ලංකාවේ ජනශෘතියේ රා ගැන කතා වෙන්නෙ හරි ඉහළින්. රා කිව්වහම තල් රා, කිතුල් රා වගේ විවිධාකාර රා වර්ග ලංකාවේ පැවතුනත් පොල් රා වලට ඒ අතරින් විශේෂ තැනක් හිමි වෙනවා. අන්දරේ රා බීපු කතාවෙ ඉඳල ජනකතා, ගැමි කතා, කෙටි කතා වගේ එක එක ජාතියෙ කතාවල විතරක් නෙමෙයි, කවි සින්දුවල පවා මේ පොල් රා වල රස-ගුණ ගැන හරි හරියට කතා වෙනවා.
ඉස්සර කාලෙ අපේ මුතුන් මිත්තන්ට රට වයින්, බීර තිබුනෙ නෑනේ. ඉතින් හේනෙ පැලේ ගෙවෙන ජීවිතේ කාන්සිය-මහන්සිය එහෙම මකාගන්න කෝකටත් තෛලය වගේ පිහිටට හිටියෙ රා කැටේ තමයි. ඒත් දැන් දැන් වෙද්දි මේ පාරම්පරික කර්මාන්තය විවිධ හේතු සාධක නිසා කිසියම් පසුබෑමකට ලක් වෙලා තිබුණත් අතීතයෙදි නම් මේ පොල් රා කර්මාන්තය ලංකාවේ ජනසමාජය තුලට කිඳා බැස ගියපු ප්‍රධාන පෙළේ ජීවිකාවක් උනා.
ඉතිං අපි හිතුවා මේ දේශීය පාරම්පරික පොල් රා කර්මාන්තය ගැන පුංචි සටහනක් කලොත් ඒක ඔබේ දැනුමට වැදගත් වෙයි කියලා.
අතුර
පොල් රා කර්මාන්තය ගැන කතා කරද්දී ඒත් එක්කම හෙවනැල්ල වගේ එන අනිත් වචනය තමයි “අතුර”. රා මදින්නෙක් වත්තක රා මදිද්දී ගහෙන් ගහට නගින්න ගියොත් කල්පෙකට මේ රාජකාරිය කරගන්න බැරිවෙනවා. අන්න ඒ ගැටළුවට පිළිතුරක් විදියට පොල් ගස් මුදුන් යාකරල ශක්තිමත් ලණුවලින් ගස් අතරෙ එහාමෙහා යන්නට හැකි වෙන්න බඳින වියමනකට අපි අතුර කියල කියනවා. රා මදින්නන් ගහෙන් ගහට මාරු වෙන්නෙ මේ අතුර දිගේ. හැම ගහක්ම යාකරල අතුර බැන්දට අතුරට නගින්න හැම ගහකින්ම බැහැ. මැදීමේ කටයුතු වලට පහසු වෙන විදියට සුදුසු එක ගහක් තෝරාගෙන ඒ ගහට විතරක් නගින්න පඩි බදිනවා. “හැර” ගහ කියන්නේ අන්න ඒ ගහට.
හැබැයි අතුරෙ යනව කියන එකනම් ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. පළපුරුදු මදින්නො පවා අතුරෙ අඩිය තියන්නෙ සීරුවට. අඩිය වැරදිලා බොහෝ අය ජීවිතෙන් සමුගත්ත අවස්ථා පවා එමටයි. කවුරු හරි කෙනෙක් භයානක, අනතුරුදායක කටයුත්තක් කරද්දි “මේකත් හරියට අතුරෙ යනව වගේ වැඩක්” කියල කියනව ඔබටත් ඇහිල ඇති. සමහරවිට අපේ ජන වහරට ඒ වගේ කතාවක් එකතු වෙන්න ඇත්තෙත් මේ රාජකාරියෙ තියෙන අවදානම් බව නිසාම වෙන්නැති.
රා මදින්න තෝරාගත් ගහක මුලින්ම සිදුකල යුතු කාර්යය තමයි මල වෙලීම. මදිද්දී මල පුපුරන එකෙන් වළක්වාගන්න තමයි මෙහෙම කරන්නේ. ඉස්සර නම් මේ සදහා භාවිතා කරල තියෙන්නෙ ගොක්කොළ උනත් අද නම් භාවිතා කරන්නෙ කොහු ලණු කියල අපිට දැනගන්න ලැබුණා.
භාවිතාවෙන ආම්පන්න
රා මැදීමේ දී භාවිතා කරන සුවිශේෂී ආයුධ බහාලීමට ලී වලින් සකස් කරන ලද කුඩා පෙට්ටිය “මදින පෙට්ටිය” නමින් හදුන්වනවා. මල්තැලුම, මදින පිහි කට්ටලය ආදී මල් මැදීමට විශේෂයෙන්ම සකස් කරන ලද ආයුධ ආම්පන්න සියල්ලම මේ මදින පෙට්ටියේ දාගෙන තමයි මල් මදින්නන් තම රාජකාරියට පිටත් වෙන්නේ.
