අතීත ලංකාවේ උපැස් නිර්මාණය කළ දිය තරිප්පු තාක්ෂණය

වර්තමානයේදි බොහෝ දෙනෙක් ඇසේ පවතින රෝගාබාධ වලට වගේ ම අලංකාරය සඳහාත් උපැස් භාවිතා කරන්න යොමු වෙලා තියෙනවා. කුඩා දරුවාගේ පටන් හැම වයස් මට්ටමකම පුද්ගලයින් ඇස් කණ්නාඩි පළඳිනවා අපට දකින්න ලැබෙනවා.

අවිදුර දෘෂ්ඨිකත්වය, දුර දෘෂ්ඨිකත්වය, ඇසේ සුද ඇති වීම, වපරය වැනි විවිධ කාරණා මීට බලපාන අතර අද වන විට වෙළඳපලේ ඇති උපැස් නිර්මාණය වෙන්න කලින් ඈත අතීතයේ ලංකාවේත් මේ තාක්ෂණය පැවතුණු බවට සාධක තියෙනවා.  මේ සඳහා දිය තරිප්පු නම් පාෂාණය තමයි භාවිතා කර ඇත්තේ.

දිය තරිප්පු තාක්ෂණය සහ නිර්මාණ

(pinterest.com)

පළිඟු හෙවත් දිය තරිප්පු අර්ධ මාණික්‍යමය වටිනාකමකින් යුත් පාෂාණ වර්ගයක්. සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම භාවිතා කරමින් මෙම පාෂාණ වර්ගයෙන් කරනු ලබන නිර්මාණ දිය තරිප්පු නිර්මාණ ලෙස හැඳින්වෙනවා. මෙම නිර්මාණ අතර ප්‍රධාන වෙන්නේ ඇස් කණ්ණාඩි යි. ඊට අමතරව චූඩා මාණික්‍ය, වළලු, කුඩා ප්‍රමාණයේ චෛත්‍ය, විසිතුරු ගල් සහ මාල පෙති ද නිර්මාණය කරනවා. ලොව පළමු කණ්ණාඩිය සහ චූඩා මාණික්‍ය නිර්මාණය කරලා තියෙන්නෙත් දිය තරිප්පු පරම්පරාව යි. චූඩා මාණික්‍ය නිර්මාණයට යොදාගන්නා වෙන ම පළිඟු වර්ග තියෙනවා. පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යය වලට පැළඳුවාම පන්සලටත්, ගමටත් අපලයි කියලා මතයක්‌ ගැමි ජනයා අතර පවතිනවා.

දිය තරිප්පු පාෂාණය

දිය තරිප්පු පාෂාණය. (www.youtube.com)

උපැස් යුවළේ කාචය හෙවත් “ඇහැ” නිර්මාණය කිරීමට දිය තරිප්පු සහ බිම් වීදුරු යන අමුද්‍රව්‍ය භාවිතා කරනවා. දිය තරිප්පු (බෙරිල්/පළිඟු) අවර්ණ සහ කළු පැහැයෙන් ද (කහට පළිඟු) බිම් වීදුරු අවර්ණ සහ කොළ පැහැයෙන් ද දක්නට ලැබෙනවා. පාෂාණ ඔප දැමීම සඳහා කට්ට නම් ගල් විශේෂය භාවිතා කරන අතර මෙම පාෂාණ රත්නපුර සහ ඇලහැර යන ප්‍රදේශ වලින් සපයා ගනු ලබනවා. දිය තරිප්පු පාෂාණය වීදුරු මෙන් පාරදෘෂ්‍ය වන අතර හිරු එළිය ඒ හරහා හොඳින් ගමන් කරනවා. එනම්, මෙම පාෂාණයේ ආලෝක වර්තන හැකියාව ඉහළයි. අඟල් 6ක පමණ දිය තරිප්පු පාෂාණ කැබැල්ලක මිල රුපියල් 25,000.00 ක් පමණ වෙනවා.

