අප්‍රෙල් මැද භාගයේ උදාවන පාස්කු සමය කිතුණු බැතිමතුන් යේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ මළවුන්ගෙන් උත්ථානය වීම සිහිපත් කරන කාලයක්. මේ කාලයේ කිතුනුවන් තම ආගමික බැතිය පළ කිරීමට යොදා ගන්නා පැරණි කලා සම්ප්‍රදායක් වන්නේ පාස්කු නාට්‍ය රඟදැක්වීම යි.
ඒ අතර ම 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු ව බහුතරයකට පාස්කු නාට්‍ය වෙනුවට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුකර ගැනීමේ ප්‍රශ්නය මතුව තිබෙනවා. අප මේ ලිපියෙන් උත්සාහ කරන්නේ සියවස් ගණනාවක් පැරණි ලංකාවේ පාස්කු නාට්‍ය ඉතිහාසය හාරා අවුස්සා බැලීමට යි.
පාස්කු නාට්‍ය
යේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීමේ දුක්ප්‍රාප්තිය සහ මරණය සහ මළවුන්ගෙන් උත්ථානය සමරන්නට කතෝලික ජනතාව අතර ජනප්‍රිය භක්ති අභ්‍යාසයක් ලෙස පාස්කු නාට්‍ය සැලකෙනවා. අද නම් කිතුනුවන් මෙන් ම බොදුනුවන් සහ වෙනත් ආගම්වල අයත් පාස්කු නාට්‍ය දැක ගැනීමට එනවා.
‘පාස්කු’ යන වචනය පෘතුගීසි භාෂාවේ ‘පාස්සු’ යන වචනයෙන් භින්න ව ආවක් බවත්, එහි අරුත ක්‍රිස්තූන්ගේ දුක්ප්‍රාප්තිය චිත්‍ර හෝ ප්‍රතිමා මාර්ගයෙන් නිරූපණය කර දැක්වීම යැයි ද එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන් පවසනවා. මර්සලීනු ජයකොඩි පියතුමන් දක්වන්නේ ඊට වෙනස් අදහසක්. ඔහු සඳහන් කරන්නේ ‘පාස්කු’ යන්න ‘පැස්කා’ නම් වූ ලතින් වචනයෙන් භින්න ව ආවක් බවත් එහි අරුත නික්ම යෑම හෙවත් පිට වී යෑම යන්න බවත්.
පාස්කු නාට්‍ය මුලින් ම බිහි ව ඇත්තේ ජන වන්දනාවක් වශයෙන් යුරෝපයේ රටවල යි. අද වන විට මේ නාට්‍ය මුළු ලොවෙහි ම ප්‍රසිද්ධියට පත් ව පවතිනවා. පෘතුගාලය, බෙලිජියම, ඉතාලිය, මෙක්සිකෝව, ෆිලිපීනය, ස්පාඤ්ඤය ආදී රටවල් ගණනාවක ම ප්‍රසිද්ධියට පත් පාස්කු නාට්‍ය රඟ දක්වනවා. මේ අතරින් ඉතා විශේෂ පාස්කු නාට්‍යයක් ලෙස වසර 10කට වරක් ජර්මනියේ රඟදක්වන ඔබර්අමර්ගෝ ගමේ පාස්කුව ඉතා ප්‍රකට යි.
ලංකාවේ රඟ දක්වන ප්‍රසිද්ධ පාස්කු නාට්‍ය අතරින් කිහිපයක් ලෙස මීගමුවේ දූව හා පිටිපන පාස්කුව, මග්ගොන, දියලගොඩ, පයාගල, කලමුල්ල, වාද්දුව, සහ මොරටුව සඳහන් කළ හැකි යි. වර්ෂ 1796 දී බ්‍රිතාන්‍ය යුගය ආරම්භ වූ පසු ව පාස්කු නාට්‍ය කලාව ඉතා ශීඝ්‍රයෙන් මෙරට මුහුදුබඩ පළාත්වල පැතිර ගියා.
