ප්‍රධාන අපේක්ෂකයින්ගේ ස්ත්‍රීන් වෙනුවෙන් වන ප්‍රතිපත්ති මේවායි

2019 ජනාධිපතිවරණය ශ්‍රී ලාංකීය කාන්තාවට සුවිශේෂී එකකි. ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති හා ප්‍රචාරණ ව්‍යාපාරයන් තුළ ස්ත්‍රීන්ගේ ගැටළු සම්බන්ධයෙන් පෙර කිසි කලෙක නොවූ සංවේදීතාවයක් හා අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්නට ඇත. ප්‍රධාන පක්ෂයන් 3හිම පැවැත්වූ කාන්තා සමුළු ද, මේ සමුළුවල දී එළිදැක්වුණු ප්‍රඥප්තීන් ද මෙවර ප්‍රචාරණ ව්‍යාපාරයන් තුළ සුවිශේෂී අංගයක් ලෙස දක්නට ලැබේ.  

ශ්‍රී ලාංකීය ස්ත්‍රියට ලැබී ඇති ස්ථානය කිසිසේත්ම උදම් ඇණිය හැක්කක් නොවන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. 

ලෝක ආර්ථීක සංසදය විසින් ලෝකයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී පරතරය ගැන 2018 දී පල කර ඇති වාර්තාවකට අනුව රටවල් 149කින් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 100 වැනි ඉතා පහළ ස්ථානයකි. තව ද OECD (ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය) විසින් පල කර ඇති SIGI 2019 ලෝක වාර්තාවට අනුව ස්ත්‍රීන්ට වෙනස්කොට සැලකීම යන කාරණය සඳහා ශ්‍රී ලංකාවට ලැබී තිබෙන්නේ 40% වැනි වැඩි අගයකි. 2017 දී UNFPA විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ශ්‍රී ලංකා කාන්තාවෝ 90%ක් පොදු ප්‍රවාහනවල දී ලිංගික හිංසනයට ලක් වී ඇත. ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 පළමු කාර්තුවේ වාර්තාවකට අනුව ආර්ථික වශයෙන් සක්‍රිය විය හැකි වයසේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ රැකියාවල නියුක්ත ප්‍රමාණය 34.9%ක් පමණි.

දේශපාලන තලයේ සිට පවුල් සංස්ථාව දක්වාම පුරුෂාධිපත්‍යය රජයන රටක ජාතික මට්ටමෙන් වැදගත් කතාබහකට ‘ඡන්ද පොරොන්දු’ සුවිශේෂී ප්‍රවේශයක් ලබාගැනීමට හැකිවීම ශ්‍රී ලාංකික කාන්තාවට කිසියම් තරමක හෝ ජයග්‍රහණයකි. අද අප රටේ අභිවෘද්ධියට හේතු විය හැකි ලොකු පොඩි හැම ජයග්‍රහණක්ම මහා ඉහළින් සැමරිය යුතුව ඇත්තේ බලාපොරොත්තු අත්හැර ගැනීම විකල්පයක් නොවන නිසා ය. 

Source: Lakshika Anne Pinto/ Facebook

තව කාරණයක් ඇත. දශක 7ක් තිස්සේ පුරුෂාධිපති දේශපාලනය අපේ රට ගෙනවිත් ඇත්තේ ලෝකයට ණය, දුගීබව රජයන, දේශීය අනන්‍යතාවයේ කොඳු නාරටිය කැඩුණු, ජාතින් අතර සමගිය හා විශ්වාසය බිඳ හෙලුනු ඉතාමත් අසරණ තැනකට ය. මෙවැනි පසුබිමක දී මෙතුවක් කල් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් නොවේයැ යි සිතා බැහැරකොට තිබූ කාන්තා පීඩනය හා ආන්තිකකරණය මෙන්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ අසාමානාත්මතාව ගැන සංවාදයක් ඇති කරගැනීමට මේ හොඳ අවස්ථාවකි.