අතීත කතාව

දිය තරිප්පු තාක්ෂණයේ සුළමුල 13 වැනි ශතවර්ෂයේ ගම්පොළ යුගය දක්වා දිව යනවා. එකල ලංකාවේ රාජ්‍ය පාලනය කළේ IV වන බුවනෙකබාහු රජතුමා යි. බුවනෙකබාහු රජුගේ අගමැති, සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙන් ස්‌ථාපතිරයාර් කියලා නිර්මාණ ශිල්පියෙක්‌ තමයි ලංකාතිලක විහාරය ගොඩ නගලා තියෙන්නේ. විහාරයේ වැඩ කටයුතු නිම වීමෙන් පස්සේ එය නරඹන්නට පැමිණි රජතුමාට විහාරයේ තිබූ සියුම් කැටයම් නරඹන්නට අපහසු වෙලා තිබෙනවා. රජු විහාරයේ කැටයම් හොඳින් බලන්නට නොහැකි වීම ගැන කණගාටුවෙන් පසුවන බව දැනගත්  ස්‌ථාපතිරයාර් මේ ගැටළුවට විසඳුමක් සොයන්න ඉදිරිපත් වුණා.

දින තුනකට පස්සෙ මේ නිර්මාණ ශිල්පියා රජතුමාට ඇස් කණ්නාඩි දෙකක් ගෙනැත් දෙනවා. හරක්‌ අං වලින් හදපු රාමුවකට දිය තරිප්පු නම් පාෂාණයෙන් නිම කළ වීදුරු යුගලක් සවිකර නිර්මාණය කළ මේ උපකරණය නිසා රජතුමාට පැහැදිලි පෙනීමක්‌ ලැබුණා. කණ්නාඩියේ රාමුව මැද්දෙන් ඇරඹුණු නූලකින් එය කොණ්‌ඩයට ගැටගසා ගත හැකිවන අයුරින් නිර්මාණය වී තිබුණා.  අවසානයේදි මේ නිර්මාණ ශිල්පියාට ගම්වරයක් තෑගි වශයෙන් ලැබිලා තියෙනවා. ලංකා ඉතිහාසයේ මුල් ම කන්නාඩි නිශ්පාදනය විදියට සඳහන් වෙන්නේ මේ ගැන යි. දිය තරිප්පු උපැස් නිර්මාණය කරන ශිල්පීන් අදටත් අපේ රටේ ඉන්නවා.

වර්තමානයේදී…

චූලාමණි ගෙදර ගුණසෝම ශිල්පියා. (www.youtube.com)

වටිනා තාක්ෂණයක් වුවත් වර්තමානය වන විට දිය තරිප්පු තාක්ෂණ ක්‍රමය ටිකෙන් ටික මතකයෙන් ඈත්ව ගොස් තිබෙනවා. මෙම පරපුරේ අවසන් පුරුක වන, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කිරිවවුල ග්‍රාම නිලධාරී වසමේ, කහඹේ වෙසෙන චූලාමණි ගෙදර ගුණසෝම ශිල්පියා අද වනවිටත් එම කර්මාන්තයේ නිරත වෙනවා. දොස්තර වට්ටෝරුවලට දිය තරිප්පු කණ්නාඩි නිර්මාණය නොකරන අතර අක්ෂි දෝෂය සහිත පුද්ගලයාගේ පෙනිමේ දුර්වලතාව මත සහ ඉල්ලුම්කරුවන්ගේ ඇණවුම් අනුව පමණක් මේවා නිපදවනවා. පිළිවෙලින් ගුණසෝම ශිල්පියාගේ මුත්තා, අත්තා සහ පියා වන චුලාමණී ගෙදර ඩිංගිරි අප්පු, චුලාමණී ගෙදර ඩිංගිරි නයිදේ සහ චුලාමණී ගෙදර සියදෝරිස් හාමි යන නිර්මාණ ශිල්පීන්ට අඛණ්ඩව මෙම තාක්ෂණය ඉදිරියට රැගෙන ඒමේ ගෞරවය හිමි වෙනවා.

දිය තරිප්පු කණ්ණාඩියේ විශේෂත්වය

දිය තරිප්පු කණ්ණාඩි සාමාන්‍ය කණ්ණාඩි වගේ වසරකට හෝ වසර දෙකකට වරක් වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වසර 15ක් 20ක් පමණ කාලයක් පාවිච්චි කළ හැකියි. මෙම පාෂාණයේ සිහිල් බව නිසා ඇහේ සුද මතු නොවන බවත්, හිස කැක්කුම නොසෑදෙන බවත් සඳහන්. එයට හේතු වන්නේ රත්නපුර ප්‍රදේශයේ පතල් වල අඩි 400ක් 500ක් පමණ ගැඹුරින් හමුවන මෙම පාෂාණ අධික සීතලකින් යුතු වීමයි.

