චෙට්ටි ජාතිකයන්, නැති නම් “හෙට්ටියන්” ගැන වැඩි දෙනෙක්ට පුළුල් දැනුමක් නැහැ. පුල්ලේ, අලස්, පෙරුමාල් වගේ අපිට කොළඹ පැත්තේ නිතර අහන්න ලැබෙන නම් බොහොමයක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙන්නේ චෙට්ටිලාගෙන්. වැඩි දෙනා සිංහල, දෙමළ හෝ බර්ගර් ජාතීන්ටම අයත් පිරිසක් විදිහට තමයි චෙට්ටිලාව සලකන්නේ. කොහොම වුණත් ඔවුනුත් ශ්‍රී ලංකාවේ ජීවත් වන අනන්‍ය ජාතියක්. ඉතින් අපි අතරේම ජීවත් වෙන මේ ජන කොට්ඨාශය ගැන වැඩිදුර තොරතුරු හොයාගෙන ගිහින් ඒ ගැන roar පාඨක ඔබවත් දැනුවත් කරන්න අපි තීරණය කළා.
ශ්‍රී ලංකාවේ අද ජීවත් වන චෙට්ටි ජාතිකයන් ඉන්දියාවේ ඉඳලා පැවත එන පිරිසක්. අතීත භාරතයේ තමන් කරන රැකියාව අනුව කුල වලට බෙදීම පුළුල්ව පැතිරිලා තිබුණා. චෙට්ටිලා පාරම්පරිකව ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා හිටපු “තාන වෛශ්‍ය” කියන වෙළඳ කුලයට නෑකම් කියනවා. මුල් කාලයේ ඉන්දියාවේ උතුරු පැත්තේ තිබුණු “කූග්” (Coorg) සහ බරණැස වගේ ප්‍රදේශ වල ජීවත් වුණු මේ වෛශ්‍ය පිරිස පසු කාලීනව සිදු වුණු මෞගල් ආක්රමණයන්වලදී දකුණු ඉන්දියානු කලාප වෙත පලවා හැරලා. අපේ රටත් ඉන්දියාවත් අතර අතීතයේ ඉඳන්ම පැවතුණු වෙළඳ සම්බන්ධතා නිසා තමයි චෙට්ටිලා ශ්‍රී ලංකාවටත් ව්‍යාප්ත වෙලා තියෙන්නේ.
අද වෙනකොට මේ චෙට්ටි ජන කොට්ඨාශය “සෙට්ටියන්”, “හෙට්ටියන්”, “එට්ටියන්” වගේ විවිධ නම් වලින් හැඳින්වෙනවා. නමුත් ඇත්තටම චෙට්ටිවරු ඉන්දියාවේ සිටුවරුන්ට නෑකම් කියන පිරිසක්. ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ වයඹ පළාත් තුළ අද වෙනකොටත් චෙට්ටිලා 150,000ක පමණ ජනගහණයක් දැක ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ චෙට්ටි ඉතිහාසය
චෙට්ටිලාගේ අතීත මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සිදු වුණු වෙළඳ ගනුදෙනු වලට සැලකිය යුතු විදිහට සහභාගී වෙන්න ඇති කියලා පිළිගැනෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියානු කලාපය අධිරාජ්‍ය පාලනයට නතු වෙලා තිබුණු කාලයේ චෙට්ටිවරු විශාල කණ්ඩායම් පිටින් ශ්‍රී ලංකාවේ පදිංචියට ඇවිත් තියෙනවා. අපේ රටේ ලිඛිත ඉතිහාස වාර්තා අනුව ශ්‍රී ලංකාවට චෙට්ටිලා සංක්‍රමණය වීම වැඩිපුරම සිදු වෙලා තියෙන්නේ පෘතුගීසී සහ ලන්දේසි පාලන කාල වලදීයි. නමුත් ඊට කලින් ඉඳලාම ඔවුන් කුඩා ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වුණු බව සමහර ඉතිහාස වාර්තාවල දැක ගන්න පුළුවන්.
