බ්‍රිතාන්‍යයන් නුවරඑළිය නගරය අලංකාර ව නිම කළ හැටි

මහනුවර රාජධානි සමයෙහි රාජකීය තැන්න හෙවත් “එළිමහන් බිම” (City of Light) යන අරුතින් නුවරඑළිය නමින් හැඳින්වූ නුවරඑළියේ මෑත කාලීන ජනාවාසකරණය යුරෝපීය ජාතික දඩයම්කරුවන්ගෙන් ආරම්භ වේ. නුවරඑළිය පිළිබඳ මෑත කාලීන වාර්තාකරු ජෝන් ඩේවි ය. උඩරට අල්ලා ගත් මුල් අවධියේ ම (1819) දඩයම් කණ්ඩායමක මූලිකයා ලෙස ඩේවි අහම්බෙන් නුවරඑළියට පැමිණ ඇත. ඩේවි ශල්‍ය වෛද්‍යවරයකු ලෙස යුද හමුදාවට බැඳී කටයුතු කර ඇත. ඔහු ” ලංකාවේ අභ්‍යන්තරය,එහි ජනතාව හා ඒ දිවයිනේ චාරිකා ” නමැති ග්‍රන්ථයේ නුවරඑළියට ගිය චාරිකාව පිළිබඳ සඳහන් කර ඇත.

 එලෙස සොයා ගත් නුවරඑළිය නගරය ඉතා විධිමත් ආකාරයට ගොඩ නංවන්නට බ්‍රිතාන්‍යයන් පියවර තිබේ. එහිදී බ්‍රිතාන්‍යයන් ගොඩනැංවූ ගොඩනැගිලි ගැනත්, නගරය අලංකාර කළ ආකාරය පිළිබඳත් මෙම ලිපියෙන් සොයා බැලේ.

ග්‍රෑන්ඩ් හෝටලය – Grandhotel.com 

 

නුවරඑළිය නගරය නිර්මාණය කිරීමේ දී විශේෂයෙන් ම විසිතුරු පැළ වර්ගවලින් සමන්විත උද්‍යාන ආදී ආකර්ෂණීය අංග නගරයට එකතු කිරීම බොහෝ විට සිදු වී ඇත. 1885 වසරේ වාර්තාවකට අනුව නුවරඑළිය නගරය තුළ විසිතුරු පැළ වර්ග වගා කිරීම සඳහා නගර සභාව රුපියල්  158 ක් වැය කර කටයුතු කර ඇත.  එංගලන්තයෙන් පැළෑටි වර්ග ගෙන්වා ගෙන ඒවා තැනිතලා දෙපස වැවීමට කටයුතු යොදා ඇත.  E.M.De.C. Shortට අනුව නානු ඔයේ සිට යාර 500ක් පමණ එපිට හා ඕක්ලේ බංගලාවේ සිට යාර 200 ක් පමණ දුරට යන තුරු මෙලෙස පැළ සිටුවීම සිදු කර ඇත.

ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණ

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය සහ පල්ලිය අතර ඇති වගුරු බිමෙහි ජලය ඉවත් කර එහි කොටසක් ගොල්ෆ් ක්‍රීඩාංගණයටත් ඉතිරි කොටස මහජන උද්‍යානයක් සඳහාත් වෙන් කර තිබේ. මෙලෙස නගර අලංකරණ කටයුතු සඳහා බොහෝ විට සිරකරු ශ්‍රමය යොදා ගත් බව සඳහන් වේ. නුවරඑළිය නගරය තුළ පෝලෝ, හොකී, ටෙනිස්, ගොල්ෆ් ,ක්‍රිකට් හා ක්‍රොකට් යන ක්‍රීඩා සඳහා ක්‍රීඩාංගණ ඉදිකර තිබිණි.

  ක්‍රොකට් ක්‍රීඩාව – www.sciencephoto.com 

වර්ෂ 1900 වන විට නගරය අලංකාර කිරීම සඳහා වීදි පහන් කණු 12 ක් සවි කර ඇත. එම පහන් කණු ඇතුළු ව නගරයේ මුළු වීදි පහන් සංඛ්‍යාව 57ක් වූ බව සඳහන් වේ. 1925 දී තවත් පහන් කණු 34 ක් නගරය තුළ සවිකර ඇත.