“අපේ ඇස් වල තියෙන්නෙත් වතුරනේ, මේ ගල් හැදෙන්නෙත් වතුරේ. වතුරට වතුර සම්බන්ධ වෙච්චහම කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. මේ කණ්ණාඩි දාපුවාම ඇහැට හරි සනීපයි, හරි සිසිලයි. ඇහේ සුද මතුවෙන් නැත්තේ ඒකයි” ගුණසෝම මහතා එසේ පවසනවා.

නිර්මාණකරණයට පෙර,

මල් පහන් පූජා කර බුදුන් වැඳීම හැර නිර්මාණකරණයට පෙර වෙනත් සෙත් පැතීමක් ගැන සඳහනක් හෝ ඒ හා සම්බන්ධ සාහිත්‍යයක් පිළිබඳව හෝ සුවිශේෂ තොරතුරක් ලැබී නැහැ. නමුත් දිය තරිප්පු කලාව ගැන කියැවෙන කවි පෙළක් පමණක් දැනට සොයාගෙන තිබෙන අතර මෙය මෑත කාලයේදී රචනා වූවක් බව පැහැදිලියි.

සිළුමිණි ලෙසින් ලක් සේසත් නඟ මින්න – සිළුමිණි සිරිත් රජකළ රජවරු දුන්න

සිළුමිණි නමින් පෙර සිට නෙත නෙ තුපුන්න – සිළුමිණි නමින් අප පරපුර ඇති මෙන්න

බුවනෙකබාහු සිව්වෙනි මහ රජ දවස – කිරුළක අග මිණක් සාදා දී විගස

සිරිලක පවතින්ට අප පරපුර වෙසෙස – හසුනක ලියා දී සිළුමිණි නම සතොස

නෙත් ලෙස පතල මිණිකම් ගුණමින රවරේ – සන්තොස පුද පඬුරු දෙවමින් වන තේරේ

සිව්දස මුනෙක කිරිවවුලේ උඩු නුවරේ – සන්නස දේවි අප මුත්තනු හට එවරේ

අවුරුදු එතැන් සිට පන්සිය හැත්තෑ තරම – පිරිසිදු ලෙසින් කර කණ්ණඩි ඇස් කැපුම

මහ පුදුමයට දියුණුව ලැබ පරපුරම – පරසිදු වී මුළු ලක්දිව හැමතැනම

විදෙස් ප්‍රන්ස එන්ගලන්තය ද ජර්මනි – අපි ගොස් තුටු පඬුරු ලැබ නැවත ආ තැණී

වේල්ස් කුමරු උතුමන්ගේ ලක් පැමිණී – උසස් ලෙස මැඩොල් සහතික ලත් තුටිණී

උපකරණ හා ඒවායේ කාර්යයන්

දිය තරිප්පු කණ්ණාඩියක් නිර්මාණය කරන අතරතුර. (www.youtube.com)

මෙහිදී උපකරණ ලෙස පට්ටලය, අල්ලුව, ඔට්ටුගල සහ ඔප දමන ලීය යොදා ගැනෙනවා.

පට්ටලය

පාෂාණයක කොටස් වෙන් කර ගැනීම, හැඩය සකස් කර ගැනීම සහ රටා කපා ගැනීම මෙයින් සිදු කර ගනු ලබනවා. සාමාන්‍යයෙන් මෙය තනි පුද්ගලයෙක් විසින් ක්‍රියාත්මක කරන නමුත් ප්‍රමාණයෙන් විශාල චූඩා මාණික්‍ය නිර්මාණයේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ පමණ සහය අවශ්‍ය වෙනවා.

අල්ලුව

කණ්ණාඩිය හෙවත් “ඇහැ” නිර්මාණය කිරීමේදී සහ ඔප දැමීමේදී රඳවා ගැනීමට මෙය භාවිතා වෙනවා. සපු දැවයෙන් කළ අල්ලුවක් මෙහිදී යොදා ගන්නා අතර එයට “ඇහැ” සම්බන්ධ කිරීමට ඉටි සහ ලාම්පු දැලි වලින් සාදා ගත් විශේෂ මිශ්‍රණයක් භාවිතා කරනු ලබනවා. පාෂාණ කොටස ඇලවීම සහ නැවත ගැලවීම සඳහා ගිණි අඟුරු භාවිතා වෙනවා.