මහාචාර්ය H. එල්ලාවල මහත්මයා තමන්ගේ “Social History of Early Ceylon – අතීත ලංකාවේ සමාජයීය ඉතිහාසය” කියන පොතේ දක්වලා තියෙන විදිහට ශ්‍රී ලංකා භූමියට මුලින්ම චෙට්ටිලා පා තබලා තියෙන්නේ අපේ රටේ පළමු රජතුමා විදිහට සැලකෙන විජය කුමාරයාගේ ලංකා ආගමනයෙන් ටික කාලයක් ගත වුණාට පසුවයි. විජය කුමාරයා මෙරට රජකම ලබා ගත්තාට පස්සේ ඒ බව ඉන්දියාවට දන්වා යවලා තියෙනවා. ඉන් පස්සේ ලංකාවේ රාජධානිය හොඳින් පවත්වා ගෙන යන්න උදව්වක් වශයෙන් මදුරාපුරයේ රජකරපු ඔහුගේ පිය රජතුමා විවිධ කුල වලට අයත් විශාල පිරිසක් ලංකාව වෙත එව්වාලු. එල්ලාවල මහාචාර්යතුමාට අනුව මේ විදිහට එවපු අය අතර “තාන වෛශ්‍ය” නැත්නම් සිටු කුලයට අයත් පිරිස් බොහොමයක් ඉඳලා තියෙනවා.
කාලයත් එක්ක කවුරු කවුරුත් චෙට්ටිලා, නැතිනම් “හෙට්ටින්” ශ්‍රී ලංකා ජන සමාජයේම කොටසක් විදිහට පිළිගන්න පටන් ගත්තා. සිංහල ජන ක්‍රීඩා අතර වැදගත් තැනක් ගන්න “අතුරු මිතුරු” කෙළියේදීත් හෙට්ටින් ගැන සඳහන් වෙනවා. “අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු සෙට්ටියා” කියලා ඉන් කියන්නේ මේ හෙට්ටි ජන කොටස ගැනයි. “රාජ කපුරු” වගේ පද වලින් හෙට්ටියන් සහ ලංකාවේ රජ වාසල අතර තිබුණු සම්බන්ධය හොඳට පිළිබිඹු වෙනවා.
වඩාත් මෑත කාලීන ඉතිහාස වාර්තා වල චෙට්ටිලා සමාජයේ බොහොම වැදගත් ව්‍යාපාරික ජන කොට්ඨාශයක් විදිහටත් හඳුන්වා දෙනවා. W. ගයිගර් මහතාගේ “Culture in Ceylon in Medieval Times – මධ්‍යතන යුගයේ ලාංකීය සංස්කෘතිය” කියන පොතේ අතීත ලේඛන වල දැක්වෙන හෙට්ටීන් සහ මධ්‍යකාලීන යුගයේ හෙට්ටීන් අතර සම්බන්ධයක් මේ විදිහට දක්වලා තියෙනවා. “ලංකාවේ ව්‍යාපාරික ජන සමාජයේ වැදගත් කොටසක් ලෙස සෙට්ටීන්ව හඳුන්වා දිය හැකිය. අතීත ජාතක කතා වල කියවෙන සෙට්ටීන්, නැතිනම් ධනවත් බැංකුකරුවන් මෙන්ම ඔවුන්ද රජවාසල සමග කිට්ටු සම්බන්ධයක් පවත්වා ගත්හ.”
අනන්‍ය ජන කොට්ඨාශයක් ලෙස ඇති පිළිගැනීම
චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ ජීවත් වන අනන්‍ය ජන කොට්ඨාශයක් විදිහට මුලින්ම පිළිගැනීමට ලක් වුණේ 1814 අවුරුද්දේ ඉංග්‍රීසීන් සිදු කරපු පළමු සංගණනයේදීයි. මේ නීතිමය පිළිගැනීම 1871 අවුරුද්දේ ජන සංගණනය දක්වාම පැවතුණා. නමුත් ඊට පස්සේ ඔවුන් සිංහල, දෙමළ හෝ බර්ගර් ජාතිකය්න්ගේම කොටසක් විදිහට තමයි සැලකුණේ.
චෙට්ටිලා මේ විදිහට අවුරුදු 100කටත් වැඩි කාලයක් අනන්‍යතාවක් නැති ජන කොට්ඨාසයක් විදිහට ජීවත් වුණා. මේ තත්වයට වෙනසක් කරන්නට සමත් වුණේ ශ්‍රී ලංකා චෙට්ටි සංගමයේ මහ ලේකම් “ෂර්ලි පුල්ලේ තිසේරා” මහත්මයා. 1984 අවුරුද්දේදී ඔහු ශ්‍රී ලංකාවේ පාලන තන්ත්රයේ නියෝජිත තනතුරක් ලැබීමත් එක්ක චෙට්ටිවරුන්ට නැවතත් අනන්‍ය ජන කොට්ඨාශයක් කියලා පිළිගැනීමක් හිමි වුණා. ඒ අනුව 2001 අවුරුද්දේ පැවැත්වුණු මීළඟ ජන සංගණනයේ ඉඳලා චෙට්ටිවරුන් අනන්‍ය ජන කොට්ඨාශයක් විදිහට ගණනය කෙරිලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ ජීවත් වුණු වැදගත් චෙට්ටිවරුන් සහ ඔවුන්ගෙන් සිදු වුණු සමාජ සේවය
රී ලංකාවේ අනෙකුත් ජන කොට්ඨාශ එක්ක බැලුවාම චෙට්ටිවරුන් ඉන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. සංඛ්‍යාත්මකව ගත්තාම ඔවුන් අපේ රටේ ජනගහණයෙන් 1%කටත් වඩා අඩුයි. අතීත කාලයේ ඉඳන්ම මේ තත්වයේ සැලකිය යුතු විදිහේ වෙනසක් වෙලා නැහැ. නමුත් ඔවුන් අපේ ජන සමාජයට විශාල දායකත්වයක් නම් දක්වලා තියෙනවා.