කාන්තා ප්‍රශ්නවලට වඩා වැඩි ප්‍රශ්න අපේ රටෙහි ඇති බවට සමහරු කිව හැක. රටක ගැටළු අතර ඇති අන්තර් සබඳතා හඳුනාගැනීම එම ගැටළු ලිහා ගැනීමට රුකුලකි. ජනගහණයෙන් 52%ක් පොදු සමාජ අර්බුදවලට අමතරව ඔවුන් කාන්තාවන් නිසාම වූ ගැටළුවලට ද මුහුණ දෙයි. එනම් රටවැසියන්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් මත, පොදු ජාතික ප්‍රශ්නවලට අමතරව තවත් සුවිශේෂී වූ ප්‍රශ්න ගෝනියක් පැටවී ඇත. මේවා අපේ සංස්කෘතියට නොගැලපෙන බටහිර ස්ත්‍රීවාදී ආකල්පයන් ලෙස යමෙක් හංවඩු ගසන්නේ නම් ඒ මෙම ප්‍රපංචය ලොවෙහි එක් කලාපයකට පමණක් සීමා නොවන ගෝලීය ගැටළුවක් බව තේරුම් නොගෙන ඇති නිසා ය. 

කාන්තාවන් කාන්තාවන් වූ නිසාම මුහුණ පාන ගැටළු ගැන මේ අපේක්ෂකයින් තිදෙනාම (සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති සකසන අයවලුන්) මෙවර අඩු වැඩි වශයෙන්  අවධානය යොමු කර ඇති බව පෙනේ. ඒ අතරින් පොදු වශයෙන් අපේක්ෂකයින් තිදෙනාම ශ්‍රම බලකායට ස්ත්‍රීන් ඇතුළත් කර ගැනීම වැඩි කිරීම සඳහා අවැසි පියවර, අවිධිමත් අංශයේ රැකියා කරන ස්ත්‍රීන්ට අනුග්‍රහය, විදෙස්ගත වන ශ්‍රමිකයන් මෙරට දී පුහුණුව, කාන්තා හිංසනය පිටුදැකීම හා නීති ක්‍රියාත්මක කිරිමේ කාර්යක්ෂතාවය දියුණු කිරීම ගැන ප්‍රතිපත්ති ඇතුළත් කර ඇත. ලංකාවේ 52%ක් වූ කාන්තා ඡන්ද දිනාගන්නට වෙර දරන මොවුන් කාන්තා ගැටළු සම්බන්ධයෙන් කරන ප්‍රකාශනවලට අනුව එම එක් එක් අපේක්ෂකයාගේ ලකුණු පොතට ලකුණු එකතු කිරීම හෝ අඩු කිරීම අපහසු කාර්යයක් වන්නේ අපට පොරොන්දු අකුරට ඉටු කරනා දේශපාලන සම්ප්‍රදායක් නොතිබීම ය. නමුත් එම ප්‍රතිපත්ති රටේ ගැටළු හා සංවර්ධනය සම්බන්ධයෙන් ඔවුන් දරනා අනෙකුත් ප්‍රතිපත්ති සමග එකට තබා බැලීමේ දී ඔවුන් රට කරවන්නට සූදානම් ආකල්පමය ප්‍රවේශය ගැන යම් අදහසක් ගත හැක.

පහත දක්වා ඇත්තේ අපේ රටේ කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සම්බන්ධයෙන් එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂ තුනෙහි අපේක්ෂකයින් පල කර ඇති ප්‍රතිපත්ති ගැන සංසන්දනාත්මක හා අපක්ෂපාති විශ්ලේෂණයකි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 

“දරුවෙක් ඵලදායී පුරවැසියෙක් කිරීමේ අත්පොත කියවන්නේ මව විසිනි. පවුලක සතුට රඳා පවතින්නේ ගෘහණිය මත ය. සමාජයක් විනයගරුක වන්නේ නිවසේ සිටම දරුවන්ට නිවැරදි මඟපෙන්වීම දුන් විට යි. මෙනිසා අපේ දීර්ඝකාලීන අරමුණු ඉටු කරගැනීමට කාන්තාවන්ගේ දායකත්වය ඉතාමත්ම වැදගත්.” 

– ගෝඨාභය රාජපක්ෂ –
31/08/2018, කාන්තා සමුළුව

සියලු ජනාධිපතිධුර අපේක්ෂයකින් අතුරින් පළමුවම කාන්තා සමුළුවක අදහස් දැක්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒ අගෝස්තු 31 වන දින කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම මහා සම්මේලනයේ දී ය. 

