ගමනක් යන්න බස් එකකට ගොඩ වුනාම අපිට දකින්නට අහන්නට ගොඩක් දේවල් තිබෙනවා. බස් එකත් එක්ක හරියට වෙනම සංස්කෘතියක් ගොඩනැගිලා කියල ගොඩක් වෙලාවට අපිට දැනෙනවා. ඉතින් බස් එකෙක යනකොට දකින්න අහන්න ලැබෙන හොඳ, නරක, හිනායන දේවල්, විකාර, පුදුම හිතෙන දේ, තරහා යන දේවල් වගේම සමහරවිට සසර කලකිරෙන දේවල් ගොඩයි. එහෙනම් යමුද අපිත් බස් එකක රවුමක් මේ හැමදෙයක් ගැනම දැනගන්න?
වෙනස් වචන සෙට් එකක්
බස් ප්‍රවාහන සේවයත් එක්කම අමුතු වචන ටිකක් හැදිලා තියනවා- බලමුද මොනවද ඒ වචන කියලා?
කෑලි
කොන්දොස්තර මල්ලී 10 කෑල්ල 18 කෑල්ල කියලා කියන්නේ කාටද? කොන්දොස්තර වරුන්ගේ භාෂාවෙන් රුපියල් 10ක දුරක් සඳහා බසයට ඇතුල් වන මගියෙක් 10 කෑල්ලක් විදිහට තමයි හඳුන්වන්නේ. හැම වෙලාවේම ටිකක් දුර යන මගීන්ට තමයි කැමති. අඩුම තරමින් 30 කෑල්ලකටවත් වඩා වැඩි වෙන්න ඕනේ. 10 කෑලි බස් එකට නංවා ගැනීමට නම් ලොකු කැමැත්තක් නෑ වගේ තමයි හැඟෙන්නේ.
පාගනවා/පිඹිනවා
පාගනවා කියල කියන්නේ බස් එකේ වේගය වැඩි කරලා වේගයෙන් යන එකට. වෙනත් බස් එකක් තම බස් එක පසු කරන්න එද්දී තමයි ඩ්‍රයිවර් අයියලා පාගලා යන්නේ. එතකොට ඉතින් පාරේ ඉන්න අනිත් මිනිස්සුන්ට, වාහනවලට විතරක් නෙමෙයි සතා සිව්පාවටත් දෙවියන්ගේම පිහිටයි.
විදිනවා
පාගලා ගියත් නියමිත වෙලාවට ගමන සම්පුර්ණ කර ගන්න බැරි වුනාම තමයි අධිකම වේගයෙන් යන්නේ. ඉතාමත් වේගයෙන් අනතුරුදායක ධාවනයට තමයි විදිනවා කියල කියන්නේ. විදලා යන වෙලාවට බස් එකට අත දාන මගීන්ටනම් ඉතින් සොරිම තමයි.
කොටනවා
කොටනවා කියල කියන්නේ අවශ්‍ය වේගයටත් වඩා අඩු වේගයකින් බස් එක ධාවනය කරන එක. අද කාලේ බොහෝ පෞද්ගලික බස් ඉතින් කොටන එකම තමයි වැඩේ, කොළඹ අතුරු පාරවල්වල එහෙම මේ කෙටිල්ල සැහෙන්න දැකගන්න පුළුවන්, එකත් හුඟක්විට වාහන පෝලිමක් පස්සෙන් හිරකරගෙන.
පෙම් මුල්ල
බස් එකේ ඇති පසු පස දිගු ආසනයේ පසු පස දොරෙන් ඇතුළු වෙනවාත් සමඟම ඇති කොටස හදුන්වන්නේ මේ නමින්. බොහෝ වේලාවන් වලට ටියුෂන් පන්ති ගියපු ප්‍රේමවන්ත යුවල් තමයි මෙතන දකින්නට පුළුවන් වෙන්නේ.
මද්දුම බණ්ඩාර අසුන
මේකනම් ඓතිහාසික කතා පුවතකින් නිර්මාණය වුණු එකක්. අපි දන්නා විදිහට “අයියන්ඩිය බිය නොවන්න මැරෙනා හැටි මම පේනවනම්” කියල මද්දුම බණ්ඩාර කුමරු තමයි වදකයා අතින් මුලින්ම මරණයට පත් වන්නේ. මද්දුම බණ්ඩාර අසුන දකින්නට ලැබෙන්නේ කුඩා TATA වර්ගයේ බස් රථ වල පමණයි. රියදුරු අසුන ළගින්ම හරහට තිබෙන්නේ මේ අසුනයි. මේකට ඉතින් ඒ නම කියන්නේ බසයේ කලින්ම හැප්පෙන්නේ මේ කොටස හින්දයි.
