කොළඹ නගරයේ තැන් තැන්වල ඇළ මාර්ග තිබුණත් ඒවායේ ගමන් ගන්නා යාත්‍රා නම් අද දකින්න නැහැ. මේ ඇළවල් ප්‍රවාහන මාධ්‍යයක් සේ ලන්දේසි කාලේ මෙන් ම ඉංග්‍රීසි කාලෙත් භාවිත වුණා. ඔරු පාරු යාත්‍රා කරන ඇළ මාර්ග නගරයේ අලංකාරයටත් හේතු වුණා.
1940න් පසුව ඒවා අභාවයට ගොස් ඇළවල් කුණු දමන තැන් බවට පත්වුණා. පසුගිය කාලයේ ඒවා පිරිසුදු කර සමහර ඇළවල බෝට්ටු ප්‍රවාහන සේවා නැවත ආරම්භ කළත් වැඩි කලක් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ කොළඹ ඇළ මාර්ගවල අතීතය ගැන කළ සොයා බැලීමක්.
ඇළ මාර්ග ප්‍රවාහනය
ඇළ හා ජල මාර්ග වියදම් අඩු ප්‍රවාහන ක්‍රමයක් මෙන්ම වාහන තදබදයෙන් වැලකීමටත් හොඳ ප්‍රවහන ක්‍රමයක්. පර්නාවෝ ඩී. ක්වේරෝස් පියතුමා “Temporal and Spiritual Conquest of Ceylon” නම් ග්‍රන්ථයෙහි කොළඹට උතුරින් කැලණි ගඟේ සිට පමුණුගම කළපුව දක්වා ඉදි කර ඇති ඇළ මාර්ගය අටවන වීර පරාක්‍රමබාහු රජුගේ (1476-1489) නිර්මාණයක් ලෙස සඳහන් කර තිබෙනවා. එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන් ද එය අටවන වීර පරාක්‍රමබාහු රජුගේ වැඩක් බව සඳහන් කරනවා. කෝට්ටේ රාජධානි කාලයේ මෙම ඇළ ඔස්සේ කුරුඳු සහ වෙනත් කුළුබඩු කැලණි මිටියාවතේ ගම්මානවල සිට කොළඹ වෙළෙඳ ස්ථානවලට ප්‍රවාහනය කර තිබෙනවා.
පෘතුගීසි කාලෙත් ඇළ මාර්ග ඉදිකෙරුණත් වඩාත් ක්‍රමවත් ඇළ පද්ධතියක් තැනුණේ ඕලන්ද පාලන සමයෙ යි. කොළඹ නගරය හා අවට මෙන්ම දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් ඕලන්ද කාලේ තැනූ ඇළ මාර්ග දැකගත හැකි යි. වෑන් ඉම්හෝෆ් නම් ඕලන්ද ආණ්ඩුකාර¬වරයා (1736-1740) ඇළ මාර්ග තැනීමට විශාල උනන්දුවක් දක්වා තිබෙනවා. ලන්දේසීන් ඇළ මාර්ග දියුණු කිරීමට උනන්දුවක් වී ඇත්තේ වෙළඳ භාණ්ඩ, කුළුබඩු ආදිය නිෂ්පාදන ප්‍රදේශවල සිට ලාභදායී ව කොළඹ වරායට ප්‍රවාහනය කිරීමට හැකිවීම නිස යි.
ජල මාර්ග සම්බන්ධතාවක්
ලන්දේසීන් පුත්තලමේ සිට කොළඹටත් සහ දකුණේ බෙන්තොට දක්වාත් ඇළ මාර්ග සහ ගංගා සම්බන්ධ කරමින් ජල මාර්ග සම්බන්ධතාවක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. පුත්තලම, මීගමුව, කොළඹ, කළුතර, සහ ගාල්ල යන දිස්ත්‍රික්ක ජලයෙන් සම්බන්ධ කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා.
මීගමු කළපුව හරහා උතුරට විහිදුණු හැමිල්ටන් ඇළ වැඩිදියුණු කිරීම මඟින් ලන්දේසීන් පුත්තලම සහ කොළඹ සම්බන්ධ කළා. ඊට අමතරව ලන්දේසීන් කොළඹ නගරයේ අභ්‍යන්තර ඇළ මාර්ග ද ඉදි කළා. පළමු ව කොළඹ කොටුව දෙහිවල හා සම්බන්ධ කර, එතැන් සිට බොල්ගොඩ ජලාශය කෙප්පු ඇළ හරහා සම්බන්ධ කර තිබෙනවා.
