ලංකාවේ හා ඉන්දියාවේ දුම්රිය සේවා : සරල සැසඳීමක්

ලංකාවෙන් ඉන්දියාවට කෝච්චියෙන් යන්න පුළුවනි ද? සම්පූර්ණ ගමනම කෙලින්ම කෝච්චියෙන් යන්න බැරිඋනාට ලංකාවෙන් ඉන්දියාවේ මදුරාසියට හෙවත් දැන් චෙන්නායි වලට කෝච්චි ටිකට් නිකුත් කරපු කාලයකුත් තිබුණා.

තෙලයිමන්නාරම සිට ධනුෂ්කෝඩි දක්වා සිතියම (.wikimedia.org)

තෙලයිමන්නාරම සිට ධනුෂ්කෝඩි දක්වා සිතියම (.wikimedia.org)

1983ට ප්‍රථම තලෙයි මන්නාරම් තොටුපලට ලංකාව පැත්තෙන් කෝච්චියෙන් ගිහින්, එතනින් යාත්‍රාවකට ගොඩවෙලා ඉන්දියාවේ රාමේෂ්වරම් තොටට ගිහින්, එතන නවත්වලා තියෙන දුම්රියක නගිනවා.මේ  මුහුදු යාත්‍රා ගමන පැයක දෙකක විතර ගමනක්. ඉන් පස්සේ ඉන්දීය දුම්රිය සේවයේ කෝච්චියකින් ඉතින් චෙන්නායි වලට හරි. එතනින් උඩට උතුරු පැත්තේ තියෙන බෞද්ධ සිද්ධස්ථාන වලට හරි ගිහින් අපේ අයට වැඳ පුදාගෙන එන්න හැකියාවක් එදා තිබුණා. එතකොට කොළඹින් පමණක් නෙමෙයි ලංකාවේ බොහෝ දුම්රිය ස්ථාන වලින් ඉන්දියාවේ මදුරාසියට ටිකට් ලබාගන්න හැකියාව තිබිල තියෙනවා.

ඉන්දියාව අන්තෙය් රාෙම්ෂ්වරම් දක්වා මුහුද මතින් එන දුම්රිය. (i.ytimg.com)

ඉන්දියාවේ රාෙම්ෂ්වරම් දක්වා මුහුද මතින් එන දුම්රිය. (i.ytimg.com)

දුම්රිය පෙට්ටි සහ දුම්රිය

ලංකාවේ දුම්රියක එන්ජිමකින් අදින වැඩිම පෙට්ටි ගාන 15ක් වගේ. ඒ නිසා සාමාන්‍යයෙන් ලංකාවේ අපට පෙට්ටි 12ක දුම්රියක් පේන්නේ ගොඩක් දිග දුම්රියක් විදියට. ඉන්දියාවේ බොහෝ දුම්රිය වල පෙට්ටි 24ක් බැගින් තිබෙනවා. ලංකාවේ ප්‍රධාන වශයෙන් කෙටිදුර ධාවනය කරන පවර් සෙට්, දුර ගමන් දුම්රිය, සහ ඉන්ටසිටි වශයෙන් කොටස් තුනක දුම්රිය තමයි තියෙන්නේ. ඉන්දියාවේ දුම්රිය වර්ග 7ක් පමණ තිබෙනවා. සාමාන්‍ය කෙටිදුර මගී දුම්රිය, දුර යන සීඝ්‍රගාමී දුම්රිය, සුඛෝපබෝගී රාජධානී දුම්රිය. කිලෝමීටර 100-200ක දුරක් ගමන් කරන අධිවේගී මගී දුම්රිය, බඩු දුම්රිය ආදී දුම්රිය වර්ග කිහිපයක්ම ඉන්දියාවේ තිබෙනවා. ධාරිතාවය අතින් ගත්තොත් ලෝකයේ ප්‍රවාහන සේවාවක වැඩිම පිරිසක් සේවය කරන්නේ ඉන්දීය දුම්රිය සේවයේ. එහි අගය සේවකයින් මිලියන 1.4ක්. ලෝකයේ වැඩිම සේවකයින් පිරිසක් සේවය කරන ස්ථානයන් අතුරින් පළමු දහයට ඉන්දීය දුම්රිය සේවය ද අයත් වෙනවා. ලාංකික දුම්රිය සේවකයින් ගණන එයින් සියයෙන් එකක්, එනම් 14 000ක් වැනි අගයක සේවකයින් පිරිසක් තමයි අපේ දුම්රිය සේවයේ නිරත වෙලා ඉන්නේ.

