අදින් සියවස් හතරකට පෙර පටන් මුහුදුබඩ පළාත්වල බඩුභාණ්ඩ ප්‍රවාහනයට බහුලව භාවිත කර තිබෙන්නේ පාරු සේවය යි. පෘතුගීසි, ලන්දේසි කාලවල වගේම ඉංග්‍රීසි යටත්විජිත යුගයෙත් ඔරු පාරු යොදාගත්තා. ලන්දේසීන් කොළඹ අවට ඇළ මාර්ග සංවර්ධනය කර ඒවා පාරු ගමනාගමනයට සකස්කර තිබෙනවා. වාහන භාවිතය සහ දුම්රිය සේවය ආරම්භ කිරීමත් සමග 1930-40 වන විට එදා වෙනම සංස්කෘතියකට මඟ පෑදූ පාරු භාවිතය ඉවත් වී තිබෙනවා. අදටත් බස්නාහිර පළාතේ බොල්ගොඩ ගඟ, කළු ගඟ වගේ ගංගාවල පාලම් නැති තැන්වල ගංගාවලින් එතෙරවීමට පාලම් පාරු සේවා ක්‍රියාත්මක යි.
පාරු ජීවිතේ
අතීතයේ පැවති පාරුව නිවසකට සමාන සරල යාත්‍රාවක්. එහි ඔරු කඳන් දෙකක් එක් කර ලෑලිවලින් සැදූ වේදිකාව මත මුදුන් වහලක් සහිත පොල් අතු සෙවිලි කර පලදෙකේ වහලකින් සමන්විත ගෙයක් වැනි කුටියක් පැවතුණා. ඔරු එක්කර තනන පාරුවලට අමතරව විශාල ඔරුවකට සමානව තනන තෙප්පම නම් පාරු විශාල භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමට සමත් වුණා. පාරු පදින්නන් පාරු ඇණියේ වාඩිවී පාරුව පදිනවා. සමහර තැන්වල රිටි ගසමින් පාරුව ඉදිරියට ගෙන යනවා. බඩු භාණ්ඩ නොතෙමී තබාගන්නේ එහි පිහිටි කාමරය තුළ යි. නිදන කාමරයක්, මුළුතැන් ගෙයක් මෙන්ම ගබඩා කාමරයක් ද ඇතැම් පාරුවල වූ බව සඳහන් වෙනවා. එක් පාරුවකට පදින්නන් කිහිප දෙනෙක් සිටියා. බොහෝවිට පාරු ගමන් සිදුවන්නේ දහවල් කාලයේ යි. අඳුර වැටෙද්දී නැවතුම්පොළක නැවතී පාරු ආරක්‍ෂා සහිතව ගැට ගසා තැබීම සිදුකරනවා. පාරු තොටුපොළවල පාරුකරුවන්ට කෑම බීම සපයන කඩ ද පැවතුණා.
පාරුවක් දිගින් අඩි 50ක්, පළලින් අඩි 12ක් පමණ වී තිබෙනවා. තේක්‌ක, මිල්ල ආදී ලී වර්ග පාරු සැකසීමට භාවිතා කළ බව ද කියැවෙනවා. ඉවුම්පිහුම් කරගෙන ජීවත්වීම අවැසි සියලු පහසුකම් මෙම පාරුවල එදා තිබුණා.
ගම් නියම්ගම්වල තිබූ බවභෝග නිෂ්පාදන එකතු කරගෙන පාරුවේ පටවාගෙන ගඟේ ඉහත්තාවට ගිය මෙම චාරිකා ඉතා සුන්දර බව ඒ ගැන විමසන විට පේනවා.
ගංගා තරණය කර වෙළෙඳාමේ ගිය පාරු ගමනේ දිවයිනේ ප්‍රසිද්ධම තොටුපොළ වූයේ රත්නපුර පාරු ගමනේ අවසානය වූ කළු ගංතොට යි. කැලණි ගඟ, පුත්තලමේ, හලාවත සිට හැමිල්ටන් ඇළ, ගිං ගඟ, දියවන්නා ඔය ආදී ජල මාර්ග රාශියක පාරු සේවා ක්‍රියාත්මකව පැවතුණා.
එක් පාරු ගමනකට හය හත්දෙනකු සහභාගී වී තිබෙනවා. පාරුවේ නායකයාය කියන්නේ තණ්ඩලේ යි. හබල් රිටි ගැසීම වෙනුවෙන් පස් දෙනෙක් සිටි අතර ඉවුම් පිහුම් වෙනුවෙන් තවත් අයෙක් සිටියා.
පාරු කවි
දින කිහිපයක් ගත වන පාරු ගමනේ දී ඇතිවන කාන්සිය මඟහරවා ගැනීමට පාරු පදවන පිරිස් කවි කියන්න පුරුදු වුණා. මේ නිසා පාරු කවි බිහි වුණා.