පසුව ඉංග්‍රීසි පාලන සමයේ දී බේරේ වැව හා සම්බන්ධ ඇළ මාර්ග ජාලය වැඩි දියුණු කර භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගෙන තිබෙනවා. 1840 දී කෝපි වතුවල අස්වැන්න කොළඹ ගබඩාවලට ගෙන ඒමට ඔරු පාරු භාවිත කළ බට ජෝන් කැපර් old Ceylon පොතේ සඳහන් කරනවා.
ශාන්ත සෙබස්තියන් ඇළ
පිටකොටුව දක්වා ගමන් කර බේරේවැව හා සම්බන්ධ වුණු මේ ඇළ ආරම්භ වුණේ කැලණි ගං මෝයේ තොටළඟින්. එය අලුත් කඩේ හරහා වර්තමාන පාවෙන වෙළෙඳපොළ භූමිය දක්‌වා විහිදී ගොස් තිබෙනවා. මුල් කාලීනව බේරේ වැව හා සම්බන්ධව ඇළ මාර්ග කීපයක් නිර්මාණය වී තිබු අතර, දැනට ඉන් ඉතිරි ව ඇත්තේ ‘සන්ත බස්තියන් ඇළ පමණ යි. එම ඇළ මුලින් ම තැනුවේ පෘතුගීසී බළකොටුවට පහර දීම සඳහා පැමිණි සීතාවක 1 වන රාජසිංහ රජු බව සඳහන් වෙනවා. ඔහු ඇළ කපා ඇත්තේ ජලය බස්සවා බේරේ වැව හිස් කිරීමට යි.
ඇළ කැපීමට එක්වී ඇත්තේ හේවාගම් කෝරලයේ ජනතාව යි. පෘතුගීසි සමයේ දී ධර්මදුත මෙහෙවර සදහා පැමිණි දොමිනිකාන ධර්මදුතවරුන් සඳහා කොළඹ කොටුවෙන් පිට ශාන්ත සෙබස්තියන් මුනිතුමන් නමින් කැප කර තිබු දේවස්ථානයක් තිබුණා. ඒ අසලින් ගලා ගිය ඇළ සාන්ත සෙබස්තියන් ඇළ ලෙස හඳුන්වා තිබෙනවා.
එය පසුව “සාන්ත බස්තියන් ඇළ ” ලෙස වෙනස් වී තිබෙන බවයි පැවසෙන්නේ. අදටත් මේ ඇළ හඳුන්වන්නේ ඒ නමින්. පිටකොටුවේ සිට ඇළ අසලින් යන පාරට බස්තියන් මාවත යන නමත් ලැබී තිබෙනවා.
හැඳල සිට බොල්ගොඩ දක්වා
කොළඹ හා ඒ අවට ඇති ඇළ මාර්ග අතරින් පැරණිත ම ඇළ මාර්ගයක් ලෙස උතුරින් හැඳල දක්වාත්, දකුණින් බොල්ගොඩ ජලාශය හා කෝට්ටේ ජලාශය සම්බන්ධ වන අයුරිනුත් බිහි කර ඇති ඇළ මාර්ගය හැඳින්විය හැකි යි.
ලන්දේසීන්ගේ වාර්තාවලට අනුව එය පෘතුගීසීන් විසින් ඉදි කරන ලද්දක්. කොළඹට උතුරින් සාරවත් වෙල් යායක් ව පැවති මුතුරාජවෙල පුරන් වී ගියේ ද එම ඇළ මාර්ගය ඔස්සේ ගලා ආ මුහුදු ජලය නිසා බව පැවසෙනවා.
කෝට්ටේ සිට දෙහිවල දක්වා
කෝට්ටේ දියවන්නා ඔයේ සිට කිරුළපන හරහා දෙහිවල නැදිමාලටත්, ඉන්පසුව බොල්ගොඩ ජලාශයටත් විහිදෙන ඇළ ද පෘතුගීසීන් විසින් මුලින් නිර්මාණය කරන ලද්දක්. පසුව එය ලන්දේසීන් පිළිසකර කර භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත්තා. කිරුළපන ඇළ යොදා ගනිමින් පසුගිය කාලයේ බෝට්ටු ප්‍රවාහන සේවයක් ද ක්‍රියාත්මක වුණා.
