කඳු ගැසුණු කුණු වලින් වැඩ ගත හැකිද?

ලංකාවේ ප්‍රකට කුණු කඳු දෙකකි. එකක් මීතොටමුල්ල වන අතර අනෙක බ්ලූමැන්ඩල්ය. මේවායේ බැහැර ලූ කුණුවලින් ගත හැකි ප්‍රයෝජනයක් තිබේ ද යන්න සාමාන්‍ය ජනතාව අතර ඇති ගැටළුවකි.

වටිනා දේ ඉවත් කර කුණු පමණක් ඉතිරි කොට

නිවසේ අතුපතු ගා ඉවතලන කුණු රාත්‍රියේදී නිවසින් බැහැර කිරීම පුරාණ සිංහල සිරිත් හි අනුමත කරුණක් නොවීය. මන්ද ඒ නිවසේ වූ කුණු සමග කාසි, රත්‍රන් බඩු මෙන් වටිනා දේ ද, ඉදිකටු වැනි අනතුරුදායක දේ ද තිබිය හැකි නිසාය. එසේම මෙම කුණු කඳු කරා එන කුණුවලද විවිධ වටිනා කියන දෑ මිශ්‍රව පවතී. ඉදිකිරීම් බිම් වලින් පැමිනෙන කුණුවල ලෝහ කැබලි ඇත; කාර්යාල වලින් එන කුණුවල කඩදාසි සහ වටිනා කියන පරිගණක වැනි උපාංග ඇත. කුණු වෙන් නොකර ලැබෙන හෙයින් ඒ ඒ කුණු ලැබෙන පළාත් සහ මාර්ග අනුව කුණුවල වටිනාකමද වෙනස් වේ.

කුණු කන්ද දක්වා ප්‍රවාහනය කරන අතරතුරදී සහ කන්ද මතදී මෙම කුණු අවුස්සමින් එහි ඇති වටිනා දෑ ලබාගන්නට වෙනමම පිරිසක් සැදී පැහැදී සිටිති. ඔවුහු ලෝහ කොටස්, යන්ත්‍ර කොටස්, කාඩ්බෝඩ්, කඩදාසි, වටිනා කියන උපකරණ ආදී දේ කුණු ගොඩෙන් වෙන්කරගනිති. ඉතින් අවසන ඉතිරි වන්නේ කුණුවලිනුත් වටිනා කියන දේ තෝරාගන්නා ලද කුණු ගොඩකි. ඒ ගොඩවල ලූ කුණු යාන්ත්‍රිකව තෝරා ගත්තත් එයින් වටිනා දේ ලබාගැනීම තරමක් අපහසු කාර්යයකි.

කැළණිය ප්‍රදේශයේ වගුරුබිමකට බැහැරලූ කුණු කන්දක්

කලවමේ බැහැරට

නිවසේ ඉවතලන කුණු සියල්ල මල්ලකට එකතු කළහොත් දින තුනක් අවසන එයින් නික්මෙන අප්‍රසන්න ස්වභාවය ඔබ එක්වරක් හෝ විඳ ඇති.කිසිදු වෙන්කිරීමකින් තොරව බැහැර ලන මෙම කුණුවල කාබනික, අකාබනික, ලෝහ ප්ලාස්ටික්, පොලිතීන් සපිරි විවිධ ආකාරයේ කුණු වර්ග තිබේ. ලෝකයේ දියුණු රටවල මෙම ආකාරයේ කුණු වෙන් නොකර බැහැර කිරීම ඉවත් කර ඇත්තේ 1970 තරම් ඈත කාලයේදීය. මන්ද කුණු වෙන් නොකර බැහැර කළ පසු ඒවා නැවත වෙන් කිරීමට සැළකිය යුතු කාලයක්, ශ්‍රමයක් හා ධනයක් වැය වේ. එසේ මිශ්‍ර වූ කුණු එකිනෙක වෙන් කරගත්තත් මිශ්‍ර වී අපවිත්‍ර වී ඇති නිසා ගත හැකි ප්‍රතිපල අවම වේ.

කුණුගොඩෙන් අහුලාගත් ඇඳුමක් ඇඟලා සතුටුවෙන ඉන්දියාවේ මුම්බායි හි සිසුවියක් (pbs.org)

කොම්පෝස්ට් හදන්න බැරිද?

