මේ ලිපියේ මුල් කර්තෘ සාගර් ෂාහ් නැමති ඉන්දීය ව්‍යාපාරිකයෙකි. ඔහු කාලයක් පුරා VistaRooms.lk හි සේවය කරන අතරතුර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඇවිද දැනුමක් ලබාගත් අයෙකි. ඔහු මේ ගමන් වලදී විදේශික ව්‍යාපාරිකයෙකු ලෙසින් ශ්‍රී ලංකාව පිළිබඳව දුටු ආකාරය ගැන ලියන ලද ලිපියක් මෙලෙස සිංහලෙන් පළ කෙරේ.
මම ශ්‍රී ලංකාව පුරාවටම කරපු සංචාර වලදී වැඩියෙන්ම ගිහින් තියෙන්නේ සංචාරක කේන්ද්‍ර වලට, ඒ වගේම බොහෝ විට නවාතැන් ගන්න ලැබුණේ දේශීය හෝටල් වලයි. ලෝකය පුරාම තියන ඉතාම සුන්දරයි කියලා ප්‍රසිද්ධ වුන බොහෝ ප්‍රදේශ වලට යන්න මට අවස්ථාව ලැබුනත් ඒවා නරඹලා සතුටු වෙන්න ඉඩක් ලැබුණේ හරිම කලාතුරකින් තමයි. ව්‍යාපාරිකයෙක් විදිහට මම කරපු සංචාර වලදී වැඩි කාලයක් ගෙවිලා ගියේ ව්‍යාපාරික හමුවීම් වලට සහභාගී වෙන එකටයි, හෝටල් වල රැඳී ඉන්න එකටයි. බොහෝ වෙලාවට මට දවසකට රැස්වීම් අටක්-දහයක් අතර ගානකට වගේ සහභාගී වෙන්න සිදු වුණා.
ව්‍යාපාරිකයෙක් විදිහට මට මගේ පාරිභෝගිකයන් හිතන විදිහ දැන ගන්න අවශ්‍ය වුන නිසා මම පුළුවන් හැම වෙලාවකම වගේ මට ලංකාව තුළදීත්, වෙනත් රටවලදීත් හමු වෙන විදේශිකයන් අතරින් ලංකාවට නිතර එන අය එක්ක කතා කරන්න යොමු වුණා. ඔවුන් සමග නිතර කතා කරලා මට දැන ගන්න ලැබුණු වැදගත් දේවල් බොහොමයක් තියෙනවා. ප්‍රධානම දේ වුණේ මම ලංකාව තුල විඳලා තියෙන සමහර අත්දැකීම් ඔවුන් ගොඩක් දෙනෙක්ට අත්විඳින්න ලැබිලා නෑ කියන එක. ඒ අතින් බැලුවම මම කලින් හිතා ගෙන හිටියාට වඩා මම ලංකාව ගැන සුවිශේෂ අත්දැකීම් බොහොමයක් ලබා ගත්තු කෙනෙක් බව මටම තේරුණා.
ආගන්තුක සත්කාරයෙන් ඉහළ සංස්කෘතිය
ව්‍යාපාරික අතින් බැලුවම මම මාස දෙකක් තුලදී හෝටල් හිමියන් 500ක් පමණ මුණ ගැහිලා කතා බස් කරලා තියෙනවා, නමුත් සාමාන්‍ය මිනිසුන් හමු වුන අවස්ථා ඊටත් වැඩියි. වැදගත්ම දේ හැම සමාජ මට්ටමකම අය හමු වෙන්න මට වාසනාව ලැබුණු එක. දොස්තරවරු, ගුවන් නියමුවන්, ව්‍යාපාරිකයන් – මේ හැම දෙනෙක්ම ලංකාවේ වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තයේ වැදගත් කොටස්කරුවන්. ලංකාව ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ආගන්තුක සත්කාරයට, ඒක මටත් හොඳින්ම අත් විඳින්න ලැබුණා. ශ්‍රී ලාංකිකයන් හැම වෙලාවකම සිනා මුසු මුහුණකින් ඉන්නවා වගේම බොහොම මිත්‍රශීලීව තමයි කතා කරන්නෙත්. මොන තරම් තීරණාත්මක කතා බහක දී වුනත්, වාදයක දී වුනත් ඔවුන් තරහ ගන්නේ හරිම කලාතුරකින්. ඉන්දියාවේ ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු වලදී නිතර දකින්න ලැබෙන නොරිස්සුම් සහගත මුහුණ ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් දකින්න නො ලැබුණු එක මට ලොකු පහසුවක් වුණා.
