කතරගම ගිනි පෑගීමේ මහා හාස්කම කුමක්ද?

කතරගම ඇසළ උත්සවයේ අංගයක් වන ගිනි පෑගීම පසුගියදා සිදුවුණා. කතරගම පමණක් නොව නවගමුව, හලාවත් මුන්නේස්වරම ඇතුළු දේවාල රාශියක ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටු කරනවා.

ඒ අතරින් වැඩි ම පිරිසක් එක්වන ගිනි පෑගීම සිදුවන්නේ කතරගම යි. දෙපතුල් නොපිළිස්සී ගිනි පාගන්නට ලැබෙන්නේ දේව භක්තිය නිසාද යන්න බොහෝ දෙනා තුළ මතුවන පැනයක්. මේ ඒ ගැන සොයා බැලූ අවස්ථාවක්.

 හලාවත මුන්නේස්වරම් දේවාලයේ ගිනි පෑගීමක්- dinamina.lk

ගිනි පෑගීම

ලංකාවේ නම් ගිනි පෑගීම බහුල ව සිදුවන්නේ හින්දු භක්තිකයන් අතර යි. මෑතක සිට බෞද්ධයන් ද දේව භක්තියෙන් ගිනි පාගන අයුරු දකින්නට ලැබෙනවා. ගිනි පෑගීම ඉන්දියාව, ටිබෙටය, ජපානය, පිලිපීනය, මලේසියාව වැනි රටවලත් සිදු වෙනවා. ඒ අනුව ගිනි පෑගීම එක් ආගමකට සීමා වූ පුජා චාරිත්‍රයක් නොවන බව පැහැදිලි යි.

1998 ජූලි 02 ලොව දිග ම ගිනිමැලය පෑගීමේ සංදර්ශනය වොෂින්ටන් නගරයේ දී පැවැත්වුණා. ඩේවිඩ් විලීගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අඩි 120ක් දිග ගල් අඟුරු ගිනි මැල තරණය කිරීම කළා. ඒවායේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1000-1800 දක්වා පරාසයක පැවතුණා.

 කතරගම ගිනි පාගමින්- Ruhunu Katharagama maha devalaya facebook page

 

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමී ව පවත්වන ගිනි පෑගීමේ උත්සවය අගෝස්තු 8 වැනි දා ආරම්භ වුණා. අගෝස්තු 8 වන දින උදෑසන 9ට කතරගම පුදබිමේ පිහිටි වල්ලි අම්මා දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය පැවැත්වුණූ අතර බැතිමතුන් 100 දෙනෙක් පමණ ගිනි පෑගීම සඳහා එක් ව සිටියා.

මෙම අවස්ථාව සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ද එක් වී සිටීම විශේෂයක්. කාගෙත් අවධානය දිනා ගන්නා මහා ගිනි මැලය තරණය සිදු වූයේ 9 වැනි දා අලුයම යි. ඒ සඳහා පේවී සිටි බැතිමතුන් සංඛ්‍යාව 300ක් පමණ වුණා.
ගිනි පෑගීමෙන් අදහස් කරන්නේ පුරාණයේ පැවති අග්නී පූජාවේ ම එක්තරා විධියක් බවයි පේන්නේ. කතරගම උත්සව සමය අවසානයේ “ගිනි දෙවියන්” පිදීම ඉන් සිදු කෙරෙන බව පැහැදිලි යි.

 බැතියෙන් ගිනි පාගමින් – Kokila Withanathanrti facebook page

කතරගම ගිනි පෑගීමේ යටගියාව

කතරගම ඇසළ පෙරහර අවසානයේ අලුයම ගිනි පෑගීමේ චාරිත්‍රය ඉතා වැදගත් අංගයක් ලෙස සැලකෙ යි. එය කතරගම දේවාලයට නිල වශයෙන් අයත් උත්සවයක් නොවූවත් ඇසළ පෙරහර කාලයට දේවාලය ඉදිරිපිට ගිනී පෑගීමේ උළෙලක් පැවැත්වෙනවා. මාස කිහිපයක් මස් මාංශයෙන් තොරව පේ වී සිටින බැතිමතුන් කතරගම පෙරහරේ යමින් අවසානයේ ගිනි පෑගීමට එකතු වෙනවා.

