වසන්තයේ සිහිකැඳවුම – කොහෝ කොහෝ

සෑම වසරකම ජනවාරි පළමු වෙනිදා නව වසරක් උදාවුණත්, ලොව පුරා විවිධ සාම්ප්‍රදායන් වලට අනුව විවිධ දිනවලදී නව වසර සැමරෙනවා. ශ්‍රී ලංකාවේත් සිංහල හා දමිළ ජනතාව තමන්ගේ නව වසර විදියට සමරනු ලබන්නේ සිංහල ක්‍රමයට බක් මාසය නමින් හැඳින්වෙන අප්‍රේල් මස 14 වෙනිදායි. මෙසේ සමරනු ලබන සිංහල හා දමිළ නව වසර එයටම ආවේණික වූ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සහ චාරිත්‍ර විධි වලින් සමන්විත වෙනවා. මේ ලිපියෙන් විස්තර වෙන්නේ සිංහල දෙමළ උදාව පිළිබඳ මුල්ම පණිවිඩය ගෙනෙනවායැයි සැලකෙන කොහා ගේ විස්තර බිඳක්.

‘කොවුලා’, ‘කොහා’, ‘කෝකිලයා’ යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා  ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ Asian koel යන නමින්. මොවුන්ගේ විද්‍යාත්මක නාමය Eudynamys scolopaceus.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය වැනි ආසියාතික රටවල් ආශ්‍රිතව මෙම පක්ෂි විශේෂය දක්නට ලැබෙනවා. මෙම පක්ෂින්ගේ ආසියාකරයට ඇති බැඳීම කොතෙක්ද යත්, ශ්‍රී ලංකාවේ සැමරෙන නව වසරේ මෙන්ම ඉන්දියානු කාව්‍ය සාහිත්‍යයේද කොවුලා පිළිබඳව බොහෝ සඳහන් තිබෙනවා.

කොවුලාගේ රූපාකාරය

ප්‍රමාණයෙන් තරමක් විශාල, දිගු වල්ගයක් සහිත මොවුන් සෙන්ටිමීටර් 39 ත් 45 ත් අතර ප්‍රමාණයේ දිගකින් ද, ග්‍රෑම් 190 ත් 327 ත් අතර ස්කන්ධයකින් ද යුක්තයි.

පිරිමි පක්ෂියා ඉතා තද නිල් පැහැයට හුරු කළු පැහැයකින් යුත් දේහයකින් යුක්තයි. කපුටෙකුට ආසන්න වශයෙන් සමාන දේහ ප්‍රමාණයකින් යුත් පිරිමි කොහා කපුටාගෙන් වෙන්කර හඳුනා ගත හැකි වන්නේ ඇස් වල ඇති ඉතා දීප්තිමත් රතු වර්ණය නිසා යි.

පිරිමි පක්ෂියාගේ බාහිර පෙනුම. (wikimedia)

ගැහැණු පක්ෂියා වන කෙවිලිය තද දුඹුරු දේහයකින් යුක්ත වන අතර ඔවුන්ගේ දේහය පුරා සුදු පැහැති වයිරම් රටාවක් පවතිනවා. මොවුන්ගේත් ඇස් දීප්තිමත් රතු වර්ණයකින් යුක්තයි.

ගැහැණු පක්ෂියාගේ බාහිර පෙනුම. (youtube.com)

පිරිමි පක්ෂියා ආවේණික කෝ…ඕ… නම් නාදයක් නිකුත් කරනවා. ඒ අසලක ගැහැණු පක්ෂියෙක් සිටියහොත් කීක්..කීක්… යන නාදයෙන් ප්‍රතිචාර දක්වනවා. මෙම නාදයන්හි තීව්‍රතාවයන් සහ තාරතාවයන් ගහනයෙන් ගහනයට වෙනස් වෙනවා.