අමුතු පුරුදු සමහරක්
සමහර අමුතු පුරුදු නම් විදේශිකයෙකුට ඒ තරම් පහසුවෙන් අඳුර ගන්න බෑ. කවුරුත් වචනයෙන් නොකියන පුංචි නීති රීති සමහරකුත් ලංකාවේ තියෙනවා, මේවා ඔබ හඳුනා ගන්න ඕනේ ඒ වගේ ගැටලුකාරී අවස්ථා වලට මුහුණ දීලමයි. මම ලංකාවට ආපු පලවෙනි දවසේ මම සහභාගී වුන හැම රැස්වීමකදීම මොනවා හෝ බීම වර්ගයක් ලැබුණා. බීම කිහිපයක්ම බීපු නිසා මම එක් රැස්වීමකදී මට ලැබුණු බීම එක කාරුණිකව ප්‍රතික්ෂේප කරා. මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ, නමුත් මට ඒක පිලි ගන්වපු කෙනාගේ හිත බොහොම රිදුණා කියලා මට පස්සේ තමයි තේරුණේ. මම ඒ වෙලාවේ පලතුරු යුෂ බොන්න අකමැති වුන නිසා ඒක එපා කිව්වට ඒක එයාට කරපු පෞද්ගලික අපහාසයක් විදිහට සැලකුවා වගේ. මේකෙන් මට තේරුම් ගියේ ශ්‍රී ලාංකික මිනිස්සු සමහර පොඩි දේවල් ගැන කොයි තරම් බරපතල විදිහට හිතනවද කියලා. ඒ වගේම වැදගත් තවත් දෙයක් තමයි කෑම ගනිමින් ඉන්න කෙනෙක්ට කොයිම වෙලාවකවත් බාධා කරන්න හොඳ නැති එක. ලංකාවේ සංස්කෘතියේ තියෙන මේ පුංචි දේවල් ගොඩක් සංචාරකයෝ සැලකිලිමත්ව දකිනවා අඩුයි.
එතරම් ප්‍රසිද්ධ වුණේ නැති තැන්
මගේ රස්සාවේ ස්වභාවය අනුව නිතරම මට ප්‍රධාන සංචාරක ආකර්ෂණ වලට ටිකක් ඈතින් ඇති ප්‍රදේශ වලට යන්න සිදු වුනා. සමහර හෝටල් හිමියන් එක්ක රැස්වීම් තියන්න වුණේ මේ වගේ පිටිසර පැති වල. ගූගල් මැප්ස් හා ත්‍රී වීල් රියදුරන්ට ස්තුති වෙන්න මම ගොඩක් සංචාරකයන් කවදාවත් නොගිය ලස්සන ප්‍රදේශ වලට යන්න අවස්ථාව ලබා ගත්තා. විශාල ප්‍රදේශ පුරා පැතිරුණ සානු, අලංකාර ඉර බහින දර්ශන, කවුරුත් නොයන ලස්සන මුහුදු වෙරළවල්, විවිධ වර්ණ වලින් පිරුණු කඳු වැටි මම මෙහෙම ගිය හැම ගමනකදීම දැක බලා ගත්තා. සංචාරකයන් තියා ලංකාවේ මිනිසුන් වුනත් මේ වගේ ප්‍රදේශ තියෙනවා කියලා දැනුවත්ව හිටියේ හරිම අඩුවෙන්. මේ වගේ ප්‍රසිද්ධ ස්ථාන වලින් බැහැරව තියෙන පිටිසර, දුෂ්කර පැති වල මොන තරම් ලස්සන, නිස්කලංක දේවල් දකින්න ලැබුනද කියනවා නම් ඇත්තටම මට මගේ කාර්ය බහුල කමින් මිදිලා සැනසීමක් ගන්න ඉඩ ලැබුණා. ඒ වගේ තැන් දැක ගන්න ලැබෙන්න මම මොන තරම් වාසනාවන්තයෙක්ද කියන එක මම තවමත් හිතන දෙයක්.