ලංකාවේ පාස්කු නාට්‍ය පුරාවත
ශ්‍රී ලංකාවේ කිතුණු නාට්‍ය ප්‍රදර්ශනයේ අතීතය ක්‍රිස්තු වර්ෂ 1602 පෘතුගීසි කාලය දක්වා දිව යනවා. එම අවුරුද්දේ කොළඹ අනුනායක දෙව්මැඳුර ආසිරි ගැන්වූ විටදී පළමු වරට කිතුණු නාට්‍යයක් රඟ දක්වා ඇති අතර ජේසු නිකායික දියෝගා ද කූඤ්ඤ පියතුමන් එය නිර්මාණය කළ බව සඳහන් වෙනවා.
1603දී බෝලවත්තේ ද, 1613දී කම්මල ද 1617දී හලාවත ද මෙවැනි කිතුණු නාටක රඟ දැක්වූ බව අර්නස්ට් පෝරුතොට පියතුමන් සඳහන් කර සිටිනවා.
ප්‍රතිමා යොදා ගෙන පාස්කු රඟ දැක්වීම කිතු දහමට පීඩනයක් එල්ල වූ ඕලන්ද යුගයේ දී සිදු ව තිබෙනවා. එකල ලංකාවට රහසිගත ව පැමිණි ජුසේ වාස් මුනිදුන්ගේ හා ජාකොම් ගොන්සාල්වෙස් පියතුමන්ගේ සුවිශේෂි දායකත්වයෙන් මේ ප්‍රතිමා පාස්කු රංගනය මෙරට පැතිර ගොස් තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 1705 සිට යි.
ක්‍රිස්තු වර්ෂ 1705 දී වන්නියෙන් හා මන්නාරමෙන් ආරම්භ වූ පාස්කු නාට්‍යවලට ඇවැසි ප්‍රතිමා ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වෙනවා. එම ප්‍රතිමා සමහරක් අදත් මන්නාරමට නොදුරු පරපාන්කන්ඩල් දේවස්ථානයේ ද, පේසාලෙයි දේවස්ථානයේ ද දක්නට ලැබෙනවා. පරපාන්කන්ඩල් දෙවස්ථානයේ තිබෙන දුක් ප්‍රාප්තියේ යේසු සමිඳාණන්ගේ ප්‍රතිමාව වර්ෂ 1860දී ගෝවෙන් රැගෙන එන ලද්දක්.
ජාකොමේ ගොන්සාල්වෙස් පියනම
ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන් සිය නිර්මාණ ප්‍රතිභාව සහ ඉන්දීය කර්ණාටක සංගීතය මෙහෙයවමින් පාස්කු නාට්‍ය රචනා කළ බව පැවසෙනවා. එම නාට්‍යය මීගමුවට නුදුරු බෝලවත්ත දෙව්මැඳුරේ දී 1730 දී දෙමළෙන් සහ සිංහලෙන් රංග ගත කර තිබෙනවා.
ගොන්සාල්වෙස් පියතුමන් පාස්කු නාට්‍ය කලාවට නව අංග කිහිපයක් ම එක් කර තිබෙනවා. උන්වහන්සේ මුහුදුබඩ පෙදෙස්වල පල්ලිවල සිටි කාලයේ දී මිහිරි ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගෙන තිබෙනවා.
වර්ෂ 1728 දී ගොන්සාල්වෙස් පියතුමන් රචිත දුක්ප්‍රාප්ති ප්‍රසංගය නමැති ගද්‍ය කෘතිය හා පසන් ගීත නවයකින් යුක්ත දේශනා නවයේ පසන් පොත පාස්කු නාට්‍යවලට පසුව උපයෝගී කරගත් කෘති ලෙස සඳහන් කළ හැකි යි. එකල ප්‍රතිමා උපයෝගී කර ගනිමින් මහා පාස්කු දා යේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, බෝලවත්ත දේවස්ථානය අසල විශාල පාස්කු මණ්ඩපයක් සාදා රඟ දැක් වූ බව පැරණි කතෝලික වාර්තාවල කියවෙනවා.
මීගමු දූව සහ පිටිපන පාස්කු
දැනට වසර 300කට ආසන්න කාලයක් මුළුල්ලේ නොකඩවා ඉදිරිපත් කෙරන එකම පාස්කු නාටකය වන්නේ මීගමු දූවේ පාස්කු නාට්‍යය යි. එය ක්‍රිස්තු වර්ෂ 1728 දී පමණ ආරම්භ වී ඇතැයි පැවසනවා. ක්‍රිස්තු වර්ෂ 1839 දී එහි 100 වන පාස්කු දර්ශනය පැවැත්වූ බැව් සඳහන් වෙනවා. ‘දූව පාස්කු නාට්‍ය අන් පාස්කු නාට්‍ය අතරින් ඉතා පැරැණි නාට්‍යය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇතැයි’ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කර තිබෙනවා.