පරපුටුවෝ

කොහා හැඳින්වෙන්නේ පරපුටු විශේෂයක් ලෙසින්. එයට හේතුව තමයි ඔවුන් බිත්තර දැමීම සඳහා වෙනත් පක්ෂීන්ගේ කැදලි භාවිතා කිරිමයි. බොහෝ විට මොවුන් ඒ සඳහා යොදා ගනු ලබන්නේ කපුටන්ගේ කැදලියි. ඒ බිත්තර වල පවතින සමානකම නිසා.

මොවුන් බිජු ලෑම සඳහා කපුටන්ගේ කූඩු අයත් කරගන්නේ අපූරු ආකාරයකටයි. කොහාගේ පිරිමි පක්ෂියා පැමිණ කපුටන් කුපිත කරවන ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්වනවා. එයින් කුපිත වන කපුටන් කොහා පසුපස හමා යනවා. මෙහිදී කොහා කපුටු කැදැල්ලේ සිටි විශාල දුරකට පියාඹා යන නිසා ඒ අතරතුර කාලය කෙවිලියට බිජු ලෑම සඳහා ලැබෙනවා. කොවුලන්ගේ බිත්තර වල ප්‍රමාණය සහ පෙනුම කපුටු බිත්තර වලට බොහෝ සේ සමාන නිසා ආපසු පැමිණෙන කැවිඩිය වෙනස හඳුනා ගන්නේ නැහැ. ඉන් පසු ඔවුන් කපුටන්ගේ මාර්ගයෙන් තමන්ගේ බිත්තර ආරක්ශා කිරීම සහ පෝශණය කිරීම සිදු කර ගනු  ලබනවා. නමුත් මෙම පැටවුන් නාද කරන්නට පටන් ගත විගස කපුටු කූඩු වලින් පලවා හරිනු ලබනවා.

කපුටෙක් විසින් කුඩා කෙවිලියක් පෝශණය කරන අවස්ථාවක්. (indianbirds.arvindkatoch.com)

නව වසරේ සිහිකැඳවුමද?

කොහාගේ නාදය ඇසෙන්නට ගන්නේ සිංහල හා දමිළ අළුත් අවුරුද්දට සමගාමීව නිසා එදා මෙදා තුර අවුරුදු සංස්කෘතිය ඒ සමඟ බැදී පවතිනවා. නමුත් කොහා සත්‍ය වශයෙන්ම නාද කරන්නේ අවුරුදු ගැන කියන්නට නොවෙයි. මොවුන් මේ ආකාරයෙන් නාද කරන්නේ මාර්තු – ජූලි කාල සීමාව මොවුන්ගේ අභිජනන කාල සීමාව වන නිසා යි. පිරිමි පක්ෂියා මෙසේ නාදයන් නිකුත් කිරීමේ අරමුණ අභිජනනය සඳහා සහකරුවෙකු සොයා ගැනීමයි. මේ නාදය ඉතාමත් ඉමිහිරි සහ ආවේණික වීම නිසා තමයි මෙය එතරම් අවුරුදු කාල වකවානුව හා බැඳී පවතින්නේ.

IUCN රතු දත්ත පොතට අනුව කොහා වර්ගීකරණය කර ඇත්තේ අවම ලෙස සැලකිලිමත් (least concerned) වෙන කාණ්ඩයටයි. එනම් අවදානමට හෝ තර්ජනයට පත් නොවී පුළුල්ව ව්‍යාප්ත වූ කාණ්ඩයක් ලෙසටයි. නව පරිසර පද්ධතීන් වලට ඉක්මනින් ම අනුගත වී ව්‍යාප්ත වීමට ඇති හැකියාව සහ මොවුන්ගේ සර්ව භක්‍ෂක ආහාර විලාසය මෙයට හේතු ලෙස දක්වන්නට පුළුවන්. එනිසා අනාගතයේ තවත් බොහෝ කාලයක් මෙම පක්ෂීන් ශ්‍රී ලාංකිකයන් හට සිංහල හා දමිල අළුත් අවුරුද්ද සිහි කැඳවතැයි බලාපොරොත්තු තබා ගන්නටත් පුළුවන්.

කවරයේ පින්තූරය – wikiwand.com

මූලාශ්‍ර – projectnoah.org, wikipedia.org, wikiwand.com

Related Articles

Exit mobile version