කතරගම දේවාලයේ මුලින් ම ගිනි පෑගීමක් පැවැත්වුණේ 1948 දි යි. වර්ෂ 1946 දී ඉන්දීය හින්දු බැතිමතකු වූ සෙල්ලයියා සාමි තම පාදයේ ආබාධයක් සුව කර ගැනීමට කතරගම දෙවියන්ට බාරයක් වුණා. එහිදී ඔහු පොරොන්දු වුණේ රෝගය සුව වුණොත් කතරගම දේවාලය ඉදිරිපිට ගිනි පෑගීම ටයි. ආබාධය සුව වූ නිසා 1948 ජුලිවල සෙල්ලයියා සාමි සහ තවත් සාමිවරු කිහිපදෙනෙක් ගිනි පෑගීමක් සිදු කළා. එය සිදු කළේ දේවාල මළුව ඇතුළෙ යි.

දේවාල මළුවේ සිදුකළ ගිනි පෑගීම

මුල් කාලයේ ගිනි පෑගීම සිදු ව ඇත්තේ දෙමළ හින්දු බැතිමතුන් අතර පමණ යි. 1951 දී බී. ඩී. මුතුකුඩ සාමි නම් බෞද්ධ බැතිමතෙක් ද පළමු වරට ගිනි පාගා තිබෙනවා.

මුල් කාලයේ දේවාල මළුවේ සිදුකළ ගිනි පෑගීම 1962 දී මළුවෙන් පිටතට ගැනීමට සිදුවුණේ උත්සවය දැක ගැනීමට දහස් ගණනක පිරිසක් එක්වන නිසා යි. අදත් ගිනි පෑගීමේ අවස්ථාව කා තුළත් කුතුහලය දනවන සිද්ධීයක්. දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් ද මෙය දැක ගැනීමට පැමිණ පුදුමයට පත්වෙනවා.

දේවාලයේ කපු මහත්වරු පවසන්නේ අනතුරකින් තොර ව ගිනි පෑගීමට මූලික ව මනස එක තැනක තිබෙන්න ඕනෑ බව යි. මානසික ඒකාග්‍රතාව වැදගත් බවත් යම් හෙයකින් සිත වෙනස් වුණොත් ගිනිමැලයේ දී පිච්චෙන්නට පුළුවන් බවත් පැවසෙනවා. දැන් වයස අවුරුදු හයේ හතේ ළමයින් පවා ගිනි පාගනවා. එදා සිට අද ගිනි පෑගීමේ දී සෑම වසරක ම කිහිප දෙනෙක් පිළිස්සීමත් සිදුවෙනවා.

 ගිනි මැලය බුරබුරා ඇවිලෙමින් – Ruhunu Katharagama maha devalaya facebook page

පෝල් වර්ස් දුටු ගිනි මැලය

වර්ෂ 1966 දී කතරගම ගිනි පෑගීමේ උළෙල ‌ නරඹා නිරීක්ෂණය කළ විදේශීය ලේඛක පෝල් වර්ස්‌ එම අත්දැකීම් ද ඇතුළත් කර පොතක් ලියනවා. මේ එහි ඔහු ගිනිමැලය හදන අන්දම දුටු ආකාරයයි:

‘‘වියළි දර කොටන් සහ අතු ගෙනැවිත් එක තැනකට ගොඩ ගසා මැළය සකස්‌ කරනවා.ගිනි මැළය සකස්‌ කිරීමෙන් පසුව ප්‍රධාන කපුරාල පැමිණ මැළයට ගිනි අවුළනවා. ගිනි මැළය ටිකින් ටික ඇවිළෙමින් දර කොට අඟුරු බවට පත්වෙනවා. එසේ වීමට අඩුම ගණනේ පැය දෙකක්‌ ගත වෙනවා. අවසානයේ ගිනියම් අඟුරු, ගිනි මැළය පුරා පොලු මගින් සමතලා කරනවා. ගිනි මැළය දිගින් මීටර තුනක්‌ හතරක්‌ වන අතර පළලින් මීටර් දෙකක්‌ පමණ වෙනවා. ගිනි මැළයේ උණුසුම කොපමණ ප්‍රබල ද කියතොත් යමකුට මැළය අබියස සිටිය හැක්‌කේ කෙටි කාලයක්‌ පමණ යි.

