සීතාවක රාජසිංහ රජු දේවත්වයෙන් අදහන එක් ප්‍රධාන දේවාලයක් තමයි කරවනැල්ලට නුදුරු කබුළුමුල්ල පත්තිනි දේවාලය. පත්තිනි දේවියට අමතර ව ගනේගොඩ දෙවියන් ලෙස අදහන රාජසිංහ රජුගේ දේවාත්මයෙන් අදටත් විශාල බැතිමතුන් පිරිසක් එහි පැමිණ දරු සම්පත් ලබාගැනීමට මෙන් ම ලෙඩරෝග සුවකර ගැනීමටත් බාරහාර වෙනවා.
ගමන් මඟ
අවිස්සාවේල්ලේ සිට කැලණි ගං මිටියාවතේ කරවනැල්ල දක්වා හැටන් පාරේ ගමන් කරන අපට කරවනැල්ල නගරය පසුකර කිලෝ මීටරයක් ඉදිරියට ගමන් කරන විට මාර්ගයේ වම්පසින් ඉහළට ඇදී යන පියගැට පෙළක් දැකගත හැකි යි. ඒ කබුළුමුල්ල පත්තිනි දේවාල පිවිසුම යි.
අහස උසට වැවුණු ගස්වැල් පිරිවරාගත් නිසංසල බිමකයි දේවාලය පිහිටා තිබෙන්නේ. පුරාණ බෙදීම් අනුව තුන් කෝරළයේ අටුලුගම් කෝරළයට දේවාලය අයත් වෙනවා.
ඉතිහාස කතා
දේවාලය ඉදිකර වූ බව විශ්වාස කරන්නේ සීතාවක පළමුවැනි රාජසිංහ රජු යි. ඔහු දේවාලය ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1582 දී බව දේවාල පුරාවෘත්තවල කියවෙනවා. අවිස්සාවේල්ලට නුදුරු ගුරුගල්ලේ කැලණි නදිය අද්දර මැදගොඩ පත්තිනි දේවාලයත් ඒ රජුගේ ඉදිකරවීමක් බව පුරාවෘත්තවල සඳහන්.
එම දේවාල දෙක ම එකට බැඳී පවතිනවා. දේවාලය තැනීමේ දී සිටවූ මඟුල් කප සිට වූ මුල්ල කපලූ මුල්ල වී පසුව කබුළුමුල්ල වූ බව පැවසෙනවා. දේවාලය අසලින් කැලණි ගඟ ගලා බසිනවා. දේවාලයේ දිය කැපුම් තොට දේවාලයේ පියගැට පෙළ ඉදිරිපස කැලණි නදියේ පිහිටා තිබෙනවා.
දේවාල පුරාවෘත්තවල එහි උත්පත්ති කතාව සඳහන් වන්නේ මෙලෙසයි:
සීතාවක රාජසිංහ රජුගේ සෙනවියකු වූ රණසිංහ මුදියන්සේ බලංගොඩ “කලුතොට“ බළකොටුව භාර ව සිටියා. ඔහු රජුගේ හිතවත් විශ්වාසවන්තයෙක් වුණා. මේ නිසා ඔහුට රජුගේ ප්‍රසංශා නිතර හිමි වුණා.. මේ ගැන අමනාපයෙන් පසු වූ රජ වාසල ප්‍රභූන් කේලාම් කියා රණසිංහ සෙනෙවියා ගැන රජු බිඳ වූ බව සඳහන්. රණසිංහ සෙනවියා අත්අඩංගුවට ගන්නට නියෝග කළා. ඒ කාලයේ දේවාල කන්දට නුදුරු මංගෙදරමුල්ල පත්තිනි දේවාලයේ කපු මහතා ලෙස කටයුතු කර ඇත්තේ රණසිංහ සෙනවියාගේ සහෝදරයෙක්. කිසි ම වරදක් නොකළ තම සොහොයුරාට වූ අසාධාරණය පිළිබඳ ඔහුදේවාලයට දිනපතා පැමිණ පත්තිනි මෑණියන් ඉදිරියේ කන්නලව් කළා.
