අද අප ජීවත් වන්නේ අර්බුදකාරී සමයක. රටේ බොහෝ දෙනා පාරට බැස අරගල කරන්නේ රට බංකොලොත් කළ පාලකයන්ට ඉවත් වන ලෙස බලකරමින්. ඒ අරගලකරුවන් අතරට ලේඛකයන් රාශියක් ද එක් ව සිටිනවා. ලේඛකයන්ට පෑනෙන් සටන් කරනවා වෙනුවට පාරට බැස සටන් කිරීමට අද සිදු ව ඇත්තේ පොත්පත් ලිවීමට කඩදාසි හිඟය බලපා ඇති නිස යි.
එවන් පසුබිමක ලංකාවේ ජන මනස හැඩගැස්වීමට 1900 මුල් කාලයේ පෑනෙන් සටන් කළ, අදටත් කතාබහට ලක්වන ලේඛකයෙක් ගැන සොයා බැලීමට අප අදහස් කළා.
සංකර සමාජයක්
ඉංග්‍රීසි පාලන කාලයේ මෙරට ධනවතුන් විශාල පිරිසක් සුද්දන්ට කත් අදිමින් ඔවුන් පසුපස යාමට පටන් ගත්තා. මේ සමාජ පරිහානිය 1800 අග භාගය වන විට වඩාත් තදින් දැනෙන්නට පටන් ගත්තා. මේ නිසා බුද්ධාගමට විශාල හානියක් සිදු වූ අතර ජනතාව පාරම්පරික කුල සිරිත් වෙනුවට අයාලේ යන රස්තියාදුකාර සංකර ජීවිතයකට හුරු ව සිටියා.
තම ජීවිත පවා විනාශ කර ගැනීමක් මේ නිසා සිදු වුණා. මේ සංකර සමාජයට විරුද්ධ ව ඇරැඹුණු මහා සංස්කෘතික සංග්‍රාමය සඳහා අවශ්‍ය යෝධ ශක්තිය සැපයූ ජාතික නායකයෙක් ලෙස සැලකෙන පියදාස සිරිසේන. ඔහු ඒ සඳහා පන්නරය ලබා ගත්තේ මේ සටනේ පුරෝගාමීන් වූ අනගාරික ධර්මපාල, බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි ජාතික නායකයන් වෙතින්.
එවකට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් රැකියාවක් ලබා ගැනීම සඳහා මෙන් ම වෙනත් නතතුරු ලබා ගැනීම සඳහා ඇතැම් අය තමන්ගේ ආගම පවා අතහැර ක්‍රිස්තියානි ආගම වැලඳ ගැනීම සුලබ වුණා. තම වාසියට බුදුදහමට නිගා කරන්නන් ද දැක ගත හැකි වුණා. මේ දේවල්වලට එරෙහිව පියදාස සිරිසේන කවි ලියූ අතර පසු ව නවකතාවලින් ද ඔහු සංකර සිරිත්වලට පහර දුන්නා.
ජීවන තතු
පියදාස සිරිසේන උපත ලබන්නේ බෙන්තොට කොස්ගොඩ ඉඳුරුවේ අතුරුවැල්ලේදී 1875 අගෝස්තු 31වැනි දා යි. ඔහුට මාපියන් තැබූ නම පේද්‍රික් සිල්වා වැරණියගොඩ යි. ඔහුගේ පියා එමානිස් අප්පුහාමි වුණු අතර මවගේ නම දොච්චො හාමිනේ යි. දරුවන් හතර දෙනකුගෙන් යුතු පවුලේ බාලයා වුණේ පේද්‍රික්. අවාසනාවටක මෙන් ඔහුගේ පියා මිය ගියේ පේදිරික් බාල කාලයේ දී ම යි. පසුව ඔහු ලොකු මහත් වුණෙත් ඉගෙන ගත්තෙත් වැඩිමල් සොහොයුරන්ගේ සහයෝගයෙන්. ඔහු පාසල් ගමන අරඹන්නේ ඉඳුරුවේ පිරිමි පාඨශාලාවෙන්. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම සඳහා බෙම්තොට ලංසි පල්ලියට හා අලුත්ගම බ්‍රොහියර් විද්‍යාලයට මේ දරුවා ගිය බව සඳහන් වෙනවා.
