කෝටි ගණන් මහ පාරේ ගනුදෙනු වන රත්නපුරේ මැණික් පොළ

රත්නපුරේ මැණික් මිලදී ගන්නා සාප්පු රාශියක් තිබෙන බව නගරයට යන ඔබ දකින්නට ඇති. නමුත් මේ නගරයේ වැඩි ම මැණික් අලෙවියක් සිදුවන්නේ පාරේ පවත්වන මැණික් පොළ ආශ්‍රිත ව බව ඔබ දන්නවා ද? ගමේ එළවළු පොළ මෙන් මේ මැණික් පොළත් වෙනම සංස්කෘතියක් බවට පත්ව තිබෙනවා. 

ලෝකය කෙතරම් දියුණු වුණත්  පොළ පැවැත්වෙන්නේ මහ පාරේ පරණ විදිහටම යි. ශ්‍රී ලංකාවේ මෙවැනි මැණික් වෙළෙඳපොළ කිහිපයක් ද ක්‍රියාත්මක වන අතර ඉන් වැඩි ම ගනුදෙනු ප්‍රමාණයක් සිදුවන්නේ රත්නපුර මැණික් පොළෙන්. අපිත් මේ මැණික් පොළට ගිහින් බලමු.

මැණික් පතලෙන් මැණික් පොළට- Srilankabusiness.com

  මහ පාරේ මැණික් පොළ

රත්නපුර නගරයේ මෙන් ම එයට නුදුරින් පිහිටි මැණික් ලැබෙන පෙදෙස් වන  නිවිතිගල, කහවත්ත, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇඹිලිපිටිය, කලවාන, කිරිඇල්ලේ හැරනියාවක සහ ඇහැලියගොඩත් දිනපතා මැණික් පොළ සංස්කෘතිය දැකගත හැකියි. කළුතර දිස්ත්‍රික්කයේ, බේරුවල නගරයේ ද දිනපතා ම වීදි මැණික් පොළක් පැවැත්වෙනවා. රුපියල් තුන් හාරදාහේ පටන්, රුපියල් කෝටි ගණන් දක්වා විවිධාකාර මැණික් ගනුදෙනු ඒවායෙහි සිදුවෙනවා.   

මේ වෙළෙඳාමේ විශේෂත්වය නම් එය සම්පූර්ණයෙන් විශ්වාසය මත ගොඩනැඟී පැවතීම යි. එහි බිල්පත් හෝ රිසිට්පත් හුවමාරුවක් සිදුවන්නේ නැහැ. ගනුදෙනුවලට අදාළ වෙළෙඳ ගිවිසුම් ද නැහැ. නමුත් ගනුදෙනුවල හොරබොරු සිදුවන්නේ නැහැ. මේ නිසා මැණික් අලෙවි කළ පතල්කරුවන්ට පොරොන්දු වූ මුදල මිලදී ගත් වෙළෙන්දන් නිසිපරිදි ගෙවීම සිදුවෙනවා.

මැණික්වලට උපරිම මිලක් සොයා-  isini gems facebook page

 රත්නපුර මැණික් නගරය

 ‘මැණික් ආර්ථිකය’ මත දුවන රත්නපුරයේ මැණික් වෙළෙඳාම සිදුවන්නේ එයට ම ආවේණික රටාවකට යි. මැණික් විකුණන පුද්ගලයන් සහ මිලදී ගන්නා පිරිස් හමුවන්නේ මහ පාරේදී වීම විශේෂත්වයක්. මැණික් අතේ තබා ගෙන ඉහළ අහසට අල්ලා හෝ ටෝච් එකක ආලෝකයෙන් ඒවා පරීක්ෂා කිරිම මඟින් ඔවුන් ගලේ වටිනාකම තක්සේරු කරනවා.  ඔවුන්  වීදි මැණික් වෙළෙන්දන් ලෙස කටයුතු කළත් පැමිණෙන්නේ කෝටි ගණන් වටිනා වාහනවලින්.   

 මැණික් පොළට පතල්වලින් ගත් රළු මැණික් ගල් වගේ ම කැපූ මැණික් ගල් ද රැගෙන එනවා. සෑම දිනයක ම වෙළෙන්දන් දහස් ගණනක් මෙහි මැණික් ගැනීමට සූදානමින් සිටිනවා. ඒ වෙලාවට පාර එකම මිනිස් පොදියක් සේ ජනාකීර්ණ යි. නගරයේ සෑම මැණික් පොළක් ම පාහේ පටන් ගන්නේ උදේ 7.00- 7.30ට පමණ යි. එය දවල් 2.00 පමණ වනතෙක් පැවැත්වීම සිරිත යි.

