ලංකාවේ අපිට මානසිකව පීඩාව ඇතිකරන කරුණු 7ක්

පසුගිය වසරේ දෙසැම්බර් 4 වැනි දිනය Twitter හරහා ලොව පුරා විසිරිලා ඉන්න ආතතියට ලක් වුණු උගත් බුද්ධිමත් පිරිස වෙනුවෙන් වෙන් කර තිබුණා. #StressAwarenessDay, #StressIn5Words වැනි හෑෂ්ටැග් ගැන ගොඩක් අහන්න දකින්න අපට ලැබුනා.

එතකොට අපි? ලංකාවේ අපිටත් හිසරදයකට ආතතියකට ලක් වෙන්න තරම් දරුණු ප්‍රශ්න තිබෙනවා ද? බොහෝ විට ඔබ මේ ප්‍රශ්නයට නෑ කියලා පිළිතුරු දෙයි. ඇත්තටම, අමාරුවෙන් ඡන්දය දීලා පත් කරගත්ත දේශපාලකයෝ පත්වෙන්න කලින් දුන්න පොරොන්දු අමතක කරන හැටි, දිනෙන් දින අධිවේගයෙන් ඉහල යන ජිවන වියදම, එතකොට මහේලයි සංගායි ගියාට පස්සේ අපේ ක්‍රිකට් කණ්ඩායමට අත්වෙන ඉරණම, ලෝක කුසලානයක් කවදා දැකගන්න  පුළුවන් වෙයිද වගේ ඒවා විතරක්ම ද අපේ ඔලුවට වද දෙන්නේ?

අපි ජිවත් වෙන්නේ සුන්දර, වැඩිය සද්ද බද්ද නැති අහිංසක (සංසන්දනාත්මකව ගත්තම) රටකනේ. දිවයිනක් නිසා ලෝකයෙන්ම එක අතකට අපි භෞතික වශයෙන් ඈත් වෙලා. අපිට හොඳ දේශගුණයක් තිබෙනවා, එතකොට ලස්සන මධ්‍යම කඳුකරයකින්, රට වටේටම විහිදුණු සුන්දර මුහුදු තීරයකින් වගේම නිල්ලෙන් වැසුණු වැසි වනාන්තර වලින් අපේ රට මොනවට සම්පුර්ණයි නේ. ඉතින් ලංකාව බලන්න එන විදේශිකයන් වුණත් බොහෝ වෙලාවට කියන දෙයක් තමයි ශ්‍රී ලාංකිකයන් හරිම නිවුණු, සාමකාමී, මිත්‍රශීලී කට්ටියක් කියලා. මොකද පේන විදියට අපට එච්චර ප්‍රශ්න නැහැනේ.

ඒත් දන්නවාද, ඇත්තම කතාව තමයි මෙච්චර සාමකාමීයි මිත්‍රශීලියි කියන අපිට වුණත් යටි ගිරියෙන් කෑ ගහන්න, අතට අහුවෙන ඕනෑම දෙයක් කුඩුවෙලා යන්න පොළවේ ගහන්න එහෙමත් නැත්තනම් කාවහරි අල්ලගෙන හොඳහැටි තඩි බාන්න හිතෙන අවස්ථා එමටයි. මේක මේ පාර්ලි‌‌මේන්තුවේ ඉන්න අපේ දේශපාලනඥයන්ට විතරක්ම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ශ්‍රී ලාංකික අපිටත් ඔලුව කරදරෙන් ඉන්නත් ආතතියකට ලක්වෙලා රතු කට්ට පනින්න සලස්වන්නත් හැකියාව තිබෙන දේවල් ඕනෑ තරම් තිබෙනවා. තාමත් සැකයි ද? කියවලා බලන්නකෝ. ලිස්ට් එකක් පිරෙන්න තරම් කරුණු අපි හොයාගත්තා.

