පුරාණ සමාජයේ කාන්තාවන්ට දරුගැබ් හටනොගැනීම, ගැබිණි කාලෙ ඇතිවන රෝග ආදියට වෙදහෙදකම්වලින් සුවයක් නොලැබුණු විට, ඒවා යක්ෂ බැල්ම හින්දා හටගන්නා බවට විශ්වාසයක් පැවතුණා. කාන්තාවගේ නිසරුභාවය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් ඇති කරනු ලබන්නක් ලෙස ඔවුන් සිතුවා. එම බලවේග ඇති කරන කරදරවලින් මිදීමට දේශීය යාතුකර්මවල පිහිට පැතූ බව යි පෙනෙන්නේ. ඒ අනුව මේ යක්ෂයන් භූතයන් පලවාහැරීමට විවිධ ශාන්ති කර්ම සිදුකළා. අනුරාධපුර යුගයේ සිට මේ ශාන්තිකර්ම කළ බවට සාධක පවතිනවා. රයෝගසාරය, කෛවලෞෂධ සංග‍්‍රහය, ගර්භබි සුව ප‍්‍රසූතිකෝප දේශය වැනි ඉන්දියානු ආයුර්වේද ග‍්‍රන්ථවල පවා වඳ ස්ත‍්‍රීන්ට දරුගැබ් පිහිටුවීම, දරුවන් ආරක්‍ෂා කිරීම, ප‍්‍රසූතිය පහසු කරවන ඖෂධ, යන්ත‍්‍ර මන්ත‍්‍ර පිළිබඳව විවිධ අභිචාර විධි හා වෙදහෙදකම් රැසක් ඇතුළත් අතර, ත‍්‍රිවිධාකාර වූ දරුඵල නැති කාන්තාවන් ගැන ද සඳහන් වෙනවා.
මානසික බෙහෙත්
අදටත් පිටිසර ගම්මානවල විතරක් නොවෙයි නගරයේ පවා හොර රහසේ තොවිල්පවිල් කරනු අපට ඉඳහිට දකින්න ලැබෙනවා. කඩවර යක් කංකාරියත් උඩරට හා වයඹ පළාත්වලට විශේෂිත වූ, දරුඵල නැති කාන්තාවන් සඳහා පවත්වන තොවිලයක්. කලස් යාගය හා රුප්පා යකුමත් මේ කාර්යයටම පවත්වන තවත් තොවිල් විශේෂ ලෙස සැලකිය හැකියි. මෙයට සමානව පහතරට පවත්වන්නේ රට යකුම යි. සබරගමුව පළාතේ එය කුමාර සමයම ලෙස හඳුන්වනවා.
පුරාණයේ දරුවන් වැදීම කාන්තාවකට අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකුණා. එම වාසනාව නැතිවූ කතුන් සමාජයෙන් කොන්කළා. නැන්දම්මලාගෙන් ඥාතීන්ගෙන් ඇනුම්පද අසමින් ඇය මානසිකව වැටී ජීවත්වුණා. එවැනි කාන්තාවන් සඳහා යි මේ තොවිලය පැවැත්වුණේ. ශාරීරික බෙහෙතක් ක්‍රියාකාරී නොවුණු විට පවත්වන මෙම ශාන්තිකර්ම මානසික බෙහෙතක් ලෙස සැලකිය හැකියි. ඒ හරහා ස්‌නායු ක්‍රියාකාරිත්වයෙන් නොදැනුවත්වම පාහේ සහනයක් සැලසීම ගැමියෝ නොපෙනෙන බලවේගවල පිහිටෙන් සිදුවන්නක් බවට විශ්වාස කළා.
මෙහි දී පැවැත්වෙන නැටුම් ආදිය රාගය මතුකරවන, දරුවන් වැදීම සලකුණු කරන අංගවලින් සමන්විත යි. දරුවන් බිහිකිරීමට ඇති බිය කාන්තාවන් තුළින් දුරුකිරීමත් මෙහි අරමුණක් බව යි පේන්නේ.