මීගොමු දූවේ පාස්කු නාට්‍යයේ ක්‍රිස්තූන් වහන්සේ ඇණ ගැසීම නිරූපණයට යොදා ගැනෙන ප්‍රධාන සුරුවම දකුණු ඉන්දියාවේ කොචින් නුවර සිටි ජෝකීනු මේස්ත්‍ර නමැති වඩු කාර්මිකයාගේ නිර්මාණයක්. එය මෙරටට ගෙන ආවේ 1838 දී බව යි සඳහන් වන්නේ. එකල මීගොමු දූවේ ධීවරයන් කර්මාන්තය සඳහා සුළුප්පු හා පැටිල් ඔරු යන යාත්‍රා මඟින් දකුණු ඉන්දියාවට ද යාම සිරිතක් කර ගන සිටියා.
එහිදී ඔවුන්ට සුරුවම් හා රූකඩ අනුසාරයෙන් පැවැත්වුණු පාස්කු නාට්‍ය දකින්නට ලැබුණේයැයි සිතිය හැකි යි. ඒවා දුටු ඔවුන්ට ඒ ආකාරයේ අලුත් සුරුවමක් පාස්කුවට නිර්මාණය කරගන්නට ධීවරයන්ට අදහසක් පහළ ව තිබෙනවා. මේ සුරුවම නිර්මාණය කිරීම ජෝකීනු වඩු කාර්මිකයා රුපියල් 300ක මුදලක් අයකර තිබෙනවා.
ප්‍රතිමා වෙනුවට නළුවන් යොදා ගැනීම
1939 දී දූවේ පාස්කු නාට්‍යය නවීකරණයකට ලක් කළ අතර එයට මූලික වූයේ එවක දූවේ සින්ද්‍රාති දෙව් මැඳුරේ මීසම් පාලක ව සිටි මර්සලීනු ජයකොඩි පියනම යි. නාට්‍යය සඳහා අලුත් පිටපතක් රචනා කළ ජයකොඩි පියනම ප්‍රතිමා වෙනුවට නළුවන් යොදා ගැනීම ආරම්භ කළා. ක්‍රිස්තූන් වහන්සේ හා මරිය තුමිය යන චරිත හැරුණු කොට අන් චරිත නළුවන් රඟ දැක්වීම සිදුවුණා. මේ නිසා නාට්‍යයට නව ප්‍රාණයක් ලැබුණා.
නාට්‍යයේ නව පිටපත ලිවීමේ දී තමාට ඩොරති සේස් ගේ ‘බෝන් ටු බි අං කිංග්’ නමැති කෘතිය අනුප්‍රාණයක් සැපයූ බව ජයකොඩි පියනම ප්‍රකාශ කර තිබෙනවා. නාට්‍යය සඳහා මිහිරි තනු යොදාගෙන අලුත් ගී කීපයක් ම රචනා කිරීමත් සිදුවුණා. ‘කුරුසේ නැඟ අත් විහිදා’, ‘හඳපානේ පිපි වැටකෙයි මල සේ’, ‘යහනක සේ මා’, ‘රුදුරු වීද මල් උයනේ’, ‘ඔබ සිරි මරණේ’ යන ගීත ඊට නිදසුන් ලෙස දැක්විය හැකි යි.
මේ කාලයේ කාන්තා චරිත සඳහා ද යොදා ගැනුණේත් පිරිමි නළුවන්. කාන්තා චරිත රඟපෑමට නිළියන් යොදා ගැනුණේ පසු කලෙක යි. මැගිලින් ලිවේරා දූව පාස්කු නාට්‍යයේ රඟපෑ ප්‍රථම නිළිය ලෙස වාර්තාගත වෙනවා.
