අපේ ජාතික පුෂ්පය මානෙල් ද නිල් මානෙල් ද?

බහ තෝරන කාලයේ පටන් ශ්‍රී ලංකාවේ ජාතික ශාකය නා ගස ලෙස ද ජාතික පක්ෂියා වලි කුකුළා ලෙස ද ජාතික පුෂ්පය නිල් මානෙල් මල ලෙස ද කටපාඩම් කළ ඔබ සැමට මතක ඇති බවට සැකයක් නැහැ. නමුත් ගෙවී ගිය 2016 වසරේ දී මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්වය අංශයේ අධ්‍යක්ෂක පද්මා අබේකෝන් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල (නිල්) නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව යි.

© T. C. Tao

මෙතෙක් බොහෝ දෙනා ජාතික පුෂ්පය ලෙස හඳුනාගෙන සිටි දම් පැහැ පෙති සහිත නිල් මානෙල් මල විදේශික පුෂ්පයක් බව ද ජාතික පුෂ්පය ලෙස නම් කරන ලද මානෙල් මල ළා නිල් සහ සුදු පැහැ පෙති සහිත දේශීය විශේෂයක් බව ද ඇය තව දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ යළිත් වරක් ජාතික පුෂ්පය ලෙස නම් කර ලද්දේ 1986 දී ජාතික පුෂ්පය ලෙස නම් කරන ලද පුෂ්පයම ද නොඑසේ නම් වෙනත් විශේෂයක් ද? මේ ලිපිය ඒ ගැන යි.

ජනතා කැමැත්තට අනුව නම් කළ ජාතික සංකේත

ජාතික සංකේත සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් මහ මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් වූ යෝජනා අතරින් මානෙල් මල (නිල් මානෙල් නොවේ) ජාතික පුෂ්පය ලෙස තෝරා ගෙන ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 වැනි දින යි. මෙසේ තෝරා ගන්නා ලද මානෙල් මල සුදු සහ නිල් ලෙස ප්‍රභේද දෙකකින් යුතු වුණා. අදාළ කැබිනට් පත්‍රිකාවේ ජාතික පුෂ්පය ලෙස සඳහන් කර ඇත්තේ නිල් පැහැ මානෙල් මල යි. මෙය විද්‍යාත්මක ව Nymphaea nouchali හෝ Nymphaea stellate හඳුන්වනු ලබනවා.

© Naveen Herath

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස තෝරා ගන්නා ලද නිල් පැහැ මානෙල් මලේ සිතුවම්, සිගීරි බිතු සිතුවම් අතර පවා දැක ගැනීමට හැකි යි. එසේ ම 1692 ප්‍රකාශයට පත් කළ ලන්දේසි ජාතික හෙන්ඩ්‍රික් වෑන් රීඩ්ගේ ‘Hortus Malabaricus’ ග්‍රන්ථයේ ද නිවැරදි මානෙල් මලේ සිතුවම් අඩංගු වෙනවා. 1954 වර්ෂයේ දී ජේ. ඊ. සේනාරත්න විසින් ‘Wild Flowers of Ceylon’ යන මාතෘකාව යටතේ ‘Tropical Agriculturist’ සඟරාවට යොමු කළ ලිපියේ ද නිසි පරිදි වර්ණ ගන්වන ලද මානෙල් මලක් දැක ගැනීමට හැකි යි.

(©Ashan Algama) මානෙල් මල් දරා සිටින සීගිරි අප්සරාවන්

එහෙම නම් අපිට වැරදුණේ කොතන ද?

මෙසේ බොහෝමයක් මූලාශ්‍රයන් හි නිවැරදි මානෙල් මල දැක ගැනීමට ලැබුණත් නිල් පැහැ මානෙල් මල ජාතික පුෂ්පය ලෙස ප්‍රකාශයට පත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ අදාළ නිල් පැහැ මානෙල් මලේ සේයා රුවක් හෝ සිතුවමක් අඩංගු වුණේ නැහැ. මෙය වැරදි අවබෝධයන් රැසකට මග පෙන්වන ලද අතර නිල් පැහැ මානෙල් මල වෙනුවට ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් පිටුවේ ප්‍රදර්ශනය කරන ලද්දේ නිල් මානෙල් මලේ සේයා රුවක්. එසේ ම පසු කාලීන ව ජාතික පුෂ්පය නිරූපණය කරමින් නිකුත් කරන ලද සමරු මුද්දරයේ ද දක්වා තිබුණේ නිල් මානෙල් මල යි.