 

නගරය තුළ විසිතුරු පැළ සිටුවීම සෑම වසරක ම සිදු කළ යුතු විය. මෙම ගස්වල වැවෙන පරපෝෂිත ශාක හේතුවෙන්  එම පැළ ඉක්මනින් අභාවයට පත් වන නිසා එම  පරපෝෂිත ශාක හා සතුන් ඉවත් කිරීමට නගර සභාව මගින් කටයුතු යොදා තිබිණි. ඒ සඳහා හග්ගල උද්භිද උද්‍යානයේ උද්භිද විද්‍යාඥයාගේ සහය අපේක්ෂා කළ බව සඳහන් වේ.

Hakgala Botanical Garden | Attractions in Nuwara Eliya | Ceylon Pages
 හග්ගල උද්භිද උද්‍යානය – ceylonpages.lk 

 

1925 වසර වන විට නගරය තුළ කුරුලු උද්‍යානයක් පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ සඳහා ග්‍රෙගරි වැවේ කෙළවර ඇති කුඩා දූපත් දෙකක් තෝරා ගෙන ඇති අතර, මෙම උද්‍යානය අසලින් තුවක්කු රැගෙන යාම තහනම් විය.
නගර අලංකාරයට බාධාවක් ලෙස පවතින ගව ඝාතකාගාර, ජනතාව වැඩිපුර නොගැවසෙන ප්‍රදේශයකට නගරයෙන් බැහැර ව ග්‍රෙගරි වැවේ පිටවාන අසල පිහිටු වීමට කටයුතු යොදා තිබූ බව ද සඳහන් ය. එම ඝාතකාගාර අසල මාර්ග ග්‍රැවල් යොදා සැකසීම මගින් මස් මාංශ සඳහා දුහුවිලි යාම වළක්වා ගැනීමට කටයුතු කර ඇත.

කැලි කසළ ක්‍රමවත් ව ඉවත් කිරීමේ ක්‍රමයක්

නගරයේ කැලි කසළ ක්‍රමවත් ව ඉවත් කිරීමේ ක්‍රමයක් ද මෙකල තිබී ඇත. ඒ සඳහා සීනුවක් සහිත කරත්තයක් විය. එම කරත්තය මගින් උදෑසන අටට (8) පෙර පැමිණ නිවෙස් අසල ඇති කැලි කසළ රැගෙන යාම සිදු විය. එහෙයින් සෑම නිවසක ම කැලි කසළ, උදෑසන අටට පෙර නිවෙස් ඉදිරියේ ඇති බඳුන්වලට දැමිය යුතු විය. නිවෙස් අසල සිට යාර 100 පමණ දුරක ඇති කසළ මෙම කරත්තය මගින් ගෙන ගොස් ඇත.

මාර්ගය අසල තබා ඇති කසළ බඳුන්වලට ද කසළ දැමිය හැකි වූ අතර තම නිවෙස් අසල තබා ඇති කසළ බඳුන්, මාර්ගය අවහිර නොවන සේ අඩි 2ක් එපිටින් තැබිය යුතු වූ අතර කසළ ගෙන ගොස් පැයක කාලයක් ඇතුළත එම කසළ බඳුන් ඉවත් කර ගත යුතු විය. නගරයේ සියලු ම කාණු අලු හුණු දමා පිරිසුදු කිරීම ද නගර සභාවෙන් සිදු කර ඇත.

