කාපිරි වහලුන් රඳවා සිටි වහල් දූපතේ කාපිරි මුඩුක්කුව

කොළඹ නගරය තැපැල් කලාප 15කට වෙන්කර තිබෙනවා. අප කතා කිරීමට යන කොම්පඤ්ඤ වීදිය අයත් වන්නේ කොළඹ 2 කලාපයට යි. මේ පෙදෙස එක් පසෙකින් පිටකොටුව හා කොටුවෙන් ද තවත් පැත්තකින් කොළඹ කුරුඳුවත්තෙන් සහ කොල්ලුපිටියෙන් ද සීමා වූ බිම්කඩක් ලෙස පවතිනවා.

විශාල මහල් නිවාසවලින් සහ අලංකාර බේරේ වැවෙන් ද කොම්පඤ්ඤවීදිය සමන්විත යි. එහි එක් පසෙකින් දකුණු දුම්රිය මාර්ගය ඇදී යනවා.

 කොම්පඤ්ඤ වීදියේ පාරක් 1900 ආසන්නයේ- picclick.co.uk

වහල් දූපත

කොම්පඤ්ඤ වීදිය යටත් විජිත කාලෙදී  හඳුන්වා තිබෙන්නේ  වහල් දූපත  යන අරුත ඇති  Slave Island  කියන වචනයෙන්. අදටත් එම ප්‍රදේශය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Slave Island කියල යි. කාපිරි වහල් මිනිසුන් රඳවා සිටි බේරේ වැව ජලාශයෙන් වට වූ අර්ධද්වීපික බිම පෙදෙස දූපතක් ලෙස වරදවා වටහා ගැනීමෙන් වහල් දූපත යන නම භාවිතයට එක්ව තිබෙන බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා.

 හුදෙකලා කොම්පඤ්ඤවීදිය ප්‍රදේශය බේරේ වැවෙන් එයට සම්බන්ධ ඇළ මාර්ගවලින් වටවුණු අර්ධද්වීපයක් විදිහට තමයි අතීතයේ දී තිබී ඇත්තේ. එය ගොඩබිමට සම්බන්ධ වී තිබෙන්නේ වර්තමාන කොල්වින් ආර්. ද සිල්වා මාවත නොහොත් යූනියන් පෙදෙසින්. එහි කාපිරි ජාතික වහලුන් රඳවා තබා ගැනීම කර තිබෙන්නේ ඕලන්ද ආණ්ඩුව පැවති කාලයේදී යි.

 බේරේ වැව සහ වහල් දූපත අවට දැක්වෙන පැරණි චිත්‍රයක් – Historyarchive.org

 

වර්ෂ 1844 දී Recollections of Ceylon නම් ග්‍රන්ථය ලියන, පූජකවරයෙක් වූ ජේම්ස් සෙල්කර්න් සඳහන් කරන්නේ ද ඒ වනවිටත් ලන්දේසින්ගේ වහලුන් රඳවා සිටි නිසා ගොඩබිමෙන් දිවක් සේ බේරේ වැව දෙසට පැතිර යන කොම්පඤ්ඤ වීදිය වහල් දූපත නමින් හඳුන්වා ඇති බව යි. 

වර්ෂ 1807 දී ජේම්ස් කෝඩිනර් පියනම ලියූ Description of Ceylon කෘතියෙහි ද වහල් දූපත යන යෙදුම කොම්පඤ්ඤ වීදිය හැඳින්වීමට යොදාගෙන තිබෙනවා:

වහලුන්ගේ දුපත නම් අර්ධද්වීපයට ජලාශයේ ( බේරේ වැව ) ඉවුරුවල සිට ඔරු පාරුවලින් යාම්ඊම් කළ හැකි ය.  විනෝදය සඳහා යාත්‍රාවලින් සංචාරය කරන කණ්ඩායම් රැගත් අඟුල් ද සාමාන්‍ය ජනයා එහා මෙහා යාත්‍රා කරන ඔරු පාරු ද ජලාශයෙහි සැරිරසන අන්දම නිතර දැකගත හැකි ය. මේ යාත්‍රාවලින් උදෑසන කොටුවට ගොස් සවස ඒ අයුරින් ම ආපසු පැමිණීම ජලාශය අසබඩ පදිංචි වී සිටිමින් කොටුව සහ තදාසන්න නගරයෙහි විවිධ ව්‍යාපාර සහ වෘත්තියෙහි නිරත බොහො දෙනකුගේ දින චාර්යාවෙහි අංගයකි. (ලංකාව ගැන වර්නණාවක්- ජේම්ස් කෝඩිනර් පරි. සිරි නිස්සංක පෙරේරා, පිට 62).