ගිනි මැළය උඩින් අඩි තබමින්

ගිනි මැළය සකස්‌ කරන කාලය තුළ දී ගිනි පෑගීමට අපේක්‌ෂා කරන පිරිමි සහ ගැහැනු එයට සූදානම් වෙනවා. ඔවුන් සූදානම් වන්නේ මැණික්‌ ගඟේ ස්‌නානය කිරීමෙන් පසු මහා දේවාලයට පැමිණ දෙවියන්ට යාඥා කිරීමෙනු යි. මා ගිනි පෑගීම් අවස්ථාව දැකබලා ගැනීමේදී මිනිසුන් 20 දෙනෙක්‌ පමණ ගිනි මැළය උඩින් අඩි තබමින් ගමන් කළා. ඔවුන් අතරින් කිහිප දෙනකු ගේ යටි පතුල්වල පිළිස්‌සීම් නිසා හට ගත් දියපට්‌ට මතු වුණා. නමුත් වැඩිදෙනකුට කිසි ම අනතුරක් වුණේ නැහැ. පුද්ගලයන් 20 දෙනා ගිනි මැළය තරණය කළේ එකිනෙකාට බෙහෙවින් වෙනස්‌ ආකාරවලිනු යි. වැඩි දෙනා කළේ ගිනි මැළය දිගේ දුව ගෙන යාම යි. තවත් අය උපරිම වේගයකින් පැන පැන ගියා. ඔවුන් ගේ එක යටි පතුලක්‌ ගිනි අඟුරු සමඟ ස්‌පර්ශ වූයේ උපරිම වශයෙන් දෙවරක්‌ පමණක් බව මට පෙනුණා. අනෙක්‌ ඇත්තෝ තරමක්‌ සෙමින් ගිනි මැළය තරණය කළා.‘‘

 දෙවියන්ට අභියෝග කළ මහාචාර්ය කාලෝ- bbc.com

මහාචාර්ය කාලෝගේ ගිනි පෑගීම

කාලෝ ෆොන්සේකා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඒ වගේ ම අපේ රටේ බිහි වූ විද්වතුන් අතර, එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක්. එමෙන් ම හේතුවාදී චින්තකයෙක්. ඔහු, කෙනකු නොපිළිස්‌සී ගිනි පාගන්නේ දේව හාස්‌කමකින් හෝ දේව භක්‌තිය නිසා හෝ නො වේය යන්න විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කළ පරීක්‌ෂණයකින් තහවුරු කළා. ඒ 1971 වසරේ ජූනි මස දී Ceylon Medical Journals හි පළ කළ විද්‍යාත්මක ලිපියකින්. එම ලිපිය ලිවීම සඳහා ඔහු තවත් කණ්ඩායමක් සමඟ එකතුව ගිනි පෑගීමක් ද සිදු කළා.

ලාංකික සමාජයේ මුල්බැස තිබුණු මිත්‍යාවක් වන ගිනි පෑගීම, කිසිදු ආගමික වතාවතකින් හෝ කිසිදු දේව ඇදහිල්ලකින් තොරව විද්‍යාත්මක සාධක පමණක් ආධාර කර ගෙන සිදු කළ හැකි බව ඔහු ඔප්පුකොට පෙන්නුවා. ඔවුන් ගිනි පෑගීම සිදුකළේ විද්‍යාඥයන් සහ උගතුන්ගේ නිරීක්ෂණය යටතේ යි. කිසිදු පේවීමක් නොකළ එම කණ්ඩායම ගිනි පෑගීමට පෙර මත්පැන් පානය කළේ ඌරු මස් ද අනුභව කරමින්. එම ක්‍රියාව රූපගත කිරීමක් ද සිදුවුණා. නමුත් ගිනි පෑගීමේ දී කිසිවකුගේ දෙපතුල් පිළිස්සී තිබුණේ නැහැ.

