දේදුගල කියන්නේ වර්ෂ 1970 වනවිටත් ඉතා ජනාකීර්ණ නගරයක් බවට පත් ව තිබුණු කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් ටවුමක්. දොළොස්බාගේ කඳුකරයේ බෑවුමක පිහිටි මේ නගරයේ ගනුදෙනු කිරීමට කඩසාප්පු රාශියක් ද එදා තිබුණා. පාළු වී මිනිසුන්ගෙන් තොර හොල්මන් රජකරන නටබුන් නගර බටහිර සිනමා පටවලින් අප දැක තිබෙනවා.
පසු කාලයක වැසී ගිය අද එවන් පාළුවක් රජ කරන නගරයක් තමයි දේදුගල කියන්නේ. ක්‍රමයෙන් මේ නගරය අතුරුදහන් වුණා. අපි මේ උත්සාහ කරන්නේ ඒ මිය ගිය නගරය සොයා යාමට යි.
දේදුගලට යන්නේ කොහොමද?
මේ පෙදෙස වැඩිදෙනෙක් නොදන්නා අපූරු කඳුකර සංචාරක ඉසව්වක්. මේ ගමට නුදුරින් අද පිහිටා ඇත්තේ බුලත්කොහුපිටිය නගරය යි. කොළඹ සිට කරවනැල්ල හරහා බුලත්කොහුපිටියට දුර කිලෝමීටර 84ක්. එහෙම නැත්නම් කොළඹ ඉඳන් කෑගල්ලට ඇවිත් (කිලෝමීටර 78) එතැනින් බුලත්කොහුපිටියට යන්නත් (කිලෝමීටර 25) පුළුවන්.
බුලත්කොහුපිටිය සිට දේදුගලට කිලෝමීටර 11ක් දුර යි. බුලත්කොහුපිටිය සිට කිලෝමීටර 2ක් ගිය විට හමුවන අම්පාගල හන්දියෙන් තවත් සුන්දර කඳුකර මාර්ගයක් ඇරඹෙනවා. ඒ පරුස්සැල්ල හරහා යටියන්තොට පාර යි.
දේදුගල එක් පසෙකින් මායිම් වන්නේ මහනුවර දිස්ත්‍රික්කයට යි. දේදුගල සහ එයට ආසන්න පැලැම්පිටිය ගම්වලින් තමයි සබරගමු පළාත මධ්‍යම පළාතට නැත්නම් මහනුවර දිස්ත්‍රික්කයට මායිම් වන්නේ. ප්‍රදේශයේ උසම ස්ථානය වන උඩපැලැම්පිටිය මුහුදු මට්ටමින් අඩි 4000ක් උස යි. දේදුගල ගම උසින් අඩි 2000ක් වෙනවා. එය නිතර මිහිදුමින් බර සිසිල් පෙදෙසක්.
බුලත්කොහුපිටිය සිට දේදුගල, පැලම්පිටිය හරහා නාවලපිටියට යන මාර්ගයක් ද වැටී තිබෙනවා. තිබෙන මාර්ගය පටු වුවත් කාපට් අතුරා සකස් කර තිබෙනවා. වංගු බහුල මාර්ගයේ යනවිට නළඟන ඇල්ල, රිටිගහ ඇල්ල, රුක්මල් ඇල්ල, රිකිල්ල ඇල්ල ආදී දියඇලිත් දැක ගැනීමට ලැබෙනවා. මේ ගැන ලිපියක් අපි පළ කර තිබෙනවා.
දේදුගල පිහිටීම
කුඩා ගම් ඇතැම් විට නගර බවට පත්වෙන අන්දම අප දැක තිබෙනවා. ඕනෑම නගරයක් කල් ගත වන විට දියුණු වී කඩසාප්පු වැඩි වී කාර්යබහුල වෙනවා. මේ නගරයේ සිදුවණේ එහි අනෙක් පැත්ත යි. බුලත්කොහුපිටියේ සිට පැලම්පිටිය පාර දිගේ යනවිට දේදුගල දී දකුණු දෙසට හැරෙන්නට අතුරු පාරක් දැකගත හැකි යි.