(www.youtube.com)

ඔට්ටු ගල

ඇහැ සකස් කිරීමට භාවිතා කරන ගල ඔට්ටු ගල ලෙස හැඳින්වෙනවා. සිලින්ඩරාකාර තිරුවාණා ගලක් වන මෙය ඇහැ නියමාකාරයෙන් සකස් කිරීමට යොදා ගන්නවා.

ඔප දමන ලීය

ඇහැ ඔප දමා ගැනීම සඳහා භාවිතා කරන අඩි 4ක් පමණ දිගු එරමුදු ලීය මේ නමින් හැඳින්වෙනවා. එහි පවතින මෘදු බව නිසා එරමුදු දැවය මේ කාර්යයට ඉතා හොඳින් ගැලපෙන බව පිළිගැනෙනවා. මෙහිදී වැඩි වශයෙන් ලිහිසි තෙල් භාවිතා කරනවා.

ඇස් කණ්නාඩි නිර්මාණය

(www.youtube.com)

මෙහිදී වයස් පරතරයට අනුව තිස් ඇඳිරිය, හතළිස් ඇඳරිය සහ හැට ඇඳිරිය යන අක්ෂි දෝශ සඳහා ඇස් කණ්නාඩි නිර්මාණය කරනවා. පළමුව මිලි මීටර 5 ක පමණ ඝණකම සහිතව අවශ්‍ය දිග පළලින් යුතු වන ලෙස චතුරස්‍රාකාර පාෂාණ කොටස් කපා ගනු ලබනවා. මූලික හැඩ ගැන්වීමේදී කුරුදු කුඩු (ඔප දැමීමේදී භාවිතා වෙන කැපුම් කුඩු) යොදා ගනිමින් ලියවීමට ලක් කරන අතර කණ්නාඩි රාමුවේ මූලික හැඩයට සමාන හැඩය ලැබෙන තෙක් පැයක පමණ කාලයක් මෙම ක්‍රියාව සිදු කෙරෙනවා.

(www.youtube.com)

ද්විතියික හැඩ ගැන්වීමේදීත් කුරුදු කුඩු භාවිතා කෙරෙන අතර අක්ෂි දෝශයට අනුව ඔප දමන ප්‍රමාණය වෙනස් වෙනවා. “ඇහැ”ක එක් අර්ධයක් හැඩ ගැන්වීම සඳහා පැයක හෝ පැය දෙකක කාලයක් ගත වෙන අතර දක්ෂිණාවර්ථව සහ වාමාවර්ථව ඇතිල්ලීම සිදු කරනවා. ආරම්භයේදී ඇහැ (කාචය) තුළ බිම්බයක් දැක ගත හැකි අතර හැඩ ගැන්වීම අවසානයේ එය සම්පූර්ණයෙන්ම ඉවත්ව යනවා. ඉන්පසු ඔපදැමීම සිදු කරන අතර මේ සඳහා පැය තුනක පමණ කාලයක් ගත වෙනවා.

(www.youtube.com)

අවසානයේදී ඔප දමා ගත් කාච හෙවත් ඇස් දෙක රාමුවකට සවි කරනු ලබනවා. කණ්ණාඩි රාමුව සඳහා ඇත් දළ සහ සත්ත්ව අං භාවිතා කර තිබුණත් වර්තමානයේදී සාමාන්‍ය වෙළඳපොලේ ඇති ප්ලාස්ටික් සහ ලෝහ රාමු යොදා ගන්නවා. මෙම තාක්ෂණය ඉදිරියට කරගෙන යාමට කෙනෙකු නැති වීම නිසා දිය තරිප්පු ශිල්පය ඔහුගෙන් පසු අභාවයට යන සලකුණු ඇති බව ගුණසෝම මහතා පවසනවා.

ඇස් කණ්ණාඩියක් නිර්මාණය කිරීමෙන් අනතුරුව (www.youtube.com)

පෘතුගීසී සමයේදී දිය තරිප්පු තාක්ෂණය උගත් ජේසුයිට් නිකායික පාදිලිවරු එම තාක්ෂණය යුරෝපයට ගෙන යන්නට ඇති බවට සැලකෙන අතර ඇස් කන්ණාඩි තාක්ෂණය යුරෝපයේ දියුණු වෙලා තියෙන්නේ 16 වන සියවසෙන් පසුවයි.

මූලාශ්‍ර:  www.youtube.com, www.gannadeshiyade.com, janathamina.blogspot.com, www.archaeology.lk, amalmeemanage.blogspot.com

කවරයේ පින්තුරය: wordpress.com

Related Articles

Exit mobile version