අවුරුදු කාලෙට සිදු වන සමාජ සිද්ධි නිසා බක් මාසේ සෑම ගමක් ම පාහේ අපූරු ජීවයකින් පිරෙනවා. මේ නිසා අවුරුදු පණිවිඩය ගමේ කාටත් කල්ඇතුව දැනගන්න ලැබෙනවා. අලුත් ඇඳුම් ගැනීමට, කැවිලි පෙවිලි හැදීමට ගැමියා සූදානම් වන්නේ ඉන් පසුව යි. අද නම් මේ පණිවිඩය කියන්නේ මාධ්‍යවල යන දැන්වීම්වලින්.
බක්මහ උදාවෙත් ම බඩවැටිය පුරා ගස්වැල් මලින් බරවෙනවා. දෙවැට දිගේ එරබදු ගස්වල රතුමල් කිනිති පිපෙද්දී කජු ගස්වලද කජු පුහුලන් හැදී කජු ගෙඩි හට ගන්නවා. අඹ ගස්වල ද මල් කැකුළු හට ගන්නේ මේ කාලෙදිම යි. අලුත් අවුරුදු ළඟ ළඟ එන බව හඬගා කියන කොහෝ හඩත් නිතර ම ඇහෙන්න ගන්නවා. අවුරුද්දට කලින් ම වළංකාරයා, රෙදි පොට්ටනිකාරයා කරවල තුනපහ අරන් කත්කාරයා ඒ කාලේ ගමට පැමිණීම සිරිතක්. ජාඩිකාරයා ජාඩි අරගෙන එනවා. ගම්මුන් මේ අයගෙන් තමයි අවුරුද්දට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නේ. එදා මිනිස්සු කඩපිල් ගානේ ගියේ නැහැ.
අවුරුද්දට පිපෙන එරබදු
ගමේ බඩවැටිවල සුලබ ගසක් තමයි එරබදු කියන්නේ. අවුරුදු ළංවන කතාව ගමට කියන ශාකයක් ලෙස එරබදු සැලකෙනවා. අවුරුදු උදා වෙන බව කියන පෙරමඟ ලකුණක් පෙන්වමින් එරබදු ගස්වල මල් පිපෙන්නේ මාර්තු – මැයි අතර කාලයේදී යි. මේ ශාකයේ අලංකාර රතු පැහැති මල් පොකුරක් හටගන්නවා. අප්‍රේල් මාසයෙදි එරබදු ගස් මල්වලින් පිරීඉතිරී යනවා.
එරබදු මල් පොට්ටු පොට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු යනුවෙන් රබන් පදයක් ද ඇත්තේ ඒ නිසයි.
එරබදු කියන්නේ ඖෂධීය ශාකයක්. ගසේ පංචාංගය වන මුල්, කොළ, පොතු, ගෙඩි, මල් දේශීය වෙදකමට ඖෂධ ලෙස යොදා ගන්නවා. එරබදු කොළ මැල්ලුම මිනිස් සිරුරට වද දෙන කිරි පණු රෝගය නසන බැවින් සංස්කෘත බසින් මෙය කෘමිස්න, කෘමිශත්‍රං යන නම්වලි ද හැඳින්වෙනවා. එරබදු ගසෙහි කඳෙහි හා අතුවල උල්කටු පිරී පවතිනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම එරබදු ශාකය වැවෙනවා. මේ ගස හිමාල කඳු වැටියේත්, (ඊසාන දිග ආසියාවේ) ජාවා දූපත්, වෙනිසියුලාව, මැඩගස්කරය, අප්‍රිකාව, බුරුමය, මලක්කාව ආදි රටවල ද වැවෙනවා.