ලංකාවේ කාපිරි ජාතිකයෙක් -lakdiwanews.com

 කාපිරි වහල්ලු

  නැඟෙනහිර අප්‍රිකානු වෙරළේ පිහිටි මොසැම්බික් රටෙන් කළු ජාතික කම්කරුවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් පෘතුගීසින් මුලින් ම 1630 දී පමණ අපේ රටට ගෙන්වාගෙන තිබෙනවා. ඔවුන් පෘතුගීසින්ගේ කුලී වැඩ සඳහා මෙන් ම යුද්ධ සඳහාත් වහල් සේවයේ යොදවා ගෙන තිබෙනවා. ඔවුන් කාපිරි යන වචනයෙන් හඳුන්වන්න පටන් ගෙන ඇත්තේ  පෘතුගීසි භාෂාවෙන් ඔවුන් ඇමතු කැෆර්ලා යන ආමන්ත්‍රණය නිස යි.

වර්ෂ 1658 දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඕලන්ද ජාතිකයන් යටත්කර ගත්තා. ඉන්පසු ඕලන්දයක් ද එවකට රටේ සිටි කාපිරි ජාතිකයන කුලී හේවායන්, නිවාසවල මෙහෙකරුවන් සහ කම්කරුවන් විදිහට යොදාගෙන තිබෙන බව සඳහන් වෙනවා. ඔවුන්ට ලන්දේසීන්ගෙන් නිසි සැලකිල්ලක් නොලබුණු බවයි පේන්නේ. මේ පීඩනය ඉහළ යාම නිසා කොළඹ කොටුවේ සිටි කාපිරි ජනතාව  එකතු වී නිලධාරින්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළා.

මේ කැරැල්ල අතරතුර දී ඕලන්ද ජාතික බැරන්ට් ද ස්වෝන් නැමති පිස්කල්වරයා සහ ඔහුගේ බිරිය නිදි යහනේදී ම කිරිච්චියකින් ඇන ඝාතනය කරනවා. පසුව එවකට ආණ්ඩුකාර අයිසැක් මේෆ් කාපිරි කැරැල්ල මර්දනය කර කාපිරි ජාතිකයන් කොටුවෙන් පිටත බේරේ වැව අසල කාපිරි පිට්ටනිය නම් තැනකට ගාල් කර තිබෙන බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා.

මේ සිද්ධියෙන් පසුව කාපිරි මිනිසුන් දැඩි ආරක්ෂක රැකවල් යටතේ තැබීමට ඕලන්ද ආණ්ඩුව නව නිතී හඳුන්වා දුන්නා.  දවසේ වැඩ නිම වූ පසුව කාපිරින්ගේ දෑත් බැඳ ඔරු පාරුවලට පටවා නංවා බේරේ වැවේ  පිහිටි අර්ධද්වීපය වෙත ගෙන ගොස් එහි ඇති පැල්පත් හා කුටිවල ගාල් කිරීම සිදු වුණා.  වැවේ  කිඹුලන් සිටි නිසා ඔවුන්ට පහසුවෙන් පැන යාමට අවස්ථාවක් ලැබුණේ නැති බව පැවසෙනවා.  ඒ අතර ම අනාගත කැරලි කෝලාහල මැඬපැවැත්වීම සඳහා වහල් මිනිසුන්ට පෙනෙන පරිදි උස් ස්ථානයක එල්ලුම් ගසක් සවිකර තිබුණා.