එය 1960 දශකයේ ඉදිකළ පැරණි මාර්ගය යි. එම මාර්ගයේ තරමක දුරක් ගිය විට දේදුගල පාළු නගරය හමුවෙනවා. එය 131 සී දේදුගල ග්‍රාම සේවා වසමට අයත්. හැත්තෑව දශකයේ පැලම්පිටියට පාර හදන විට දේදුගල ටවුම මඟහැර පාර හැදුණු බව පැවසෙනවා. පැලැම්පිටිය පිහිටා ඇත්තේ දේදුගල සිට තවත් අඩි 2000ක් ඉහළින්. එය කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළින් ම පිහිටි ගමක්.
දේදුගල ඉතාමත් දියුණුවට පත්ව තිබුණු වතුකරයේ නගරයක්. අතිතයේ දී දේදුගල සිට දිනපතා කොළඹට බස් ධාවනය වුණා. නගරයේ සේවය කිරීමට විවිධ පළාත්වලින් ජනයා පැමිණ හිටියා. අද දේදුගලට බස්රථ හෝ ජනතාව පැමිණෙන්නේ නැහැ. රජයේ කාර්යාලයකට ඇත්තේ උප තැපැල් කන්තෝරුව පමණ යි.
ඉංග්‍රීසි පාලන සමයේ සිට දශක ගණනාවක් භාවිත කළ දෙමහල් ගොඩනැඟිලි එහි අත්හැර දමා තිබෙනවා. තාර දැමූ පාරත් තැනින් තැන පතුරු ගැලවෙමින් යන බවයි දැක ගත හැක්කේ. අවට තණකොළ හා ගස් වැවෙමින් වනගත වන ආකාරයක් දැකගත හැකි යි. දේදුගලින් පසු වාහන ගමන් කළ හැකි පාර නිම වෙනවා. ඉන් පසු අඩිපාරවල් ඔස්සේ ගම්වලට මාර්ග වැටී තිබෙනවා.
වෙළෙඳසල් 150ක්
දේදුගල ටවුමේ 1970 වනවිට කඩ සාප්පු 150ක් පමණ පැවති බවයි වැඩිහිටියන් තම මතකයෙන් පවසන්නේ. රෙදි වෙළෙඳසල් තුනක් එහි තිබුණ අතර පැවති බාබර් සාප්පු ප්‍රමාණය පහක්. සිල්ලර බඩු කඩ සාප්පු මෙන් ම රෑ කඩ ද එහි පැවතියා. නෙළුඅක්කන, ගඟවැරලිය, නාංගල වැනි අවට ගම්මානවලින් මේ නගරයට ජනතාව පැමිණියා. අද එහි දකින්නට ලැබෙන්නේ වෙළෙඳසල් 5ක් පමණ යි. ඒවාට ද විශාල ගනුදෙනුකරුවන් පිරිසක් එන බව දකින්න නැහැ. වාහන පිරුණු ටවුමක් වෙනුවට කිසිම වාහනයකින් තොර පාළුවට ගිය කඩවීදි දකින විට ඇතිවන්නේ ගුප්ත හැඟීමක්.
එස්. කේ. කඩේ, බාවා කඩේ, කොච්චි මොහිදීන් කඩේ, ඒ. ආර්. පී. කඩේ ඒ අතරින් සමහරක් බව වැඩිහිටි ගැමියන් සඳහන් කරනවා.
‘‘ එස්. කේ. කඩේ හිටියෙ හමීඩියා මුදලාලි. මුදලාලි උදේ සිට සවස් වෙනකම් පොතේ ලියනවා. මං පොඩි කාලෙ තාත්තත් එක්ක කඩේට ගියා ම මුදලාලි මට රටඉඳි හෙම දෙනව. මොහිදීන් කඩේ, ලියන මහත්තයගෙ කඩේ ඔය වගේ විවිධ කඩ.” ගැමියෙක් තම මතකය අවදි කරමින් වරෙක පවසා තිබුණා.