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාන්තාවන් ගැන අවධානය යොමුවන්නේ ‘සමාජ ආර්ථිකයට දායක වන කාන්තා පරපුරක්’ යන මාතෘකාව යටතේ යි. මෙය වැටෙන්නේ ඔහුගේ දස වැදෑරුම් ප්‍රතිපත්තිවල  ‘ඵලදායී පුරවැසියෙක්- සශ්‍රීක මානව සම්පත්’ යටතට යි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වන්නේ ශ්‍රී ලාංකීය කාන්තාවගේ ශ්‍රම බලකායට/සමාජ ආර්ථිකයට ඇති දායකත්වය ඉහළ නැංවීම හා කාන්තා හිංසන පිටුදැකීම යන කරුණු සම්බන්ධයෙනි. ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවුලක සතුට හා සමාජයේ විනයගරුක බව වෙනුවෙන් මවගේ හා ගෘහණියගේ ඇති වටිනාකම විශේෂයෙන් ඉස්මතු කර දක්වයි. නමුදු මෑත කාලයේ දී වැඩි වශයෙන් කතා බහට ලක්වුණු කාන්තාවන්ගේ දේශපාලනික නියෝජනය ගැන හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී එකාකෘති හා අසමානාත්මතා ගැන සඳහන් නොවෙන බව පෙනී යයි.

Source: facebook.com/gotabayar

– රැකියා කරන මවුවරුන්ගේ දරුවන් රැක බලාගැනීමේ මධ්‍යස්ථාන/පහසුකම් හා මව්වරුන්ට තාවකාලිකව රැකියාවෙන් ඉවත් වී යලි රැකියාවට එකතු වීමේ ක්‍රමවේදයක්

– හෙද සේවය සඳහා කාන්තාවන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක්

– ගෘහස්ථ ව්‍යවසායන් සඳහා අඩු පොලී ණය පහසුකම්, පුහුණුව, හා උපදෙස්

– කාන්තා හිංසන, ළමා අපචාර, පොදු ප්‍රවාහන සේවාවල සිදුවන කරදර පාලනය කිරීමට පියවර

– කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් තිබෙන ලෙසට නොසලකා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට විනය ක්‍රියා මාර්ග ගැනීමට පොලිස් කොමිසම තුළ වෙනම ඒකකයක්. 

– කාන්තාවන්ට ජංගම දුරකථනය මඟින් තමන්ට සිදුවන හිංසනයන් පොලිස්ථානයට දැනුම් දිය හැකි ක්‍රමවේදයක්. 

-කාන්තා ගැටළු සහ පීඩනයන් සඳහා ජංගම දුරකථනය මඟින් උපදේශන සේවයක්. 

– ‘විදේශ රැකියා ශ්‍රම බලකාය’ ප්‍රතිපත්ති යටතේ මැදපෙරදිග කලාපයට පුහුණුව ලද කාන්තා ශ්‍රමිකයින් යැවීම, ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාවන් සඳහා එම රටවල තානාපති කාර්යාලවලට වැඩි වගකීමක් පැවරීම, අනතුරුවලදී වන්දි හා ප්‍රතිලාභ.

– ‘ගම සමග පිළිසඳර’ ප්‍රතිපත්ති යටතේ ‘ගැමි ලියට රටේ සවිය’ ලෙස අවදානය යොමු කොට ඇත. ග්‍රාමීය ව්‍යවසායිකාවන් සඳහා රාජ්‍ය අනුග්‍රහය.

– ‘වතු ආශ්‍රිත ප්‍රජාව’ ප්‍රතිපත්ති යටතේ ගර්භනී මව්වරුන් හා ළදරුවන් සදහා ‘නව පෝෂණ ආධාර වැඩසටහනක්’