කෝට්ටේ සිට ගංගොඩවිල ඔස්සේ නැදිමාල දක්වා තවත් කෙටි ඇළ මාර්ගයක් ලන්දේසීන් සැලසුම් කළ ද එහි වැඩ කටයුතු අවසන් කර නැහැ. කෝට්ටේ දියවන්නා ඔයෙන් බටහිරට ගලා යන ඇළ මාර්ගත් ප්‍රවාහන කටයුතුවලට භාවිත වුණා. පසුගිය කාලයේ මේ ඇළ මාර්ග පිරිසුදු කිරීම දකින්නට ලැබුණා. කොළොන්නාව, හිඹුටාන අවට එම ඇළ මාර්ග අදත් ධීවරයන් මසුන් මැරීමට භාවිත කරනවා.
බේරේ වැවේ ඇළ මාර්ග
පෘතුගීසි හා ලන්දේසී යුගවලදී කොළඹ හා ඒ අවට වාරිමාර්ග ගැන කතා කිරීමේ දී බේරේ වැව (Beira Lake) ද විශේෂයෙන් ම සඳහන් කළ යුතු ජලාශයක්. මුලින් කුඩා වැවක් ලෙස එය ඉදි කර ඇත්තේ 1521 දීයි. ඒ, කොළඹ කොටුවේ පෘතුගීසී බළකොටුව ගොඩබිම දෙසින් එන සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා කරගැනීම සඳහා යි.
“බේරේ වැව” තවත් විශාල කොට නිර්මාණය කර ඇත්තේ ලන්දේසීන්. පෘතුගීසී හා ලන්දේසී යුගවල දී සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු වී ඇත්තේ ඒ වැව ඔස්සේ යි. වැවට සම්බන්ධව පැවති ඇළ මාර්ග නිසා කොළඹ විවිධ පෙදෙස්වල සිට කොටුව දක්වා මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි වුණා.
කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු
19 වන සියවස වන විට කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු හා ගං වතුරින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් ඇළ මාර්ගවල වැදගත්කම බ්‍රිතාන්‍ය පාලකයන්ට වැටහී තිබෙනවා. මේ නිසා ඒවා නවීකරණය කොට පවත්වගෙන යෑමටත්, නව ඇළ මාර්ග ඉදි කිරීමටත් ඔවුන් කටයුතු කළා.
එහි ප්‍රතිඵල ලෙස කැලණි ගඟ පමුණුගම කළපුවට සම්බන්ධ කෙරෙන ඇළ වැඩිදියුණු කර හැමිල්ටන් ඇළ ලෙස නම් කළා. බොල්ගොඩ ජලාශය කළු ගඟට සම්බන්ධ කෙරෙන අන්ස්ට්‍රෑදර් ඇළ (1829 දී කොළඹ අයකැමි ධුරය දැරූ පිලිප් අන්ස්ට්‍රෑදර්ගේ නමින්) ද ඉදි කෙරුණා. 1845 දී ජෝන් ඩෙෂාම්ප්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා ලියූ scenary and reminiscences of Ceylon ග්‍රන්ථයේ බේරෙ වැවේ පුවාහන වැදගත්කම ගැන මෙසේ දැක්වෙනවා:
‘‘විවිධ ඇළ මාර්ගවලින් පෝෂණය වූ කොළඹ වැව කොටුවේ සිට ඊසාන දෙසට සැතපුම් හතරක් විහිද යයි.අභ්‍යන්තර ගමනාගමනය දියුණු කිරීමට මෙම වැව සතු හැකියාව ඉමහත් ය. වැඩි ශ්‍රමයක් සහ වියදමක් නැතිව එය කළ හැකි ය (කොළඹ පුරාණය, සමන් කළුආරච්චි, 120 පිට).
වැල්ලවත්ත ඇළ
ඉංග්‍රීසි පාලන කාලේ බඩු ගෙනයාමට කෝට්ටේ කිරුළපන සහ නැදිමාල ඇළ ද වැල්ලවත්තෙන් මුහුදට සම්බන්ධ කරමින් තවත් ඇළක් ද ඉදි කර තිබෙනවා. මෙම ඇළ වර්ෂ 1874 දී එවකට බස්නාහිර පළාතේ දිසාපතිව සිටි සී.පී. ලෙයාඩ් විසින් සැලසුම් කරන ලද බැවින් ලෙයාඩ්ගේ ඇළ නමින් එය හැඳින්වුණා. කැලණි ගඟේ පිටාර ජලය බැහැර කිරීම එම ඇළ ඉදි කිරීමේ අරමුණ වුවත් ඇළේ පතුල, ගං වතුර රඳන ප්‍රදේශයට වඩා උස් වූ බැවින් එය ‘ලෙයාඩ්ගේ මෝඩ ඇළ’ නමින් ප්‍රකට වුණා.