ලංකාවේ දුම්රියක් යන වැඩිම දුර මාතර සිට කන්කසන්තුරය දක්වා. සති අන්තයේ ගමන් කරන මේ විශේෂ දුම්රිය ගමන් කරන මුලු දුර කිලෝමීටර 555ක්. ඉන්දීය දුම්රිය සේවයේ වැඩිම දුරක් යන සාමාන්‍ය දුම්රිය තමයි කිලෝමීටර 4273ක් ගෙවාගෙන දකුණේ කන්‍යකුමාරි තුඩුවේ සිට ඉහල කෙළවරේ බටහිර බෙංගාලයේ ඩිබ්රුගාර් දක්වා යන විවේක් සීඝ්‍රාගාමී දුම්රිය.

අන්තර්ජාලමය සේවාවන්

සේවා පහසුකම් සහ නවීනත්වය සලකනකොට නම් අපි සැහෙන්න පිටිපස්සෙන් ඉන්නේ.

සේවා පහසුකම් සහ නවීනත්වය සලකනකොට නම් අපි සැහෙන්න පිටිපස්සෙන් ඉන්නේ.

ලංකාවේ දුම්රිය කාලසටහන බලාගත හැකි ඔන්ලයින් සේවාවක් තිබෙනවා. ලංකාවේ දුම්රිය සේවයේ කාලසටහන සඳහා වූ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ලක්ෂයකට වඩා පිරිසක් සිය ජංගම දුරකථන වල ස්ථාපනය කරගෙන තිබෙනවා. දුරකථන මාර්ගයෙන් අමතා ටිකට් වෙන්කරගන්න හැකියාවත් ලංකාවේ දුම්රිය සේවාවේ තිබෙනවා.

ඉන්දීය දුම්රිය සේවයේ ඔන්ලයින් පහසුව ලංකාවට වඩා බොහෝ ඉහළයි. යම්කිසි ප්‍රධාන දුම්රිය ස්ථානයන් දෙකක් අපි තෝරාගත් විට ඒ හරහා යන දුම්රිය මොනවාද යන්න අපට බලාගන්න හැකියාව තියෙනවා. ඉන්පසු අදාල දුම්රිය තෝරාගෙන එහි අපි සොයන දිනයට ටිකට් තිබේද  කියන්න සොයාබලා, අවශ්‍ය නම් ටිකට් වෙන්කරවා ගැනීමටත්  ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයෙන්ම හෝ අන්තර්ජාලය හරහා කරගැනීමේ හැකියාව ඉන්දීය දුම්රිය සේවය සලසා දී තිබෙනවා. උත්සව අවස්ථා, හා ආගමික කටයුතු හේතුවෙන් ඇතැම් මාර්ගවල දුම්රිය මගීන් සංඛ්‍යාව ඇතැම් කාලයන්හි ඉහළ යනවා. එවිට මගීන් ආසන වෙන්කරගන්නා ආකාරය සලකා බලා ඉන්දීය දුම්රිය සේවයට අමතර දුම්රිය එකතු කරන්න හැකියාවත් ලැබෙනවා. මේ ඔන්ලයින් සේවාව මගින් දුම්රිය ප්‍රමාදවීම්, දුම්රිය මින් පෙර දිනවල ළඟා වූ වේලාවන් ආදිය බලාගන්නත් හැකියාව තියෙනවා.

