මහනුවර සංචාරයට යන දෙස් විදෙස් කවුරුත් මහනුවර වැවේ සිසිල විඳින්න කැමැතියි. ඒ අතරින් සමහරු වැවේ බෝට්ටු චාරිකාවක් යන්නත් ආසයි. ඒ වගේම නුවර අවට පෙම්වතුන් අත්වැල් බැඳගෙන වැව රවුමේ ගමන් කරන්නටත් එහි බංකුවක හිඳගෙන පෙම්බස් දෙඩන්නත් හරි කැමතියි. මහනුවර නගරයේ සංචාරක ආකර්ශනයන් වන මේ වැවේ ඉතිහාසය අවුරුදු 200ක්. වැව අද අප කාටත් සතුට දැනවුවත් එහි ඉතිහාස කතාවේ නම් දුක්බර පුවත් රැසක් කියවෙනවා.
වැවේ ඉතිහාසය
ඉංග්‍රීසි ජාතික ඩොයිලිගේ දිනපොතෙහි 1810 ඔක්. 23 දින සටහනින් හෙළිවන්නේ ඒ වනවිට පත්තිරිප්පුව හා කිරි මුහුද නමින් හඳුන්වන නුවර වැවේ වැඩ අවසන්ව තිබූ බවයි. මහනුවර මුලින්ම රාජධානියක් බවට පත්කරගත් සේනාසම්මත වික්‍රමබාහු රජ සමයේ දැන් වැව පිහිටි ස්ථානයේ කැණීම් කරන විට කිරි ඉබ්බෙක් හමුවී තිබෙනවා. මේ බව සඳහන් අනාවැකියක් හුලංගමුවේ ආචාරියා එකල පවසා තිබෙනවා.
දැනට වැව පිහිටි තැන නැගෙනහිර කෙළවර පොකුණක් තනා මේ ඉබ්බාගේ වාසයට වෙන්කර තිබෙනවා. ඊට පසු එම පොකුණ කිරි මුහුද නමින් හැඳින්වූ අතර එම ස්ථානය යටවන සේ වැව තැනූ පසු වැවටද කිරි මුහුද යන නම ලැබුණා.
නුවර වැව ඉදිකිරීමට පෙර නගරයේ තිබූ ජලාශය බෝගම්මබර වැවයි. එය ඉදිකර තිබුණේ දැන් බෝගම්බර ක්‍රීඩා පිටිය පිහිටි ස්ථානයේ. දුනුමඩලාව (වාකර්වත්ත) වනාන්තරයේ සිට ගලාඑන දියපහරක් හරස් කරමින්.
ටිගොල්වෙල වැවක් වුණා
මෙම වැවට යටවූ බිම්කඩ හැඳින්වූයේ ටිඟොල්වෙල නමින්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ එය මැසි මදුරුවන්ගෙන් පිරි මඩ ගොහොරුවක්. 1605 දී මහනුවරට පැමිණි ලන්දේසි ජාතික අද්මිරාල් ස්පීල්බර්ජන් සඳහන් කරන්නේ දිගු ලියදි පේළි සහිත කුඹුරු යායක් එකල නගරයේ පැවති බවයි.
වර්ෂ 1803 දී උඩරට ආක්‍රමණයේදී මහනුවර නගරය ගිනිබත් කර රාජධානියේ මාස කිහිපයක් නතරව සිටි ඉංග්‍රීසි සොල්දාදුවන්ට මැලේරියාව කැන්දවීමට ටිගොල්වෙල සමත් වූ බව පෝල් ඊ පීරිස් මහතා පවසනවා.
සර් හෙන්රි චාල්ස් නම් ඉංග්‍රීසි ලේඛකයා 1840 දී ලියූ “CEYLON AND THE CINGALESE” නම් කෘතියේ ද සඳුහන් කරන්නේ නුවර වැව තැනීමෙන් පසුව එය නගරයේ ආකර්ශනයක් වූ බවයි. එමෙන්ම වැව තැනීමේදී පල්වූ අපිරිසිදු ජලයේ බැස සිටීම නිසා ශරීරගතවූ විෂබීජවලින් හට ගත් රෝග හේතු කොට ගෙන බොහෝ මිනිසුන් මිය ගිය බව තමන්ට අසන්නට ලැබුණූ බවත් ඔහු සඳහන් කරනවා. එකල යූරෝපීයයන් වැව වටා ඇවිදීම විනෝදාංශයක් කරගෙන තිබුණා.
ටිඟොල්වෙල අයත්ව තිබුණේ නාථ දේවාලයටයි. එය මැදින් ගලා ගියේ හීල්පැන් කඳුරයි. එය අම්පිටිය අවට කඳුවලින් ආරම්භ වී උඩවත්ත කැලේ කඳු මුදුනෙන් ගලා ආ ජලයෙන් ද පෝෂණය වුණා.