 ගින්න නිවී අඟුරු බවට පත්වූ පසුව –  www.facebook.com/sellakatharagama/

විද්‍යාත්මක පැත්ත

ගිනි පෑගීම් පටන් ගැනීමට මොහොතකට පෙර ගිනි මැළවල මතුපිට උෂ්ණත්වය මැළයේ විවිධ ස්‌ථානවල අංශක 3000C සිට අංශක 4500C පමණ වෙනවා. ගිනි පෑගීමේ විස්‌මය දනවන දෙය නම් අතිශය ගිනියම් වූ රත් පැහැ අඟුරු මත ඇවිද යන බොහෝ දෙනකු ගේ යටි පතුල්වල කිසිදු පිළිස්සීමක් සිදුනොවීම යි. මෙහි දී තේරුම් කර දිය යුත්තේ අතිශය ගිනියම් වූ අඟුරු මත නිරාවරණය වුණ දෙපාදවලින් ගමන් කරන ගිනි පාගන්නන් ගේ යටි පතුල් නො පිළිස්‌සෙන්නේ කුමක්‌ නිසා ද කියල යි.

තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන ක්‍රම තුනක් තිබෙනවා. ඒ සන්නයනය, සංවහනය සහ විකිරණය යි. තාපය හොඳින් සන්නයනය වන්නේ ලෝහ හරහා යි. දැව හොඳ සන්නයන වාහකයක් නොවේ. ගිනි පෑගීමට ගන්නේ දැව අඟුරු යි. දැව අඟුරුවල ගින්දර උණුසුම තිබුණත් ඒ මතින් ගමන් කරන කෙටි කල තුළ සම පිළිස්සීමට තරම් හොඳ තාපයක් යටි පතුළට එකතු වන්නේ නැහැ.

ගිනි පෑගීම සිදු කරන්නේ කඩිනමින් ඇවිදමින් මිස එක තැනක සිටිමින් නොවෙ යි. ගිනි පාගන පුද්ගලයා ගිනිගොඩ මත දුවන අතර, ගිනිඅඟුරු මත රැඳී සිටීමක් කරන්නේ නැහැ. එම නිසා, ජ්වලන උෂ්ණත්වය තෙක් උෂ්ණත්වය ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. ඒ අනූව මෙහි කිසිදු හාස්කමක් නැති අතර කාලෝගේ පර්යේෂණය සාර්ථක වුණේ ඒ නිස යි.

 කතරගම ගිනි පෑගීමේ අවස්ථාවක්-lankadeepa.lk

 

කතරගම ගිනි පාගන උත්සවයේ දී, බැතිමතුන් සිය දෙනකු වෙන වෙන ම ගිනි මැළය තරණය කිරීමට වැය කළ කාලය කාලෝ ෆොන්සේකා නිර්ණය කළා. ඒ සිය දෙනාට ගත වූ සාමාන්‍ය කාලය තත්පර තුනක්‌ වූ අතර, පරාසය තත්පර 1.5 සිට තත්පර 6 දක්‌වා වුණා. ගිනි මැළය තරණය කිරීමට එක්‌ එක්‌ බැතිමතා තැබූ පියවර සංඛ්‍යාව ද ගණන් කළ අතර තැබූ සාමාන්‍ය පියවර ගණන 10ක්‌ වූ අතර පරාසය පියවර 5 සිට 12 දක්‌වා වෙනස් වුණා.මෙම පියවර සංඛ්‍යාව ගිනි අඟුරු මත තැබීමෙන් පාදය පිළිස්සීමට තරම් තාපයක් යටි පතුලට ලැබෙන්නේ නැහැ. 

කවරයේ ඡායාරූපය- ගිනි අඟුරු මත පය තබමින්- යස මීඩියා facebook page

මූලාශ්‍ර:
දුටු නුදුටු කතරගම- කේ. ඩී. දේවප්‍රිය
lankadeepa.lk
vidusara.lk
divaina.lk

Related Articles

Exit mobile version