අතීත ලංකාවේ රජවරුන් විසින් ඇතැම් අපරාධකරුවන්ව “දෙතිස් වධයට කැපකොට” මරණයට පත් කළ බවක් අප අසා තිබෙනවා. අපරාධකරුවන්ව වධයට ලක් කළ ක්‍රම තිස් දෙකක් තිබෙන බවට අසා ඇතත්, ඒ මොනවා දැයි අප බොහොමයක් දෙනා හරි හැටි දන්නේ නැහැ.
මොකටද දෙතිස් වධ?
වර්තමානයේ දී යම් අපරාධයකට වරදකරුවෙකු වූ තැනැත්තෙකුව බන්ධනාගාර ගත කරන්නේ ඔවුන් පුනරුත්තාපනය කර, එම වරද තව දුරට නැවත නැවතත් කිරීමෙන් වලක්වාලීමට යි. එමගින් වැරදිකරුවන් යහපත් පුරවැසියන් ලෙස නැවත සමාජයට එක් කිරීම මූලික කොටම අරමුණු කර ගන්නවා.
නමුත් පුරාතන ලංකාවේ නම් අපරාධකරුවෙකු අල්ලාගත් විට සිදුවූයේ ඔවුන්ට තදබල ශාරීරික දඬුවම් පමුණුවා, එම වරද කෙරෙහි බිය ඇති කොට, එහි නැවත නැවතත් යෙදීමෙන් වළකා ලීමයි. මෙම දඬුවම් වල ස්වභාවය ඉතාමත්ම දරුණු සහ අමානුෂික වූවා පමණක් නොවෙයි, වරදකරුවනට මෙම දඬුවම් පමුණුවනු ලැබුවේත් මහ ජනයා ඉදිරිපිට, ප්‍රසිද්ධියේ යි. එවන් අති දරුණු දඬුවම් පැමිණවීම නිසාම එකල ලංකාවේ අපරාධ ප්‍රතිශතය අවමව තිබුණෙ යැයි ද මතයක් පවතිනවා.
මොනවද දෙතිස් වධ?
ආදි ලංකාවේ අපරාධකරුවෙකුට පැමිණවිය යුතු යැයි සම්මතව තිබූ වධයයන් 32ක් පහත ආකාරයට වනවා.
- කසයෙන් පහර දීම
වරදකරු විසින් සිදු කරන ලද වරදේ ස්වභාවය අනුව කස පහර 10ක්, 50ක්, 100ක්, හෝ 500ක් ආදී වශයෙන් තැලුවේ යැයි කියවෙනවා.
2. වේවැළකින් සහ/හෝ සතර රියන් පොල්ලකින් තැලීම
මෙහි දී වේවැලෙන් තලන වාර ගණන ද වරදකරු විසින් සිදු කරන ලද වරදේ ස්වභාවය අනුව තීරණය වුණා. එමෙන්ම මෙහි සඳහන් වන සතර රියන වර්තමාන අඩි 6කට සමානයි.
3. අත කැපීම
4. කකුල කැපීම
5. අත් කකුල් කැපීම
6. කන කැපීම
7. නාසය කැපීම
8. කන හා නාසය කැපීම
9. සිරුර වෑයෙන් රැස සතරැස් කිරීම
10. වද මල් මාලා සහ ගව අස්ථි පළඳවා නගරයේ වීදි පුරා ඇවිදවීම
11. ඇස් උගුලුවා දැමීම
12. පැසෙන තෙල් කටාරමක දැමීම
කැළණිතිස්ස රජු විසින් වැරදි වැටහීමක් නිසා රහතන් වහන්සේ නමක් මෙම වධයට පැමිණවූ බව ඔබ අසා ඇති. මෙහිදී වැරදිකරු තෙල් කටාරමක බහා යටින් ගිනි ඇවිලවීම සිදු කෙරෙනවා.
- බල්ලන් ලවා කැවීම
මෙහි දී වරදකරු අල්ලා කුසගින්නේ සිටිනා සුනඛයින් පිරිසක් මධ්‍යට, බොහෝවිටම තරමක් විශාල සුනඛ කූඩුවකට දමා, සුනඛයින්ගේ දරුණු සපාකෑම් වලට ලක්කරවීම සිදු කෙරෙනවා.
