තේ, පොල්, රබර් යනු අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග යි. නමුත් කාලයක් ගත වන විට ලෝක වෙළඳපොලේ අපගේ ප්‍රධාන අපනයනයන් වලට ලැබෙන මිල උච්චාවචනය විය. මේ නිසා විකල්ප අපනයන කෙරේ ගොවීන් යොමුවිය. මෙලෙස ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු අපනයන ලෙස හැඳින්වේ. මේ ලිපිය තුළින් මා බලාපොරොත්තු වන්නේ ලාංකික ගොවින් වගා කරන සුළු අපනයන බෝග පිළිබඳ සාකච්ඡා කිරීමට යි.
ශ්‍රී ලංකාවේ සුළු අපනයන බෝග වලට විදේශ වෙලඳපොලේ අධික ඉල්ලුමක් ඇති වීමට හේතු
ලංකාවේ සුළු අපනයන බෝග වන්නේ බොහෝ විට කුළුබඩු යි. මේවා ලෝකයේ ඉස්තරම්ම කුළුබඩු ලෙස නමක් දිනාගෙන ඇත. මීට බොහෝ විට හේතු වන්නේ ඒවා වැවීමට යෝග්‍ය පසක් හා දේශගුණයක් ලංකාවේ තිබීම යි. ලෝකයේ සරුම ගම්මිරිස් හා කුරුඳු ඇත්තේ ලංකාවේ යි. එම නිසා කුළුබඩු නිපදවන රටවල් අතරින් ශ්‍රී ලාංකික අනන්‍යතාව විශේෂ වේ. වර්ථමානයේ කුළුබඩු වලින් ඔබ්බට ගොස් කජු, බුලත්, බිම්මල් වැනි දෑ අපනයනයට ද ලාංකිකයන් පෙළඹී ඇත.
සුළු අපනයන බෝග වර්ග
සුළු අපනයන බෝග කොටස් දෙකකට වර්ග කළ හැක.
- සම්ප්‍රදායික අපනයන බෝග
- සම්ප්‍රදායික නොවන අපනයන බෝග
කෝපි, කොකෝවා, පැඟිරි, කරදමුංගු, සාදික්කා, කරාබුනැටි, වසාවාසි ආදිය සම්ප්‍රදායික අපනයන බෝග යටතට වැටේ. බුලත්, කජු, ඉඟුරු, පළතුරු, වැල් දොඩම්, ගර්කින්, බිම්මල්, එඬරු, පැණි කොමඩු, මල් පැල, මාළුමිරිස්, එළවළු ආදිය සම්ප්‍රදායික නොවන අපනයන බෝග යි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය
අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සදහා ස්ථාපිත කර ඇති ප්‍රධානම රාජ්‍ය ආයතනය වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි. මෙය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතී. මෙහි කාර්යයන් ලෙස අපනයන කෘෂි බෝග සම්බන්ධව
- පර්යේෂණ කිරීම
- වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය දැනුම හා සම්පත් ලබා දීම
- උසස් තත්ත්වයේ අපනයන කෘෂි බෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
- ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පුහුණු කිරීම
- පොහොර භාවිතයට අදාළ දැනුවත් කිරීම් සිදු කිරීම
- අපනයනට සම්බන්ධ අලුත් කෘෂි බෝග සම්බන්ධයෙන් සොයා බැලීම සිදු කෙරෙ යි.
මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ අපනයන කෘෂි බෝග නගා සිටුවීමයි. සුළු අපනයන බෝග අස්වැන්න වර්ධනය තුලින් අපනයන ප්‍රමාණය වැඩි කිරීමට මෙම ආයතනය කැප වේ.
ලංකාවේ අපනයන බෝග කීපයක්
කරාබු නැටි
කරාබු නැටි වගාව 16 වන ශතවර්ෂයේ දී පමණ ලන්දේසින් විසින් හඳුන්වා දෙනු ලැබී ය. කරාබු නැටිවල අස්වැන්න ලෙස නෙළා ගනු ලබන්නේ එහි පොහොට්ටු ය. තද දුඹුරු පැහැයක් වන තෙක් ඒවා වියළා ගත යුතුය. ආහාර පිසීමේ දී සුවඳ කාරක කුළු බඩුවක් ලෙස මෙය භාවිත වේ. ලංකාවේ නිෂ්පාදිත කරාබු නැටි වල ප්‍රධාන ගැනුම්කරුවන් ලෙස එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, හා බටහිර යුරෝපා රටවල් දැක්විය හැක. මෙම ශාකයේ ප්‍රයෝජන ලෙස,
- ඖෂධ නිපදවීමට
- ආහාර සුවඳකාරකයක් ලෙස
- ආහාර රසකාරකයක් ලෙස
- සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගැනේ.