එරබදු ගස වැවෙන්නේ වැට මායිම්වල හා ඇළවේලි ගං ඉවුරු ආදී තැන්වල යි. ගැමි ජනතාවගේ රසවත් ව්‍යංජනයක් ලෙසින් ද මේ කොළ භාවිත වෙනවා. නොමේරූ කොළ ව්‍යංජනයට යොදා ගන්නා අතර දලු රසවත් සලාදයක් ලෙස ද මැල්ලුමක් ලෙසින් ද ආහාරයට ගත හැකි යි.
උණගසින් තනනා වෙඩිල්ල
අද වගේ රතිඤ්ඤා අතීතයේ ගම්වල භාවිත වුණේ නැහැ. බහුල ව පත්තු කළ වෙඩිල්ලක් තමයි උණ වෙඩි කියන්නේ. උණ කඳක් භාවිතයෙන් තනා ගන්නා සරල උපකරණයක් මඟින් තමයි මේ වෙඩි හඬ නිකුත් කරන්නේ. උණවෙඩි පත්තු කරන්න කපා ගන්නා උණගසේ කඳ කොටස පුරුක් තුන හතරක දිගකින් යුක්ත විය යුතු යි. ඉ
න්පසුව අමු උණ ගස දින කිහිපයක් මඳ අව්වේ තබාගත යුතු යි. පසුව මෙම උණකොටයේ එක් පුරුකක් හැර අනෙක් පුරුක් සියල්ල ඉවත්කර ගැනීම කළ යුතුයි. මේ සඳහා යකඩ අලවංගුවක් වැනි උපකරණයකින් උණ කඳේ ඇතුළත හාරා ගන්නවා. ඉන්පසුව හාරා නොගත් පුරුකට අඟල් 2 ක්, 2 1/2 ක් පමණ ඉදිරියෙන් තරමක කුඩා සිදුරක් සකස්කර ගන්නවා.
මෙම සිදුර භූමිතෙල් දැමීම සඳහා තරමක විශාලත්වයෙන් යුතු පුනීලයක් දැමිය හැකි තරමේ එකක් විය යුතු යි. ඉන් පසු බිම කරුවක් සිටවා මඳක් උස් වනසේ උණ වෙඩිල්ල රඳවාගෙන සකසා ගත් සිදුරෙන් උණකොටයට භූමිතෙල් වත් කළ යුතු යි. සාමාන්‍යයෙන් භූමිතෙල් බෝතල් බාගයක් පමණ මේ කඳට පුරවා ගත යුතු යි. ඉන්පසුව පන්දමක් හෝ පොල්ලෙලි ටිකක් ගිනි දමා එම කොටයේ භූමිතෙල් යෙදූ ස්ථානයේ යට පැත්ත රත්කරගෙන පදම් කරගත යුතු යි.
හොඳින් රත්වූ විට වෙඩිල්ලේ හඬ වැඩි වෙනවා. ඉන් අනතුරුව සිදුකරන්නේ සිදුරට කටින් පිඹ එයට ගිනි දැල්ලක් ඇතුළු කිරීම යි. බොහෝවිට පොල් කොළයක් පත්තු කර තමා ඇතුළු කරන්නේ. එවිට විශාල හඩක් නංවමින් වෙඩිල්ල පිපිරෙනවා. මෙය දිගින් දිගට ම කිරීම සිරිතක්. ඒ කාලේ ගම්වල තරගයට උණවෙඩි පත්තු කිරීමත් දකින්න ලැබුණා.
කතුරු ඔංචිල්ලාව
ගැමියන් පත්තිනි හා ගම්බාර දෙවියන්ට බාර හාර වී කතුරු ඔංචිල්ලා බැඳීම ආරම්භ කරන්නේ අවුරුද්දට සති දෙක තුනකට කලින්. ඒ සඳහා අවශ්‍ය දැව දඬු හා රැහැන් අවට අවට පරිසරයෙන් සපයා ගන්නවා. උණ ලී, පුවක්පටි ආදිය යොදා ගෙන ඒවා එකට බැඳ තමයි මෙය තනන්නේ. අද නම් අපට සැණකෙළිවල දී යකඩවලින් තැනූ කතුරු ඔංචිල්ලාත් බහුලව දැකගත හැකියි.