පොඩි කඩ වල සැඟවුණු සැබෑ ලාංකික කෑම වල රසය
අද ලංකාවට එන බොහෝ සංචාරකයන් ආහාර ගන්නේ හොඳ පිළිගැනීමක් තියෙන හෝටල් වලින් හෝ අවන්හල් වලින් විතරයි. TripAdvisor වෙබ්සයිට් එකෙන් නිර්දේශ කරන තැන් වලට හැර වෙනත් තැනකට යන්නේ හරිම කලාතුරකින්. කොහොම නමුත් මට රැස්වීම් අතරතුර ගොඩක් වෙලාවට කන්න සිදු වුණේ පාර අයිනේ තියෙන පොඩි ප්‍රමාණයේ කෑම කඩ වලින් නිසා සංචාරකයන්ට කියලා විශේෂයෙන් හදපු කෑම වෙනුවට ලංකාවේ මිනිස්සු කන විදිහට කාල බලන්න මට අවස්ථාව ලැබුණා. එක්තරා දවසක මට ගොඩක්ම ඉක්මනට රැස්වීමකට යන්න තිබුණු නිසා මොනවා හරි කන්න කියලා හිතා ගෙන පොඩි කඩයකට ගොඩ වුණා මහනුවරදී. මම ඊට කලින් ආපන ශාලා වලින් ඇති තරම් රයිස් ඇන්ඩ් කරි කාල තිබුණ නිසා සාමාන්‍ය කෑම එකක් තමයි බලාපොරොත්තු වුණේ. ඒත් එදා කාපු කෑම එකේ රසට මට පුදුම හිතුණා. තුනපහ රසට දාල උයපු අඹ ඇඹුලකුයි, ගානට මිරිස් දාපු පරිප්පු එකයි, බැදපු මාළු කෑල්ලයි ගානට ගැලපුණා. මම විදේශ ගමන් වලදී කාපු රසම කෑමක් ඒක.
හොඳ ව්‍යාපාරික අදහස් තියෙන පිරිසක්
මම ලංකාවට එන්න කලින් මට නිතරම වගේ අහන්න ලැබුණු දෙයක් තමයි පුංචි දූපතක් වන ලංකාවේ ඉන්න මිනිස්සු ඒ තරම් උත්සාහවන්ත නෑ කියන එක. ඒත් හික්කඩුව පැත්තේ කාමර විස්සක විතර bed & breakfast හෝටලයක හිමිකරුවෙක් එක්ක කරපු කතා බහකින් මට තිබුණු මේ අදහස සම්පුර්ණයෙන්ම වෙනස් වුණා. මම මගේ සමාගමයි, මාවයි හඳුන්වලා දුන්නට පස්සේ එයා මගෙන් දිගින් දිගටම හෝටල් ක්‍ෂේත්‍රය ගැන ප්‍රශ්න අහන්න ගත්තා. මේවා ගොඩක් වෙළඳපොළ තත්වය, අනාගත අවස්ථා වගේ දේවල් ගැන ගැඹුරු ප්‍රශ්න, ඊට වඩා මහා පරිමාණයෙන් මේ කර්මාන්තයේ ඉන්න අය තුළ මම ඒ වගේ උවමනාවක් දැක්කේ නෑ.
මම දිගටම කතා කරද්දී එයාම පිළිගත්තා එයාගේ ව්‍යාපාරය රට පුරා ව්‍යාප්ත කරලා එයාගේ වගේම හෝටල් කිහිපයක්ම පටන් ගන්න අදහසක් තියන බව. එයා ඒ සඳහා ආයෝජකයන් හොය හොයා ඉඳලා තියෙන්නේ. මෙයා වගේම මම තැනින් තැනට යන්න කුලියට ගත්තු වාහනේ රියදුරාගෙන් පවා දැක්කේ තමන් පොඩියට කරන ව්‍යාපාර දියුණු කර ගෙන ඉහළට යන්න උනන්දු වෙන මිනිස්සු පිරිසක්. ශ්‍රී ලාංකිකයන් ව්‍යවසායකත්වය අතින් බොහොම ඉදිරියෙන් ඉන්නවා.
මේ නිසා ලංකාව හරියටම දැක බලා ගන්න කැමති හැම විදේශිකයෙකුටම මම කියන්නේ ඔබේ රටේ පළ කෙරෙන මාර්ගෝපදේශක පොත් වලට සීමා වෙන්නේ නැතිව ඇත්තටම ලාංකිකයන්ගේ ජීවිතයට එකතු වෙලා බලන්න කියලා. හැම වෙලාවේම පාරවල් වල ඇවිදින්න, සාමාන්‍ය මිනිස්සු යන බස්, කෝච්චි පෙට්ටි වල ගමන් කරන්න, පුංචි කඩ වලින් කෑම කන්න, ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබත් එක්ක කතාවට එන ශ්‍රී ලාංකිකයන් එක්ක පුළුවන් තරම් කතා බහ කරන්න. එහෙම කරොත් ඔබට මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ වෙනස්ම පැත්තක් අත් විඳින්නට හැකි වේවි.
කවරයේ රූපය : traveleyeblog.com