ගෝඨාභයට ජනපතිකම දමා යන්නට සිදු වුණේ ඇයි?

හත්වන විධායක ජනාධිපති වශයෙන් රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ එම පදවියට පත්ව වසර දෙකක් ගත වන විට රටේ බහුතරයක් ජනතාවට ඔහු එපාවී තිබුණා. පසුගිය ජුලි 13 වැනි දා උදෑසන රටින් පලා ගිය ඔහු සිය ඉල්ලා අස්වීම ජුලි 14 වැනි දා රාත්‍රියේ දී ලබා දී තිබුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන ජුලි 15 වැනි දා උදෑසන ජනපතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කළා.

 ගෝඨාභයගේ ජනාධිපතිවරණ සමය-  bbc.com

හත්වන විධායක ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් වූ ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබුවේ, 2019 අගෝස්තු 11 වෙනිදා යි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වැනි විධායක ජනපති ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණේ 2019 නොවැම්බර් 18 වැනිදා යි. කතා පැවැත්වීමේ දී තම විධායක බව නිතර අවධාරණය කළ ඔහු වසර 2 යි මාස 07 යි දින 25 ක් රටේ ජනාධිපති ධූරය දැරුවා.

 සමාජ මාධ්‍ය ප්‍රචාරණයට යොදාගත් බැනරයක්- gotabaya rajapaksa facebook page

වියත් මඟ

ජනාධිපතිවරණයට පෙර ඔහුගේ අදහසකට අනුව බිහි කළ වියත්මග නම් වෘත්තීයවේදීන්ගේ සංවිධානය ඔහු බලයට ගෙන ඒමට විශාල වැඩ කොටසක් කළා. ඒ වටා රටේ නමගිය විද්වතුන් සහ වෘත්තීයවේදීන් මෙන් ම ව්‍යාපාරිකයන් ද එක් ව සිටියා. වියත් මඟේ සමහරුන්ට මහ මැතිවරණයන් පසු ඇමැති පදවි ලබා දුන් අතර ඒ ඇමැතිවරුන්ගේ කටයුතු ජනතාව අතර විශාල විවේචනවලට ලක් වුණා.

ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස ‘සෞභාග්‍යයේ දැක්ම’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ඔහුට ඡන්දය දීම තරුණයන් අතර විලාසිතාවක් බවට පත්වුණා. පිටරට සේවයේ යෙදි සිටි පිරිස් පවා ලංකාවට පැමිණ ඡන්දය ප්‍රකාශ කර ඒ බව සමාජ මාධ්‍යවල සඳහන් කළා. ඔහුට බලය ඒමට සමාජ මාධ්‍යවලින් ද විශාල වැඩකොටසක් ඉටු කර තිබුණා. විශාල මුදලක් වැය කරමින් ප්‍රචාරණ වැඩසටහන් ද ක්‍රියාත්මක වුණා.

69 ලක්ෂයකගේ ඡන්දයෙන් ජනපතිධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ අනතුරුව දිවුරුම් දුන්නේ ප්‍රධාන බෞද්ධ පූජනීය ස්ථානයක් වන අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී යි. දිවුරුම් දීමෙන් පසු ඔහු පැවැත්වූ කතාවේ දී සඳහන් කළේ “සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව තමා දැනසිටි ” බව යි. මෙසේ ජාතිකවාදී හා ආගම්වාදී ප්‍රකාශ නිතර ඔහු නිකුත් කළ නිසා මැද මාවතේ ජනතාව ඔහුගෙන් ඈත් වන්නට වුණා. ගෝඨාභයගේ දැඩි ජාතිකවාදී ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තරය ද ඔහු සමඟ අමනාප වුණා.

ඡන්ද සටනේදී වැඩි මනාපයක් – mawratanews.lk

රටට ආරක්ෂාවක්

ගෝඨාභය බලයට පැමිණීමට ජනාධිපතිවරණ ඡන්ද රැස්වීම්වල දී ඔහු භාවිත කළ ලොකු ම සටන් පාඨයක් වූයේ රටේ බුද්ධි අංශ යහපාලන ආණ්ඩුව මඟින් අඩපණ කර ඇති බව යි. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඒ නිසා බවත් පැවසුවා. එයින් රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වූ බවත් පැවසුණා. තමන් බලයට පැමිණි වහාම පාස්කු ප්‍රහාරයේ මොළකරුවන් සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවත් ජනතාව හමුවේ ගෝඨාභය දුන් පොරොන්දුවක්.

රටේ සියලු ජාතික බලවේග සහ භික්ෂූන් වහන්සේලා පමණක් නොව කතෝලික පල්ලියේ සහාය ද ගෝඨාභයට ලැබුණා. මහබැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන්ට දඬුවම් දීමත් ඔහුගේ ප්‍රධාන පොරොන්දුවක්. මෙම පොරොන්දු ඉටුකිරීමට ජනපතිවරයා සමත් වුණේ නැහැ. වැරදිකරුවන් වසන්කරන බවට ද ජනතාවගෙන් ඔහුට චෝදනා එල්ල වුණා. රාජ්‍ය ආයතන ප්‍රධානින් ලෙස හමුදා නිලධාරින් බහුල ව පත් කිරීම ගැන ජාත්‍යන්තර වශයෙන් ද චෝදනා පළ වුණා.