රාජසිංහ රජු සිරියහනේ නිදි සුව විඳිමින් සිටින විටදී සිහිනෙන් රතු රෙදි ඇඳ, කඩු, පලිහ ගත් පත්තිනි දේවිය පෙනී සිටියා. රජු බියපත් කරමින් සිර භාරයට ගත් සෙනවියා වහා නිදහස් කරන ලෙස නියෝග කළා.. සිහිනයේ අවසන කලබලයට පත් රජු යහන කැඩී බිම ඇද වැටුණා. රජු පසු දින අලුයම ඇමතිවරු කැඳවා හිරබාරයේ සිටින රණසිංහ මුදියන්සේ ගේ තතු විමසා සිටියා. රණසිංහ බලන්නට ගිය ඇමතිවරුනට දක්නට ලැබී ඇත්තේ දෑත දෙපයට ලූ විලංගු කැබලි වී ගොස් නිදහස්ව සිටින සෙනවියා යි. රණසිංහ ගේ සොහොයුරු මංගෙදරමුල්ල කපු මහතා පිළිබඳ තොරතුරු ඇසු රජු වහාම ඔහු මාලිගයට කැඳවූවා. තම සොහොයුරා නිර්දෝෂී පුද්ගලයකු නිසා තමා දෙවියන්ට කන්නලව් කළ බව ඔහු පිළිගත්තා.
රණසිංහ මුදියන්සේ නිර්දෝෂී බව වටහා ගත් රජු ඔහුට නිදහස ලබා දුන්නා. අභය දානය ලැබු රණසිංහ එතැන් සිට අභය රණසිංහ නම් වුණා. සොහොයුරන් දෙදෙනා පිළිබඳ පැහැදීමට පත් සීතාවක රාජසිංහ රජු කබුළුමුල්ල දේවාලය තනා රණසිංහ මුදියන්සේට භාර දුන්නා. සිහිනයෙන් බිය වී කැඩී ගිය ඇඳ වියල හා බාපත රජු කබුළුමුල්ල දේවාලයට පූජා කළා. ඉන්පසු මැදගොඩ දේවාලය තනා මංගෙදරමුල්ලේ සිටි රණසිංහ මුදියන්සේට භාර දී තිබෙනවා. එතැන් පටන් කබුළුමුල්ල දේවාලයේ කපු මහත්වරු “අභය රණසිංහ මුදියන්සේලා“ වුණා. වර්තමානයේ දේවාල භාරකාරත්වය දරන්නේ 52 වන අභය රණසිංහ මුදියන්සේලාගේ පරම්පරාවේ කුඩා බණ්ඩාර රණසිංහ යි. දේවාලයේ පවතින් පැරණි ඇඳ වියල රාජසිංහ රජුගේ කැඩුණු ඇඳ බවට විශ්වාස කෙරෙනවා.
දේවාල බිම
කඳුගැටයක් මැද භූමිය සමතලා කොට තනා ඇති දේවාල බිම ප්‍රමාණයෙන් අක්කර දෙකහමාරක් වෙනවා. මුලින්ම ටැම්පිට දේවාලයක් පැවතුණු බවත් පසුකාලීන ප්‍රතිසංස්කරණවලදී ටැම් වසා දමා ඇති බවත් පැවසෙනවා. එච් සී පී. බෙල් 1892 කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ දේවාලය මෙසේ සඳහන් කර සිටිනවා:
ගොඩනැඟිල්ල බිම් සැලැස්මෙන් මැදගොඩ සහ දොරවක දේවාලවලට සමාන වෙයි. ඊට දිග්ගෙයක් ද දේව මන්දිරයක් ද ඉහළ මාලිගාව ද ඇතුළත් වේ. එසේම දකුණු පස වෙන්කර තැනූ මුරුතැන්ගෙය ද සහිත ය. දිග්ගෙය දිග අඩි 23 අඟල් 8ක් ද පළල අඩි 12 අඟල් 5ක් ද වේ. දේවාල බරාඳය දිග අඩි 15 අඟල් 6ක් ද පළල අඩි 16ක් ද වේ. දේව මන්දිරය දිග අඩි 9ක් ද පළළ අඩි 10 අඟල් 10ක් ද වේ. අඩි 12ක පළලින් යුත් පෙරහර මාර්ගය දේවාල බිම වටා අඩි 369ක දිගකින් යුක්ත ය. දේවාලය පැරණි ය. කපුරාළ සහ බදු වැසියන් විසින් එය මැනවින් පවත්වාගෙන යනු ලැබේ. කපුකම කපුවන් සිව්දෙනෙකු විසින් තට්ටු මාරු ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙයි. රාජසිංහ රජු විසින් ප්‍රදානය කරන ලද මුල් තඹ සන්නස විහාර දේවාල ඉඩම් කොමිසම පැවති අවදියේ මහනුවරට ගෙන ගොස් ඇති අතර ආපසු බාරදී නැත. 1867 දී දේවාලයට අයත් ඉඩම් අක්කර 484ක් ලේඛනාරූඪ කර ඇත( කෑගල්ල පුරාවිද්‍යා වාර්තාව 1892, 111 පිට).
