පුරාණ සබරගමුවේ පැවති අක්කර දස දහස් ගණන් වූ නින්දගම් ගැන අප අසා තිබෙනවා. මේ නින්දගම් පුරාණ දේවාලවලට මෙන් ම රදළවරුන්ට ද රජුගෙන් සන්නසක් මගින් හිමි ව පැවතුණා. මෙරට වැඩි ම නින්දගම් ප්‍රමාණයක් වෙන්කර දී තිබුණු පළාත ලෙස ‘සබරගමුව’ ඉතිහාසයට එක්ව තිබෙනවා. මඩුවන්වෙල දිසාවට උඩරට රජුන්ගෙන් නින්දගම් ලෙස මඩුවන්වෙල ගමේ අක්කර 16500ක් ද පනාමුර ගමේ අක්කර 7000ක් ද ලැබී තිබුණා.
ඇමටියගොඩ වලව්වට අයත් නින්දගම අක්කර නවදහසක් පමණ වූ බව සැලකෙනවා. මේ නින්දගම ආශ්‍රිත ව කල් ගෙවූ ප්‍රාදේශීය ප්‍රභූවරු පළාතේ රජවරු ලෙස ජීවත්වූ පිරිසක්. ඉංග්‍රීසි පාලන කාලයේ වැඩවසම් ක්‍රමය අහෝසි කළත් ඉන් පසුවත් කලක් ගත වන තුරු ඒ තතත්වය පැවතුණා. බොහෝ දෙනකුට රහසක් වුණූ පිළිවෙත්, චාරිත්‍ර වැඩවසම් ක්‍රමයේ බලපෑම මත මේවායේ ක්‍රියාත්මක වුණා. දිග්ගෙයි නැටුමත් ඒ වගේ චාරිත්‍රයක්.
නින්දගම්වාසින්ගේ නැටුමක්
නින්දගමේ වැසියන්ට තිබුණු අයිතිය වුණේ නිලමේවරයාගේ ඉඩම්වල තමන්ට ඉන්නට පැල්පතක් සාදා ජීවත්වීමේ අයිතිය පමණ යි. ස්ථිර නිවාස සැදීමටවත් හිමිකමක් නැහැ. මේ නිසා නින්දගමක් කුඩා රාජ්‍යයක් ලෙස පැවතුණා. නින්දගම් වාසී කාන්තාවන් කළ යුතු එක් රාජකාරියක් වුණේ දික්ගෙයි නර්තනය ඉදිරිපත් කිරීමයි. එය හැමෝට ම කළ හැකි වුණේ නැහැ.
දේවාලවල මෙන් ම රදල වලව්වලත් පැවැත්වූ දික්ගෙයි නැටුමට සහභාගි විය යුතුව තිබුණේ මාණික්‍ය නිල පංගුවට අයත් කාන්තාවන් පමණ යි. මෙය ඉන්දියානු දේවදාසී සංකල්පය මත සිදු කළ එකක් බව යි පෙනී යන්නේ. එය ජනතාව පීඩාවට පත් කරන වැඩවසම් ක්‍රමයේ සංකේතයක් ලෙසත් හැඳින්විය හැකියි.
දික්ගෙය – දිග්ගෙය
දේවාලයේ වෙනත් ස්‌ථානවලට වඩා දිගින් සහ පළලින් විශාල මණ්‌ඩපය දිග්ගෙය යි. දේවාලයේ දික්ගේ ශාලාවේ සිට නැටුම ඉදිරිපත් කරන නිසා තමයි එයට දික්ගේ නැටුම යන නම ලැබුණේ. දෙවියන්ට භක්‌ති ප්‍රණාම දක්‌වනු වස් නර්තන, ගායන, වාදන ඉදිරිපත් කිරීමේ දිග්ගෙය, රඟමඬලක් ලෙස අතීතයේදී භාවිත කළා. සබරගමුව මහ සමන් දේවාල උඩමළුවේ මණ්‌ඩපයට පිවිසෙන පියගැටපෙළ නැගි පසු පළමු ව හමුවන ශාන්ති මණ්‌ඩපය පසු කළ විට දැක ගත හැකි දිගින් හා පළලින් විශාල වූ මණ්‌ඩපය දිග්ගෙය යි.