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස 

ඔක්තෝබර් 21 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සජිත් ප්‍රේමදාස විසින් අත්සන් තැබූ  ‘දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම’ යනුවෙන් නම් කළ සවිස්තරාත්මක ප්‍රඥප්තිය, සමාජ ජාලාවල පලකරන පෝස්ටු, දේශපාලන වේදිකාවේ කරන ප්‍රකාශයන්, ‘පනස් දෙකේ ප්‍රතිශතය’ යනුවෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාන්තාවන් සදහා වෙන් කොට ඇති කොටස යන සියල්ල සලකා බැලූ විට කාන්තා ඡන්දවල වටිනාකම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මූලෝපායන් සකස් කරද්දී හඳුනාගෙන ඇති බව පෙනෙන්නට තිබේ. අත්සන් තැබූ ගිවිසුමක් ලෙස  එලි දැක්වූ ‘දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම’ ප්‍රඥප්තිය ක්‍රියාවට නංවන බව සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් ය.මේ සියල්ල හුදු ඡන්ද පොරොන්දු පමණක් බවට සීමා වීමට ඉඩකඩ ඇති වුව ද එම කරුණු සැකෙවින් මෙසේ ය. 

– කාන්තාවන් සම්බන්ධව නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ස්වාධීන ජාතික කොමිෂන් සභාවක්, හිංසන නඩු කඩිනම් කිරීමට විශේෂ අධිකරණ,  නීතිය තුළ වෙනස්කම්වලට ලක්වුණු කාන්තාවට වන්දි, හිංසන නීති ගැන නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන්, රැකියාවල දී සිදුවන ලිංගික හිංසනවලට එරෙහි ප්‍රතිපත්ති හා වන්දි, 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනතට සංශෝධන, සෑම පොලිස්ථානායකම පැය 24 පුරාම කාන්තා හා ළමා අංශයක්, අල්ලස් පනතෙහි නිර්වචනය තුළට ලිංගික අල්ලස්.

– රටපුරා කාන්තා රැකවරණ මධ්‍යස්ථාන වැඩි කිරීම, කාන්තාවනට  සුරක්ෂිතව යා හැකි පොදු ප්‍රවාහනයක් , කාන්තා හා දරුවන් ඉලක්ක කොට සිදුවන සයිබර් අපරාධවලට එරෙහි නීති බලාත්මක කිරීම, කාන්තා ගැටළුවලට උපකාරක මධ්‍යස්ථාන, විදේශගත ශ්‍රමික කාන්තාවන් සඳහා විශේෂ සේවාවක්.

– ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අසමානතා හා භූමිකාවලට පිළියම්, රැකියා අනුව ගොඩනගන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළබඳ එකාකෘති හා වැටුප් පරතරය මුලිනුපුටා දැමීම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යන සංකල්පය පාසල් විෂයමාලා තුළට. 

– ස්වාධීන කොමිෂන් සභා හා විනිශ්චය සභාවල කාන්තාවන්ට සම නියෝජනය, දේශපාලන/පරිපාලන මට්ටම්වල කාන්තා නියෝජනය වැඩි කිරීමට හැකි පරිසරයක්, පක්ෂවල තීරණ ගැනීමේ ව්‍යූහ තුළ අවම වශයෙන් 25% අනිවාර්ය කාන්තා නියෝජනයක්. 

– ස්වයං රැකියාවල/ගෘහ සේවයේ/අවිධිමත් අංශයේ කාන්තාවන්ට  රක්ෂණ ක්‍රමයක්, කාන්තා ශ්‍රමිකයන් සුරක්ෂිත කරන ජාත්‍යන්තර සංවිධාන සම්මුතිවලට එකඟව කටයුතු කිරීම, හා ගෘහ සේවිකාවන්ගේ සුරක්ෂිත බව සදහා රටවල් සමග ගිවිසුම් 

– දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වැටුප් සහිත මාතෘ නිවාඩු දීර්ඝ කිරීම, මාතෘ නිවාඩුවෙන් පසු යලි ශ්‍රම බලකායට පිවිසීමට දිරිදීමනා 

– ගෘහස්ථ ව්‍යවසායන් සඳහා පුහුණුව හා මූල්‍ය සේවා, තාක්ෂණික හා කුසලතා සංවර්ධනය සදහා දිරිදීමනා

– වැටුප් නොලබන රැක බලාගැනීමේ සේවා සපයන කාන්තාවන් ජාතික ශ්‍රම බලකා සමීක්ෂණයට 

– ගර්භනී හා කිරිදෙන මවුවරුන්ට හා අවුරුදු 5ට අඩු දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීම සදහා වැඩසටහන් 