ඔහු සිංහල ව්‍යාකරණය ඉගෙන ගැනීමට ගියේ ගමට නුදුරු ඉඳුරුවේ ජී. ඇස්. ද සිල්වා හමුවට යි. පාසල් කාලයේ සිට ම පේද්‍රික් දරුවා තුළ කවි රචනා කිරීමේ අපූරු හැකියාවක් පැවතියා. මෙකල අනගාරික ධර්මපාල තුමා රට පුරා ඇවිදිමින් දේශන පවත්වමින් සිංහලයන්ගේ සංකර ගති සිරිත් යහමගට ගන්නට උත්සාහ කරන කාලයයි. ධර්මපාලතුමා බෙන්තරට එන්නේ එවැනි දේශනයක් සඳහා යි.
ඉඳුරුවේ පිරිමි පාඨශාලාවේ පැවැති දෙසුම අසන්නට ගිය 14 හැවිරිදි පේද්‍රික් සිසුවා ධර්මපාලතුමා ඉදිරියේ තමන්ම රචනා කළ කවි පෙළක් ගායනා කළා. දරුවා ගැන ඉතාමත් පැහැදුණු ධර්මපාලතුමා දරුවාගෙන් නම කුමක්දැයි ඇසුවා. තම නම පේද්‍රික් සිල්වා බැව් දරුවා පැවසූ විටම ධර්මපාල තුමා කීවේ ‘‘උඹේ නම අද හිටන් පේදිරික් සිල්වා නෙවෙයි. පියදාස සිරිසේන! ‘‘ කියලා යි.
ලී බඩු සාප්පුවක වැඩ
පොතපත කියවන, කවි රචනා කරන පියදාස වයස අවුරුදු 21 දී කොළඹ බලා එන්නේ රැකියාවක් කිරීමට යි. එකල ලී බඩු වෙළෙඳාමේ පුරෝගාමියකු වූ සයිමන් පෙරේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් රාලහාමිගේ ලී භාණ්ඩ වෙළෙඳසලක ලිපිකරුවකු වශයෙන් ඔහු සේවය කරන්නට පටන් ගත්තා. මෙසේ රැකියාව කරන අතර ම සිතුමිණ සඟරාවට හා සරසවි සඳරැස පුවත්පත්වලට කවි හා ලිපි ලිවීමට ඔහු පටන් ගත්තා. ටික කලකින් ඔහුගේ ලේඛන දක්ෂතාව නිසා සිතුමිණ සඟරාවේ උපකර්තෘ ධූරයක් ලබාගැනීමට අවස්ථාව හිමි වෙනවා.
පියදාස සිරිසේන විවාහ දිවියට 1898 දී පිවිසෙනවා. ඔහු විවාහ වන්නේ බැත්මගේ දෝන සිසිලියා පෙරේරා සමඟ යි. මේ දෙපළට දරුවන් නව දෙනෙක් සිටි බව පැවසුණත් ඔහු ම 1934 වෙසක් දින පුවත්පතකට ලියූ සටහනකින් දරුවන් එකොළොස් දෙනෙක් සිටි බවක් පවසනවා. අද මරදානේ ආනන්ද විදුහලට නුදුරින් පිහිටි අතුරු පාරක් හැඳින්වෙන්නේ පියදාස සිරිසේන මාවත යනුවෙන්. එදා මේ පාරට කිව්වේ ස්ටැන්ලි පාර. මේ පාරේ නිවසක තමයි පියදාස සිරිසේන ජීවත් වුණේ.