ලංකාවේ කුණු බැහැර ලීමේදී කාබනික කුණු, එනම් එළවලු, පලතුරු, බත්, මාළුපිණි සහ දිරන පත්තර වැනි කාබනික අපද්‍රව්‍ය වෙනමම බැහැර කරන්නේ නම් එවිට ඒවායෙන් කොම්පෝස්ට් සෑදීම හෝ මීතෙන් වායුව නිපදවා ඒ වායුවෙන් ප්‍රයෝජන ගැනීම කළ හැකිව තිබුණි. එහෙත් පොලිතීන්, ප්ලාස්ටික් හා නොයෙකුත් නොදිරන කුණු වර්ග සමග මිශ්‍ර වූ කුණුවල සංයුතිය වෙනස්ය. බැරලෝහ සහ අහිතකර රසායනික ද්‍රව්‍යවලින් ගහණය.

ලංකාවේ කුණු බැහැර කරන ආකාරය අනුව කුමන ආකාරයේ රසායනික ද්‍රව්‍ය කුණු ගොඩට එකතුවනවා දැයි නිමානය කළ නොහැක. එබැවින් මෙම ගොඩගසා ඇති කුණුවලින් කොම්පෝස්ට් සෑදීම වියදම් අධික වන කාර්යයක් වනවා සේම එම කොම්පෝස්ට්වල අන්තර්ගත වන අහිතකර රසායනික ඉවත්කිරීමද විශාල ගැටළුවකි.

කුණු එකතු කරන සේවක මහතුන් පිරිසක්

පොළොව පුරවන්න සහ හයි වේ වලට

නව මාර්ග ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම ආදියට පස් සහ වැලි විශාල වශයෙන් අවශ්‍ය වේ. අධිවේගී මාර්ග තැනීමේදී මුතුරාජවෙල කොටස පිරවීම සදහා වරක් මුහුදු වැලි පොම්ප කිරීමද සිදුකරන ලදී. එවන් පහත්බිම් පිරවීම සදහා මෙම කුණු යොදාගත හැකිද?

අන්තර්ජාතික පර්යේෂණ අනුව මෙලෙස වෙන් නොකර බැහැර කරන නාගරික කැලිකසළ යනු කිසිසේත්ම අහිංසක කැලි කසළ නොවේ. මේවායේ ඇති රසායනික පොළොවේ ඇති භූගත ජලය සේම එම පළාතේ පරිසරයටද දැඩි බලපෑමක් එල්ල කරයි. එක් තැනක ඇති කුණු ඉදිකිරීම් වැඩබිම්වලට සහ මාර්ග ඉදිකිරීම්වලට යොමු කරන්නේ නම් එය අහිතකර රසායනික සහිත මෙම කුණු ගොඩවල් රටපුරා, නගර පුරා ව්‍යාප්ත කිරීමකි.

මාර්ග ඉදිකිරීම් වැනි කටයුතුවලට යොදාගන්නේ නම් කුණුවලට ස්ථාවර බරක් දරාගන්නට හැකි විය යුතුය. මිශ්‍ර කුණු යනු එලෙස මේ බර දරාගත හැකියැයි නිසැකවම කිව හැකි ස්ථරයක් නොවේ. පස්කන්දක් වැලිකන්දක් පෙරළෙන අවස්ථාවකදී ඊට පෙර යම් යම් නිමාන කළ හැකි මුත් කුණු කන්දක් පෙරළෙන අවස්ථාව කලින් නිගමනය කිරීම කළ නොහැක්කේ කුණු වල ඇති මෙම මිශ්‍රිත තත්වය හේතුවෙනි. විවිධ අන්දමේ ද්‍රව්‍යයන්ගෙන් සැදී ඇති නිසා කුණු ඕනෑම අවස්ථාවක එක් ස්ථරයක් අනෙක මත ලිස්සා යා හැකිය.

එබැවින් වැලි හෝ පස් මෙන් ස්ථාවර බිමක් සාදාගැනීම සදහා කුණු පිරවීම සාර්ථක විකල්පයක් නොවේ. එසේ පුරවන්නේ නම් එයද මනා ලෙස අධීක්ෂණය කරමින් කළ යුතු කාර්යයකි.

ඉවතලූ කසල ගොඩක වූ අසුනක් මත සැනසෙන පිලිපීනයේ මැනිලා හි දරුවෙක් (pbs.org)

වෙන් නොකළ කුණු ගොඩක වෙනත් අවාසි

ආසන්නතම සිදුවීම නම් කුණු ගොඩ පෙරළී ගොස් මිනිසුන් මරණයට පත් වීමයි. ඊට අමතරව මේ කුණු අක්‍රමවත්ව බැහැරලීම දැඩි පරිසර හානියකි. අනුමත ක්‍රමය නම් කුණු ගොඩක් නිර්මාණය කිරීමේදී අහිතකර වායු සහ රසායනික පොළවට නිකුත්වීම අවම කිරීම සදහා වෙනමම ස්ථරයක් හා බිත්තියක් ලෙස යෙදීමයි. එහෙත් අප රටේ කුණු ගොඩවල් ආශ්‍රිතව එවන්නක් සිදු නොවේ. ඇතැම්විටක මුතුරාජවෙල වගුර ආසන්නයට මුදාහරින කුණුවල සාරය ගංවතුර අවස්ථාවකදී සෑම තැනකටම බෙදී යයි.

