අහිංසකයන්ගේ ආරාමය නමින් තැනූ ස්මාරකය ඉදිවුණේ 1989 තරුණ අරගල සමයේ එවක පැවැති රාජ්‍ය අනුග්‍රහයෙන් මරා දැමණු අහිංසක තරුණ තරුණියන් සිහිපත් කිරීමට යි. එම ස්මාරකය තැනීමට මූලික ව බලපෑවේ ජාත්‍යන්තර ව පවා ප්‍රකට වූ ඇඹිලිපිටියේ ම්ලේච්ඡ සිසු ඝාතනය යි.
ඒ අතර දකුණේ ඝාතනයට ලක් වූ සියලු ම අහිංසක ජනයා සැමරීමත් එහි අරමුණක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ඉදි කළ එම ස්මාරකය පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ මරණයට පත්වීමත් ඓතිහාසික ඛේදචාචකයක්. මේ ඒ ගැන කළ සෙවිල්ලක්.
ඇඹිලිපිටියේ අහිංසකයෝ
1989 භීෂණ සමයේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ ද හමුදා කඳවුරක් පිහිටවූවා. එය සෙවණ හමුදා කඳවුර යි. එවකට ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ දයානන්ද ලොකුගලප්පත්තිගේ මෙහෙයවීම මත රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වුණු ඇඹිලිපිටිය සිසුන්ගේ ඝාතනය රට පුරා ම ප්‍රසිද්ධියට පත්වුණේ “ඇඹිලිපිටිය සිසු ඝාතනය” ලෙස යි.
ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට පාසල් සිසුන් පමණක් 148 දෙනෙක් ඝාතනය කිරීමට හෝ අතුරුදහන්වීමට ලක්කර තිබුණා. ඒ 1989 අගෝස්තු මාසයේ සිට හමුදා අත් අඩංගුවට ගැනීමෙන් පසු ‘අතුරුදහන්’ වී යැයි සැලකෙන සිසුන් 32 දෙදෙනාට අමතර ව යි. සුරියකන්දේ හමු වූ සමූහ මිනීවළ ඇඹිලිපිටිය අතුරුදහන්වූවන්ගේ බව එකල කියවුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායකට රාජ්‍ය බලය ලබා ගැනීමටත් සූරිය කන්දේ මිනී ඇටකටු හමුවීමේ සිද්ධියත් උපකාරී වුණු බව නොරහසක්.
අහිංසකයන් වෙනුවෙන් ස්මාරකයක්
දකුණේ සිංහල වාමාංශික ව්‍යාපාර මුල්ඔය වත්තේ කම්කරු අරගලයක් අතරතුර ඝාතනය කළ ගෝවින්දන්, 1953 හර්තාලයේ දී දිවි දුන් පිරිස්, 1980 ජුනි 5දා මරා දමුණු සෝමපාල, 1971 කැරැල්ලේදී මියගිය අය හා 1987-89 කැරැල්ලේ දී මිය ගිය අය ආදීන් වෙනුවෙන් සැමරුම් පවත්වනු අදත් දකින්නට ලැබෙනවා. උතුරේ පිරිස් ඊලාම් යුද්ධයේ දී මිය ගිය පිරිස් සමරනවා. යුද්ධයේ දී මියගිය හමුදා සෙබළුන් වෙනුවෙන් තැනූ ස්මාරකය ඇත්තේ ද බත්තරමුල්ලේ ම යි. භීෂණ සමයේ ගෞරවනීය මරණයක් අහිමි කළ හැටපන්දහසකට අධික පුරවැසියන් පිළිබඳ සංකේතයක් ලෙස අහිංසකයන්ගේ ආරාමය සැලකුණා. සොහොනක් නැති අතුරුදහන්වූවන් වෙනුවෙන් තැනූ අහිංසකයන්ගේ ආරාම ස්මාරකය අසල ද මුල් කාලයේ අතුරුදහන්වූවන්ගේ මාපිය සංවිධානයෙන් සැමරුම් පැවැත්වුණා.