1) විභාග භීතිකාව

ඉස්සර ලංකාවේ හිටපු මැදිවයසේ නැන්දලා මාමලා ඉන්දියාවේ එහෙම නැත්නම් චිනේ එහෙම අධ්‍යාපනික පද්ධතියට හිනා වෙනවලු. මොකද ඒ රටවල් වල ළමයින්ට පොත් පිටින් ගිරවා දාන්නත් සංකීර්ණ දේවල් මතක තියාගෙන විභාග වලට ගිහින් එහෙමම පොතම වමාරන්නත් ඉර හඳ අල්ලන්නත් පුදුම තරම් පීඩනයක්ලු දෙන්නේ. ඉතින් අපේ වැඩිහිටි උදවිය හරියට සතුටු වුණාලු අපේ ලංකාවේ ළමයි කොයි තරම් නිදහසේ සැහැල්ලුවේ නිදහස් අධ්‍යාපනය ලබනවද කියන එක ගැන හිතලා.

ඒත් අද? තත්වේ තනිකරම කණපිට පෙරළිලා. අපි දැන් මේ සම්බන්ධයෙන් ඉන්දියාවට චීනයට අන්තයි. මොකක් හරි විභාගයක් ලං වෙනකොටම එහෙමත් නැත්නම් ප්‍රතිපල නිකුත් වෙන කාලේ වෙන කොට ස්ට්‍රෙස් එක වැඩි වෙලා සියදිවි හානි කරගත්ත එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ගැන අපට අවාසනාවන්ත පුවතක් අනිවාර්යයෙන්ම අහන්න ලැබෙනවා. මේ කතාව පැත්තකින් තියමුකෝ. ළමයා හොඳ පාසලකට රිංගවා ගැනීමට දෙමව්පියෝ ළමයා ඉපදුණු දවසේ ඉඳන්ම කොච්චර දඟලනවාද? එතකොට තමන්ගේ දරුවා පහවසර ශිෂ්‍යත්වය සමත් කරවලා වඩා හොඳ පාසලකට ඇතුළත් කරව ගන්න දෙමව්පියෝ ළමයට කොයි තරම් පීඩනයක් එල්ල කරනවා ද? එතැනින් ගියාම උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙන්න දිවා රෑ දෙකේ එක විදියට වෙහෙස මහන්සි වෙන ළමයි කොයි තරම් ඉන්නවා ද? අමාරුවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා කියමුකෝ. එතැනින් පසුවත් සමහරුන්ට හොඳ GPA එකක් දා ගන්න, හොඳ ක්ලාස් එකක් ගන්න, බැච් ටොප් වෙන්න, තෘතික අධ්‍යාපනයට රට යන්න ස්කොලර්ෂිප් හොයා ගන්න වගේ සංකීර්ණ ඉලක්කත්, තව සමහරුන්ට රිපීට් නොවී ඉන්න, බැච් මිස් නොවෙන්න වගේ සුළු පරිමාණයේ ඉලක්කත් ඔලුවට එන්න ගන්නවා නේ. ඉතින් පිඩනයට ආතතියකට ලක්වෙන එක අහන්නත් දෙයක් ද?

අපි හැමෝම එක විදියට බයයි එෆ් අකුරට. ඒ කියන්නේ ෆේල් වෙන්න. මොකද එක එෆ් අකුරකින් තීරණය වෙනවා අපි ඉස්සරහට යනවාද නැද්ද කියන එක. මේ නිසා අද කාලයේ ලංකාවේ ළමයින් ට ගෙදර ඉන්න වෙලාවක් නැහැ. ජීවිතේම ටියුෂන් පන්ති වල. නැත්තම් පාසලේ. විභාගය හත් ගව්වක් ඈත තියෙද්දීම අම්මලා තාත්තලා තමුන්ගේ ළමයා ව පාසලේ සියලුම විෂය බාහිර වැඩ වලින් ඉවත් කරගන්නේ ඒවා ප්‍රතිපල වලට බාධාවක් වෙයි කියලා. අද වෙළඳ දැන්වීම් දිහා බලන්නකෝ. භාගෙට භාගයක්ම නිෂ්පාදන ළමයින්ට විභාග පාස් කරලා දෙන්න උපකාරී වෙන ඒවා. හෝර්ලික්ස්, සමපෝෂ, මාගරින්, යෝගට් විතරක් නෙවෙයි පෑනක් උනත් විකුණගෙන කන්න පුරුදු වෙලා තියෙන්නේ මේ ලංකාවටම පොදු විභාග භීතිකාව ඉස්සරහට දාගෙන.