© Dharani Weerasinghe

පසු ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්ය දීප්ති යකදවල මහත්මිය විසින් 2010 වර්ෂයේ දී පෙන්වා දෙන තෙක් ම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස භාවිතා වුණා. ඇය පෙන්වා දුන්නේ සත්‍ය ජාතික පුෂ්පය, ශ්‍රී ලංකාව නිජබිම කර ගත් පුෂ්පයක් බව යි. නමුත් වැරදි නිල් මානෙල් බව බොහෝ කලකට පෙර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දක් වන අතර එය දේශීය හෝ ආවේණික පුෂ්පයක් නොවේ. නමුත් කලාතුරකින් දක්නට ලැබෙන සත්‍ය මානෙල් මලට වඩා එය දේශිය වශයෙන් ව්‍යාප්ත වී තිබීම, එය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය යන අදහස ජනතාව අතර ප්‍රචලිත කරවන්නට මග පාදා දෙන්නට ඇති බව ඇය විශ්වාස කරනවා.

නිවැරදි මානෙල් මල හඳුනා ගන්නේ කොහොම ද?

මහාචාර්ය දීප්ති යකදවල මහත්මිය පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලාංකිකයන් ජාතික පුෂ්පය යැයි හඳුනාගෙන සිටින්නේ Nymphaea capensis නම් පුෂ්පය යි. එය සත්‍ය මානෙල් මලට වඩා පැහැයෙන් දීප්තිමත් වන අතර නිල් පැහැයට වඩා දම් පැහැයට හුරු වෙනවා. මනා ව විසිරුණු පෙති රාශියකින් යුක්ත වන එහි පත්‍ර ද මානෙල් මලට වඩා වෙනස්.

(© George Lezenby) නිල් මානෙල් හෙවත් Nymphaea capensis

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස සැලකෙන මානෙල් මල, ප්‍රමාණයෙන් නිල් මානෙල් මලට වඩා කුඩා වන අතර ළා නිල් සහ සුදු පැහැයෙන් යුතු යි. නිල් මානෙල් මලට වඩා අඩු පෙති සංඛ්‍යාවක් සහිත මානෙල් මල, පෙති 9 – 15 අතර ප්‍රමාණයකින් සැකසී ඇති අතර පළලින් අඩු දිගැටි හැඩයක් ගන්නවා. කහ පැහැයෙන් යුතු මෙහි රේණු සංඛ්‍යාව (සාමාන්‍යයෙන් 16 – 30) ද නිල් මානෙල් මලට වඩා ගණනින් අඩු යි. රවුම් හැඩයක් ගන්නා මානෙල් මලේ පත්‍ර දිදුලන කොළ පැහැයෙන් යුතු වෙනවා.

මානෙල් ශාකය වසර පුරා මලින් බර අතර වියළි කලාපයේ නොගැඹුරු දිය කඩිති, පොකුණු සහ වැව් ආශ්‍රිත ව සුලබ ව දැක ගැනීමට ලැබෙනවා. ශ්‍රී ලංකාව නිජබිම වුණ ද ශ්‍රී ලංකාවට ආවේණික නොවන එය ඉන්දීය උප මහද්වීපය, දකුණු ආසියාව, තායිලන්තය, මියන්මාරය සහ ඇෆ්ඝනිස්ථානයේ දී ද දැක ගැනීමට හැකි යි. එම රටවල් බොහෝමයක උද්‍යාන අලංකරණය සඳහා මානෙල් මල යොදා ගන්නවා.

(© Yercaud Elango) මානෙල් හෙවත් Nymphaea nouchali

කෙසේ හෝ මහාචාර්ය දීප්ති යකදවල මහත්මියගේ අනාවරණයෙන් සය වසරකට පසු ව ශ්‍රී ලංකා රජය සිදු වූ නිවැරදි කිරීමට කටයුතු කළ අතර සත්‍ය ජාතික පුෂ්පය වන මානෙල් මලේ නිවැරදි සේයා රුවක්, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ වෙබ් පිටුවේ දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පමණක් නොව බංගලාදේශයේ ජාතික පුෂ්පය වන්නේ ද මානෙල් මල යි. එක ම විද්‍යාත්මක නාමයෙන් හැඳින් වුව ද ඔවුන් භාවිතා කරන පුෂ්පය, සුදු පැහැයෙන් යුතු වෙනවා.

Cover image: © Edward Y

Related Articles

Exit mobile version