පසුව එම ඇළ ගැඹුරු කොට ගංවතුර බැස්සවීමේ මාර්ගයක් ලෙස සකස් කර තිබෙනවා. අද මේ ඇළ අපිරිසුදු දියෙන් පිරි පැවතුණ ද 1900 මුල භාගයේ නගරය සුන්දර කරන ජල මාර්ගයක් ලෙස පැවතුණා. පැරණී පින්තුර තැපැල් පතක ( 1924ට අයත්) එහි පිහිනමින් නාන පිරිසකගේ රුව ද දකින්න ලැබෙනවා. වසර කිහිපයකට පෙර කෝට්ටේ සිට නාවල හරහා වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ නාවික හමුදාව මගී බෝට්ටු සේවයක් ආරම්භ කළා. එය පසු ව අභාවයට ගියා.
ඔරු පාරු ගිය ඇළවල්
ඇළ මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට වැඩි වශයෙන් භාවිත වුණේ ඔරු හා පාරු යි. ඒ අතරින් භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් වඩාත් වැදගත් යාත්‍රාව වූයේ පාරුව යි. පාරුව මත කුඩා කුටියක් ද ඉදි කර තිබුණා. සමහර පාරුවල වැස්සෙන් බේරීමට පියස්සක් ද පොල්අතුවලින් තනා තිබුණා.
ඔරු, පාරු උපයෝගී කොටගෙන කොළඹ ආශ්‍රිත ව සිදු කෙරුණු වෙළඳ කටයුතු ගැන හංස සංද්ශයේ කවිවල සඳහන් වෙනවා. එහි එක් කවෙක කොළඹ, වත්තල, පුත්තූරුව වැනි තැන්වලින් පිටත්ව ඔරු, පාරුවලින් වෙළඳාමේ යන වෙළඳුන් ගැන සඳහන් කර ඇත්තේ මෙසේ යි.
‘කොළඹ විසල් වත්තල් පුත්තූරු වෙනි
නරඹ යනෙන වෙළඳුන් ඔරු පාරු වෙනි’
කොළඹ සිට මාදම්පේ දක්වා ගිය පාරු ගමනක් විස්තර කෙරෙන බ්‍රිතාන්‍ය යුගයට අයත් කවි කොළයක එම ගමන පිටත් වූ ස්ථානය ලෙස සඳහන් වන්නේ කැලණි ගඟේ තොටළග නාගලගම් පාලම යි. කොළඹින් පාරු ගමන පිටත් වීම විස්තර කෙරෙන එහි මුල් කවියේ මෙසේ දැක්වෙනවා:
‘සකල සිරින් පිරි
පසල කොළොම්පුර
නාගලගම් පාලමේ සිටන්
යදල පඬුරු සන්තානම්
මව් හට වික්ටෝරියා පාලමේ යටින්
යැදල සිව්දෙන හබල් හතර ගෙන
කැලණි ගඟේ සැඩ පහර තදින්
යැදල නැමති ගමේ අලුත් ඇළට
වන් ලාදුරු වත්තට නුදුරු තැනින්
පුත්තලම, හලාවත වැනි පෙදෙසවල සිට කොළඹට භාණ්ඩ ගෙන ඒමටත් කොළඹ සිට වෙළෙඳ භාණ්ඩ ගම්වලට ගෙන යාමටත් 1940 දශකය දක්වා භාවිත වුණේ පාරු සේවය යි. 1940 ගණන් වන විට දුම්රිය හා මහා මාර්ග ප්‍රවාහන කටයුතු වැඩි දියුණු වීම නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ඇළ මාර්ග සතු වූ වැදගත්කම ක්‍රමයෙන් අඩු වන්නට වුණා.
අද වනවිට ඇළ මාර්ග භාණ්ඩ ප්‍රවාහනය අතීතයට එක්වූ කතාවක්. ලොව බොහෝ රටවල මාර්ග ප්‍රවාහය මෙන්ම ඇළ මාර්ග ප්‍රවාහනයත් තව ම එක සේ භාවිත කරනවා.