ආරම්භයේ සිටම අවසානය දක්වා මනෝ චිකිත්සක ලක්ෂණ රාශියක් මේ යක් තොවිලයේ දී දැකගත හැකියි. එහි පූජා රටාව සකස්වී ඇත්තේ රෝගී කාන්තාවගේ දුර්වල වූ මනස සුවපත් කරන්නා වූ බුද්ධිමත් ක‍්‍රියාවලියක් ලෙස යි. එසේ සිත සුවපත්වීම ආරම්භවන්නේ කාන්තාවගේ රෝගය නිවාරණය කරනු සඳහා ශන්තිකර්මය කිරීමට පොරොන්දුවීමක් ලෙස ඇප නූලක් බැඳීම (සමාගම් නූල) කරනු ලබන දින සිට යි. ශාන්තිකර්මය කරනා තෙක් ආතුරයා ආරක්‍ෂා කර දෙන ලෙස සියලු දෙවි දේවතාවුන්ගෙන් හෝ යකුන්ගෙන් ඉල්ලාසිටීම එහිදී සිදුවෙනවා.
කඩවර කංකාරිය පවත්වන අවස්ථා
නිසි කාලයට දරුගැබ් ගැනීම් සිදුනොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම් දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්‍රීන් හා සම්බන්ධ වූ ලෙඩ රෝග හා සබැඳි යක්ෂයන්ට පවත්වන තොවිලයක් ලෙස කඩවර කංකාරිය සැලකෙනවා. එමෙන්ම දරු ප්‍රසූතිය පමාවීම, අංගවිකල දරුවන් බිහිවීම, බිහි වූ දරුවන් විවිධ සංකූලතා නිසා දින කිහිපයකින් මරණයට පත්වීම සෞඛ්‍ය පිළිවෙත් දියුණු නොවූ පුරාණයේ බහුල වූ අතර, ඒවා සිදුවන්නේ ද කඩවර බැල්ම නිසා බව එකල දැඩි සේ විශ්වාස කළා.
මේ ලෙඩරෝගවලින් කාන්තාවන් නිදහස්‌කර ගැනීමට කඩවර යක්ෂයාට පුද පූජා දොළ පිදේනි පුදා සතුටු කළ යුතු බව යි සැලකුණේ. එසේ යක්ෂයා සතුටුකර තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට තුන්තිස් පැයක් මුළුල්ලේ කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව විශ්වාස කර තිබෙනවා.
පවත්වන පළාත්
කඩවර යක් කංකාරිය කන්ද උඩරට පමණක් නොවෙයි, උතුරුමැද හා වයඹ යන පළාත්වලත් දකින්න ලැබෙනවා. උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක් කංකාරියේ එක් අවස්ථාවක් ලෙස ගත හැකියි. වයඹ පළාතේ කඩවර නැටීම, දළකඩවරට ගොටු පිදේනි කැපකොට දීමට සීමාවන්නක් ලෙස දැක්වීමට පුළුවන්. උඩරට මධ්‍යම පළාතේ කඩවර යක් කංකාරියේ දී රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙනවා. පන්යක්‌කම, කපුයක්‌කම, නයියක්‌කම, වැදියක්‌කම, දරුයක්‌කම, බොරුයක්‌කම, මහයක්‌කම යන යක්‌කම් හතක් මුළු රැයක් එළිවන තෙක් පවත්වනවා.
කඩවර තොවිලෙ නටන්නෙ කොහොමද?
උඩරට කඩවර යක්‌කංකාරියේ පූජා විධි රටාව සමයම් හෙවත් කොටස් හතරකින් සමන්විත වෙනවා. ඒ හැන්දෑ සමයම, පූර්ව මධ්‍යම සමයම, අපර මධ්‍යම සමයම, හා අලුයම සමයම කියලයි.
සැන්දෑ සමයමට අයත් ආරම්භක කටයුත්ත වන්නේ යාග මඩුව පවිත්‍ර කිරීම යි. එහිදී කඩවර පිදේනිය හා සකස් කළ පිදේනි හා කොටු සභාගත කොට, කීලපන්දම් දල්වා දුම්මල ගසා කහපැන් ඉස යාගමඩුව මැනවින් සුද්ධ පවිත්‍රකොට, දෙවියන් වැඩසිටීමට සුදුසු තැනක් බවට පත්කිරීමට කපුමහත්වරු කටයුතු කරනවා.