ඔහු කලක් කුප්පියාවත්ත පන්සල සමීපයෙහි නිවසක ද සිය බිරිය සහ දරුවන් සමඟ ජීවත්වුණු බව පැවසෙනවා. මේ මහා ලේඛකයා ජීවිතයේ අවසාන කාලයේ ජීවත්වුණේ මහරගම, නාවින්න, නාගහකනත්ත පාරේ නිවසක යි. ඔහු ජීවන ගමන නිම කළේ 1946 මැයි 22 වැනි දා යි. එවකට ලංකාවේ නිදහස් සටන උච්ච අවස්ථාවේ පැවතුණා. නිදහස වෙනුවෙන් කැපවුණත් ඔහුට අප රටට දේශපාලන නිදහස ලබන තෙක් ජීවත් වන්නට වරම් ලැබුණේ නැහැ.
ලේඛකයා අවදි වෙයි
ඔහු පුරාණයේ මෙරට පැවති ඓශ්චර්යය ගැන ලිවීම ආරම්භ කළේ ජනතාව තුළ දේශානුරාගය ඇවිළවීමට යි. උදාර සංස්කෘතියක් හිමි රට පරගැති වී තිබෙන අන්දම ගැනත් ඔහු පුවත්පත්වලට ලිපි ලිව්වා. විකාර ඇඳුම් පැලඳුම්වලින් හා සුද්දන්ගේ සිරිත්විරිත්වලට මුල්තැන දීම නැවැත්විය යුතු බව පියදාස සිරිසේන සඳහන් කළා.
පහත සඳහන් කවිය පියදාස සිරිසේන සාහිත්‍ය සම්මේලනයකදී හිටිවනම කී කවියක් ලෙස පැවසෙනවා:
සඳේ මෙන් පතල පැරකුම් දුටු ගැමුණු
උදේ සවස මුනිඳුට පසු සිහි කරනු
විදේශින්ගේ දුසිරිත් පිළිකුල් කරනු
මෙදේ කරන තුරු නැත වන්නේ දියුණු
1915, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතු වී ශත වර්ෂයක් සපිරුණු වර්ෂය යි. මේ නිමිත්තෙන් කවි රාශියක් ‘සිහල ජාතියේ’ පළ කෙරුණා. ඒ අතරින් සමහර කවි ලිව්වේත් පියදාස සිරිසේන යි. මේ ඉන් එක කවක්:
මත්පැන් කිතු සමය දුසිරිත් අවැඩ ක රූ
සත් තෙන් අපට පැමුණුනු විපතුයි රුදු රූ
සත් දම් නොතිබුණා නම් මුනි තිලෝගු රූ
නැත් මය ජාතියක් අද සිහල නම් දැ රූ
ජාතික සිරිත් විරිත් ඉවතලා, පර සිරිත්වලට හුරුවූ පිරිස් ගැන ඔහු ලියන්නේ මෙලෙසයි:
අප රට දනන් හට සිංහල එපා වුණා
පිටරට සෑම සංකර දේම රිසි වුණා
සියරට කෑම, බස, ආගම තිත්ත වුණා
කරුමෙට අපේ ජාතිය එයින් පිරි හුණා
සටන්කාමී කවි
නවකතාකරුවකු වශයෙන් පසුකාලීනව සාර්ථක වුණු පියදාස සිරිසේන මුලින් ම රටේ ප්‍රකට වුණේ කවියෙක් ලෙස යි. ඔහු කවිය යොදා ගත්තේ සංකර සිරිත්වලින් රට ජාතිය බේරා ගැනීමටයි.
ඇස්. මහින්ද හිමි දේශානුරාගී කවි ලියූ අතර පියදාස සිරිසේන කවිය යොදා ගත්තේ සුද්දන්ට ආවඩමින් සංකර ගති සිරිත් ළං කරගත් පිරිසට පහර ගැසීමට යි.