සීට් පෙරේතයෝ
දෙදෙනෙක් හෝ තිදෙනෙක් අසුන් ගන්න පුළුවන් ආසනයක වාඩි වෙලා තව කෙනෙකුට වාඩි වෙන්න නොදී, කකුල් දෙක විහිදුවාගෙන ආත්මාර්ථකාමීව ගමන් කරන අයට කියන්නේ සීට් පෙරේතයෝ කියලයි.
හේත්තු කරනවා
තරඟයට මාර්ග නීති කඩකරමින් ධාවනය වන බස් රථ වෙනත් වාහන සමග අනතුරකට ලක් වෙනවා අපි කවුරුත් දැකලා තියනවා. බස් රියදුරුගේ වරදින් වෙනත් වාහනයක් සමඟ සුළුවෙන් ගැටීම හදුන්වන්නේ හේත්තු කරනවා කියලයි.
ටික්කෝ
මගී ප්‍රවේශපත්‍ර නිරීක්ෂණය කරන්නට බසයට ගොඩවෙන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පරීක්ෂකවරුන්ව හදුන්වන්නේ මේ නමින්.
බස් හා බැදී ගීත
බස් හා බැදුණු ගීතත් ලංකාවේ හොඳහැටි හොයා ගන්න පුළුවන්.
“කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය…”
“මේ බස් නැවතුම පෙර හැම දිනකම අපි හමුවුන බව දැන උන්නා…”
“කදු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ – සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ….”
බස් වදන්
බස් එකක පිටු පස ලියා තිබෙන වැකි ගැනත් අපි අවධානය යොමු කරා. ඒවා හදුන්වන්නේ බස් වදන් කියලයි. රසවත් බස් වදන් කීපයක් හොයාගත්ත, මේවා ඉතින් ත්‍රීවිලර වදන් වලට දෙවැනි වෙන්නේ නෑ.
“වයසට ගියත් හවසට ගෙදර.. “
“සල්ලිත් නෑ, සනීපත් නෑ, ළඟ හිටපු යාළුවොත් නෑ..”
“රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා..”
“මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න..”
“මම ලිදේ නම් ලිද මගේ නම් කාටවත් ඇයි වේදනාවන්..”
“වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ..”
“හබල් ගාන මට නැව් ටෝක් මොකටද…”
“ඔබ පසු උනා නෙමෙයි මා ඔබ පසු කලා..”
“ගස්වල සල්ලි හැදුනොත් කලියුග කාලේ වඳුරට, රිලවටත් කෙල්ලෝ දෙති ආලේ”
විල්බට් අඹතලාවගේ බස් ස්ටිකර්
බස් රථය ඇතුලේ අලවලා තිබෙන ස්ටීකර ගැන කථා නොකරම බෑ. විශේෂයෙන් විල්බට් අඹතලාව මහතාගේ උපදේශාත්මක කවි තමයි ප්‍රධාන තැනක් ගන්නේ. ඔහුගේ සියලුම බස් කවි මුද්‍රණය කරන්නේ රතු පැහැති පසුබිමකින් යුතු පොලිතීන් වර්ගයක සුදු අකුරුවලින්. සෑම කවි පන්තියකම යටින් විල්බට් අඹතලාව යන නම සඳහන් වෙනවා. සමහර නිර්මාණවලට සතුන්ගේ රූපත් එකතු කරලා තියනවා. ඒ වවුලන්, හරකුන්, වඳුරන් වැනි සතුන්ගේ චිත්‍ර. එහෙම කවි කිහිපයක් අපි හොයා ගත්තා.
කොන්දොස්තරලාගේ හා රියදුරන්ගේ අගය දැනෙන ලෙස ලියු කවියක්
දහදුක් විඳින රියැදුරු කොන්දොස්තරය
ගුණ දොස් එන්නෙ මවුපියො සිහිපත් කරය
පිරිහෙයි මඟම ජනතා සන්තක පන්නරය
මේ බස් නැතොත් මඟියා නන්නත්තරය
මගීන්ට බසයේදී ආරක්ෂා වන ලෙස උපදේශාත්මකව ලියවුණු කවියක්
යටිතල පහසුකම් ගන්නට තුරුලු වන
ෆෝනය, පොකැට්ටුව ඩැහැගෙන බැහැල යන
සලෙළුන්, සොරුන්, සොර අඟනුන් සිටිති යන
විමසිලි වෙන්න අපහට දොස් නොදෙනු මැන
බසයේ පා පුවරුවේ යන්නන් අධෛර්යමත් කිරීම සඳහා ලියවුණු කවිත් ඒ අතර තියනවා
අපගේ කීම නොතකා
නැඟ බැස යාම වළකා
තම වාසියම සලකා
දොරේ යයි බත් බුදින හරකා.