1962 දී දූව පාස්කුවට යළිත් නව මුහුණුවරක් ලැබුණා. ඒ සඳහා මුල් වුණේ වින්සන්ට් ලෙරිනස් පීරිස්, සලමන් ජෝ, ලෙනාඩ් පීරිස්, ෆ්රෑන්ක් ප්‍රනාන්දු, ශ්‍රී ව. ලූකස් හා ක්‍රිස්ටි ප්‍රනාන්දු යන තරුණ කණ්ඩායම යි. එම නවීකරණයේ ප්‍රධානත ම අංගය වුණේ ක්‍රිස්තූන් වහන්සේගේ චරිතය නළුවකු රඟ දැක්වීම ආරම්භ කිරීම යි. ක්‍රිස්ටි ප්‍රනාන්දු ක්‍රිස්තු චරිතය රඟපෑ මුල් ම නළුවා ලෙස ඉතිහාසගත වුණා.
ක්‍රිස්ටි ප්‍රනාන්දු චිත්‍රසේනයන්ගෙන් නැටුම් උගත් එසේ ම ලෙස්ලි බොතේජු හා එක් ව ‘රසාංජලී’ නම් වූ කලා සංවිධානය පිහිටුවා ගැනීමට මූලික වූ දක්ෂ රංග ශිලපියෙක්. 1972 දී දූව පාස්කු නාට්‍යය යළිත් වෙනසකට භාජනය වුණා. එයට මුල් වුණේ පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෙක් වුණු ක්ලෙමන්ට් ප්‍රනාන්දු යි. ඔහු අතින් වඩාත් සරල අලුත් පිටපතක් රචනා වුණා.
ලංකාව පුරා ප්‍රකට පිටිපන පාස්කු නාට්‍යයට ද සියවස් දෙකක පමණ ඉතිහාසයක් තිබෙනවා. එය ඇරඹුණේ 1764 පමණ බව යි සැලකෙන්නේ. පිටිපන පාස්කු නාට්‍යයේ භාරකාරත්වය දරන්නේ නයිදප්පුලාගේ පරම්පරාව යි. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් රචිත දේශනා නවයේ පසන් පොත මුල්කරගෙන ප්‍රතිමා යොදා ගෙන මුලින් ම මේ පාස්කුව රංගගත කර තිබෙනවා.
1965 දී පමණ නයිදප්පු පරම්පරාවට ම අයත් එන්. සලමන් ප්‍රනාන්දු නාට්‍යවේදියා පිටිපන පාස්කු නාට්‍යයට නව මුහුණුවරක් දී තිබෙනවා. පසුකාලීනව වසර ගණනාවක්ම මේ නාට්‍යයේ යේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ පුද්ගලයෙක් ලෙස නයිදප්පු පරම්පරාවේ ස්ටීවන් ලියනගේ සැලකෙනවා.
බොරලැස්සේ ලොරන්ස් පෙරේරා නම් නිර්මාණකරුවාගේ පාස්කු නාට්‍යය 1923 දී පමණ ආරම්භ ව 1938 දක්වා රංගගත කළ අතර එකල ලංකාවේ ප්‍රකට ම පාස්කු නාට්‍යය ලෙස සැලකුණා.
200කට අධික නළු නිළි සංඛ්‍යාවක්
පාස්කු නාට්‍ය සඳහා භාවික කරන්නේ කන්තාරු සංගීතය යි. සිත තුළ භක්තිය ඉහළ නැංවීමට එම සංගීතයට හැකියාවක් පවතිනවා. ඊට ගීත හා පසම් ගීත ද ඇතුළත්. එම ගායනාවල මූලාශ්‍රය යුරෝපීය ජන වන්දනා ගීතවල දිස් වන බව මහාචාර්ය එම්.එච්. ගුණතිලක සඳහන් කරනවා. මේ සඳහා කර්ණාටක සංගීතයේ ද ආභාසය දකින්නට ලැබෙනවා.
පාස්කු නාට්‍යයක සාමාන්‍යයෙන් 200කට අධික නළු නිළි සංඛ්‍යාවක් රඟපෑම සිදුවෙනවා. කුඩා ළමයින් මෙන් ම මහල්ලන් ද ඔවුන් අතර සිටිනවා. දැවැන්ත සංදර්ශනශීලි ස්වභාවයක් මේවායේ දැක ගත හැකි යි. පාස්කු නාට්‍යයක් නැරඹීමට හතළිස් දහසක, පනස් දහසක පමණ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගි වීම දැකගත හැකි යි.