 මැණික් පොළට පතල්වලින් ගත් රළු මැණික් ගල් වගේ ම කැපූ මැණික් ගල් ද රැගෙන එනවා – www.gettyimages.com

 ප්‍රධාන පොළවල් තුනක්

රත්නපුර නගරයේ  මැණික් පොළ පැවැත්වෙන ප්‍රධාන තැන් තුනක් තිබෙනවා.

ඔර්ලෝසු කණුව අසල, අඹගහයට හන්දිය සහ දෙමුවාත පාර වීදි මැණික් වෙළෙඳ පොළවල් පිහිටි තැන්. උදේ ම මැණික් ගනුදෙනු පටන් ගන්නා ඔරලෝසු කණුව අසල සිටින මැණික් වෙළෙන්දන් උදේ 9.00 පමණ වනවිට එයට ආසන්න ව පිහිටි  ‘අඹගහයට හන්දියට’ ගමන් කරනවා. එතැනත් විශාල මැණික් පොළක් පවතිනවා.

මැණික් පොළේ දී මැණික් පිරික්සන වෙළෙන්දෝ- Buddhika Weerasinghe/Bloomberg via Getty Images

 පතල් හිමිකරුවන්, පතල්වල මැණික් සොයන කම්කරුවන්,  මැණික් එකතු කරන්නන් සහ වෙළෙන්දන් මැණික් පොළේ දී එකට හමුවෙනවා. සෑම උදෑසනක ම පොළවලට පැමිණ ගනුදෙනු  කිරීම, රත්නපුරයේ සහ අවට පිහිටි නගරවල මැණික් වෙළෙන්දන්ගේ සිරිත යි. මේ වෙළෙඳපොළට බේරුවල, බණ්ඩාරගම හෝ මහනුවර ප්‍රදේශයේ කෝටිපති මැණික් වෙළෙන්දන් ද පැමිණෙනු දකින්නට පුළුවන්.

අඹගහයට පොළ

මෙය ලංකාවේ ප්‍රධාන මැණික් වෙළෙඳ පොළ ලෙස සැලකෙනවා.  අඹගහයට ලෙස හැඳින්වුණත් එතැන පිහිටා ඇති වීදියේ නම  ශවියා වීදිය යි. කලකට පෙර මෙහි විශාල අඹගසක් පැවති නිසා තමයි අඹගහයට නම ලැබී ඇත්තේ. අද නම් අඹගස දකින්න නැහැ.  විශාල බෝගසක් එහි පිහිටා තිබෙනවා. දහස් ගණනක් මැණික් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් මේ පාර දිගට ම දිනපතා හමුවී ගනුදෙනු සිදු කරනවා. 

අඹගහයට ජනාකීර්ණ පොළ- gossiplankanews.com

මෙතැනට වැඩිම මැණික් ගැනුම්කරුවන් සහ විකුණුම් කරුවන් පිරිසක් පැමිණෙන්නේ  සඳුදා, අඟහරුවදා සහ බදදා යන දිනවලදී යි.   අඹගහයට ගනුදෙනුවලින්  90%කට වඩා සිදුවන්නේ ඔප නොදමන ලද රළුමැණික් ගල්වලින්. මැණික් අලෙවිකරුවන් මැණික් මිලදී ගන්නා සාප්පුවලට හෝ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නොයා මෙහි එන්නේ තමන්ගේ මැණික් ඉහළ ම මිලකට විකුණා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

 කුඩා ඉඩකඩක තමයි   වෙළෙඳාම සිදුවන්නේ.  කුඩා වෙළෙඳසල්වල, පදික වේදිකාවේ  එළිමහනේ ද,   කාණු ගැටිවල මෙන් ම කඩ පිටුපසත් වෙළෙඳාම සිදුවෙනවා. අඹගහ යට පොළ වැඩිපුර ප්‍රසිද්ධ ගෙවුඩ, ඔට්ටු, සිල්කි ගල්, සහ කොලිටි ගල් යනුවෙන් හඳුන්වන මැණික් වර්ග අලෙවියට යි.  විශාල වටිනාකම් නැති කුඩා ප්‍රමාණයේ මැණික් රැස් කරන (මැණික් ලොට්) වෙළෙන්දන් ද එහි නිතර සිටිනවා.