ඉතා ඈත අතීතයේ ඉඳලාම ඔවුන් රටේ වෙළඳාම වෙනුවෙන් ඉහළ දායකත්වයක් ලබා දුන්නා. අපේ රටට අවශ්‍ය දේවල් ආනයනයටත්, අපේ රටේ අතිරික්තය අපනයනයටත් ඔවුන්ගෙන් ලැබුණේ විශාල සහයෝගයක්. සාම්ප්‍රදායික බඩු භාණ්ඩ වගේම අලුත් දේවල් අපේ රටේ වෙළඳපොළට හඳුන්වා දීමේදීත් ඔවුන් ප්රමුඛව කටයුතු කළා. මේ නිසා චෙට්ටි ජන කොට්ඨාශය ඈත අතීතයේ ඉඳන්ම අපේ රටේ සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරපු පිරිසක් විදිහට හඳුන්වන්න පුළුවන්.
මෑත කාලයේදී ඔවුන් අපේ රටේ කටයුතු වලට ලබා දුන්නු දායකත්වය ගැනත් ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. අපේ රටේ පොල් වගාවේ සංවර්ධනය වෙනුවෙන් ඇති විශාල කාර්යභාරයක් ඉටු කරපු නැසී ගිය R. I. ප්‍රනාන්දුපුල්ලේ මහතා මේකට හොඳම උදාහරණයක්. අදටත් ශ්‍රී ලංකාවේ විශාලතම ප්රචාරක ඒජන්සියක් වන “ග්‍රාන්ට් මැක්කෑන් එරික්සන්” (Grant McCann Erickson) ආයතනය ආරම්භ කරන්න කටයුතු කරපු දේශබන්ධු “රෙජී කන්දප්පා” මහත්මයාත් අපේ රටේ වැදගත් චෙට්ටිවරයෙක්.
චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරාමත් මුල් තැනක් අරගෙන කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි දේශීය සිවිල් සේවකයා බවට පත් වුණු “සයිමන් කාසී චිට්ටි” (Simon Casie Chitty) මහත්මයා මුල් කාලීන චෙට්ටි දේශපාලකයන් අතර මුල් තැනක් ගන්නවා. අපේ රටේ ව්‍යවස්ථාදායක සභාවට එතුමා පත් වුණේ 1845 අවුරුද්දෙදීයි.
අපේ රටේ වැදගත්ම දේශපාලකයෙක් වුණු J. R. ජයවර්ධන මහත්මයාත් චෙට්ටි කුලයකින් පැවත එන කෙනෙක්. තමන්ගේ දීර්ඝ දේශපාලනික ජීවිතය පුරාවට කැබිනට් අමාත්‍යවරයෙක්, අගමැතිවරයෙක් වගේම අපේ රටේ පළමුවැනි විධායක ජනාධිපතිවරයා විදිහටත් කටයුතු කරපු එතුමාගේ චෙට්ටි මුතුන් මිත්තන් ගැන ඔහුගේ චරිතාපදාන කතාවේ බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා. මේ ග්‍රන්ථය රචනය කෙරුණේ මහාචාර්ය K. M. ද සිල්වා මහතාගේ සහ හවර්ඩ් රිගින්ස් (Howard Wriggins) මහතාගේ එකමුතුවෙන්.