බස් එක ඇතුලේ ෆන්ෂන්
අපි බස් එක ඇතුළට නැඟලා බලමුකෝ… බස් එක ඇතුළට ගියාමත් අමුතු ආකාරයේ ක්‍රියාකාරකම් ටිකක් දැකගන්න පුළුවන්.
වෙළදාම
වෙළදාම් කරන්නේ පොළක වුණත් ප්‍රධාන නැවතුමක නවත්වලා තිබෙන බස් එකක් හරියට පොළක් වගේ. එක වෙළෙන්දෙක් බැහැල යනකොට තවත් වෙළෙන්දෙක් නගිනවා. එයා යද්දී තව කෙනෙක්. මේ ආකාරයට බස් එක එතනින් පිටත් වෙනතුරු මේක වෙනවා. කතන්දර පොත්, රස කැවිලි විකුණන ඊට අමතරව සෙල්ලම බඩු, විසිතුරු බඩු විකුණන වෙළදුන්ගෙන් අඩුවක් නෑ. සමහර අවස්ථාවලදී මගීන්ට මේක හිසරදයක්. කලක් මේ ආකාරයෙන් වෙළදාම් කිරීම තහනම් වෙලා තිබුණත් දැන් ඒ නීතිය ක්‍රියාත්මක වන බවක්නම් පෙනෙන්නට නෑ.
සිඟමන්
බස් එකකට ගොඩ වෙනවා විවිධ ආකාරයේ යාචකයින් වගේම අබාධිත පුද්ගලයින්. විවිධ කතා අහන්න පුළුවන්. එත් වර්ථමාන තත්වය අනුව අපි රූපවාහිනියෙන්, පුවත්පත් වලින් අහන්න ලැබෙන දේවල් සමඟ කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? කා හටද දිය යුත්තේ? නොදිය යුත්තේ, ඕව දවසක් කල්පනා කලත් ඉතින් හිතාගන්න නම් බෑ.
විජ්ජා පෙන්වීම, එතකොට සින්දු
නොයෙකුත් විජ්ජාකරුවන් බස් රථ වලට ගොඩ වෙනවා. සමහරුනම් අමුතු භයානක දේවල් කරනවා. ටියුබ් ලයිට් කුඩු කරලා ගිලිනවා වගේ වැඩ. මුදල් හොයන්න මේ වගේ වැඩ කරන එක වෙලාවකට පුදුමත් හිතෙනවා. එතකොට තවත් සමහරු වාදන භාණ්ඩත් එක්කම තමයි ඇතුල් වෙලා සින්දු කියන්නේ. නොයෙකුත් අපහසුතාවයකන් ගැන මේ අය කියුවත් මේ සියල්ල වෙළඳාමක්දැයි හිතෙන අවස්ථා නැතිව නෙමෙයි.
අපි දකින්න අකමැති දේවලුත් වෙනවා
කොන්දොස්තර මහත්තයාගේ භාෂාව
වර්ථමානයේදී මගීන්ට බස් එපා කරවන දෙයක් ලෙස කොන්දොස්තරවරයාගේ භාෂාව හදුන්වන්න පුළුවන්. මගීන්ට කතා කරන ආකාරය සමහර වෙලාවට කිසිම ප්‍රියමනාප බවක් නෑ. තර්ජනාත්මක ස්වරූපයක් තමයි තියෙන්නේ.
“රතු පාට ෂර්ට් එක… ඔව් ඔයා, ඉස්සරහට යන්න බැරිනම් බහින්න”
ඔහුට අනුව ඉදිරිපස දොරින් ගොඩ වූ මගීන් පසුපසට යාමට සිදුවෙනවා වගේම පසුපස දොරින් ගොඩ වූ මගීන් ඉදිරියට යා යුතු වෙනවා. බසයේ මැදට ගියාම අනතුරුව කොහාටද යා යුත්තේ කියලා අපට හිතාගන්න බැරි වෙනවා. බැරි වෙලාවත් කවුරු හරි දොරින් ඇතුළට ගොඩ වුණේ නැත්නම් ඉතින් “ඇයි… දොරේ යන්න ආසද…. ඔයාද දඩ ගෙවන්නේ…” එකම කාළගෝට්ටියයි.
බස් සින්දු
මේකනම් විශාල කරදරයක්. හිසරදයක්. කන්කරච්චලයක්. කන් අඩි පැලෙන තරමට ශබ්දයෙන් තමයි බසයේ කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ. රජයෙන් පනවලා තිබෙන උපරිම ශබ්ද සීමාව තඹයකටවත් මායිම් කරන්නේ නෑ. නැවතුමෙන් පිටත් වුණු වෙලාවේ ඉදන් ගමනාන්තය දක්වාම මේ කරදරයෙන් බේරෙන්නට හැකියාවක් අපිට ලැබෙන්නේම නෑ.