ගනේගොඩ දෙවි
කබුළුමුල්ල දේවාලය කැපකර ඇත්තේ පත්තිනි දේවියට වුණත් එහි සිද්ධ ගනේගොඩ දෙවියන්ට ද පුද පූජා පැවැත්වෙනවා. ගනේගොඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ සීතාවක රාජසිංහ රජු බව ගනේගොඩ දේව උත්පත්ති කතා පුවතේ කියැවෙනවා.
දේවාලයේ යාතිකාව ඇරඹෙන්නේ ද ගනේගොඩ දෙවියන්ගෙන් අවසර ගැනීමෙනු යි. පත්තිනි දේවිය අමන්නේ ඉන් අනතුරුව යි. දේවාල උත්සවවල දී මුලින් ම පහන් දල්වන්නේ ද ගනේගොඩ දෙවියන්ට යි. දේව ප්‍රතිමාව ද එක් අතකින් කඩුවක් අල්ලාගෙන සිටින රජ කෙනකුගේ ස්වරූපයෙන් නිරූපණය කර තිබෙනවා.
නින්දගම
කබුළුමුල්ල ගම්මානය මේ දේවාලයට අයත් නින්දගමක්. මෙහි වැසියෝ දේවාල පෙරහර ඇතුළු කටයුතු සංවිධානයට සහයෝගය දක්වනවා. සීතාවක රාජසිංහ රජු දේවාලයට ඉඩම් ප්‍රදානය කිරීමේදී එහි කටයුතු ප්‍රවේණි පංගු 8 කට බෙදා පවරා දී තිබෙනවා. ඒ කපුරාළ ගේ පංගුව, ගම්වාසගම් පංගුව, විතාරන් පංගුව, හාල්මාළු පංගුව, දැල්ලගේ පංගුව, මාහල්ලගේ පංගුව,දංගම්පලගේ පංගුව, රංගල්ලගේ පංගුව හා පුරප්පාඩු පංගුව,රදාගේ පංගුව වශයෙන්.
දේවාල උත්සව
ඇසළ මාසයට පුරා දින හතක් මෙහි පෙරහර මංගල්ලය පවත්වනවා.ඊට අමතර ව අලුත් සහල් මංගල්‍යය, නානුමුර මංගල්‍යය, කාර්ති මංගල්‍යය, ගම්මඩු මංගල්‍යය, කෙම්මුර මංගල්‍යය යන උත්සව ද පැවැත්වෙනවා. පත්තිනි දේවියට කැපවුණු පෙරහරේ එක් කොටසක් ගනේගොඩ දෙවියන්ට ද වෙන් ව තිබෙනවා. පත්තිනි දේවියගේ සිතුවමක් මෙන් ම ගනේගොඩ දෙවියන් නිරූපිත සිතුවමක් ද පෙරහරේ රැගෙන යාම සිදුවෙනවා.
ඇසළ පෙරහර උත්සවය අවසන් වන්නේ අවසන් පෙරහරට පසුදා සිදු වන දිය කැපීමේ පෙරහර මංගල්ලයෙන්. ගැබිණි මව්වරුන්ගේ හා කුඩා දරුවන්ගේ රෝගපීඩාවලට ද බෝවන ලෙඩ රෝග නිවාරණයට ද පත්තිනි දේවියගේ සහ ගනේගොඩ දෙවියන්ගේ බැල්ම ලබා ගැනීමට විශාල පිරිසක් මෙහි පැමිණෙනවා. ඒ කෙම්මුර දවස් ලෙස සැලකෙන බදාදා සහ සෙනසුරාදා දිනවල යි.
කබුළුමුල්ල දේවාලයේ කපු මහතා ප්‍රකාශ කරන අන්දමට එම දේවාලයේ පූජා භාණ්ඩ අතර රාජසිංහ රජුගේ රන්කඩුවත් රජුට අයත් කැටයම් සහිත ඇඳ වියලත් තිබෙනවා. දේවාලයේ උත්සව වලදී භාවිතාකරන “ගනේගොඩ යාදින්න” තුලින් රාජසිංහ රජු ගනේගොඩ දෙවියන් නමින් පෙනී සිට බැල්ම හෙලන බවට විශ්වාස කෙරෙනවා. මේ එම යාදින්නෙන් කොටසක්:
බිසව කුස පිළි සිඳී
දස එකඩ මස් සපිරි
උපන් කුමරිඳු බලැති
රාජසිංහ යන නමින්
පුර සඳ සේ වැඩී සොඳ