මහියංගනය කී විට ම අපට මතක් වන්නේ 18 වංගුව හරහා මහියංගනයට දිවෙන ඉතා සුන්දර දසුන් පිරිවරා ගත් කඳුකර පාර යි. කාලයක් ඉතා දුෂ්කර, නිතර නාය යාමට ලක්වන පටු පාරක් ලෙස පැවති දහඅට වංගුව පසුගිය කාලයේ නවීකරණය කර පළලින් වැඩි මං තීරු දෙකකින් යුත් මාර්ගයක් බවට පත් කර තිබෙනවා.
මේ නිසා 1990 දශකය පමණ වන තෙක් නිතර සිදු වූ අනතුරු අද එහි වාර්තා වන්නේ කලාතුරකින්. මේ ඔබටත් දහඅට වංගුව ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව සලසා දීමක්.
උඩරට කාලේ මහියංගනයට ගිය හැටි
මහනුවර රාජධානියත්, මහියංගණය රජමහා විහාරයත් යා කරමින් ඉපැරැණි වනගත ගමන් මාර්ග පැවතුණා. බින්තැන්නේ ආදීවාසීන් දළදා වඳින්නට මී පැණි රැගෙන ගමන් කොට ඇත්තේ ඒ පාරවල් දිගේ යි. පුරාණයේ දුම්බර සිට තවලම් මගින් බින්තැන්නට භාණ්ඩ ප්‍රවාහනය කළ පාරවල් දෙකක් තිබුණු බව පැවසෙනවා. පළමුවන පුරාණ මාර්ගය මැද මහනුවර පසුකර, හුන්නස්ගිරියට පැමිණ එතනින් පහළට උඩදුම්බර, කලුන්තැන්න, මඩුගල්ලගම පසුකර ගල්පඩිහෙළට පිවිසුණා.
ගල්පඩිහෙළින් පසු හඳගනාව යි. එතැන දී මහවැලි ගඟ හමුවෙනවා. මහවැලි ගඟෙන් එගොඩ වන තොට පඟරගංතොට යි. එහි සිට මහියංගනයට යාම සිදුවුණා. පළමු පාරේ ම ගමන් කර කළුන්තැන්නට නොගොස් උඩදුම්බර හරහා හැම්මිටියාව, සීතා කොටුව, රත්න ඇල්ල, හසලක හරහා වේරගංතොටට පැමිණ එතැනින් මහවැලි ගඟ තරණය කර මහියංගණයට ගමන් කරන පාර දෙවන මාර්ගය යි. අද වනවිට එම මාර්ගවල සලකුණක්වත් දැක ගැනීමට අපහසු යි.
සුද්දගෙ කාලේ කරත්ත පාරක්
ඉංග්‍රීසි පාලන කාලයේ 1850 දී පමණ මහනුවර සිට මහියංගනය දක්වා පාරක් කැපීමේ කටයුතු ආරම්භ වුණා. මේ පාර සැකසීමට වගකිවයුත්තන් ලෙස උඩදුම්බර ගම්ප්‍රධානීන් සිව්දෙනෙක් ඉංග්‍රීසින් නම්කොට රැස්වීමක් කැඳවා තිබෙනවා. ගම්පහ බස්නාහිර කෝරළේ, ගම්පහ නැගෙනහිර කෝරළේ, ගන්දෙක කෝරළේ, කන්ද පහළ කෝරළේ යන කෝරාළලා එම නිලධාරින් ලෙස සඳහන්. හුන්නස්ගිරි කපොල්ලේ ඉඳලා උඩදුම්බර, වංගු දහ අට මාර්ගය කැපීමට තීරණය කර ඇත්තේ එම රැස්වීමේදි යි.
දුම්බර කඳු වළල්ලේ සිට බින්තැන්න දෙසට ඇදී යන මාර්ගයක් සලකුණු කර කරත්ත පාරක් ලෙස පළල් කර කැපීම සිදු වුණා. ඊටත් පසුව එය ගල් තාර යෙදූ මහා මාර්ගයක් බවට වැඩි දියුණු කෙරුණේ 1925 දී බවයි පෙනෙන්නේ.