– වැවිලි අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට හා රජයේ පාසල්වල දැරියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් 

– වයස්ගත කාන්තාවන්ගේ ගැටළුවලට විසදුම්, යුද්ධයෙන් වැන්දඹුභාවයට පතුවුනු කාන්තාවන් හා කාන්තා ගෘහ මූලික පවුල් සඳහා විශේෂ වැඩසටහන් 

Source: DailyNews.lk

තවදුරටත් සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වෛවාහික දූෂණය අපරාධ වරදක් බවට පත් කිරීම, ලිංගික හිරිහැර පිලිබඳ නීතිමය අර්ථ දැක්වීම් පැහැදිලි කිරීම, 1938 දුරකථන උපකාරක මාර්ගය ප්‍රසිද්ධ කිරීම, ජනමාධ්‍ය තුළ කාන්තාවන් ධනාත්මක ලෙස නිරූපණය කිරීමට ප්‍රතිපත්ති ගෙන ඒම, ජාතික ලයිස්තුවේ ද පළාත් සභාවල හා පාර්ලිමේන්තුවේ  25% කාන්තා කෝටාවක් ස්ථාපිත කිරීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම යන ප්‍රතිඥා සඳහන් කොට ඇත. තවද පසුගිය දින කිහිපය තුළ මහත් සේ කතා බහට ලක්වුණු නොමිලේ සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට ලබා දීම ගැන දුන් පොරොන්දුව ද මතක් කළ යුතුව ඇත. 

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක 

“අපේ රටේ කාන්තාව හික්මවන ලද කාන්තාවක්. අනෙකාගේ අණසකට යටත් කරන ලද කාන්තාවක්. වේදනාව උරුමය ලෙස කල්පනා කරන කාන්තා සමාජයක්. මම හිතනවා ඒ නිසා අපේ රටේ කාන්තාව අවදි කිරීම සඳහා වූ ක්ෂේත්‍ර ගණනාවක් අප වෙත පැවරී තිබෙනවා” 

– අනුර කුමාර දිසානායක –

20/10/2019

ඔක්තෝම්බර් 20 වන දින කොළඹ මහජන පුස්තකාලයේ දී අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් ජාතික ජන බලවේගයට අනුබද්ධ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් සංවිධානය කරන ලද කාන්තා සමුළුවේ දී  ‘ගොඩනැගෙන ඇගේ බලය අපේක්ෂාව ක‍රා’ යනුවෙන් නම් කොට ඇති ස්ත්‍රී ප්‍රඥප්තිය එලි දැක්වුනි. AKDගේ ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කාන්තාවන් ගැන කතා කෙරෙන්නේ ‘සුරක්ෂිත දේශයක්’ යන කොටසේ ‘ගාමක බලවේගයක් ලෙස ස්ත්‍රිය යන’ මාතෘකාව යටතේ ය. මෙහිදී නම් කර ඇති අරමුණු  ‘ගොඩනැගෙන ඇගේ බලය අපේක්ෂාව ක‍රා’ ස්ත්‍රී ප්‍රඥප්තියෙහි සදහන් කොට ඇති ඉල්ලීම් අළලා සකස් කොට ඇත.

– අවදානම් සහගත ආර්ථික කණ්ඩායම් හා අවිධිමත් ක්ෂේත්‍රය මත පදනම් වූ ආර්ථිකයට විසඳුම් 

– ශ්‍රම බලකායට ස්ත්‍රීන්ගේ දායකත්වය ලබාගැනීමට පවතින බාධා ඉවත් කිරීම හා ප්‍රජනන කාර්යයන් හා සම්බන්ධ භූමිකාවලට පහසුකම්

– විදේශගත වන ශ්‍රමිකයන්ට මෙරට දීම පුහුණුව හා ඔවුන්ගේ පවුල්වලට රැකවරණය හා පහසුකම් 

– සිය ශරීරය සහ දරුවන් වැදීම පිලිබඳ අයිතිය ස්ත්‍රිය සතු අයිතියක් ලෙස පිළිගෙන ඒ අනුව නීති සංශෝදනය 