ස්මාරකය තැනීම සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා එවකට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අභය භූමියට අයත් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව හන්දියට නුදුරු බිමේ ඉඩම් කොටසක් ලබා දුන්නා. එතන අවට පිහිටියේ දංගස් බහුල තෙත්බිම් පරිසරයක්. චිත්‍ර ශිල්පී, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ජගත් වීරසිංහ මේ වටපිටාවට හා අදාළ ශෝචනීය තේමාවට ගැළපෙන සේ ස්මාරකය සහ එයට ඇතුළත් කරන කලා කෘති සැලසුම් කළා. එවකට අමාත්‍ය මංගල සමරවීරගේ සුදුනෙළුම් ව්‍යාපාරයත් එයට මුල් වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ මිනිස් ඝාතනය කඳුළු මතක සටහන් වශයෙන් අහිංසකයන්ගේ ආරාමය පවතිනු ඇති බව එහි නිර්මාණකරු වන මහාචාර්ය ජගත් වීරසිංහ පවසා සිටියා.
අරගලකාරී විරෝධයක් පිළිබඳ මතකය
අහිංසකයන්ගේ ආරාමය මඟින් සංකේතවත් කළේ යම්කිසි යුගයක අරගලකාරී විරෝධයක් පිළිබඳ ඓතිහාසික මතකයක්. එය ගොඩනැඟිල්ලක් මතු නොව පන්ති අරගලය ද්‍රව්‍යාත්මක කළ කලාත්මක නිෂ්පාදනයක් බවත් විචාරකයන් පැවසුවා. ධනවාදයට, සමාජ අසාධාරණයට විරුද්ධ ව 1988-89 කාලයේ තරුණයන් අරගල කළ බව සංකේතවත් වන ගොඩනැඟිල්ලක් ලෙස එය සැලකුණා.එවක ඇමැතිවරයකු වූ මහින්ද රාජපක්ෂ ද එයට සහයෝගය ලබා දෙනවා. එය විවෘත කළේ 1999 දීයි.
ඡන්ද පොරොන්දුවක්
මේ ස්මාරකය එක් දිනක් ඇතුළත නාගරික සංවර්ධන අධිකාරිය විසින් කඩා බිඳ දැමුණා. එය ම්ලේච්ඡත්වයේ සංකේතයක් බවටයි පැවසුණේ. එවකට එම අධිකාරිය පැවතියේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ යටතේ යි. පසුගිය ජනාධිපතිවරණයේ දී මුලින් ම ගෝඨාභය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට විරුද්ධ වූ වාසුදේව නානායක්කාර පසුව පැවසුවේ අහිංසකයන්ගේ ආරාමය නැවත ගොඩනඟන්නට පොරොන්දු වන්නේ නම් ගෝඨාට සහාය දිය හැකි බව යි.
2021 වර්ෂයේ දී ඇමැතිවරයෙක් ලෙස සිටි වාසුදේව මාධ්‍යවලට යළිත් පැවසුවේ අහිංසකයන්ගේ ආරාමය නම් මානව හිමිකම් ස්මාරකය යළි ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව යි. ඔහු පසුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට එකඟ වුණේ අහිංසකයන්ගේ ආරාමය නැවත ඉදිකරන බව පොරොන්දු වීමෙන් පසු ව යි.
කලා කෘතියක්
අහිංසකයන්ගේ ආරාමය නිල වශයෙන් විවෘත කෙරුණේ ඇඹිලිපිටියේ ඝාතනයට ලක්වූ දරුවන්ගේ මාපියන් සිටින තැන්වලට ම ගොස් ඔවුන් අතින්. එය ආගමික ස්ථානයක් මෙන් ම ආගමික ස්මාරකයක් නොවන කලා කෘතියක්. මාපියන්ගේ අත්වලින් මිරිකූ මැටි කැබලි සහ මාපියන් තම මිය ගිය අහිංසක දරුවන් වෙනූ වදන් ලියූ පුවරු ද එහි සවිකර තිබුණේ ඔවුන්ගේ සිතේ ඇති වේදනාව සටහන් කිරීමට යි.