වැවේ වැඩට ආ විශාල පිරිසක් මියගියා
දහස් ගණනක් මිනිසුන් වැවෙහි ඉදිකිරීමේ වැඩවලට යොදවන ලද්දේ ඔවුන්ගේ ශ්‍රමය බලෙන් ලබාගැනීමෙන්. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ලියූ පුරාවිද්‍යාව සහ ඉතිහාසය පොතේ මෙලෙස සඳහන් වෙනවා.
නුවර අසල කෝරළවල ගම්වලට අයත් සියලු දෙනාම දින ගණනක් වැවෙහි වැඩකළ යුතුය යනු රජුගේ ආඥාව විය. එය සැම මිනිසෙකුටම අනිවාර්ය විය. එහෙත් මිනිසුන්ට පඩි ගෙවීමක් තබා ආහාර සැපයීමක් ද රජු විසින් නොකරන ලදී. ඒ මිනිස්සු බත්මුල් බැඳගෙන එහි වැඩට පැමිණියහ. එසේ ගෙනෙන්නට බත් නැති දිළිඳු මිනිස්සු කෑවේ තෝරකොළ ය. මේ තෝරකොළ පිස ගැනීමටවත් පිළිවෙලක් නොතිබූ නිසා ඒවා බඩේ බැදගෙන එන්නට ඔවුන්ට සිදුවිය. සිරුරේ උෂ්ණයෙන් තැම්බී ගිය ඒ තෝර කොළවලින් යැපීමට ඔවුන්ට සිදු විය.
දේවේන්ද්‍ර මූලාචාරියාගේ අභිරහස් මරණය
වැව ඉදිකරන සැලසුම සකස් කර ඇත්තේ එවකට රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ දේවේන්ද්‍ර මූලාචාරියායි. දළදා මාලිගයේ පත්තිරිප්පුව ඉදිකර ඇත්තේද ඔහුගේ උපදෙස් මතයි. ඔහු එකල රාජසිංහ රජුගේ සිත් දිනාගත් නිර්මාණ ශිල්පියෙක්. ඒ ගැන ඊර්ෂ්‍යා කල සමහර උඩරට ප්‍රධානින් කුමන්ත්‍රණය කර මූලාචාරියා ඔහු විසින්ම සැලසුම් කළ වැවේ ගිල්වා මරා දමන ලද බව පැවසෙන්වා. ඒ රජුටත් හොරෙන්. තම විශ්වාසවන්ත ශිල්පියාගේ මරණය දැනගත් විට රජු දැඩි ශෝකයට පත්වූ බව පැවසෙනවා.
වලාකුළු බැම්ම
වැව වටා ඇති අලංකාර පවුර හැඳින්වෙන්නේ වලාකුළු බැම්ම යන නමින්. දැනට එය දිගින් මී. 610ක්. එහි දැකිය හැකි ත්‍රිකෝණාකාර කවුළු රජ සමයේ දී උත්සව අවස්‌ථාවලදී පහන් දැල්වීමට යොදාගෙන තිබෙනවා. ඒ.සී. ලෝරිගේ “GAZETTEER OF THE CENTRAL PROVINCE OF CEYLON” කෘතියෙහි සඳහන් වන පරිදි “නුවර වැවේ තාප්පයේ (වලාකුළු බැම්ම) කොටසක් බැඳීම පැවරී තිබී ඇත්තේ ගන්නොරුව ටිකිරි ගම්මැහේගේ වසමේ මිනිස්‌සුන්ටත්, පරකටවෙල ආරච්චිගේ මිනිසුන්ටත්ය.”
රජු බැම්මේ ඉදිකිරීම් පරීක්‌ෂා කිරීම සඳහා පැමිණෙන වෙලාවේදී ටිකිරි ගම්මැහේට බාරව තිබූ කොටසේ වැඩ නිමවී නොතිබීම නිසා කෝපවූ රජු ඔහු කෝටුමස් කොට සිරගත කරවා ගම්මැහේ තනතුරද අහිමි කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයන් උඩරට අල්ලා ගැනීමෙන් පසුව වලාකුළු බැම්ම ගරා වැටෙන්නට ඉඩ හැර තිබුණා. ඔවුන් කළේ නගරයේ පැරණි ගොඩනැගිලි තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කර පාවිච්චි කිරීම පමණයි. පසුව විලියම් ග්‍රෙගරි ආණ්‌ඩුකාරවරයා (1872-1877) වලාකුළු බැම්ම ප්‍රතිසංස්‌කරණය කරවා තිබෙනවා.