එම ස්‌ථානයේ සිටයි දේවාලයේ දික්ගෙයි නර්තනය ඉදිරිපත් කළේ. සබරගමුවේ ප්‍රධාන දේවාල ආශ්‍රිත ව දිග්ගෙයි නර්තන ශෛලිය පැවති බවට සාධක හමුවෙනවා. මේ නැටුම උඩරට දේවාලවල පැවති බවක් නම් හඳුනා ගැනීමට බැහැ. අතීතයේ දෙවුන්දර මහ දේවාලයේත්, බළන්ගොඩ උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේත්, බළන්ගොඩ සොරගුණ දේවාලයේත් දිග්ගෙයි නර්තනය පවත්වා තිබෙන බවට සාධක හමුවෙනවා. මේ වන විට නම් ඒ අංගය අභාවයට ගොස් අවසන්.
රත්නපුර සමන් දේවාලයේ දික්ගෙයි නැටුම ගැන කියවෙන කවියක් මේ:
සිහළ නරනිඳු කලෙහි පැවතුණ දිග්ගෙ නැටුමද ගරුලෙසින්
එකල පරසිදු නෘත්‍යාංගන මැණිකෙවරු මාණික්‍ය නන්
ඇඳල ඔසරිය මන්ත හැට්‌ටය රන්මාල බැඳ සුරඟනන්
වැඳලා බැතියෙන් සමන් දෙවොලේ දිග්ගේ නැටු අපි කුලඟනන්
-(Dandiyama.wordpress.com-සමන් කුමාරතුංගගේ ලිපියකිනි)
දොවොල් දික්ගේ නැටුම
පුරාණයේ දේවාලවල දික්ගෙයි නර්තනය සිදුකර ඇත්තේ ඔසරිය, හැට්ටය, මත්තය ආදියෙන් සැරසී රන් මාල පැළඳගෙන යි. උග්ගල් අලුත් නුවර කතරගම දේවාලයේ ද අතීත කාලයේ මෙම නැටුම තිබූ බව සැලකෙන අතර එය වාර්ෂික පෙරහර අවසානයේ පවත්වන අයත් අංගයක් බවට පත්ව තිබුණා.
දේවාලයේ පවත්වන දික්ගේ නැටුමත් හැමෝට ම බලන්න බැහැ. ගම්වර ලැබී ඇති දේවාලවල ප්‍රධානීන්ට සහ කපු මහත්වරුන්ට එය නරඹන්න පුළුවන්. මේ නැටුම පෙරහර පෙරහර අවසන් වීමේ ප්‍රීතිය භුක්ති විඳින එක් ආකාරයක් ලෙසත් සැලකුණා. මේ වන විට සමහර දේවාලවල දික්ගෙයි නැටුම පිරිමි පක්ෂය නටනවා.
ඔවුන් ස්ත්‍රී ඇඳුමින් සැරසී දෙවියන් සතුටු කිරීම සඳහා නැටුම් ඉදිරිපත් කරනවා. එය කාර්ති මංගල්‍යය නමින් හැඳින්වෙනවා. එහි අර්ථය කාම මංගල්‍යය යි. කාර්ති මංගල්‍යයට දේවාලයේ බස්නායක නිලමේවරයා සහභාගී නොවන අතර සහභාගී වන්නේ කපු මහත්වරුන් පමණ යි. කාන්තාවන්ගේ දික්ගෙයි නැටුම 1950 දශකයෙන් පසු දේවාලවලින් අහෝසි වී ගොස් තිබෙනවා.
බලංගොඩ සොරගුණ දේවාලය
සොරගුණ කුඩා කතරගම දේවාලයේ ද දික්ගෙයි නර්තනය පවත්වා තිබෙනවා. දේවාලයේ දික්ගෙයි වැඩසිටින මාලිගය ඉදිරිපිට සුදු රෙද්දකින් හා හැට්ටයකින් සැරසුණූ කාන්තාවන් තිදෙනෙක් අතින් අංග චලන දක්වමින් නර්තනය ඉදිරිපත් කරමින් දෙවියන් සතුටු වන සේ හැසිරීම එම නැටුමේ ක්‍රමය යි.නර්තනයට පෙර දේවාල දික්ගෙය අලංකාරව සැරසිමේ සිරිතක් ද අතීතයේ පැවත තිබෙනවා.