අතුරුදහන් කළ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාගේ මව ලියූ සටහනක් ද එහි දැකගත හැකි වුණා. 1999 දී ඉදිවී, පුරා වසර 12ක් පැවති මේ ස්මාරකය අහිංසකයන්ගේ ආරාමයට, 2003 වර්ෂයේ දී පැවති අනුස්මරණ උත්සවයේ දී එවකට අගමැති ලෙස සිටි මහින්ද රාජපක්ෂ ද පැමිණ පූජෝපහාර දැක්වූවා.
ස්මාරකයේ මතක
අහිංසකයන්ගේ ආරාමය පිටතට පෙනුණේ විහිදුණු පුරාවිද්‍යාත්මක පස්ගොඩැල්ලක් හැටියට යි. පිටතට අවට පරිසරයට ගැළපෙන සේ මේ ගොඩැල්ලට තණපිඩලි අල්ලා තිබුණා. එය ඇතුළත සිමෙන්ති බිත්තිවලින් යුත් චතුරස‍්‍රාකාර විවෘත ඉඩක් දැක ගත හැකි වුණා. ඉහළින් පියස්සක් තිබුණේ නැහැ. ඇතුළුවන තැන පසෙක, පොළොවේ ගිලුණු මිනිස් මුහුණකින් අඩක ආකෘතිය ගත් යෝධ හිසක් තනා තිබුණා. ඇතුළුවීමේ දොරටුව දෙපස දැකගත හැකි වුණේ දේවතාවියන් දෙදෙනකුගේ උන්නත රූප දෙකක්. ඉන් සංකේතවත් වුණේ සිය දරුවන් අහිමිකරගත් කුවේණිය යි.
එම ගොඩැල්ලේ ඇතුළත අවකාශයේ නොඋස් හතරැස් ටැඹ 19ක් බැගින් වූ ස්ථාන තුනක් පිහිටා තිබුණා . ඒ ඒ ටැඹ මත තිබුණේ නිම නොකෙරුණු මිනිස් හිස්වල හැඩය ගත් මැටි වස්තූන් 38ක්. ඒවා තැන්පත් කර තිබුණේ ඇඹිලිපිටියේ දී අතුරුදහන්වූ දරුවන් 38 දෙනා සිහිකරනු පිණිස යි. පසෙකින් අල්තාරයකට සමාන පීඨිකාවක් පිහිටා තිබූ අතර එය මෙය නැරඹීමට එන පිරිස්වලට මල් තබා පහන් පත්තු කිරීමට අවස්ථාව සැලසුවා.
එළිමහනේ ස්මාරකය අසලින් ඉහළට නැඟ තිබුණේ දර සෑයක ආකෘතියක්. සමාජය තුළ දක්නට ලැබෙන රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයේ හා මර්දනයේ ප්‍රාථමික ස්වරූපය ඉන් සංකේතවත් කෙරුණා. එළිමහනේ තණ ගොඩැල්ලෙන් නැඟී සිටින මිනිස් රූපයෙන් සංකේතවත් කෙරුණේ ‘අධිෂ්ඨාන සහගත තරුණයා’යි. කබාය ඉරී නිරාවරණය වී ඇති ඔහුගේ පපුව තුවාල කැළලින් පිරී පැවතුණා.
ඇතුළේ බිත්තිවල සවිකර තිබුණේ වේදනාවට පත් මාපියන්ගේ හැඟීම් ඔවුන්ගේ අත් අකුරින් ම සටහන් කළ මැටි පුවරු විසිපහක්. අමු මැටි පුවරු මත මාපියන් ලවා වදන් ලියවා පසුව ඒවා පුළුස්සා සකස්කර තිබුණා. මේ එසේ මාපියන්ගේ අත්අකුරින් ලියැවුණු එක් සටහනක්:
ප්‍රදීප් කුමාර විජේසිංහ. හල්මිල්ලකැටිය. අතුරුදහන්වීම. 89.11.17.