කොහොම වුණත් මේක හැමෝටම පොදු නැහැනේ. ඉගෙන ගන්න වයස පහු වෙලා විභාග භීතිකාවෙන් මිදුණු අයට තියෙන්නේ වෙන ප්‍රශ්න. කියවගෙන යන්නකෝ:

2) ඩෙඩ්ලයින්

නියමිත වෙලාවට ඉවර කරන්න තියෙන ඕනෑම වැඩක්, එතකොට තැනකට වෙලාවට යන එක වගේ දේවල් මේ ගණයට අයත් වෙනවා. මේකට නම් ලංකාවේ අපි එච්චර වද වෙන්නේ නැහැ කියල ඔබ සමහර විට කියාවි.

කතාව ඇත්ත. ලංකාවේ අපි සාමාන්‍යයෙන් ජිවිතේ හරිම සරල විදියට නිදහසේ විඳින්න පුරුදු වෙලා තියෙන්නේ. වෙලාවට වැඩක් කරන්න, මොකක් හරි සංවිධානය කරන්න එතකොට වැඩක් නියමිත වෙලාවට අවසන් කරන්න වගේ ඕනෑ වුණාම විතරක් අපි ඒ ගැන වද වෙන්න ගන්නවා. මොකද බටහිර රටවල් වල වගේ නෙමෙයි ලංකාවේ බොහෝ දෙනෙක්ට වෙලාවට වැඩ කරනවා කියන එක නුපුරුදු සංකල්පයක්නේ. අපි වෙලාවට වැඩ කළත් නොකළත් අනෙක් අය කොහොමත් ප්‍රමාද නිසා ලොකු ගැටළුවක් වෙන්නේ නැහැ. මේ නිසා පොඩි පොඩි දේවල් සම්බන්ධයෙන් හැරුණාම ඩෙඩ්ලයින් පීඩනය එහෙම ලොකුවට අපට දැනෙනවා අඩුයි. පොඩි පොඩි දේවල් කිව්වේ වැඩක් කරගන්නට (අන්තිම මොහොතේ) ගියාම පැය ගණනක් පෝලිම් වල ඉන්නට සිද්ධ වෙන එක,  රැකියාස්ථානයේ වැඩ ගොඩ ගැහිලා තියෙද්දී වැඩ නැති උදවිය ඇවිත් මැච් ගැන, ජිවන වියදම ගැන, එතකොට ලොක්කාගේ වැරදි ගැන කියලා අපිව කතාවට අල්ලා ගන්න ට්‍රයි කරන එක, ඒ වගේම උදේට බස් කොච්චි ප්‍රමාද වීම වගේ ඒවා. අන්තිමට කියපු එක කාගේ කාගේත් රතු කට්ට පන්නන දෙයක් නිසා ඒක ගැන අපි වෙනම කතා කරන්න හිතුවා මේ විදියට.