අදූරදර්ශී තීරණ – bbc.com

හිතුවක්කාර තීරණ

ඔහුගේ අසාර්ථකත්වය කොතරම් ප්‍රබලදැයි කිව්වොත් එය රටේ ඉතිහාසගත ජන අරගලයක් කරා සමස්ත සමාජය ම මෙහෙයවීමට ධෛර්යය සැපයුවා. ඔහු දේශීය වශයෙන් නොව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ දී පවා පෙන්නුවේ ඉතාම අදූරදර්ශී තීරණ ගන්නා නායකයකුගේ ලක්ෂණ යි.

තීරණ ගැනීමේදී තමන්ගේ දේශපාලන උපදේශකයන්ගෙන් හෝ නිලධාරින්ගෙන්, විද්වතුන්ගෙන් හෝ විමසා බලා කටයුතු කිරීමේ පුරුද්දක් නොතිබීම ඔහුගේ කඩා වැටීමේ ආරම්භය සලකුණු කළා. ඔහු රට පාලනය කළේ තනි මතයට තීන්දු ගැනීමෙන් බවට චෝදනා එල්ල වුණා.

 පොහොර ඉල්ලා රටේ ම ගොවීන් පාරට- divaina.lk

රට ම කාබනික ගොවිතැනට

වසර 10ක් තුළ රටේ ම ගොවිතැන කාබනික ගොවිතැනට හැරවීම ජනපති ගෝඨාභය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ඉදිරිපත් කළ යෝජනාවක්. නමුත් ඔහු බලයට පත්වූ පසුව එය කඩිනමින් ඉටුකිරීමේ අඥාන තීරණයක් ගත්තා. 2021 අප්‍රේල් 27 වැනි දා ගැසට් නිවේදනයක් මඟින් ජනපති මෙරටට රසායනික පොහොර ආනයනය පැය 24කින් සම්පූර්ණයෙන් තහනම් කළා. එම තීරණය ගත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව රටේ කෘෂිකර්මය පිළිබඳ හාංකවිසියක් නොදන්නා කිහිප දෙනකුගේ උපදෙස් මත රැඳෙමිනුයි. එම තහනම ගොවි ජනතාව මෙන්ම බුද්ධිමතුන් ද පුදුමයට පත් කළේ ඉන් රටේ කෘෂිකර්මය වළ පල්ලට යන බව දැනගෙනයි.

කෘෂි විද්‍යාඥයන් මෙන් ම කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරුන් ද එය ක්‍රියාත්මක කළ නොහැකි බව පැවසුවා. ඔහු කළේ එම නිලධාරින් ඉවත් කර හිතවත් නිලධාරින් පත්කර ගැනීම යි. ඔහුගේ රජයේ පාලන කාලය අතරේ පත්කළ කෘෂිකර්ම ලේකම්වරුන් ගණන පස්දෙනෙක්. පොහොර නැතිව වී, තේ, එළවළු, විසිතුරු මල් ආදී වගා රැසක අස්වැන්න අඩකින් අඩු වුණා. සහල් හා එළවළු මිල ඉහළ නැඟීම වේගයෙන් සිදුවුණා. අදත් එහි ප්‍රතිවිපාක වශයෙන් සහල් කිලෝවක මිල රුපියල් 300කට ආසන්න වී ඇති අතර එළවළු මිල ද කිහිප ගුණයකින් වැඩි වෙලා. රසායනික පොහොර තහනම 2021 නොවැම්බර් වනවිට අත්හිටුවීමට සිදුවුණා. නමුත් එවිට විනාශය සිදු ව අවසාන යි.

ව්‍යාපාරික ජාලයට විශාල බදු සහන

තමන් වටා සිටි ව්‍යාපාරික ජාලයට විශාල බදු සහන හිමි කර දීමට ජනපති ගෝඨාභය කටයුතු කළා. රටේ ආර්ථික විශේෂඥයන් එයින් අනාගතයේ දී ඇතිවිය හැකි දුර්විපාක පෙන්වා දුන්නත් ඔහු එය ගණන් ගත්තේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයට පත්වීමෙන් පසු, උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කර, වැට් බද්ද, සන්නිවේදන සේවා සඳහා වන බදු ආදී බදු රැසක් අඩුකර හෝ අහෝසිකර දැම්මා.

ඉන් භාණ්ඩාගාරයට ලැබුණු වත්කම වසරකට බිලියන 800කින් පහත වැටුණා. සීනි කිලෝවක බද්ද ශත 25කට අඩු කිරීම හරහා හිතවත් සීනි ආනයනකරුවන් බිලියනපතියන් කළ බවට ද චෝදනා එල්ල වුණා. මෙම බදු සහන සාමාන්‍ය ජනතාවට ලැබුණේ නැහැ.