අපේ එකම පැතුම වී- කිරි සුදෙන් බැබළෙමින්
එදා පාසල් ගියේ- තවම නෑ නුඹ ආවෙ
අද එයිද හෙට එයිද- මතු දිනෙක පැමිණෙයිද
බලාගෙන හිටිය මම -අනේ ඇයි නාවෙ නුඹ
නුමේ කෙළි කවට බස් – කෝ අනේ ඒ වදන්
පුවරුවක් වී මෙදා-මගේ පුතේ මේ කිමද.- කිරිඅම්මා.’
අහිංසකයන්ගේ ආරාමය විවෘත කළ මොහොතේ ආරාධිත ව එහි පැමිණි විවිධ කලාකරුවන් ඔවුන්ගේම අත්අකුරින් සිය හැඟීම් කුරුටු ගෑ මැටි පුවරු රැසක් ද බිත්තියේ සවිකර තිබුණා.
‘දරුවනේ නුඹලා සාධාරණ මිනිසුන්ගේ හදවත් තුළ සදා සැතපෙනු ඇත. -සුනිල් මාධව.’
ස්මාරකය කැලෑ වදී
2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය පතා අධිෂ්ඨාන පුජාවක් ද අතුරුදහන්වූවන්ගේ මාපිය සංවිධානය ස්මාරකය අබියස සිදු කළා. වසර කිහිපයක් ගතවන විට අහිංසකයන්ගේ ආරාමය බහුතරයක් ජනතාවට අමතක වී ගියා. එම අගනා කලා කෘතිය නැරඹීමට පවා කෙනෙක් ආවේ කලාතුරකින්. ජනතාවට එය තවත් එක් පස්ගොඩක් පමණක් වුණා.
එහි පිටත තණපිඩලි මත වල් පඳුරු වැවෙමින් පැවතුණා. 2011 වන විට කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ සතිපතා පැවති මල් පැළ ප්‍රදර්ශනය මෙතැනට රැගෙන ආවේ නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන්. ඒ නිසා මෙතෙක් නිදහස් ව පැවති අභය භූමියට අයත් අවට බිම මල් අලෙවිකරුවන්ගේ කුණුරොඩු දමන ස්ථානයක් බවට පත් වුණා. රාජ්‍ය අනුග්‍රහයකින් තොර ව අතුරුදහන් වූවන්ගේ මාපිය සංවිධානයට පමණක් එය තනිව නඩත්තු කිරීම අසීරු වුණා. තැඹිලි කෝම්බ හා වෙනත් අපද්‍රව්‍ය දමන කසළ බඳුනක් බවට ස්මාරකය පත් වුණා.
ඩෝසර් කරයි
විශාල රාජ්‍ය වියදමක් මෙන් ම කලාකරුවන්ගේ වෙහෙස ද එක්තැන් වූ මෙම ස්මාරකය ඉදි වී වසර 12කින් පසු එක්දිනක් තුළ ඩෝසර් යන්ත්‍රවලින් විනාශ කෙරුණා. ඒ නාගරික සංවර්ධන අධිකාරිය මඟින්. ඉන් පසු ඒ අවට පිහිටි අභය භූමියට අයත් වනවදුලු සහිත තෙත්බිම ද විනාශ කර දියත උයන වෙළෙඳසල් සංකීර්ණය ඉදි කෙරුණා.
අහිංසකයන්ගේ ආරාමය කඩා බිඳ එතැන කඩසාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට විරුද්ධව එකල ප්‍රබල ජනමතයක් ඉදිරිපත් වූයේ නැහැ. අතුරුදහන්වූවන්ගේ මාපිය සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එයට එරෙහි වුවත් එම මතය ප්‍රබල ව සමාජගත වුණේ නැහැ. අද එම ස්ථානයේ දක්නට ඇත්තේ දියත උයනේ මත්ස්‍ය ප්‍රදර්ශන ස්ථානයක්. එයට එපිටින් දියත උයනේ අනෙක් වෙළෙඳසල් ද ඉදිකර තිබෙනවා. අද වනවිට වැඩි දෙනෙකුට මෙවැනි ස්මාරකයක් පැවතුණු බවවත් මතක නැහැ.