විශාල පිරිසක් ගැවසෙන මැණික් පොළ – Walaspathi.blogspot.com

 මැණික් වැඩපොළක්

මැණික් ගල් කපා ඔපමට්ටම් කරන  මැණික් වැඩ පොළක් ද අඹගහයට හන්දියේ තිබෙනවා.  එතැනදී පතලෙන් ගත් රළු මැණික් ගල් කපා අලංකාර කර වටිනාකම ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතිනවා. එහි මැණික් වැඩ පොළක් ආරම්භ කර තිබෙන්නේ  මැණික් ගල් ඉරීම, ගෑම, සහ කැපීම වැනි තාක්ෂණික  කටයුතු කරන කිහිප දෙනෙකු එකතුවීමෙනු යි. ගාස්තුවක් ගෙවීමෙන් මැණික් ගල අලංකාර කර ගැනීමට මෙහිදී හැකියාව පවතිනවා.

  ‘රළු මැණික්’ හෝ ‘අමු මැණික්’ හෙවත් කපා ඔප නො දැමූ මැණික් ගල්, අපනයනය කිරීම   නීතියෙන් ම තහනම් කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ දී ඉහළ ම මිලක් ලබා ගැනීමට නම් මැණික් ගල් කපා ගත යුතු යි. පුරාණයේ සාම්ප්‍රදායික උපකරණවලින් මැණික් ගල් කැපූව ද අද ඒ සඳහා නවීන උපකරණ භාවිත කෙරෙනවා.

7 රළු මැණික් පරීක්ෂා කරමින්- Buddhika Weerasinghe/Bloomberg via Getty Images

 දෙමුවාත පාර

දෙමුවාත පාර මැණික් පොළ ප්‍රකට ව ඇත්තේ ඔප දමන ලද මැණික් ගල්වලට යි. එතැන  වැඩිපුර ම අලවි වන්නේ කපා ඔප දැමූ මැණික් වර්ග යි. අඹගහයට සිටින් වෙළෙන්දන් උදේ 10.00 පමණ වන විට  ‘දෙමුවාත පාරට’ ගමන් කරනවා.  එය පිහිටා ඇත්තේ  ‘අඹගහයට හන්දිය’ පේන දුරකින්.

වීදි මැණික් වෙළෙන්දන් වැඩි දෙනෙක් දෙමුවාත පාරට පැමිණ තමන්  මිල දී ගත් මැණික් විකිණීමට හෝ කපා ඔප දමා ගැනීමට එතැනට එනවා.  දෝෂ පළුදු ඉවත්කර මැණික හැඩකර දීමට එහි සිටින මැණික් කැපුම්කරුවන් තුළ ඇත්තේ අපූරු දක්ෂතාවක්.

නිවිතිගල පොළේ මැණික් වෙළෙඳාම- youtube.com

 නිවිතිගල

දිනපතා උදෑසන 07.00 සිට උදේ 09.30 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් නිවිතිගල මැණික් පොළ පැවැත්වෙනවා. ඒ රත්නපුර – කලවාන පාර දෙපස යි. ඇහැලියගොඩ, රත්නපුර, කිරිඇල්ල, පැල්මඩුල්ල, ගොඩකවෙල, කහවත්ත, රක්වාන, ඇඹිලිපිටිය, බළන්ගොඩ ආදී ප්‍රදේශවලින් මෙන් ම බේරුවල ආදී ප්‍රදේශවලින් ද මැණික් ව්‍යාපාරිකයන් නිවිතිගල මැණික් පොළට පැමිණෙනවා. දිනකට මෙම මැණික්පොළට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් දහසකට අධික ව එක්රොක්වීම දැකගත හැකි යි. පොළ පැවැත්වෙන වෙලාවට පාරේ වාහන ගමන් කිරිමත් අසීරු යි. 

කවරයේ ඡායාරූපය: මැණික් පොළක් පැවැත්වෙන රත්නපුරේ ඔරලෝසු කණුව අසල - www.gettyimages.com
මූලාශ්‍ර:
Rivira.lk
Lankadeepa.lk
Thenaturalsapphirecompany.com

Related Articles

Exit mobile version