බුලත්
බුලත් ලංකාවේ සම්ප්‍රදායන් සමග අතීතයේ සිට බැඳී පැවතුනි. බුලත් වල ඇති ප්‍රයෝජනයන් ලෙස,
- බුලත් විට සඳහා
- දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා
- ආගමික කටයුතු සඳහා
- වර්ණ නිෂ්පාදනය දැක්විය හැක.
මෙරට බුලත් වගාව ක්‍රි.පු 340 පමණ ආරම්භ වී ඇත. බුලත් වලට හිතකර දේශගුණයක් ලංකාවේ ඇති නිසා ගුණාත්මක බවින් ඉහළ බුලත් අපනයනය කිරීමට හැකි වී ඇත.
කිතුල්
මෙය ආසියාතික රටවල මීටර් 20ක් පමණ උසට වැඩෙන ශාකය කි. වර්තමානයේ මෙය හොඳ විදේශ විනිමයක් ඉපයිය හැකි බෝගයක් ලෙස වැදගත් වේ. කිතුල් ගැනුම්කාර රටවල් වන්නේ එක්සත් රාජධානිය, බෙල්ජියම, ජර්මනිය, ඕස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය යි. කිතුල් ශාකයේ ප්‍රොයෝජන ලෙස,
- කිතුල් පැණි නිපදවීම
- කිතුල් හකුරු නිපදවීම
- කිතුල් රා නිපදවීම
- කිතුල් පිටි නිපදවීම
- කිතුල් කෙදි නිපදවීම දැක්විය හැක.
හීන් පැඟිරි
මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් පමණ තෙත් උස්බිම් වල වැවේ. වර්ෂ 1900 පමණ වන තෙක් ලෝකයේ පැඟිරි වෙළදපළ සම්පුර්ණයෙන් ම රැඳී තිබුනේ ශ්‍රී ලංකාව මත යි. නමුත් වර්තමානයේ එම ඒකාධිකාරිය බිඳ වැටී ඇත. මෙහි ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ජපානය, බෙල්ජියම, දකුණු අප්‍රිකාව හා සිංගප්පූරුව යි. පැඟිරි ශාකයේ ප්‍රයෝජන ලෙස,
- කෘමිනාශක නිෂ්පාදනය
- සුවඳ විලවුන් නිෂ්පාදනය
- තීන්ත වර්ග නිෂ්පාදනය
- සබන් වර්ග නිෂ්පාදනය දැක්විය හැක.
පුවක්
ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව දක්නට ලැබේ. වර්තමානයේ පුවක් අපනයනය අඩපණ වෙමින් ඇති නිසා මෙය දිරි ගැන්වීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.
බෝග අපනයනය ආශ්‍රිත ප්‍රවණතා
වර්තමානයේ බොහෝ දෙනා සුළු අපනයන බෝග වගාව කෙරෙහි යොමු වී ඇත්තේ එය සතුටුදායක ආදායම් ඉපයිය හැකි මාර්ගයක් නිසාවෙනි. සුළු අපනයන බෝග කර්මාන්තය ආශ්‍රිතව පහත ප්‍රවනතා දැකිය හැක.
- සුළු අපනයන බෝග වගාව ආරම්භ කල කාලයට වඩා එහි සමස්ථ ආදායමේ වැඩි වීමක් දක්නට ලැබේ.
- රාජ්‍ය මැදිහත් වීමෙන් සුළු අපනයන බෝග සඳහා ණය ආධාර ලබා දීම
- විසිතුරු මල් හා පැළ සඳහා ඇති දේශීය හා විදේශීය ඉල්ලුම වැඩි වීම නිසා එම අංශයේ දියුණුවක් ඇති වීම.
- සප්තා වැනි ගිවිසුම් හරහා සුළු අපනයන බෝග කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම.
- පොල් වැනි ප්‍රධාන බෝග යටතේ අතුරු වගාවක් ලෙස අන්නාසි වැනි අපනයනය කරන පළතුරු හා අනෙකුත් දෑ වගාව.
කවරයේ පින්තුරය – healthline.com
මූලාශ්‍ර
සිළුමිණ පුවත්පත, වර්ෂ 2017 මාර්තු මස 11 වන දා