කතුරු ඔංචිල්ලාව තැනීම සාමාන්‍ය ඔංචිල්ලාවකට වඩා බොහෝ දුෂ්කර යි. වරකට විස්සකට තිහකට වුණත් පදින්නට හැකි කතුරු ඔංචිල්ලා තනන්නට සමත් දක්ෂයන් පුරාණ ගම්වල සිටියා. මෙය ජන ක්‍රීඩාවක් පමණක් නොව දේව පූජාවක් ලෙස ද සැලකුණා.
පත්තිනි දෙවියන් උදෙසා ඉදිකෙරෙන මෙම දැවැන්ත ඔංචිල්ලාව ඉදිවන භූමිය පළමුව ශුද්ධ භූමියක් ලෙස දෙවියන්ට කැප කෙරෙනවා. එහි කටයුතු අරඹන්නේ මල් පැලක් බැඳ පහන් දල්වා දේව පූජාවක් පැවැත්වීමෙන් පසුව යි. කිසිදු අනතුරක් නොවී කතුරු ඔංචිල්ලාවේ කටයුතු කිරීමට ඉඩ ලැබෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටිනවා.
කතුරු ඔංචිල්ලාවෙහි ඉදි කිරීමේ කටයුතු සත් දිනක් තුළ නිමා කළ යුතු වෙනවා. දින හතකින් නිම කළ නොහැකි වූවහොත් භාරය අලුත් කොට තවත් සත් දිනක් සඳහා දෙවියන්ගෙන් අවසර ලබා ගන්නවා. මේ සියලු කාර්‍යයන් සඳහා දායක කරගත්තේ පුරුෂ පාර්ශ්වය පමණ යි. ස්ත්‍රී පාර්ශ්වය ඊට හවුල් වුවහොත් කිල්ලට හසුවෙතැයි විශ්වාසයක් ගම්වල පැවතුණා.
ඔංචිල්ලාව පදවන්නන් රැඳී සිටින විශාල වෘත්තාකාර කූඩුව නිමාවන්නේ පුවක් ලී පටිවලින්. දැවමය කොටස් සඳහා යොදා ගැනෙනුයේ සවිමත් හොර ලීය යි. හරහට බඳින ලද ලීවලට පුද්ගලයන් එක් අයෙක් හෝ දෙදෙනෙක් නැග ඒවා පෑගීමෙන් ඔංචිල්ලාව නොනවත්වා රවුමට කැරකීම සිදුවෙනවා.
ඒ එහි පැදීමට හිඳ සිටින පිරිසත් සමඟ යි. ඔංචිල්ලාවෙහි ඇති අසුන් ගණන අනුව එය ක්‍රියා කරවීමට යෙදිය යුතු බලය වැඩිවෙනවා. ඔංචිල්ලාව පැදීමට අවට ගම්වලින් පවා බොහෝ දෙනෙක් ඇදී එන අතර එය දින ගණනාවක් ක්‍රියාත්මක කෙරෙනවා.
අවුරුද්දට මකුළුදැල් කඩන කැප්පෙටියා මුස්න
අද නම් ගෙවල්වල බිත්තිවල සහ වහලේ බැඳෙන මකුළු දැල් කැඩීමටට තැනූ ප්ලාස්ටික් කෙඳි සහිත මුස්න වෙළෙඳපොළේ තියනවා. නමුත් ගම්මවල තවමත් අවුරුද්දට මකුළුදැල් කැඩීමට යොදාගන්නේ කැප්පෙටියා කොළ අතු ලීයක එකට බැඳ තනාගත් මුස්නයක්. කැප්පෙටියාවල ඇති බූව ගතිය නිසා මකුළුවන් වැනි කෘමි සතුන් කලක් යනතුරු ඉන්පසු බිත්තිවලට හා වහලට එන්නේ නැහැ.