ගහින් ගහට මාරුවෙවී මල් තලල, මල අගින් සැලකිය යුතු මට්ටමේ කොටසක් ඉවත් කරල, කෙළවරින් පොඩි මුට්ටියක් බඳිනවා. ඒ මුට්ටියට තමයි මලෙන් බේරෙන රා ටික එකතුවෙන්නේ. ඒ විදියට එකතුවෙන රා ඔක්කොම එක්තු කරල ගහෙන් බිමට බාන්නෙ, “රා ලබ්බ” කියල හදුන්වන ලබු කැටයක හැඩයක් ඇති බහාලුමකින්.
වාඩිය
සාමාන්‍යයෙන් මේ වගේ රා මැදීමේ කටයුතු සිද්ධ වෙන තැන්වල “වාඩිය” නමින් හදුන්වන ස්ථානයක් තියෙනවා. එතන තමයි රා මදින්නන් එකතු කරගත්ත රා ටික රාජ්‍ය ස්කාගාර සංස්ථාවට සහ විනාකිරි නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සදහා ලබාදෙන තෙක් තාවකාලිකව ගබඩා කරල තියන්නෙ. ඒ විතරක් නෙමේ වෙහෙස උනාම පොඩි නින්දක් දාන්න, බඩගිනි උනාම බත් ටිකක් උයා පිහාගෙන බඩ පුරව ගන්න උනත් මේ මිනිස්සුන්ට හෙවන දෙන්නෙ මේ වාඩිය කියන තැන තමයි.
මේ සම්බන්ධයෙන් තියෙන නීති රීති රාමුව ගැන සදහන් කලොත් රා මදින්න නම් අනිවාර්යයෙන්ම රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙන් අදාල බලපත්‍ර ලබා ගත යුතු වෙනවා. මැදීමේ රාස්සාවට යද්දි මේ බලපත්‍රයත් අදාල වසමේ ග්‍රාම නිලධාරී තුමන්ගෙන් ලබාගත් ග්‍රාම නිලධාරී සහතිකයත් අනිවාර්යයෙන්ම ළඟ තබා ගත යුතු වෙනවා.
මේ රස්සාව කරද්දි රා මදින්නන් මුණ දෙන ගැටලු නම් එමටයි. වැහි කාල වලදි ඉඩම් මඩ වීමත් එක්ක මඩේ එරි එරී තමයි ඔවුන්ට රාජකාරි කරන්න වෙන්නේ. නිතර මඩේ ගැවසීම නිසා කකුල්වල හට ගන්න තුවාල පැතිරුනොත් ආයෙත් සති ගානකට ජීවිකාව කරගන්න වෙන්නෙ නම් නැහැ. ඒ නිසා මේ වගේ වෙලාවට කහතෙල් හරි කවිප්පු වලට පොල් කිරි එකතු කරල සාදාගන්න මිශ්‍රණය වගේ මොනවහරි ගොඩ වෙදකමක් කරල ඔවුන් ඒ වගේ සෞඛ්‍යමය ගැටලු මග හරවා ගන්නවා.
අපි දන්නව අවුරුද්දෙ හැමදාම පොල් මල් පීදෙන්නෙ නෑ. පොල් අවාරෙකුත් එනවා. ඒ වගේ කාලවලට මේ මල් මදින්නන්ට ජීව්තය ගෙනියන්න නම් වෙන මොනව හරි රස්සාවක් කරන්න වෙනවා. මේ වගේ කාලවලට මදින්නන් කරන්නෙ පොල් ගස් අතරෙ තියෙන පොඩි ඉඩේ සුළු බෝග වගා කරන එක. ආයේ පොල් ගස් වල මල් පීදිලා පොල් වාරෙ එනකන් ඔවුන්ගේ ජීවිතය ගැට ගහගන්න උදවු වෙන්නෙ මේ වගේ තැනින් තැන වගා කරන සුලු භෝග ඵලදාව තමයි.
මදින්නන් බොහෝ දෙනෙක් මේ රස්සාවට එන්නෙ පරම්පරාවෙන්. ඔවුන් කියන විදියට නම් දැන් දැන් මේ පරම්පරාවෙන් ඔවුන්ට උරුම වුනු රස්සාව කරන් යන එක ගොඩක් අමාරුයිලු. ඒකට ප්‍රධානම හේතුව විදියට ඔවුන් කියන්නේ කෘතිම රා වලට රාජ්‍ය ස්කාගාර සංස්ථාව වැඩි අවධානයක් දීම සහ මේ පාරම්පරික කර්මාන්තය රැකගන්න රජයක් විදියට දක්වන දායකත්වයේ හිඟකම. ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නොවන කෘතිම රා නිෂ්පාදනයට වැඩි වැඩියෙන් බලපත්‍ර ලබා දීම නිසා මිනිස්සුන්ගෙ සෞඛ්‍ය විතරක් නෙමේ, තමන්ගේ පාරම්පරික රස්සාවත් අවධානමේ වැටිල කියලයි ඔවුන් නම් කියන්නේ.
දේශීය පාරම්පරික පොල් රා කර්මාන්තය රැක ගැනීම ලාංකිකයන් විදියට අපේ වගකීමක්. මෙහි උන්නතිය සඳහා පවතින නීති රීති රාමුව ප්‍රතිශෝධනය කිරීමත් රජයේ පාර්ශවයෙන් වැඩි අවධානයක් මේ සදහා යොමු කිරීමත් ඉතා වැදගත් වෙනවා කියල අපි විශ්වාස කරනවා.