අස්ථිර ප්‍රතිපත්තියක්

ජනපති ගෝඨාභය අප්‍රසාදයට පත්වීමට තවත් හේතුවක් වූයේ ඔහුගේ අස්ථිර ප්‍රතිපත්තිය යි. මෙය “ගැසට් රිවස් කිරීම” ලෙස ජනයා අතර ප්‍රසිද්ධියට පත් වුණා. බොහෝ ගැසට් නිවේදන නිතර අවලංගු කර නැවත ගැසට් නිකුත් කළා. ආර්ථික ප්‍රතිපත්තිය, කොවිඩ් පාලනය ආදී අංශවලදී ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් ගණනකට නොගැනීම දැකගත හැකි වුණා.

ඔහුගේ මතයට එරෙහි වන නිලධාරින් ධුරයෙන් පහ කර දැමීමට ද ජනපති ගෝඨාභය කටයුතු කළා. ඔහු කොවිඩ් රෝගය පාලනය කළ කාර්ය සාධක බළකායට හමුදා ප්‍රධානින් යෙදවීම ගැන වෛද්‍යවරුන් අප්‍රසාදයෙන් පසු වුණා.

 රට රාජපක්ෂවරුන්ගේ බූදලයක් කිරීම – indiablooms.com

රාජපක්ෂ පවුල් වාදය වර්ධනය කිරීම

ඔහු බලයට පැමිණි වහා ම ජනතාවට ලබා දුන් පොරොන්දුවලට වඩා රාජපක්ෂ පවුලේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මුල්තැනක් දුන් බව පේනවා. සියල්ලට ම කලින් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපති ධූරයේ බලතල තවත් වැඩිකර ගැනීමට 20 සංශෝධනය සම්මත කර ගත්තා. එය රාජපක්ෂ පවුලේ වුවමනාව වුණා. ගෝඨාභය ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න හදාගැනීම ආරම්භ කළේ 20 සංශෝධනය සම්මත කර ගැනීමේ දී යි.

රාජපක්ෂ පවුලේ සියලු දෙනාම ඇමැති තනතුරුවලට පත් කළ අතර, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනා බැසිල් රාජපක්ෂට මුදල් ඇමැතිකම ලබා දුන්නා. රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ ගැන සමාජයේ නිතර කතා කෙරුණත් ඒවා ගැන සොයා බැලීමක් සිදුවුණේ නැහැ.

 මහ බැංකුවට නියෝග දෙමින්- news.lk

මහ බැංකුව අප්‍රසාදයට පත්කරමින් නියෝග දීම

2020 ජුනි 16 වැනි දා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුළු මහ බැංකු ප්‍රධානින් සමඟ පැවැති රැස්වීමේ දී ඔහු එම නිලධාරින්ට සැර කරමින් නියෝග දුන්නා. වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඉවහල්වන මූල්‍ය සහ ෆිස්කල් ප්‍රතිපත්ති සම්පාදනයේ වගකීම ඇත්තේ මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට වුණත් මහ බැංකුවෙන් එවැනි යහපත් ප්‍රතිචාරයක් නැති බවයි ඔහු පැවසුවේ.

මේ නිසා මහ බැංකුවේ මූල්‍ය විශේෂඥයන් අතර ඔහු අප්‍රසාදයට පත් වුණා. පසුව ජනපති ගෝඨාභය තමන්ට අවශ්‍ය අයුරින් මහ බැංකුව මෙහෙයවීමට චෝදනා රැසක් සහිත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහ බංකු අධිපති ලෙස 2021 සැප්තැම්බර් 15 වැනි දා නැවත පත් කළා. ඔහුගේ තීරණ ලංකාවේ ආර්ථිකය තවත් වළ පල්ලට යැවීමට සමත් වුණා.

 පදවියෙන් ඉවත්වීමේ සතුට- nytimes.com

 

ගෝඨාභය තමන්ගේ ආර්ථික උපදේශකයන්ගේ කීම පරිදි රුපියලට බොරු වටිනාකමක් ලබා දීම හේතුවෙන් කළුකඩේ ඩොලර් මිල ඉහළ නැංගා. එවිට රටට ඩොලර් ආවේ උන්ඩියල් වැනි නීතිවිරෝධී ක්‍රමවලින්. රටට ඩොලර් ලැබීම නැවතීම නිසා ඉන්ධන හා ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යශව්‍ය ද්‍රව්‍ය ගැනීමට මුදල් නැති වුණා. මේ නිසා රට පුරා තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ඇති වුණා. ගෝඨාභය යා යුතු බවට ජනතාව තීරණය කරන්නේ මේ පීඩනය දරා ගත නොහැකි වූ විට යි.

කවරයේ ඡායාරූපය- ජනපති ගෝඨාභය - gettyimages.com

මූලාශ්‍ර:
bbc.com
cbsl.gov.lk
deshaya.lk 

Related Articles

Exit mobile version