යුරෝපයේ කැලි කසල ඉවත් කළ කරත්තයක් -rds-virginia.com

 

වර්ෂ 1900 වන විට නුවරඑළිය සඳහා ආදර්ශ නිවාස පෙළක් සැකසීම සිදුවිය. මෙලෙස නිවාස සෑදීම දිගින් දිගට ම සිදු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් පැල්පත් ඇති වීමට ඉඩකඩ ඇති බවත් E.M.De.C. Short  ප්‍රකාශ කර ඇත. මෙම නිවාසවල වහල ටකරන් යොදා නිමවා තිබිණි. එය දැකීමට අපහසු මෙන්ම නගරයේ සුන්දරත්වයට ද හානි දායක වූ හෙයින් එම වහල කොළ පැහැය හෝ රතු පැහැයෙන් වර්ණ ගැන්වීමට නගර සභාව නියම කර ඇත. අලුතින් ආරම්භ කිරීමට නියමිත ගොඩනැගිලිවල ද වහලය මෙලෙස වර්ණ ගැන්වීම අනිවාර්ය වී ඇත.

නුසුදුසු මට්ටමේ ගොඩනැඟිලි

නුවරඑළිය නගරයේ සුන්දරත්වයට බාධා වන නුසුදුසු මට්ටමේ ගොඩනැගිලි රැසක් ම නගරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ගොල්ෆ් ක්‍රීඩාංගණ හංදියේ තිබූ නුසුදුසු නිවාස ඉවත් කර ඒවා ලෝසන් මාවතේ ඉදි කිරීමට කටයුතු කළ බව 1920 වසරේ G.S.Wodeman සිය පරිපාලන වාර්තවේ සඳහන් කර ඇත.

නුවරඑළිය නගරය අලංකාර කරන තවත් විශේෂ අංගයක් ලෙස නගර මධ්‍යයේ පිහිටා ඇති ග්‍රෙගරි වැව සැලකිය හැකි ය. කෘෂිකාර්මික කටයුතුවලට හෝ නගරයේ ජල සම්පාදන කටයුතු සඳහා වැඩි දායකත්වයක් ග්‍රෙගරි වැවෙන් නොලැබුණු අතර එය හුදෙක් නුවරඑළියෙහි නාගරික අලංකාරය සඳහා ම ඉදිකර ඇති බව පැහැදිලි වේ.

ග්‍රෙගරි වැව – Lankapura.com

 

1927 දී සහකාර ඒජන්තවරයා වූ C.C.Wooley මෙසේ සඳහන් කර ඇත.

” වැව වටා ඇති භූමියෙහි බොහෝ දුරට වගුරු සහිත බිමක් දක්නට ලැබේ. එසේම ඒ අවට ඉතා අවලස්සනය. එහෙයින් එම අවට භූමි භාගයේ ගස් හා පඳුරු වගා කර අලංකාර , ආකාර්ශනීයත්වය ඇති කළ යුතුව ඇත.” 

මීවන ,විලෝ හා ලිලී පැල වැව මායිමේ තෝරා ගත් ප්‍රදේශවල වගා කර ඇති අතර වැව වටා Groose (කටු සහිත පැළෑටියක්) හා මල් පඳුරු වැවීමට ද කටයුතු යොදා තිබිණි.

ග්‍රෙගරි වැව සම්පූර්ණයෙන් සාදා නිම කිරීම සඳහා පවුම් 1 200ක් වියදම් වූ බව සඳහන් වේ. 1875 දී කාර්ෆ් නම් මිරිදිය මසුන් වර්ගය ග්‍රෙගරි වැවට බෝ කිරීම සිදු වූ අතර එමගින් විනෝදයට මසුන් ඇල්ලීම තව දුරටත් ප්‍රචලිත වී තිබේ.

සුන්දර නුවරඑළියේ මුල් කාලීන ඉතිහාසය ගැනත් තියවන්න.

කවරයේ ඡායාරූපය - නුවරඑළිය නගර ශාලාව - Pinterest.com 

මූලාශ්‍ර:

 Administration Report of the Nuwara Eliya district for the year 1900, E.M.De.C. Short. Ceylon Administration Report,1900.

 Administration Report of the Nuwara Eliya district for the year 1920, G.S.Wodeman. Ceylon Administration Report,1920.

 Administration Report of the Nuwara Eliya district for the year 1927, C.C.Wooley. Ceylon Administration Report,1927.

Related Articles

Exit mobile version