ගමන් යන්ඩ නැකතින් පාරු පැද ගෙනේ
සමන් දෙවියන්ඩ පුද පඬුරු බැඳ ගෙනේ
මෙවන් කළු ගගේ කඳු මුල් බලා ගෙනේ
අපිත් යමුව සැම දෙවියන්ට වැඳ ගෙනේ
පාරු රස්සාව සමහරු සතුටින් කළත් තව සමහරු එය දුකක් සේ දැක්කා. බොහෝවිට තරුණ වයසේ පාරුකරුවෝ තම බිරියගෙන්, නෑහිතවතුන්ගෙන් වෙන්ව මාස ගණන් කරන පාරු රස්සාව නිසා බලාපොරොත්තු බිඳ වැටී ඒ ගැන කලකිරුණ බව පේනවා. මේ එවැනි පාරු කවියක්:
සීරුවේ ගමන් ඇවිදින් පාරුවට
මාරු වේ හබල් අදිමින් විටින් විට
පූරුවේ කරපු අකුසල් ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විඳිනව දැනට
කළු ගඟේ පාරු කතා
19 සියවසේ මැද භාගයේ දී කළු ගඟේ පාරු සේවය දියුණු තත්ත්වයක පැවැතී තිබෙනවා. දිනපතා කළු ගඟේ පාරු 50ක් 60ක් පමණ ඉහළ පහළ ගොස් තිබෙන බව පැවසෙනවා. ඉහත්තාවේ තිබූ ප්‍රධානම තොටුපොළ රත්නපුරය යි. එක දිගට ගමන් කරන්නේ නම් මෙම ගමනට දින පහක් පමණ ගත වූ බව කියැවෙනවා. පාරු කාලේ රසවත් අත්දැකීම් අලලා නෝබට් අයගමගේ ලියූ “කාල නදී ගලා බසී” නවකතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද මිහි වුණා. රත්නපුර – කළුතර ගමනේ දී යම් යම් ස්ථානවල දී පාරුව ගංඉවුරේ සිට කඹ මඟින් ඇදීම සිදුකළ යුතු වුණා. එම කටයුත්ත ගං ඉවුරේ පංදිචිකරුවන් විසින් සිදුකර තිබෙනවා.
පාරු හිමියා ධනවතෙක්. එම නිසා පාරු කර්මාන්තය ඇසුරේ බොහෝ ධනවතුන් බිහිවී සිටියා. වතු සමාගම්වලට ද පාරු තිබූ බව කියැවෙනවා. මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන් මිනිරන් පතල්වලට බලපත්‍ර නිකුත් කිරීමත් සමග මිනිරන් ප්‍රවාහනයට ද පාරු භාවිතා කරන්නට පටන්ගෙන තිබෙනවා. කළු ගඟ දිගේ මේ පාරු රස්සාව කළ වෙනම ම පවුල් කණ්ඩායම් අතීතයේ සිටි බව පැවසෙනවා. සොරසතුරන්ගෙන් පාරුව ආරක්ෂාකර ගැනීමට පාරු කණ්ඩායමේ චණ්ඩිද සිට තිබෙනවා.
පාරු තොටුපොළ
රත්නපුරේ වර්තමාන නගර සභා ක්‍රීඩා පිටියට යාබද කළු ගඟ ඉවුර අතීතයේ පාරු තොටුපළ පැවතුණා. ලන්දේසීන්ගේ රත්නපුර බලකොටුවට පෙනෙන තැනක් වූ නිසාත් එතැන පාරු තොටුපළ පිහිටුවීමට බලපාන්න ඇති. ගඟේ ඉවුර දළ බෑවුම් නොවීම ඊට තවත් හේතුවක් බව පේනවා.
රත්නපුරයේ සිට කෝපි, කරුංකා, ගම්මිරිස්, පොල්, පුවක්, රබර්, තේ පෙට්‌ටි සහ වෙනත් කුළුබඩු පහතරට වෙළඳාමට සහ අපනයනය වෙනුවෙන් රැගෙන විත් තිබෙනවා. තෙල්, හාල්, කරවල, පිටි, මිරිස්, ලුණු ආදී ආහාර ද්‍රව්‍ය රත්නපුරයට යැවීම කර ඇත්තේ ද පාරු මඟින්.
ඉංගිරියට නුදුරු දුම්බර මානානේ මිනිරන් පතල්වල මිනිරන් ගෙනයාමට යොදාගෙන ඇත්තේ ද පාරු යි. පෙට්ටිවලට දැමූ මිනිරන් කළු ගඟේ ඇල්ලගාව පත්තිනි දේවාලයට පහළ තොටුපළට ගෙනවිත් එතැනින් පාරුවලට පටවා කළුතරට ගෙනගොස් තිබෙනවා.