– විවාහ සහ දික්කසාද නීති සංශෝදනය 

– ළමයෙකු යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙක් ලෙස සලකන්නට යෙදෙන නීති 

– නීති පද්ධතිය යොදාගෙන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට විරුද්ධ වීම 

– දෑවැද්ද, කාන්තා හා පිරිමි ලිංගේන්ද්‍ර අංග ඡේදනය නිසා වන හිංසාවන් හා පීඩනයන් වැලකීමට නීති

– ලිංගික අපයෝජනයන් සම්බන්ධව කාර්යක්ෂම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම 

– ලිංගික දිශානතිය හා සමාජභාවී අනන්‍යතාවය අපරාධාකරණයට ලක් කරන නීති ප්‍රතිසංශෝධනය

– අයාල ආඥා පනත අහෝසි කිරීම 

– ස්ත්‍රී ගෘහමූලිකයන්ගේ ඉඩම් අයතීන් තහවුරු කරන්නට නීති 

– ස්ත්‍රීන්ගේ දේශපාලනික නියෝජනය හා භූමිකාව මූලප්‍රවාහයේ සාකච්ඡාවට ලක්කිරීමට සහයෝගය

– ස්ත්‍රීන් දේශපාලන පක්ෂ තුළ තීරණ ගැනීම සඳහා අවතීර්ණ කරගැනීම සඳහා ක්‍රමවේද 

– ප්‍රචණ්ඩත්වයෙන්  හා හිංසනයෙන් යුත් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම  

– සියලු මැතිවරණවල දී කාන්තා අපේක්ෂකයන්ට 50%ක කෝටාවක් 

– අධ්‍යාපන, ආගම්, ජනමාධ්‍ය විසින්  පවත්වාගෙන යනු ලබන ස්ත්‍රීපුරුෂභාවය පිලිබඳ එකාකෘතීන්ගේ අගතිගාමී ස්වරූපයන්ට එරෙහි විකල්ප මතවාද ගොඩ නැංවීම සහ ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් කරපින්නාගෙන යනු ලබන අගතිගාමී ගතානුගතික විශ්වාස, ආකල්ප සහ මිත්‍යා වැලක්වීමට අවශ්‍ය මැදිහත් වීම

– ජාතිවාදයන් පරාජය කිරීමට ස්ත්‍රීන් බලගැන්වීම    

අනුර කුමාර දිසානයකගේ ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනෙක් අපේක්ෂකයින් මුළුමනින්ම මඟ හැර ඇති කරුණු කීපයක් සඳහන් වේ. කාන්තාවන්ට සිය ශරීරය සහ දරුවන් වැදීම පිලිබඳ අයිතිය තහවුරු කරන ප්‍රතිපත්තියක් ඇති එකම අපේක්ෂකයා මොහු ය. මීට අමතරව ගතානුගතික මුස්ලිම් කණ්ඩායම්වලට එරෙහිව මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින බාල වයස්කාර දැරියන්ගේ විවාහයන් වැලැක්වීම සඳහා විවාහ හා දික්කසාද නීති සංශෝධනය, දෑවැද්ද හා ලිංගේන්ද්‍ර අංග ඡේදනය නිසා වන හිංසාවන් හා පීඩනයන් වැලක්වීමට නීති, අයාල ආඥා පනත අහෝසි කිරීම, ලිංගික දිශානතිය හා සමාජභාවී අනන්‍යතාවය ගැන ප්‍රතිපත්ති තුළට ඇතුළත් කර ඇති එකම අපේක්ෂකයා ද මොහු ය.   

Source: facebook.com/anurakumara

සිත් ඇදගන්නා පොරොන්දු ප්‍රකාශ ඔබ වෙතට ගෙන ඒම මෙම දේශපාලන පක්ෂවලට අපහසු කාර්යයක් නොවේ. මේවා දෙස නුවණැසින් බැලීම ඡන්දදායක ඔබට බාර යි. මේ අපේක්ෂකයින් තිදෙනාගේම කාන්තාවන් සම්බන්ධව ඇති ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් කියවා දැන ගැනීමට ඔවුන්ගේ වෙබ් අඩවි හරහා සිදුකළ හැකිය. 

Cover image: newsfirst.lk

Related Articles

Exit mobile version