සමාගම් නූල පැළඳවීම
කඩවර යක්‌කංකාරියේ පළමුවන චාරිත්‍රය වන්නේ සමාගම් නූල හෙවත් ඇප නූල පැළඳවීම යි. කංකාරිය පැවැත්වීමට දින විසිඑකකට පෙර යි එම කටයුත්ත කරන්නේ. ප්‍රධාන ගුරුන්නාන්සේ ආතුරයාගේ නිවසට ගොස් ආතුරයා හොඳින් පරීක්‍ෂාකොට ඥාතින්ගෙන් ද ප්‍රශ්නකොට ඇයට වැළඳී ඇත්තේ කඩවර දෝෂයක් බව මුලින්ම හඳුනාගන්නවා. ඊට පසු සුදු තුන්පටේ නූලක් ගෙන කඩවර යාදින්න තෙවරක් කියා, එම නූල ආතුරයාගේ දකුණතේ ඉහළ කොටසෙහි ගැටගසනු ලබනවා.
යාගමඩුව
නියමිත දිනට පෙර ආතුරයාගේ නිවසට පැමිණෙන කපුමහත්වරු එහි නවාතැන් ගෙන ශාන්තිකර්මයට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරනවා. දිග අඩි 30ක් හා පළල අඩි 15ක් පමණ ඉඩ ප්‍රමාණයේ යාගමඩුවක් ඉදිකර, ඒ තුළ සවස 5ට පමණ ශාන්තිකර්මය ආරම්භ කරනවා. මෙය නැරඹීමට අසල්වැසි නිවෙස්වල අයත් පැමිණෙනවා. දුම්මල ගසමින් නටමින් විවිධ අංගලක්ෂණ සහිතව පවත්වන ශාන්තිකර්මය පසුවදා පෙරවරු 7.30 දක්‌වා පැවැත්වෙනවා. අඩි හතක් උස කෙසෙල් කඳක් කොටස් තුනකට බෙදා සකස්‌කොට ගත් අයිලය සඳුන්, භූත, බත් යන කාලි දෙවිවරුන්ට වෙන්වූවක්. ගොක් අතුවලින් සැරසූ “ආතුර වාසස්‌ථානය” ආතුර කාන්තාව වෙනුවෙන් සකස්‌කොට තිබෙනවා. එහි එක් පසෙකින් පිදේනි යහනක් තිබෙනවා. එම යහන තුළ සීරි කඩවර, තොට කඩවර,රති කඩවර, නොමළ දත්ත, හා මෝරංගල යන යක්ෂයන්ට පිදේනි තබා තිබෙනවා. කුරාලයේ හා තුන්මංසලේ දොළේ පිදේනි කැපකොට දීමත් මෙම තොවිලයට අයත්.
ආතුරයා හෙවත් රෝගී කාන්තාව
යාග මඩුව පුරා කහ දියර ඉස දුම්මල ගසා පවිත්‍රකොට, රීරි යකුන්ගේ වැදියක් කඩවර, අභිමාන කඩවර යන දෑගසවුවන්ට ගොටු දෙකක් වෙන්කර තිබෙනවා. රීරි කඩවර ගොටුවත් යාග මඩුවේ ආතුර වාසස්‌ථානය ළඟින් තබා තිබෙනවා. ඉන්පසු ආතුර වාසස්‌ථානයට නිවස තුළ සිට ආතුර කාන්තාව කැඳවාගෙන එන්නේ හිස සිට සුදුපැහැ රෙද්දකින් වසාගෙන යි. ඇය ප්‍රධාන යකැදුරාගේ මැදිහත්වීමෙන් ආතුර වාසස්‌ථානයේ වඩා හිඳුවීමට පෙර තෙරුවන් සිහිකොට, දෙවියන් සිහිකොට, සහ යක්‍ෂයන් සිහිකොට පහන් දල්වා වඳිනවා. පසුව එතැන හිඳුවනවා.