මේ ඒ ගැන කියවෙන කවියක්:
දික්ගේ දොරකඩ උළුවහු කනුවට ඇත්දත්වලිනුත් වැඩ දාලා
ඒත් මැදින් මැද දිලිසෙන්නට පළිඟු මැණීක් ගල් ඔබ්බාලා
දික්ගේ දෙපිටම පෑ මැටි ගාලා සියලු සතුන්ගේ රුව ඇඳලා
දිග්ගේ නැටුමට හොඳට ඉනංගුය උඩු වියනුත් වටතිර ඇඳලා
( පුංචිබණ්ඩාර සන්නස්ගල- සොරගුණු දේවාල පුවත)
වලව්වල දික්ගේ නැටුම්
දේවාලයේ පවත්වන දික්ගේ නැටුම පසුව වලව්වලටත් පිවිසි බව පේනවා. මේ නැටුම වලව්වලට අයත් නින්දගම් වාසී කාන්තාවන් ඉටු කළ යුතු පුරාණ රාජකාරියක් නිසා එය පැහැර හැරීමට බැහැ. සබරගමුවේ දිග්ගේ නර්තනය කළ වලව් තුනක් තිබූ බව පැවසෙනවා. ගොඩකවෙල ඇමිටියගොඩ වලව්ව, කුරුවිට එක්නැලිගොඩ වලව්ව සහ මඩුවන්වෙල වලව්ව ඒවා යි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගම්වර දීම නිසා සබරගමුවේ බිහිවූ මුල් ම වලව් දහතුනේ ම දික්ගෙයි නැටුම් කාමර තිබූ බව විශ්වාස කෙරෙනවා. පසුව ඉහත සඳහන් කළ වලව් තුනේ පමණක් මේ නැටුම පවත්වා තිබෙනවා. මඩුවන්වල වලව්වේ දික්ගෙයි නැටුම් කාමරය අදට ද සුරක්ෂිත ව දැකගත හැකි යි. පැල්මඩුල්ල ඇමිටියගොඩ වලව්වෙත් දික්ගෙයි නැටුම් පැවැත්වූ ස්ථානයක් තිබෙනවා.
ඇමිටියගොඩ වලව්වේ පුරාණ උරුමකරුවන් දික්ගේ නැටුම නරඹන අවස්ථාවේ බුලත්විට කෑමට පුවක් පෙති ගැසූ බව කියන ගිරයක් අදත් වලව්වේ දැකගත හැකි යි. ගිරයේ තල දෙකේ ඇත්තේ උඩුකය නිරුවත් ස්ත්‍රියක සහ පුරුෂයකුගේ කැටයම් දෙකක්. ගිරයේ තල දෙක එකට ළංකරන විට එම රූප දෙක ළං වෙනවා.
රදළයන්ගේ සිත් පිනවීමට නින්දගම්වාසී මාණික්‍ය මහගේ පවුල්වල ගැහැනුන් පමණක් දික්ගෙයි නැටුමට පැමිණිය යුතු වුණා. දේවාලවල මෙන්ම වලව්වලත් හැම කාන්තාවකට ම දික්ගේ නැටුමට අවසර ලැබී නැහැ. ඔවුන්ට නින්දගමේ ගොඩ-මඩ ඉඩම් කට්ටි ලබාදී තිබුණේ ඒ රාජකාරිය ඉටු කිරීම සඳහායි.
මේ නිසා දික්ගෙයි නටන කාන්තාවන් දෙස වපර ඇසින් බැලීමේ සිරිතක් පැවතුණෙත් නැහැ. එය ඔවුන්ගේ පාරම්පරික රාජකාරිය වී තිබුණා. නටන කාන්තාවන්ගේ දියණීයන් ඊළඟ පරම්පරාවේ දී නැටුම් නැටීම කළ යුතු වුණා.