ඇඳ රෙදි පෙරදි ඔහොරිය කමිස විගස ට
පෙරලෙති කලිසමට සහ සාය ගවොම ට
වැඩ නැති වට්ටි තොප්පිය ගනිති ඔලුව ට
දඟලති ඉතින් කැරපොතු වෙන්ට විගස ට
බන්ධනාගාරගත වෙයි
1915 දී පැවති සිංහල- මුස්ලිම් කෝලාහලයෙන් පසු ඉංග්‍රීසි ආණ්ඩුව යුද්ධ නීතිය පනවා සිංහල නායකයන් රාශියක් අත්අඩංගුවට ගත්තා. ඒ ඔවුන් කෝලහලයට අනුබල දුන් බවට චෝදනා කරමින්. ඒ අතරට අමද්‍යප සංවිධාන සමග කටයුතු කළ පියදාස සිරිසේනත් ඇතුළත්. නමුත් නිර්දෝෂී පියදාස සිරිසේන ටික කලකින් ම නිදහස ලබනවා.
ඔහු පවසන ලෙස පියදාස සිරිසේන අෂ්ඨලෝක ධර්මය කෘතිය ලියන ලද්දේ සිරගෙදර සිටිය දී යි. ඒ, එහිදී ඔහුට කියවීමට දුන් එකම පොත වූ බයිබලයේ හිස් තීරුවල සහ හිස් කොළවල ය.
බන්ධනාගාරයෙන් 1915 දී නිදහස් ව ආ අලුත ලියැවුණු කවියකි මේ.
පෙරමන් යස කෙහෙළි දිගු යට මන රම්මේ
දරුවන් වැදු ගැමුණු සඟ බෝ පැරකුම්මේ
සුපසන් සිහලදිව යන නම දැරු පෙම්මේ
දැකපන් සීනයෙන්වත් නිදහස අම්මේ
වැඩියෙන් ම අලෙවි වුණු නවකතා
වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස හා රොස්ලින් නවකතාවෙන් පටන් ගන්නා ඔහුගේ නවකතාකරණය 1944 දී ලියැවුණු අන්තිම කැමැත්තෙන් අවසන් වෙනවා. ලංකාවේ මුල් ම රහස් පරීක්ෂක කතා කලාවේ ආරම්භකයා වන්නෙත් පියදාස සිරිසේන යි. ප්‍රථම රහස් පරීක්ෂක චරිතය වන කෝන්ගොඩ වික්‍රමපාල බිහිවූයේ පියදාස සිරිසේනගේ ඩිංගිරි මැණිකා නොහොත් වික්‍රමපාලගේ පළමු වැනි වික්‍රමය නවකතාවෙන්. එය පළවුණේ 1918 දි යි. එවකට පියදාස සිරිසේනගේ නවකතා දසදහස් ගණනින් අලෙවි වුණු අතර ඒ පැරණි කෘතිවල නව මුද්‍රණ අදත් නිකුත් වෙනවා.
මෙය අතිශයින් ම ජනප්‍රිය කෘතියක් වූ බව 1956 දී ඩිංගිරි මැණිකා නවකතාවේ සයවන මුද්‍රණය නිකුත් වන විට පිටපත් 30,000 කට වඩා අලෙවි වී තිබෙනවා. 1956 දී මෙය චිත්‍රපටයට නැගුණු අතර චිත්‍රපටය ද ඉතා ජනප්‍රිය වුණා. එදා රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වැය කොට තැනුණු චිත්‍රපටය, රුපියල් පහළොස් ලක්ෂයක් උපයා දී තිබෙන බව පැවසෙනවා. වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් ඇතුළු නවකතා කෘති 20ක්, කාව්‍ය කෘති 11ක් සහ ශාස්ත්‍රීය පොත් 4ක් ඔහුගේ ලේඛන කලාවේදී හමුවෙනවා.
සිංහල ජාතිය සඟරාව
පියදාස සිරිසේන සිංහල ජාතිය සඟරාව ආරම්භ කළේ 1902 දී යි. වසර අටක් ගතවූ පසු සඟරාව පුවත්පතක් ලෙස පළ කෙරෙනවා. සිංහල ජාතියේ ආදර්ශ පාඨය වුණේ “කොපමණ උසකින්ද අප වැටුණේ පහත මෙකලට නොනැඟුණොත් තොපහට වෙයි විපත?“ යන්න යි. නිදහස් සටනට විශාල තල්ලුවක් ලබා දුන් ප්‍රකාශනයක් ලෙස සිංහල ජාතිය සැලකෙනවා.