මුල් කාලයේ බස් ගිය හැටි
දහ අට වංගු මාර්ගය එනමින් ප්‍රකට ව ඇත්තේ එහි ඇති ප්‍රපාතාකාර වැලමිට වංගු දහ අට නිසා යි. මෙය A 26 ලෙසයි මාර්ග සිතියමේ සලකුණු කර ඇත්තේ. මේ මාර්ගයේ එක් වරක් පමණක් ගමන් කැර ඇති කෙනකුට වුවත් අමතක නොවන්නේ එය ඉතා සුන්දර දසුන් පිරි වටපිටාවක් මැදින් වැටී ඇති නිසා යි. උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයෙන් ඇරඹෙන දහ අට වංගුව අවසන් වන්නේ හසලක පොලිස් බල ප්‍රදේශයෙන්.
උඩුදුම්බර සිට නාසරුව,කෝවිල්මඩ, තවලන් තැන්න, තැම්මිටියාන, තිස්පන හරහා ගුරුළුපොත සහ හසලක දක්වා මාර්ගය ඇදී යනවා. මහියංගණයට පාර ගමන් කිරීමේ දී වේරගංතොට මහවැලි ගඟ හරහා පාලමක් ඉදිවන්නේ 50 දශකයේ දී යි. ඊට පෙර එතැන තිබුණේ පාලම් පාරුවක්. පාලම් පාරුවෙන් බස්රථ පවා එගොඩ කළ බව පැවසෙනවා.
1950 කාලයේ සිට වර්ෂ 2008 පමණ දක්වා මේ පාර පැවතියේ පටු කාපට් නොදැමූ මාර්ගයක් ලෙස යි. පාරේ බහුල ව ගමන් කළේ තනි දොරටුවේ බස් සහ කුඩා ලොරි රථ යි. දිගු බස් රථවලට වංගුවලින් ගමන් කිරීමේ දී කිහිප වරක් රිවස් කර හැරවිය යුතු වුණා. එහිදී බසය ඉදිරියට තල්ලු වීම වැලැක්වීමට අඩ තැබීමත් සිදුවුණා. වර්තමානයේ එහි ඇත්තේ වංගු 17ක් පමණ යි. මහා මාර්ග ප්‍රතිසංස්කරණයේ දී අවසාන වංගුව කෙළින් කර ඉදිකර ඇති නිසා යි ඒ.
අතීතයේ මේ පාරේ ගමන් කළ අන්දම ජනකවියෙක් දුටුවේ මෙලෙසයි:
‘‘රංඩුවෙන් රැගෙන සුක්කානම අතට
වංගුවෙන් වංගු පසුකර බසින විට
වංඩුවෙන් බැඳුණු තැම්බෙන පිටි ලෙසට
බිංදුවෙන් බිංදු දහදිය එයි බයට’’
මුල් කාලයේ මේ පාරේ එක බසයයි ධාවනය වුණේ. ඒ උදෑසන මහනුවර සිට තැපැල් රැගෙන එන බසය යි. එය උදේ පැමිණ ආපසු සවසට නුවරට යාම සිදුවුණා. එවකට පැවති ”සිල්වර් ලයින්” බස් සමාගමේ බස් තමයි මේ පාරේ ධාවනය වුණේ. පසුව ලංගම ආරම්භ කිරීමෙන් අනතුරුව මහනුවර උතුර ඩිපෝවේ බස් රථ මහියංගනය දක්වා ගමන් කිරීම ඇරඹුණා. පසුකාලීනව කොළඹ අම්පාර, කොළඹ මහියංගනය සහ අම්පාර බස් ද මේ පාරේ ගමන් කිරීම සිදුවුණා. පැය තුනහමාරක් – පැය හතරක් ඒ කාලේ බස්රථයක් මහනුවර සිට මහියංගණයට ළඟා වෙන්න ගත වෙලා තියෙනවා.
18 වංගුව
මහනුවර සිට උඩදුම්බර නගරය පසුකර කිලෝමීටර 15ක් පමණ ගමන් කළ පසු මෙහි වංගු බැසීම ආරම්භ වෙනවා. වංගු 18 ම තියෙන්නේ කන්දේ උසින් කිලෝමීටර් භාගයකටත් වඩා අඩු දුරකින්. එම කිලෝමීටර් භාගය දුර නගින්නට හෝ බසින්නට කිලෝමීටර් 7 ක දුරක් කන්ද වටේ ගමන් කළ යුතු ලෙසයි පාර සැකසී තිබෙන්නේ . දහ අට වංගුවේ දෙවනි වංගුව ඉතාමත් අනතුරුදායක එකක් වුණු බව සඳහන් වනවා. මේ මාර්ගයේ දහ හත් වැනි වංගුව තිබෙන්නේ ගුරුළුපොත ගම අසලයි.