මාණික්‍ය මහගේ පවුල්
මාණික්‍ය මහගේ පවුල් පරම්පරා හතරක් අතීතයේ සබරගමුවේ ජීවත් ව සිටි බව සඳහන් වෙනවා. සබරගමුව මාණික්‍ය මහගේ ඉන් එක් පිරිසක්. මේ පවුල්වල ගැහැනුන්ගේ සේවය සැපයිය යුතු වූයේ මහ සමන් දේවාලයට යි. දේවාලයේ පෙරහරටත් පෙරහරෙන් පසු නිලමේවරුන් සන්තෝෂ කිරීමටත් මේ පවුලේ ගැහැනුන් නර්තනය ඉදිරිපත් කළ යුතුව තිබුණා. එගොඩ කුට්ටමේ මාණික්‍ය මහගේලා, හුණුවල මාණික්‍ය මහගේලා සහ හිරිකත්දෙණියේ මාණික්‍ය මහගේලා යනුවෙන් අනෙක් පවුල් හැඳින්වුණා.
මේ පවුල් හතරේ ගැහැනු උදවිය රත්නපුර දිසාවේ නින්දගම් හිමි ප්‍රභූවරුන් සඳහා නර්තනයෙන් තම සේවය සැලසිය යුතු වුණා. ඉතා රූමත් මෙම කතුන් ආකර්ශනීය සිරුරකින් යුතු වූ බව පැවසෙනවා. මේ නිසා වලව්වලට නිලමේවරුන් ඔවුන්ගේ නැටුම් බලා ලොකු සතුටක් ලබන්නට ඇති බව පේනවා. උඩුකය නිරුවත්ව පියයුරු දක්වමින් ඉඟ සුඟ සොලවමින් කරන නර්තනය දෙවියන් උදෙසා කළ පූජාවක් ලෙස සැලකුණා. එය අපට නම් පේන්නේ වැඩවසම් සමාජයේ රදළ බලය ඉස්මතු කිරිමටත්, රදළ නායකයන්ගේ තෘප්තිය සඳහාත් කැබරේ නැටුම් වැනි මේ නැටුම් අංගය වලව්වලට පිවිසි බව යි.
නිලමෙලාට පමණයි
දික්ගෙයි නැටුම් නැරඹීම වලව්වේ වැඩිහිටි නිලමේවරුන්ගේ වරප්‍රසාදයක් ලෙස සැලකුණා. වලව්වේ සේවකයන්ට හෝ නින්දගමේ බාහිර පුද්ගලයන්ට හෝ නටන කාන්තාවන්ගේ ඥාතීන්ටවත් එය නැරඹීමට අවස්ථාවක් නැහැ. වලව්වේ කාන්තා පක්ෂයටත් එම නැටුම පවත්වන ස්ථානයට යාමට බැහැ. නැටුම පවත්වන විට ඒ වලව්වේ නැටුම් කාමරය රහසිගත තැනක් සේ සැලකුණා. සමහර වලව්වල දික්ගෙයි නැටුම් පවත්වන විට ඒ කාමරය සුදු තිරවලින් වට කළ බව පැවසෙනවා. එසේ කළේ ද බාහිර අය ඇතුළුවීම වැළැක්වීම සඳහා යි.
ප්‍රභූවරයකු වලව්වේ සංචාරය පිණිස පැමිණෙන අවස්ථාවේ ඔහු සතුටු කිරීම පිණිස ද දික්ගෙයි නැටුම් නැටීම සිදුවුණු බවත් පැවසෙනවා. වලව්වට එන රාජ්‍ය නිලධාරින් හෝ ප්‍රභූවරයා සතුටු කර තම අවශ්‍යතා ඉටුකර ගැනීමට නිලමේවරයා ඔහුට තම නින්දගමේ යටත්වැසි කාන්තාවන්ගේ නිරුවත් නැටුම් නැරඹීමට ලබාදී තිබෙන බවත් පැවාසෙනවා. බොහෝ විට ඉංග්‍රීසි පාලන කාලයේ දී ඉංග්‍රීසි නිලධාරින් සතුටු කර වරප්‍රසාද ලබාගැනීමට මේ නැටුම උපයෝගී කර ගන්නට ඇති බව නිසැක යි.