3) ලංකාවේ ගමනාගමනය

ලංකාවේ පොදු ගමනාගමනය පාවිච්චි කරන එක නම් එච්චර ලේසි නෑ (theshadesofsuccess.com)

ලංකාවේ පොදු ගමනාගමනය පාවිච්චි කරන එක නම් එච්චර ලේසි නෑ (theshadesofsuccess.com)

ලංකාවේ මිනිස්සුන්ගේ රුධිර පීඩනය වැඩි කරන්න, නහරයක් දෙකක් පුපුරවන්න ලාංකීය ගමනාගමන පද්ධතිය තරම් සමර්ථ වෙන කිසිම පොදු සේවාවක් නැහැ. ඔෆිස් අරින වහන වෙලාවට අඟලක් යන්න පැය භාගයක් විතර යන නිසා, එතකොට ලාංකීය දුම්රිය සේවය සෑහෙන පන්ක්චුවල් නිසා මේ ගැන කියන්න බොහෝ දේවල් තිබෙනවා. අපි වෙනම ලිපියකින්ම ඒ ගැන ඔබට කියන්නම්කෝ.

4) විසිවැනි විය ඉක්මවා යාම

විස්ස පනිනවා කියන්නේ ජිවිතේ අපි හිතාගෙන හිටිය තරම් ලස්සන සුන්දර ලේසි දෙයක් නෙමෙයි කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා කියන එක (තාමත් විස්ස ලබලා නැත්නම් මේ කොටස කියවන්න ඕන නෑ, මොකටද නිකම් ඔලුව අවුල් කරගන්නේ? පුළුවන් කාලේ ජිවිතේ රස විඳින්න)

ඕනෑම සංස්කෘතියක විසිවන විය පසුකල ගමන් එළඹෙන කාලසීමාව ගොඩක් ආතතියක් ගෙන දෙන කාලයක් කියලා තමයි සැලකෙන්නේ. ජිවිතේ ඉස්සරහට කරන්නේ කුමක්ද කියලා තීරණය කරන්න වෙන්නේ මේ කාලේදී. වැඩිහිටියෙක් විදියට වගකීම් ඔලුවට ගන්න රැකියාවක් සොයාගන්න විවාහ වෙන්න උයන පිහන වැඩ ඉගෙන ගන්න වගේ ප්‍රශ්න ගොඩාක් මතු වෙන්නේ මේ කාලේදී.

සාමාන්‍යයෙන් අවුරුදු විස්ස පැන්න කට්ටිය ගැන ලංකාවේ අපි පොදුවේ පිළිගන්න දේවල් ටිකක් තියෙනවා. මේ කාලෙට අපේ ඔලුව ප්‍රෙෂර් කුකර් එකක් වගේ දැනෙන්න ගන්නේ මේවා නිසා තමයි.

  • දැන් අපි ලොකුයි, ඉතින් තීරණ ගන්න ඕනෑ අපි තනියම… ඒ වුණත්, කොච්චර නාකි වුණත් අපේ දෙමවිපියන්ට අපි පොඩි නිසා හැට පැන්නත් අපි එයාල කියන දේ අහන්න ඕනෑ. මේ කැඳ එක බීපිය, අර ආන්ටි එක්ක ගිහින් කතා කරපිය,, මේක ඔයාගේ ආච්චි දාපු මුද්ද ඒ නිසා මේක දාගෙන යන්න, අපි හොයල දෙන කෙනාව බඳින්න ඕනෑ වගේ උපදෙස් අපි කටවහගෙන පිළිගන්නත් ඕනෑ.
  • දැන් නව ලෝකයට පා තබන්න කාලය හරි… ඒත් අපි තාමත් ඉන්නේ දෙමවිපියන් යටතේනේ. ඉතින් නව ලෝකයට පා තබලා මොන අත්දැකීම ගත්තත් කණක් ඇහිලා ඉන්න ඕනෑ නම්, යාලුවන්ට වද වේදනාවක් නොවී ඉන්න නම් අඩුගානේ රෑ දොළහ වෙද්දී හරි ගෙදර උළුවස්සෙන් ඇතුළට අපි රිංගගන්න  ඕනෑ.
  • ලාංකීය වැඩිහිටි පරපුරේ ප්‍රශ්න කිරීම් වලට, මත වලට, දෝෂදර්ශනයට වගේම විවේචන වලටත් ඉලක්ක වෙන්න හොඳම වයස තමයි මේක.