හැන්දෑ සමයම නැටීම
බුදුන්ට, දෙවියන්ට මෙන්ම යක්‍ෂයන්ටත් පහන් දල්වා නයියණ්‌ඩි ඇඳුමින් සැරසුණු ඇඳුරන්, උඩැක්‌කි අතට ගෙන මඟුල් බෙර වයා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම සිදුකරනවා. හිසට ජටා බැඳ, සුදු පිරුවට හැඳ, සිලම්බු හා වළලු පැළඳ සිටින ඔවුන්ගේ ස්වරූපය ආකර්ශනීය යි. කපුමහත්වරු මල් යහන ඉදිරිපස සිට උඩැක්‌කියෙන් මඟුල් බෙර වාදනය කරමින් මල් යහන් කවි ගයමින් සියලු දෙවියන්ට මල් යහනට ආරාධනා කිරීම තමයි මුලින්ම කරන්නේ. දෙවියන් ඉදිරියේ නැටුම් ගැයුම් පැවැත්වීමෙන් ඔවුන් සතුටට පත්වන බවත්, සතුටට පත් දෙවියෝ තමන්ට පෙරළා ආශිර්වාද කරන බවත් මෙහිදී ගැමියෝ විශ්වාස කරන දෙයක්. එලෙස දේවාශිර්වාද ලැබෙනවාත් සමගම මෙතෙක් තිරයෙන් මුහුණ වසාගෙන සිටි ආතුර කාන්තාවගේ කඩතිර හැර දෙවියන්ට ඇයව ඉදිරිපත් කිරීම කළ යුතු වෙනවා. තොවිලයේ මුලින්ම කරන මේ අංගවලට කියන්නේ හැන්දෑ සමයම කියලයි.
සිරිකඩවර යක්ෂයාට පිදේනිය
දෙවියන්ගේ ආශිර්වාද ලබා ත් පසුව කාන්තාව ඉදිරිපිටම හැන්දෑ පිදේනිය හෙවත් සිරිකඩවර පිදේනිය සිරිකඩවරට කැපකොට දීම ආරම්භ කරනවා. මල්වර වන අවස්‌ථාවේ දී තනි වුවහොත් රීරි කඩවර දෝෂය වැළඳෙන බව විශ්වාස කරන අතර, එබඳු කාන්තාවන් මෙම පිදේනිය පුද දීමෙන් රෝගය සුවවන බව සැලකෙනවා. දොළ පිදේනි භාර ගැනීමට සිරියක්ෂයා ප්‍රධාන අනෙකුත් යකුන්ට අඬ ගසන්නේ මෙලෙස යි:
තෙද සීරියක්‌කු – අද කෙළි පුදට එක්‌කු
යකුගේ බල දැක්‌කු – බැස වරෙව් තෙද සිරි යක්‌කු
තොට කඩවර පිදේනිය
ස්‌නානය කරන තොටක දී, දිය කඩක දී වැඩිවියට පත්ව තනි වුවහොත් තොට කඩවර දෝෂය වැළඳෙන බව විශ්වාසය යි. බොහෝ කාන්තාවන්ට මෙම දෝෂය වැළඳෙන්නේ නොසැලකිල්ල හා නොදැනුවත්කම හේතුකොට ගෙන යි. දෝෂය තිබෙනතුරා දරුවන් පිළිසඳ ගැනීමකට ඉඩ නොදෙන තොට කඩවර යක්ෂයාට පූජාකරන පිදේනිය දියතොටක තබා කැපකොට දීමෙන් සුවකර ගත හැකි බව විශ්වාස කෙරෙනවා. රාත්‍රි අටෙන් පසුව තොට කඩවර පිදේනිය කැපකොට දීමේ අංගය ආරම්භ කරනවා.
කාමුක රාගික හැඟීම් ජනිත කරවීම, දරුවන් වැදීම ආදිය වාචික මෙන්ම ආංගික අභිනයෙන් ද රඟ දැක්‌වීම මෙහිදී සිදුවෙන සුවිශේෂ ජවනිකා ලෙස සැලකිය හැකියි. මෙකී අවස්‌ථාවල දී ඉදිරිපත් කරන සංවාද, ජවනිකා, ආතුරයාගේත් සෙසු නරඹන්නන්ගේත් හාස්‍ය රසය ජනිත කරවන අතරම ඔවුන්ගේ නිද්‍රශීලී ස්‌වභාවය ද තුරන් කෙරෙනවා.
උඩරට කඩවර යක් කංකාරියේ අවසන් මහ පිදේනිය පුද දෙන්නේ දළ කඩවරට යි. එයට පෙර තවත් අංග රාශියක් ද එළිවන තෙක් පවත්වන තොවිලයේ දී සිදුකෙරනවා.