උල්පැන්ගෙයට මඳක් පහළින් වැවට බැසීමට දැනටද තිබෙන ගල්පඩි කිහිපය, මුල් වැව් බැම්ම ආරම්භ වූ ස්‌ථානය බව පැවසෙනවා. එහි අනෙක් කෙළවර පිහිටා තිබුණේ මල්වත්ත විහාරයට අයත් පෝයමළු විහාරයට පහළින්. රජු ටික කලකින් නැවතත් වැව තවත් විශාල කරන්නට තීරණය කළා. එහි ප්‍රතිඵලය වූයේ වර්තමානයෙහි ක්‌වීන්ස් හෝටලය (එදා දුල්ලෑව දිසාවගේ වලව්ව) ඉදිරියෙන් පවතින පරිදි බැම්ම තැනවීමයි.
දෙවන වරට බැම්ම ඉදි කරවන අවදියේදී ජනතාව රජු සමග බෙහෙවින් කෝපව සිටි බව ඩොයිලිගේ දිනපොතෙහි සඳහන්වලින් පේනවා. ජනතාව කොතරම් මේ වැඩවලින් වධවින්දාද යත් මේ රට දැන්ම ඉංග්‍රීසින්ට අල්ලා ගන්නට කියාපල්ලා යයි සත්කෝරළ වැසියන් පැවසූ ඩොයිලි සඳහන් කරනවා.
ඒ අතර රජුගේ අණ පරිදි බැම්මේ මැද කොටස නොකපා ඉතිරි කළා. වැව මැද ඇති අලංකාර දූපත නිර්මාණය වූයේ එසේ ඉතිරි කළ කොටස නිසයි. එදා වැව් බැම්මේ උස අඩි 2 අඟල් 10ක් වුණා. අද දක්නට ලැබෙන පරිදි එය උස් කර බැඳවූයේ 1875 දී වේල්ස්හි කුමාරයා වූ ඇල්බට් එඩ්වඩ් පැමිණීම නිමිත්තෙන් ජලාශය තවත් විශාල කිරීමටයි.
කුණ්ඩ ශාලාව
දූපත මැද ජලතිලක මණ්‌ඩපය හෙවත් කුණ්‌ඩ ශාලාව නමින් හැඳින්වූ කුඩා ගොඩනැඟිල්ලක් ද කරවා තිබෙනවා. ඒ රජුට අවශ්‍ය විට සිහිල් සුවය විඳිමින් විවේක ගැනීමටයි. නමුත් එකල පැවති අර්බුදකාරී වාතාවරණය නිසා රජුට විවේකයක් අත්වූවාද යන්න අපට නම් ගැටලුවක්.
එහි යාම සඳහා තිබී ඇත්තේ “හල්වැල” නමින් හඳුන්වන ලද එල්ලෙන පාලමක්. එය අවශ්‍ය අවස්‌ථාවලදී දිග හැරීමටත් අනෙක් අවස්‌ථාවලදී හකුලා තැබීමටත් හැකිවන අයුරින් තනා තිබුණා.
ඉංග්‍රීසීන් උඩරට අත්පත් කරගැනීමෙන් පසු කුණ්‌ඩ ශාලාව ඔවුන්ගේ වෙඩි බෙහෙත් ගබඩාව ලෙසට භාවිත කළා. මේ ගොඩනැගිල්ලේ ගඩොල් අත්තිවාරම පසුගිය කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම්වලින් සොයාගෙන සංරක්ෂණය කෙරුණා.
බිසෝවරු ස්නානය කළ උල්පැන්ගෙය
වැවේ දළදා මාලිගය අසල ඇත්තේ බිසෝ උල්පැන් ගෙය නම් ගොඩනැගිල්ලයි. එය රජ බිසෝවරු ස්නානය කළ ස්ථානයයි. දැනට ඇත්තේ 1825 දී ජෝර්ජ් ටර්නර්ගේ මූලිකත්වයෙන් නැවත සැලසුම් කොට සාදවන ලද ගොඩනැගිල්ලයි. පසුව ඉංග්‍රීසින් මේ ගොඩනැගිල්ල පුස්තකාලයක් ලෙස භාවිත කළා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද මුල් උල්පැන්ගෙය 1803 දී ඉංග්‍රීසි හමුදාව විසින් ගිනි තබා විනාශ කළා. පසුගිය සමයේ බිසෝ උල්පැන්ගෙයි පැරණි අත්තිවාරම සහ තටාකය සංස්කෘතික අරමුදල විසින් කැණීම් කර සංරක්ණය කර තිබෙනවා.
අද වැවේ ජල පැතිරුම හෙක්ටයාර් 19. 01ක්. එහි උපරිම ගැඹුර මීටර 18ක්. ජලපෝෂක ප්‍රදේශය වර්ග කි.මී. 2.69ක් වන අතර වැව වටා පිහිටි මාර්ගය කි. මී. 3.37ක් දිගයි. ඒ මාර්ගය වටාම විවිධ ගස්වැල්වලින් සෙවණ ලැබී තිබෙනවා.
සටහන සේයාරූ කුසුම්සිරි විජයවර්ධන