බද්දේගම ගල් ඒදණ්ඩ
බද්දේගම පිහිටා ඇති සියවස් ගණනක් පැරැණි ගලින් කරන ලද ඒදණ්ඩත් පාරු හා බැඳුණු සිහිවටනයක්. ලන්දේසී පාලන සමයේ දී බද්දේගම හරහා නාගොඩ ප්‍රදේශයට භාණ්ඩ ප්‍රවාහනයට භාවිත කර ඇත්තේ ගිං ගඟ යි. ගිං ගඟේ පාරු මඟින් මෙම භාණ්ඩ ප්‍රවාහනය කර තිබෙනවා. පාරුවේ සිටින තොටියා තම අතෙහි වූ රිට ගංපතුලට තබමින් හෝ හබල් ගාමින් පාරුව හසුරුවන විට ගොඩබිමේ සිටි තවත් අයෙක් පාරුවේ ගැටගසන ලද කඹයකින් අදිමින් ඔහුට සහාය දී තිබෙනවා. ගිං ගඟේ ඉහළට පාරුව ඇදීමේ දී ගං ඉවුරේ හමුවන ඇළ මාර්ගයක් හරහා ගමයි මේ ගල්ඒදණ්ඩ දමා මාර්ගය සකසා තිබෙන්නේ. එය මිනිසුන්ට ගමන් කිරීමට නොව පාරු ඇදිමටම යොදාගත් ඒදණ්ඩක්. ඕලන්ද කාලයේ ඉදිකළ බව තමයි පැවසෙන්නේ.
හැමිල්ටන් ඇළේ පාරු
දඬුගම් ඔය, මහ ඔය, ගිං ඔය, ලූණු ඔය, පමණක් නොව මීගමු කළපුව, හලාවත කළපුව සහ පුත්තලම් කලපුව ද සම්බන්ධ වූ පාරු සේවයක් ද පසුගිය සියවසේ මුල්භාගය දක්වා පැවතුණා.
නීල් විජේරත්න ලියූ මගේ ඉරිදාව කෘතියේ රෝගුස් අයියා නම් පාරුකරුවකු හැමිල්ටන් ඇළේ අත්දැකීම් මෙසේ විස්තර කරනවා:
මොයිසයියාගේ පාරුවට යි, මුලින්ම පාරු රස්සාවට ගොඩවුණේ. එයා තමා අපේ තන්ඩෙල් රාළ. ඇළ දිගේ පාරුව යනකොට ඇළ ඉවුරට ගොඩවෙලා තේඩාවෙන් පාරුව අදින එක තමා මට පැවරුණු මුල්ම රාජකාරිය. ඊට පස්සේ පාරු බත ඉවිල්ල. හබලට අත තියන්න ලැබුණේ තවත් අවුරුදු ගණනාවක් ගතවුණාට පස්සෙ. පහුවෙනකොට ලොරියෙන්, කෝච්චියෙන් බඩු අදින එක ලාබ යි කියලා හැමෝම ඒ පැත්තට ගියා. ඔහේට කියන්න, පාරු ගමන නතරවෙන දවස වෙනකල් මං වැඩ කළේ මොයිසයියාගේ පාරුවේ. ඒ කාලේ අපි ලොරි පහක දාන බඩු එක පාරුවේ දාගෙන පුත්තලමේ ඉඳලා නාගලගම් තොටළඟටත් තොටළඟ ඉඳලා හලාවත – පුත්තලමටත් ගෙනිච්චා.
හලාවත, පුත්තලම ප්‍රදේශවල සිට ලූණු, කොප්පරා, පොල්, දැව වාගේ දේවල් පාරුවේ කොළඹට රැගෙන එන අතර ආපහු යනකොට හාල්, පිටි, සීනි, යකඩ බඩු වාගේ දේවල් අරගෙන යාම සිදුවුණා. ඒ කාලෙ හැඳල පල්ලියවත්තේ කැලණි ගඟ මෝය කට ළඟ ඉඳන් කැපුන්ගොඩ දිහාවට යනකල් ඇළ දෙපැත්ත හරිම ලස්සනබව පාරුකරුවෝ පවසනවා. ළඟ ළඟ ගෙවල්. කෑම කඩ. රා කඩ. ගොඩබිම ඉඳල පාරුකරුවන් සමග හිනාවෙන, කතා කරන උදවිය. ඉවුර දිගේ ඇවිදිමින් අඹරාවේ බැඳපු තේඩාව ඇදගෙන යන එක හරිම විනෝද වැඩක්.
නවසිය තිස්ගණන්වල අග භාගය දක්වා කොළඹ, හලාවත, පුත්තලම ආශ්‍රිතව භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් මේ පාරුවලින් පාරු බද්දක් අයකර තිබෙනවා. භාණ්ඩ පැටවූ දිගින් අඩි පනහකට අඩු පාරුවක් සඳහා තොටුපොළ ගාස්තුව රුපියල යි සත පනහක්. භාණ්ඩ පටවා නැතිනම් සත හැත්තෑ පහක්.
කැලණි ගඟේ පාරු
කොළඹ මෝදරින් මුහුදට වැටෙන කැලණි ගගේ පාරු තොටුපොළ පිහිටියේ තොටළඟ යි. අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල සිට එන පාරුවල නවාතැන තොටළඟ වුණා. රබර්, බුලත්, එළවළු, පොල් වගේ දේවල් විතරක් නොවේ, ගඩොල් පවා කොළඹට ගෙන ගොස් ඇත්තේ පාරු මඟින්. ගඟ්දෙපස පිරිස් කැලණි විහාරය වන්දනා කිරීමට ද පාරුවලින් යාමේ සිරිතක් පැවතුණා.