වා උස් කරන ලද්දේ පරාක්‍රමභාහු රජු විසිනි.
05. රුවන්වැලිසෑය
බෞද්ධ සංස්කෘතිය තුළ උතුම් වූ වස්තුවක් ලෙස සැලකෙන රුවන්වැලිසෑය කරවන ලද්දේ දුටුගැමුණු රජු විසිනි. ඒ, දේවානම්පියතිස්ස රජතුමා රුවන් මළුව නම් බිමේ තැබූ ශිලා ස්ථම්භයකට ගෞරව කිරීමක් ලෙසයි. මෙහි විෂ්කම්භය අඩි 370ක් පමණ වේ. රනින් කළ බෝ රුකක් හා ඒ සෙවනේ වැඩසිටින බුදු රූපයක් තැන්පත් කර ඇති රුවන්වැලිසෑ ධාතු ගර්භය ගල් පුවරු 6කින් සමන්විත වේ. මෙහි වැඩ කටයුතු දුටුගැමුණු රජුගේ කාලයේ අවසන් කිරීමට හැකි වී නැත.
06. අභයගිරිය
අභයගිරිය කරවා ඇත්තේ වළගම්බා රජු විසිනි. පසුව රජු විසින් මෙය තිස්ස හිමියන්ට පුජා කරන ලදී. ලංකා ඉතිහාසයේ ප්‍රථම පුද්ගලික ආරාම පූජාව ලෙස මෙය දැක්විය හැක. අටමස්ථාන අතරින් උසින් දෙවන තැන අභයගිරි වෙහෙරට ලැබෙන්නේ එය අඩි 370ක උසින් යුතු නිසයි.
07. ජේතවනාරාමය
ජෝතිය නම් භුමියේ ඉදිකර ඇති ජේතවනාරාමය කරවා ඇත්තේ මහසෙන් රජු විසිනි. ගඩොලින් කරන ලද නටඹුන් අතරින් දැනට ලෝකයේ ඉතිරි වී ඇති උසම පූජනීය වස්තුව මෙය වේ. ඉදි කළ කාලයේ උස අඩි 400කින් යුතු වූ මෙහි වර්තමාන උස අඩි 237කි.
08. ලංකාරාමය
ලංකාරාමය කරවා ඇත්තේ වළගම්බා රජු විසිනි. වංශ කතාවලට අනුව රජු මෙය කරවා ඇත්තේ තම බිසව වන සෝමා දේවිය වෙනුවෙනි. ආමලකාකාර හැඩයෙන් යුතු මෙය සෝමාරාමය යනුවෙන්ද හැඳින්වේ.
කවරයේ පින්තුරය – picture.lk