 කොම්පඤ්ඤ වීදිය බේරේ වැව අවට අද – wikipedia.org

 

කොම්පඤ්ඤ වීදිය

පසුකාලීන ව  වහල් දූපත නමින් හැඳින් වූ පෙදෙස කොම්පඤ්ඤ වීදිය බවට පත්වුණේ  Company Street යන යෙදුම නිසා යි. එයට හේතුව ඕලන්දයන් පසුකාලීන ව  එහි පිහිටුවා තිබුණු රයිෆල් රෙජිමේන්තුව හෙවත් රයිෆල් කොම්පැනිය නිස යි. අතීතයේ කොළඹ ජනප්‍රිය ම නම හා ස්ථානය ලෙස පැවතුණේ කොම්පඤ්ඤ වීදිය යි. පසු කලෙකදී රෝහල්, රජයේ කාර්යාල, හමුඳා කඳවරු, කුරුඳු වගා, ආගමික ස්ථාන, වෙළෙඳ ව්‍යාපාරික ආයතන කොම්පඤ්ඤවීදියේ පිහිටුවා තිබුණා.

 අතීතයේ කොළඹ විසූ ඇෆ්ඝන්වරු – Asianworldnews.co.uk

 

ඇෆ්ගන් ජාතිකයන් බහුල ව සිටි නිසා ඇෆ්ගන් ටවුම ලෙසත් අතීතයේ මේ පෙදෙස හඳුන්වා තිබෙනවා. කාපිරි ජාතිකයන් සිටි නිසා කාපිරි නගරය ලෙසත්, මැලේ ජාතිකයන් සිටි නිසා මැලේ නගරය ලෙසත් මෙහි කොටස් විටින් විට හඳුන්වා තිබෙනවා. මෙහි අතීතයේ මැලේවරුන් ජීවත්වූ මැලේ විදිය අදටත් දැකගත හැකි යි.

සියවස් තුනක් තිස්සේ අද දක්වා ම  වහලූන්ගේ දූපත ලෙස මෙය හඳුන්වා තිබෙනවා. මෙයට වහල් දූපත යන නම  ඉංග්‍රීසින් මුලින් ම යොදා තිබෙන බවට ද පැවසෙනවා. වර්ෂ 1845 දී පමණ ඉංග්‍රීසින් මෙරට වහල් සේවය තහනම් කළත්  Slave Island යන නම වෙනස් කර නැහැ.

 බේරේ වැවෙන් දෙපසින් ම වට වූ අර්ධද්වීපයේ අද පෙනුම – Worldbank.org

කාපිරි මුඩුක්කුව

කොළඹ කොටුවේ ලංකා බැංකු මූලස්ථානය සහ ඇචිලන් බැරැක්කවලට යාබද ව අතීතයේ  ‘කපිර් වෙල්ට්ඩ්’ නම් විවෘත බිමක් පැවතුණා. ඕලන්ද බසින් කපිර් වෙල්ට්ඩ් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යි.  බ්‍රිතාන්‍ය ආණ්ඩුව පසුව කාපිරි සේනාංකයක් ඇති කළ බව පැවසෙන අතර‍ එම සේනාංකය වෙනුවෙන් 1875 දී පමණ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කළ බව ද සඳහන් වෙනවා.

 කාපිරි මුඩුක්කුව අවට පෙදෙස- colombofort.com

 

 එහි එක් මායිමක් ලෙස බේරේ වැවත්,  අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බව ද සඳහන් වන කරුණක්. මේ ස්ථානය 1900 පමණ සිට හැඳින්වූයේ  කාපිරි මුඩුක්කුව ලෙසයි.  මෑත අතීතයේ සිට එතැන කෝසල පටුමඟ ලෙස නම් කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය- වහල් දූපතේ 1900 දී පමණ පැවති විහාරයක්-  imagesofceylon.com 

මූලාශ්‍ර:

 The Slave Island That We Have Forgotten  –  roar.lk, Asiff Husein

Lankadeepa.lk

ලංකාව ගැන වර්නණාවක්- ජේම්ස් කෝඩිනර් පරි. සිරි නිස්සංක පෙරේරා

කොළඹ පුරාණය- සමන් කළුආරච්චි

කොළොම් පුර පුරාවෘත්තය- ආර්. එල්. බ්‍රොහියර්, පරි. පද්මා එදිරිසිංහ

Related Articles

Exit mobile version