14. දිවැස් හුලෙහි තැබීම
අපරාධකරු කෙලින් සිටවූ උස් උලක් මත හිඳුවීම මෙහි දී සිදුවෙනවා. උල අපරාධකරුගේ සිරුර පසාකර හිසින් මතුවීමෙන් ඔහු මරණයට පත්වීම මෙම වධයෙන් අදහස් කෙරෙනවා.
15. කඩුවෙන් ගෙල සිඳීම
16. යටි පතුල් පලා, ලුණු සහ වැලි දමා බොරලු මත ඇවිදවීම
17. අඬුවකින් දිව ඇද ලුණු වතුර දමමින් කපා දැමීම
18. නටන තෙල් සිරුර පුරා වත්කිරීම
19. මස් ලොඹුවේ තබා ශරීරය කඩ කිරීම
මෙහි දී වරදකරු ලී කොටයක් මත තබා, සිරුර කැබලි වලට කපා දමනු ලැබෙනවා.
20. පලාලපීඨක වධය
සිරුර ‘පිදුරු බිස්සක් මෙන්’ වන තෙක් පොලු වලින් තලා, ශරීරයේ අස්ථි කුඩු කර දැමීම මෙම වධයෙන් සිදු කෙරෙනවා.
21. පලිස පරිවත්තික වධය
මෙහි දී අපරාධකරු ඇලයකට හරවා, කන තුලින් යකඩ උලක් යවා, පාදවලින් අල්ලා කරකැවීම සිදු කෙරෙනවා.
22. ඛාරාපතච්ඡික
වරදකරුගේ ශරීරය පුරාම තියුණු ආයුධයකින් ඇණ තුවාල කර, ඉන් පසු කාරම් දිය ඉසීම මගින් මාංෂමය සහ අස්ථිමය කොටස් දිය කර හැරීම මෙම වධයෙන් සිදු කෙරෙනවා.
23. කහපණක වධය
සිරුර මුළ සිට අගට, හෝ, අග සිට මුලට පෙති ගසා දැමීම මෙයින් සිදු කෙරෙනවා.
24. ඛලික මාංසික වධය
යකඩ බිලී කටුවක එල්ලීම හෝ, උල් බිලී කරු මගින් සිරුරේ මාංශ ඉලිප්පීම මෙයින් අදහස් වනවා.
25. පණෙයියක වධය
වරදකරු පොළවේ මුණින් අතට නිදි කෙරැවෙන අතර, ඔහුගේ දණහිස් සන්ධි සහ වැළමිට සන්ධි යකඩ උළ් හෝ යකඩ වළලු ආධාරයෙන් පොළවට සවි කෙරෙනවා. ඇතැම්විට වරදකරු පොළවට සවි කර සිටිය දී ගිනි ලන බව ද කියැවෙනවා.
26. චීරක වාසික වධය
සිරුරේ තනමත්තක සිට පහතට හෝ, පහත සිට පපු ප්‍රදේශයට වන තෙක් සම ගසා දැමීම මෙම වධය පැමිණවීම මගින් සිදු කෙරෙනවා.
27. ඵරකවත්ථික වධය
මෙහි දී අපරාධකරුගේ ගෙලෙහි සිට වළලුකර දක්වාම සිරුරේ සම ගලවා දමා, ඔහුව රැහැනක බැඳ, එල්ලා, පැද්දවීම සිදුකරනු ලබනවා.
28. රාහුමුඛ වධය
යකඩ උලකින් කට අරවා, ඒ තුළ පහන් දැල්වීම හෝ, කන තුලට තෙල් වත්කර එම තෙල් කට තුළට පැමිණි පසු, කට තුළ පහන් දැල්වීම මෙම වධය ක්‍රියාත්මක කිරීමේ දී සිදුවෙනවා.
29. හත්ථපජ්ජෝතක වධය
අත් පා වල පාන්කඩ ඔතා, ඒවා තෙලින් පොඟවා ගිනි ලෑම මෙයින් අදහස් වෙනවා.