ඒ ගැන වැඩිදුර කිව්වොත්….

5) ආන්ටිලා අන්කල්ලාගෙන් එල්ලවන මානසික අඩන්තේට්ටම්

ලංකාවේ ආන්ටිලා අන්කල්ලා වෙලාවකට මාර හොඳයි. හැබැයි වෙලාවකට අප්‍රසන්නයි (Jehanr, Ask an Uncle, Ask an Aunty)

ලංකාවේ ආන්ටිලා අන්කල්ලා වෙලාවකට මාර හොඳයි. හැබැයි වෙලාවකට අප්‍රසන්නයි (Jehanr, Ask an Uncle, Ask an Aunty)

අපේ කාලයේ ඉන්න සමස්ථ ආන්ටී අන්කල් ප්‍රජාවම අළලා ගත්තොත් පොදු ලක්ෂණ තුනක් දකින්න පුළුවන්. එක තමයි ඕපදූප හොයන එක.. දෙක තමයි ගුරුහරුකම් දෙන්න පුදුම ආසාවක් තිබීම. තුන තමයි මුලින් හොයපු ඕපදුප වලට අමතරව තවත් ඕපදූප හොයන එක.

මේ ජාතියේ අයගේ රුදුරු ඇසට බොහෝ වෙලාවට තරුණ ප්‍රජාව හසුවන්නේ ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී.  

  • පාරතොටේ යන එන කොට දානේ ගෙවල් මගුල් ගෙවල් වල දි

“ඉතින් පුතා, මොකද මේ දවස් වල කරන්නේ?” “හැමදාම ඔහොම ගෙදරට වෙලා ඉන්න පුලුවන්ද? දැන්වත් පිළිවෙලක් වෙන්න බැලුවොත් නරකද?” කියල ප්‍රසිද්ධියේ අහන කොට උත්තර බඳින එක තරම් මානසික වදයක් තවත් තියේද? මේ ප්‍රශ්න වලට දෙන්න තරම් උත්තරයක් තිබ්බත් පුළුවන් තරම් මේ ජාතියේ ආන්ටිලා අන්කල්ලා මග ඇරලා ඉන්න එක තමයි අනිත් මානසික වදය.

  • ගෙදරට අවාම

මේ ආන්ටිලා අන්කල්ලා සාමාන්‍යයෙන් ගෙදරට එන්නත් කලින්ම කරදරේ පටන් ගන්නවා. ගේ අස්කරන්න කියලා  අම්මලා තාත්තලා අපට කෑ ගහන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ ආතතිය අපේ පිටින් යවන්න. අන්තිමට කට්ටිය අවාම ලස්සනට නීට් එකට අස් පස් කරපු ගෙදරට ආදයෙන් ඔවුන්ව පිළිගත්තත් අපි ගොඩක් දෙනෙක් කරන්නේ මුහුණෙන් ලස්සනට හිනාවෙවී යටි හිතින් පලු යන්න බණින එක. හැබැයි හැමෝම ගෙදරට එද්දී මෙහෙම හිතෙන්නේ නැහැ, මේක වෙන්නේ  ඔලුවට වදයක් වෙන ප්‍රශ්න අහන, විවේචනය කරන්න ආසාවෙන් ඉන්න අම්මයි තාත්තයි එක්ක එකතු වෙලා බණ දේශනා කරන්න කැමති අය එද්දී තමයි. සමහරු ගෙදර එන්නේම අපට කාව හරි ජෝඩු කරන්න බලාගෙනනේ. ඉතින්  අපිට තිබෙන කරදර මදිවාට ගෙදරටම ඇවිත් තව කරදර ඇතිකරලා යන මේ ආන්ටිලා අංකල්ලාත් වෙලාවකට ලොකු හිසරදයක්