ලාබ අලාබ තත්වය

ලාංකික දුම්රිය සේවයේ ප්‍රධාන ආදායම් මාර්ගය මගීන්. ඉන්දීය දුම්රිය සේවයේ ප්‍රධාන ආදායම් මාර්ගය බඩු. ශ්‍රී ලංකා මහ බැංකු වාර්ථා අනුව 2015 දි සමස්ථ ආදායමින් 90% ක් පමණ උපයා තිබෙන්නේ මගීන් ප්‍රවාහනයෙන්.  2015 වර්ෂයේ දී අසල්වැසි ඉන්දීය දුම්රිය සේවයේ මගී ආදායම රුපියල් බිලියන 422ක් වෙද්දි භාන්ඩ ප්‍රවාහන ආදායම රුපියල් බිලියන 1031ක්. ඉන්දියාව තුල භාන්ඩ ප්‍රවාහනයේ ලාබම සහ ප්‍රියතම ක්‍රමයක් තමයි ඉන්දීය දුම්රිය සේවය. ඉන්දීය දුම්රිය සේවය ඉන්දීය රුපියල් බිලියන 157ක ශුද්ධ ලාබයක් 2015 වර්ෂයේ දී ලබාගෙන තිබෙනවා.

ලාභ අලාභ පිලිබඳ සංසන්දනයක්.

ලාභ අලාභ පිලිබඳ සංසන්දනයක්.

ඉන්දීය දුම්රිය සේවයේ සමස්ථ එංජින් සංඛ්‍යාවෙන් බාගයක්, එනම් 5016ක් ම විදුලි දුම්රිය එංජින්. දැනට ඉන්දියානු දුම්රිය සේවයේ ධාවන කිලෝමීටර 22000ක් එනම් සමස්ථ ධාවන පථයෙන් තුනෙන් එකක් විදුලි දුම්රියන් ධාවනය කල හැකි ලෙස විද්‍යුතාරෝපණය කර තිබෙනවා. ගොඩබිම් ප්‍රවාහනයේ දී දුම්රිය සැලකෙන්නේ වඩාත්ම පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස. එයිනුත් විදුලි දුම්රිය වනාහී නාගරික වායු දූෂණය අවම කරවන දියුණු යෙදවුමක්. විදුලි දුම්රියන්හී දී වායු දූෂණය මෙන්ම ශබ්ධය මගින් ඇතිකරන බලපෑම ද සෑහෙන තරමකින් අඩුයි. මාර්ග අවහිරතාවයන් හි බලපෑම් අඩු බැවින් දුම්රිය පද්ධතිය භාවිතය තුලින් මිනිසුනට මහමගට නාස්ති කරන විශාල මිනිස් පැය ගණනක් ඉතිරි කරගත හැකියි.

වේලාවට ගමන සහ පහසුකම්

සේවය කොහොම උනත් ලංකාවේ දුම්රියක යනකොට දැකබලාගන්න තරම් දේවල් තියෙනවා.

සේවය කොහොම උනත් ලංකාවේ දුම්රියක යනකොට දැකබලාගන්න තරම් දේවල් තියෙනවා.

සංසන්දනාත්මකව සැලකුවොත් චීනයේ කිලෝමීටර 2000ක වගේ දුරක් පැය 7-8කින් යන්න තරම් අධිවේගී දුම්රිය සේවාවන් තියෙනවා. ඉන්දියාව ඒ තරම්ම දියුණු නැති උනත් ඔවුන්ගේ දුම්රිය සේවාව තුල දුම්රිය කාලසටහනට අනුවම ක්‍රියාත්මක වීමේ සම්භාවිතාව ලංකාවට සාපේක්ෂව ඉතා ඉහළයි. ජාලයක් ලෙස විසිරී තිබෙන ඉන්දීය දුම්රිය සේවයේ මාර්ග හා සන්ධි ගණනාවක් තිබෙනවා.  මගීන්ට ඇතැම්විට තම ගමනාන්තයට ළඟා වීම සඳහා මෙම සන්ධි වලින් වෙනත් දුම්රිය වලට ගොඩවීමට සිදුවන අවස්ථාත් තිබෙනවා. ඒවැනි අවස්ථාවන් වලදි දුම්රිය දෙකෙන් කුමක් ප්‍රමාද වුවත් එතනදි මගියා ලොකු කරදරයකට මුහුණ දෙනවා. එනිසා දුර ගමන් කරන දුම්රිය සාමාන්‍යයෙන් කාලසටහනකට අනුවම ගමන් කිරීම සිදුවෙනවා.

ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ඉතා කුඩායි. මිලියන 1.4ක සේවකයින් පිරිසක් සේවය කරන විශාල පද්ධතියක් ලෙස පවතින ඉන්දීය දුම්රිය සේවය තවමත් පවතින්නේ ඉන්දීයාවේ මධ්‍යම රජය යටතේයි. අප වාගේම යටත් විජිතයක් වූ ඉන්දියාවේ දුම්රිය සේවය ආරම්භ කරන ලද්දේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින්. ඉන්දියාව වාගේම වෙනත් බොහෝ රටවල දුම්රිය සේවය ලාබ ලබන්නේ භාන්ඩ ප්‍රවාහනයෙන්.  කාර්යක්ෂම ලාබදායි භාන්ඩ ප්‍රවාහන පහසුකම් සිය පාරිභෝගිකයින්ට ලබාදීමෙන් දුම්රිය සේවාවල ආදායම ලේසියෙන්ම වැඩිකරගන්න හැකියාව තිබෙනවා.

ලාංකික දුම්රිය සේවයේ ටිකට් නිකුත් කිරීම පවා තවමත් සිදුවන්නේ පැරණි ක්‍රමයට. ලංකාවේ පුද්ගලික බස්රිය වල පවා ටිකට් මැෂින් වලින් ටිකට් නිකුත් කරද්දි විශාල පෝරුවක් සහ ටිකට් වල සීල් තබන පරණ මැෂිමකින් සමන්විත අපේ කෝච්චි ටිකට් කවුන්ටරයකින් ටිකට් එකක් ගන්න සැලකිය යුතු වෙලාවක් නාස්ති වෙනවා. ඒ වගේම ඒ ටිකට් ඉන් පසු එකතු කරලා මගීන් සංඛ්‍යාව ගණනය කරන්න පාවිච්චි කරනවා. ස්ටේෂමෙන් පිටත ලෝකය බැලුවාම අපිට ස්මාට්ෆෝන් එකකින් ගූගල් ස්ට්‍රීට් වීව් වලින්  හංදියේ කඩේ කෙහෙල් කැන පවා බලාගන්න පුලුවන්කම තියෙද්දී  කාඩ් බෝඩ් කෑලි ටිකට් එක්ක දුම්රිය සේවකයින් කරන ක්‍රියාවලිය කරත්ත යුගයට අයත් පොඩි ළමයින්ගේ සෙල්ලමක් වගේ.

සමස්ථ පද්ධතියක් ලෙස ගතහොත් ඉන්දියාවේ බොහෝ සේවාවන් ලංකාවට වඩා ලාබයි. ඉන්දියාව තමන්ගේ සේවාවට අවශ්‍ය දුම්රිය එංජින්, ඇණ, මුරිච්චි වල සිට වෙබ් අඩවි, සොෆ්ටයාර් ආදිය පවා තම රට තුලදීම නිපදවා ගන්නවා. බටහිර රටවලට ලංකාව සංසන්දනය කරමින්, එම තත්ත්වයට එක්වර ළඟාවීමට උත්සාහ කරනවාට වඩා, මුලින්ම ඉන්දියාවේ මට්ටමටවත් අපේ දුම්රිය සේවාව දියුණු කරගත හැකිනම්, එය ලාංකික මගීන්ට වාගේම රටටත් ලොකු සහනයක් ගෙනෙන දෙයක් වේවි.

ඔබත් දෛනිකව ලංකාවේ දුම්රිය භාවිතා කරන්නෙක්ද? එහෙනම් ලංකාවේ සේවය ගැන ඔබ හිතන්නේ කුමක්ද? අපිට කියන්නත් අමතක කරන්න එපා.

Related Articles

Exit mobile version