මරහඩ තලන සයිලන්සරය
මේකත් අද කාලේ බස්රථ වල විලාසිතාවක්. සයිලන්සරය කුමක් හෝ සිරුමාරුවකට ලක් කිරීමෙන් අධික ශබ්දයක් ඇති වන ලෙස වෙනස් කරගෙන තියෙනවා. එක් වරම බසයේ වේගය වැඩි කරන විට එයින් නැගෙන අධික ශබ්දය ඇතුළත මගීන්ට වගේම බසයෙන් එළියේ ඒ අවට ඉන්න අයටත් දරා ගන්න අමාරුයි.
ඇත්තට ඉතින් මේකට සයිලන්සරයකට වඩා ල්වුඩ්ස්පිකරයක් කිව්වොත් තාත්විකයි කියල තමයි අපිනම් හිතන්නේ.
පික් පොකට්
විශේෂයෙන් කොලඹ තදාසන්න ප්‍රදේශ වල ධාවනය වන බස් රථ වල මේ හොරකම සාමාන්‍ය දෙයක්. බසය තුළ ඇතිවන තෙරපීමත් සමඟ ඉන් වාසි ලබා ගන්නා ගැටකපන්නෝ වහා ක්‍රියාත්මක වෙනවා. ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ සිදුවීමට අනිවාර්යෙන්ම මුහුණ දීලා ඇති. හැබැයි ගැටකපන්නා අහු උනොත් එහෙම හොරාට එලොව පෙන්වන්න අපේ කට්ටිය කිසි පැකිලීමක් දක්වන්නෙත් නැහැ.
කඩ මාෆියාව
දීර්ඝ ගමන් සේවා බස් රථ අතරමඟ කෑමට නවත්වනවා. මේ තැන් හරිම අපිරිසුදුයි වගේම කිසිම පාලන මිලක් නෑ. කොටින්ම කියනවනම් ගිනි ගණන්. නරක් වූ කෑමත් විකුණනවා. මේ වගේ තැන් වලදී මගීන් අසාධාරණකම් වලට ලක් වෙනවා. අදාළ බලධාරීන් මෙයට හැකි ඉක්මණින් අවධානය යොමු කල යුතු බවයි අපිනම් හිතන්නේ.
කාන්තා හිංසනය
බස් එකේ යන අතරතුරදී කාන්තාවකගේ ශරීරය ස්පර්ශ කර පහත් ආශාවන් සපුරාගන්න පුද්ගලයොත් බස් එකේ නැතුවම නොවේ. බොහෝ අවස්ථාවන් වලදී කාන්තාවන් කරන්නේ මගහැරයාමයි. ඒ වුනත් හරි කෙනෙක් හමුවුණු දාක තමයි මේ අයගේ හොට පැටලෙන්නේ.
පෙම්වතුන්ගේ පාරාදීසය
මේ කරුණට බොහෝ දෙනෙක් එකඟ වේවි. මොකද කියනවනම් සමහර පෙම්වතුන් බසය තුළ ගමන් කලයුතු ආකාරය හරියට අවබෝධ නොකර ගැනීම හේතුවෙන් අනෙකුත් මගීන් සැහෙන්න අපහසුතාවයට පත්වෙනවා.
මාරු කාසි නඩු
මේක නම් ගොඩක් සුලභයි. එක්කෝ කොන්දොස්තරගේ අතේ මාරු කාසි නෑ. එහෙම නැත්නම් අපේ අතේ නෑ. අවසානේදී පස්සේ දෙන්නම් කීවත් ලැබෙන්නේනම් ඉතා කලාතුරකින්.
ටිකට් නෑ
කුඩා දුරක් යාමට බසයට ගොඩවුණු විට බොහෝ වේලාවන් වලදී ටිකට්පතක් ලැබෙන්නේ නෑ. දුර යන අයට පමණයි ටිකට් ලැබෙන්නේ. ඇයි එහෙම කරන්නේ? කියන ප්‍රශ්නය ඔබටත් දැනිලා ඇති නේද?
ඉතින් ගමන ගිහින් අවසන් වන විට හොද දේවල්, ආකර්ශනීය දේවල් විද ගන්න පුළුවන් වගේම ඊට වැඩියෙන් හිත රිදෙන, තරහ යන අත්දැකීම් වලට නේද මුහුණ දුන්නේ. මේ වගේ ගොඩක් ප්‍රශ්ණ තව කොතරම් තියනවද? කවදා නිවී සැනසිල්ලේ යන්න පුළුවන් වේවිද? ඔබ සිතනවා ඇති. ලංකාවේ බස් සේවාව මගීන්ගේ අවශ්‍යතා හරියට තේරුම්ගෙන ක්‍රියාකරන දවසක් එනතුරු ඉතින් අපි හීන දකිමු.
කවරයේ පින්තුරය: youtube.com