නිතරම ඩෙංගු සහ වෛරස් උණ ආදී රෝග ව්‍යාප්ත වන අප රටේ කුණු ගොඩක් ආසන්න ව සිටින ජනයාට ඒ මගින් ඇතිවන සෞඛ්‍ය ගැටළුද සුළු පටු නොවේ. නිසියාකාරව පරීක්ෂණ කර නැති මුත් මෙම කුණු ගොඩවල් ආශ්‍රිතව රැකියා කරන පිරිසිදු කරන සේවකයින් සහ කුණු තෝරන පුද්ගලයින්ද ඔවුන්ගේ සෞඛ්‍යය පැත්තෙන් දැඩි අවධානමකට මුහුණ දෙන පුද්ගලයෝ වෙති.

කුණු බැහැරලීමට ක්‍රමයක් නැති නිසාම මෙම කුණු තැන් තැන්වලට ගොස් මුදාහරිනවා මිසක මෙම කුණු කඳු වලින් ලැබෙන වාසියක් පෙනෙන තෙක් මානයක නැත.

ඉවතලූ කසල ගොඩක ඔරුපදින දරුවන් පිරිසක් (ඉන්දුනීසියාවේ ජකර්තා) (pbs.org)

ඔය කිව්වට පුළුවන් ඇති

බැහැර ලන කුණු ගැටළුව ඇත්තේ අපිට පමණක් නොවේ. දියුණු වෙමින් පවතින බොහෝ රටවලට මෙම ඉවතලන වෙන් නොකරන ලද කුණු විශාල ගැටළුවකි. ඉන්දියාවේද ප්‍රධාන නගර සියල්ලේම  පාහේ මෙම කුණු බැහැර ලීමේ ගැටළුව දරුණුවටම තිබේ. අප්‍රිකානු රටවලද කුණු ඉවතලීම ප්‍රබල ගැටළුවකි. දියුණු වන ලෝකයේ බොහෝ රටවලට ගැටළුවක් වී ඇති මෙම වෙන් නොකළ කුණු වලින් පතල් බිම් පිරවීම වැනි දෙයක් හැර ආර්ථිකමය වාසියක් ඒ කිසිදු රටකට සොයාගත නොහැකි වී තිබේ.

වෙන් නොකළ කුණු මෙවන් කරදරයක් වෙන බව හොඳින්ම දන්නා නිසා දියුණු රටවල් කුණු බැහැර කිරීමට වඩාත් දියුණු ක්‍රමවේද ඇති කර ඇත. කුණු එකතු කරන අවස්ථාවේ සිට බැහැර ලන අවස්ථාව දක්වා විධිමත් ක්‍රියාදාමයක් තිබේ. ඇතැම් අවස්ථාවල හුදෙක් රජය පමණක් නොව මිනිසුන්ද ඒකරාශී වී තමුන්ගේ පළාතේ කුණු වෙන්කර දීමට ජපානය වැනි රටවලදී මිනිසුන් පුරුදු වී තිබේ.

ස්විට්සර්ලන්තය වැනි රටවල කුණු බැහැර කිරීමේදී ඒ සඳහා නගර සභාවලට අමතර මිලක්ද ගෙවිය යුතුය. කුණු කලවමේ බැහැර කර ඉන් පසු නැවත තේරීම යනු අමනෝඥ වැඩකි. කුණු විධිමත්ව බැහැර කිරීමේ වැදගත්කම අපගේ සමාජයේ සෑම සියළු පුරවැසියෙක්ම සිතට ගත යුතුය. රජයෙන් බැහැර ලන කුණු අපගේ පරිසරයට, අපගේ සෞඛ්‍යට හානිකරනවා පමණක් නොව අපගේ හිසමත කඩාගෙන වැටීමද පසුගිය කාලයේ සිදු විය. එබැවින් පාලකයින් සේම අප සැවොම එකතු වී කුණු වෙන් කොට පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෙස බැහැර කිරීමට වහ වහා ක්‍රියාත්මක විය යුතුය.

මූලාශ්‍ර:

  1. www.pbs.com
  2. Wikipedia

Related Articles

Exit mobile version