30. ජෝතිමාලක වධය
වරදකරු පණපිටින් ගිනි තැබීම මෙයින් සිදු කෙරෙනවා.
31. බිලිග වාලික වධය
අපරාධකරුගේ හිස් කබලේ උඩු කොටස ගලවා, රත් කරන ලද ඊයම් හෝ යකඩ ගුලි මොළය මතට දැමීමයි මෙහිදී සිදුකෙරෙන්නේ.
32. සංඛචුණ්ඩික වධය
හිසෙහි කෙස් කපා, හිස් කබලෙහි සම ගලවා ඉවත් කිරීමෙන් අනතුරුව, හිස් කබල හක් ගෙඩියක් තරම් සුදු පැහැ වන තුරු බොරලු ඇතිල්ලීම මෙම දඬුවම මගින් සිදු කෙරෙනවා.
මෙම සම්මත වධයන්ට අමතරව රජු විසින් නියම කරන ඕනෑම වධයක් අපරාධකරුවන් මත ක්‍රියාත්මක කර තිබෙනවා. එම වධයන් අතර පිරිමින්ගේ හිසෙහි අඩක් මුඩු කිරීම, හෝ කාන්තාවන්ගේ කෙස් වැටිය කපා දැමීම වැනි වධයන් ක්‍රියාත්මක වුණේ ශාරීරික දඬුවමකට වඩා, මානසික දඬුවමක්, එහෙමත් නැතිනම්, ඔවුන්ව ප්‍රසිද්ධියේ නින්දාවට පත් කිරීමේ ක්‍රමයක් වශයෙනුයි.
එමෙන්ම ඇතුන් ලවා පාගා මැරවීම, උස් ගස් දෙකක අත් පා විහිදවන ආකාරයට බැඳ එම ගස් දෙක දෙපසට කපා හෙලීම මගින් අපරාධකරු ඉරා දැමීම, මළ සිරුරකට බැඳ අමුසොහොනක දමා සතුන්ට ගොදුරු වීමට සැලැස්වීම, බිත්තියකට තබා මැටි ගැසීම, පණ පිටින් පොළවේ වළලා දැමීම, සහ කුහරයක් සහිත බෙරයක් වැනි උපකරණයක් තුළ ඇතුළට නෙරන සේ කටු ගසා අපරාධකරු එහි දමා කන්දක් මතින් පෙරලා දැමීම ආදී සම්මත නොවන දඬුවම් ක්‍රම රාශියක් ද වරදකරුවන්ට දඬුවම් පමුණුවා මරා දැමීම උදෙසා එකළ රජ වරුන් විසින් භාවිතා කළා.
කාන්තාවන්ට තදබල දඬුවම් පැමිණවීම අඩු වූවත්, දුරාචාරයේ යෙදීමේ වරදට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙනවා. ඔවුනට මරණ දඬුවම පමුණුවා ඇත්තේ බොහෝ විටම රාජද්‍රෝහී ක්‍රියාවන් වලට සම්බන්ධ වූ සිදුවීම් වල දී පමණයි. එහි දී අත් පා ගැටගසා, ගලක් බැඳ ගැඹුරු දියකට තල්ලු කර ගිල්වා මැරීමේ ක්‍රමය බහුලවම අනුගමනය කර තිබෙනවා.
කෙසේ නමුත් යටත් විජිත සමයන්හි දී මෙම අමානුෂික දඬුවම් ක්‍රම බොහොමයක් තහනම් කෙරුණු නමුත් ඇතැම්වා මෑතක් වන තුරුම භාවිතා වී තිබෙනවා. මෙවන් අමානුෂික දඬුවම් පැමිණවීම මගින් අපරාධ ප්‍රතිශතය සැලකිය යුතු තරමින් අවම මට්ටමක තබා ගෙන ගිය බවට මතයක් තිබුණත්, වර්තමාන සමාජයේ මෙවන් දඬුවම් පැමිණවීම දක්නට නොලැබීම ඉතාමත්ම යහපත් ප්‍රවණතාවක්.
කවරයේ පින්තුරය: (torturemag.org)