දහ අටවැනි වංගුව තිබී ඇත්තේ ඊට ටිකක් දුර කිලෝමීටර හතරක් පමණ පහළින් ඒ දවස්වල ගම්මු හැඳින්වූ බෝගහහෙළ වංගුව අසල යි. එය හසලක වාරි මාර්ග කාර්යාලයට නුදුරින් පිහිටා තිබුණා. හසලක ඔය බැම්මේ ජලයට යටවීම සිදුවන නිසා 18 වැනි වංගුව කෙළින් කර වාරි මාර්ග කාර්යාලය ඉදිරිපිටින් හසලක ඔර්ලෝසු කණුව අසලින් පැමිණ පැරණි පාරට මෙම පාර එක්වෙන්නට සකසා තිබෙනවා. හසලකට නුදුරින් පිහිටි ගුරුළුපොත පැරණි නටබුන් භුමියක් ද පිහිටා තිබෙනවා.
මේ පාරේ ටික දුරක් ගිය පසු පාරේ ඈතින් කඳු පාමුල මහියංගන සිට පොළොන්නරුව අම්පාර දක්වා ඇති තැනිතලා ප්‍රදේශ අලංකාර ව දැකගත හැකියි. එහි දී සොරබොර වැව, හසලක වැව, උල්හිටිය ජලාශ රිදී පැහැයෙන් සහ කුඹුරු යායන් කොළ පාටින් මනරම් ව දිස්වෙනවා.
මෙම පාරේ 18 වංගු බෑවුම වැටී ඇත්තේ වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අභය භූමිය හරහා යි. මාර්ගය දෙපස දැකගත හැක්කේ වනගත වටපිටාවක්.
එකල රිවස් කිරීමට නොහැකිව බස් සහ ලොරි මෙහි ගමන් කළ හැකි ව තිබුණේ වංගු 18න් දෙක තුනක පමණයි. මුල් කාලයේ මාර්ගයෙන් ඉවතට පැන පහළ ප්‍රපාතයට වැටී වාහන අනතුරු සිදුවීම සාමාන්‍ය දෙයක් වුණා. එකල පැති බැමි ඉදිකර මාර්ගය ආරක්ෂා කර තිබුණේ නැහැ. වාහන දෙකක් මාරු වූයේත් බොහෝ අපහසුවෙන්.
පාර ප්‍රතිසංස්කරණය
18 වංගුව මාර්ගය මැදමහනුවර උඩතැන්නේ සිට මහියංගන පාලම දක්වා කිලෝමීටර් 41 ක් පුළුල් කිරීමේ කටයුතු 2008 නොවැම්බර් 01 වැනිදා ආරම්භ වුණා. වැය කළ මුදල රුපියල් මිලියන 4435ක් වෙනවා. ඒ සඳහා ආධාර සැපයූවේ ආසියානු සංවර්ධන බැංකුව යි. එදා ගල් තාර යොදා තිබූ දහ අට වංගුව අද කාපට් ඇතුරූ සුවපහසු ආරක්ෂිත සුන්දර මාර්ගයක්. එදා මීටර් 3 ක් පමණ පළලින් පැවති මේ පාර අද මීටර් 8.5ක් පමණ පළලින් යුතු ව සකස් කර තිබෙනවා.
පාලම් 10 ක් සහ බෝක්කු 37ක් සහ කුඩා බෝක්කු 320ක් මෙහි ඉදිකර තියෙනවා. මාර්ගයේ බෑවුම අධික ස්ථාන කොන්ක්‍රීට් පැතිබැමිවලින් සවිමත් කර තිබෙනවා. සෑම වංගුවක ම දර්පන සවිකිරීමෙන් රියදුරන්ට ඉදිරියෙන් එන වාහන දැක ගැනීමට සලස්වා තිබෙනවා. එහි නවිකරණ කටයුතු 2012 දී අවසන් කෙරුණා.
මෙම මාර්ග පුළුල් කිරීමේ කටයුතුවලදී පෞද්ගලික ඉඩම් හරහා කිලෝමීටර් 17.5 ක් ද, වනජීවී අමාත්‍යාංශයට අයත් වනාන්තරවලින් කිලෝමීටර් 18.2 ක් ද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භුමිවලින් කිලෝමීටර් 4.4 ක් ද පාර ගමන් කෙරෙනවා. මාර්ග ප්‍රතිසංස්කරණයෙන් පසු ඒ හරහා පැය එකහමාරකින් මහියංගනයට ගමන් කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.