6) පිටරට යන්න ලකලෑස්ති වීම

රට යන්න සූදානම් වෙන කෙනෙක්ගේ බෑග් එකක් මේ වගෙයි

රට යන්න සූදානම් වෙන කෙනෙක්ගේ බෑග් එකක් මේ වගෙයි

ගම රට දාලා පවුලේ අය දාලා යන්න සිද්ධ වෙන එක ලොකු හිත් වේදනාවක්. ඊටත් වඩා මානසික වේදනාවක් ඇතිවෙන්නේ ගමන යන්න බඩු පැක් කරද්දී. මොකද ගෝනියක් විතර පොල්  සම්බල්, තේ කොළ වගේ දේවල් ගෙනියන්න ගෙදරින් සූදානම් කරලා දෙනවා. ඒ මදිවට අර රට ඉන්න නැන්දට මාමට මාමගේ පුතා බැඳපු නෝනාට කන්න බොන්න දේවල් උස්සන් යන්න වෙන්නෙත් අපටමයි. අන්තිමට දන්නෙම නැතුව බෑග් එකෙන් කිලෝ දහයක් පහලවක් තියෙන්නේ අදාල නැති බඩු. ඒ මදිවට බර පිරිමහන්න අයින් කරන්න වෙන්නේ බෑග් එක උස්සගෙන යන අපේ බඩුමයි.

නිදහසේ නිස්කාසුවේ ඉන්න කියලා අපි කරන සමහර වැඩ වලිනුත් අපට එන්නේ සමහර වෙලාවට ලොකු පීඩනයක් හොඳම උදාහරණය මෙන්න…

7) ක්‍රිකට් මැච් එකකට බාධා කරන දේවල්

ලංකාවේ අපිට ක්‍රිකට් නිකම්ම නිකම් ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. (Associated Press)

ලංකාවේ අපිට ක්‍රිකට් නිකම්ම නිකම් ක්‍රීඩාවක් පමණක් නෙමෙයි. (Associated Press)

2007 ICC ලෝක කුසලාන තරඟාවලියේ ෆයිනල් මැච් එක මතකයි ද? අර ලංකාව ඔස්ට්‍රේලියාවට පරාද වුණේ? (සමාවෙන්න ඕන මේ වගේ දුක හිතෙන දේවල් මතක් කරනවට) )හරියට මතක නැත්තනම් එකට වගකියන්න ඕනෑ අර ප්ලේන් වගයක් යවලා කට්ටියක් අපිව බය කරන්න හදද්දී විදුලිය ඇනහිටපු එක. එදා රෑ වුණු සිද්ධිය වැඩිය කට්ටියට මතක නැති වුණත් කළුවරේ බැට්‍රියෙන් වැඩ කරන  කබල් රේඩියෝ කට්ටක ඒරියල් එක අතින් උස්සගෙන මදුරුවෝ තල-තල මැච් එකට සවන් දුන්න හැටි නම් හොඳට මතක ඇති.

ලංකාවේ අපිට ක්‍රිකට් මැච් එකක් බලද්දී වෙන මේ වගේ බාධාවල් නම් ඉවසා ගෙන ඉන්නම බැහැ. මේ නිසා ක්‍රිකට් මැච් එකක් විකාශනය වෙද්දී ඇතිවෙන්න ඉඩකඩ තියෙන ගෙරවීම් විදුලි කෙටීම් සුළි සුළං වගේ ස්වාභාවික විපත් වගේම කරන්ට් යන එක, ත්‍රස්තවාදී බලපෑම්, SLT වලින් ඉන්ටර්නෙට් යන්න සිද්ධ වීම, ට්‍රැෆික් වැඩි නිසා මැච් එක පටන් ගන්න වෙලාවට ගෙදර ඉන්න බැරි වෙන එක, එතකොට අම්මා මැච් එක බැලීමට වල කැපීම වැනි භෞතික අතුරුආන්තරා නිසා ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට ඇතිවන පීඩනයත් වචන වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි.

Related Articles

Exit mobile version