බොහෝ දුරට ක්‍රිස්තියානි ආගමිකයන් වුණු චෙට්ටිලාට ශ්‍රී ලංකාව පුරා තිබුණු ක්‍රිස්තියානි පල්ලි ගණනාවක මූල්‍ය කටයුතු, නඩත්තු කටයුතු සහ ආගමික කටයුතු පවත්වා ගෙන යාම භාර වෙලා තිබුණා. මේ තත්වය අධිරාජ්‍ය පාලන සමයට පෙර වගේම ඉන් පසුවටත් වෙනසක් වෙලා නැහැ. මේවා අතරින් ප්‍රධානතම පල්ලි කිහිපයක් විදිහට කොළඹ 13 පිහිටි දෝල රෝසා මව්තුමියගේ දේවස්ථානය, ගින්තුපිටියේ ශාන්ත තෝමස් දේවස්ථානය, කොළඹ 12 පිහිටි ශාන්ත මරියා දේවස්ථානය වගේම මතියංගනය ශාන්ත පිලිප් නේරිස් තුමාගේ දේවස්ථානයත් හඳුන්වා දෙන්න පුළුවන්.
චෙට්ටිවරුන් ශ්‍රී ලංකාවේ වැඩිදෙනා අදහන බුදු දහමේ උන්නතිය වෙනුවෙනුත් ලබා දුන්නු සහයෝගය අති මහත්. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ බුදු දහම හඳුන්වලා දුන්නු කාලයේ ඉඳලාම ඔවුන් ඒ වෙනුවෙන් ඇප කැප වෙලා තියෙනවා. මහාචාර්ය H. එල්ලාවල මහතා පෙන්වා දෙන විදිහට ශ්‍රී මහා බෝධි ශාඛාව ශ්‍රී ලංකාවට ගෙන එන වෙලාවේදීත් එහි ආරක්ෂාව භාර වෙලා හිටි පිරිස අතරේ චෙට්ටිලාගේ මුතුන් මිත්තන් වන “තාන වෛශ්‍යයන්” ඉඳලා තියෙනවා. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ස්වාමීන්වහන්සේ නමක් වන සෝම හාමුදුරුවනුත් ගිහි කාලයේ චෙට්ටි කෙනෙක්! එතුමාගේ ගිහි නම “එම්මානුවෙල් පෙරේරා පුල්ලේ”. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ග්රන්ථ 30කටත් වඩා එතුමා අතින් රචනා වෙලා තියෙනවා.
තවත් වැදගත් කෙනෙක් තමයි ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි මහත්මයා (Sir Christopher Ondaatje). දැන් කැනඩාවේ පදිංචිව සිටින ඔහුත් ශ්‍රී ලංකාවේ උපත ලැබූ චෙට්ටි කෙනෙක්. මහා දානපතියෙක් වන එතුමා 2003 අවුරුද්දේදී මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිණියගේ අතින් නයිට් පදවියකින් පිදුම් ලබන්න පවා වාසනාවන්ත වුණා.
එතුමාගේ සොහොයුරා වන මයිකල් ඔන්ඩච්චි මහත්මයා ලෝක ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කතුවරයෙක්. ලංකාවේ ඉංග්‍රීසි පාඨක ගොඩක් දෙනා මයිකල් ඔන්ඩච්චි මහත්මයාගේ නම කිව්වා සැණින් අඳුරනවාට කිසිම සැකයක් නැහැ. ඔහුගේ කෘතියක් වන “The English Patient – ඉංග්‍රීසි රෝගියා” පොත සුප්‍රසිද්ධ “Booker” සම්මානයට පවා පාත්‍ර වුණා. ඒ කෘතිය පාදක කරගෙන නිර්මාණය කෙරුණු අන්තර්ජාතික චිත්‍රපටියට ඇකඩමි සම්මාන පවා හිමි වුණා.
ප්‍රභූ පැලැන්තියේ ව්‍යාපාරික ප්‍රජාවක් විදිහට ආරම්භ වුණු චෙට්ටිවරුන් අද දක්වාම ශ්‍රී ලංකා ජන සමාජය තුල වැදගත් තනතුරු රැසක් හිමි කරගෙන ඉන්නවා. අනෙක් ජන කොට්ඨාශ එක්ක සිදු වුණු විවාහ වගේ කාරණා නිසා ඔවුන්ගේ අනන්‍යතාව යම්තාක් දුරකට බොඳ වෙලා ගිහින් තිබුණත් ඔවුන් අදටත් ශ්‍රී ලංකාවේ නීතියෙන් පිළිගත්, අනන්‍ය ජන කොට්ඨාශයක්.
විශේෂයෙන් කැපී පෙනෙන්න උත්සාහ නොකළත් ඔවුන් අදටත් අපේ දේශීය ජන සමාජයේ වැදගත්ම පුරුකක් බව ඉතාම පැහැදිළියි.
පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