අතීත ජනාකීර්ණ නගරය නටබුන් බවට පත්ව
අප දන්නා කියන වෙනත් නගර දිනෙන් දින වර්ධනය වෙනවා. කුඩා කඩපිල් විශාල ගොඩනැඟිලි බවට පත්වෙනවා. එහෙත් දේදුගලට මේ කිසිවක් සිදුවුණේ නැහැ.එහි ගැවසුණු සෙනඟ ඈත් වී ගොඩනැඟිලි අබලන් වී අතීත ජනාකීර්ණ නගරය නටබුන් බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවට එකල කුඩා ගමක් ව පැවති බුලත්කොහුපිටිය විශාල නගරයක් බවට වර්ධනය වී මාර්ග පහසුකම් ද දියුණු වී තිබෙනවා.
1970 දශකයේ මේ අවට නගර තිබුණෙ දේදුගල සහ උඳුගොඩයි . පොලිසිය තිබුණෙත් උඳුගොඩ යි. බුලත්කොහුපිටියට ඈතින් එදා දුෂ්කර පාරක තිබුණු දේදුගල තමයි දියුණු වෙළෙඳ නගරය ලෙස පැවතුණේ. දේදුගල සිට පැලම්පිටියට දුර කිලෝමීටර 9 යි. පැලම්පිටියේ සිට දොළොස්බාගෙට කිලෝමීටර 6 යි. බුලත්කොහුපිටිය නගරය දියුණු වීමත් දේදුගල බිඳවැටෙන්නට එක් හේතුවක් බව සමහරුන් පවසනවා.
බස්රථ රාශියක්
පැලම්පිටිය පාර හැත්තෑව දශකයේ තනා නිම කරන්නට පෙර පැලම්පිටියේ සිට දේදුගලට පයින් යාමට පැයක් පමණ ගතවෙනවා. පැලම්පිටියේ ජනතාව ද බස්රථ අල්ලා ගැනීමට පැමිණියේ දේදුගල ටවුමට යි. දේදුගලින් රටේ බොහෝ පෙදෙස්වලට බස්රථ ධාවනය වුණා. 1950 දශකයේ දේදුගලින් උදේ හයට කොළඹ බස් රථයක් ධාවනය වුණු අතර එය උදේ 9.00 වනවිට පිටකොටුවට පැමිණෙන බව පැවසෙනවා. පනස් ගණන්වල දේදුගල සිට කොළඹට බස් ගාස්තුව රුපියල් එකයි ශත අසූවක් වුණා. බුලත්කොහුපිටියට ශත 25 යි. දේදුගල සිට කෑගල්ලට ගාස්තුව ශත 80 යි.
දේදුගල වතු අධිරාජ්‍යය
දේදුගල ආසන්නයේ ඒ කාලෙ අක්කර දහස් ගණනක විශාල තේ වතු පැතිර තිබුණා. මේ විශාල වතුයායන් සියල්ල පැවතුණේ සුදු ජාතිකයන් සතුව යි. ඔවුන්ගේ නිෂ්පාදන කොළඹ දක්වා ප්‍රවාහනය කළ කේන්ද්‍රස්ථානය ලෙස දේදුගල සැලකුණා. අක්කර 999 කෙල්වින් වත්ත, සෙන්ට්ග්‍රේන් වත්ත, ගඟවැරලිය වත්ත, ඇවිලන් වත්ත, මස්කල් ඔය වත්ත එවැනි වතුයායන් කිහිපයක්. මේ වතුවල දෙමළ වතු කම්කරුවන් දහස් ගණනක් සේවය කළා. ඒ අය බඩු ගත්තෙ දේදුගල ටවුමෙන්. දේදුගල ටවුමෙ බඩු ලාභ බවත් පැරණි වැඩිහිටියන් කියන කරුණක්. ඒ වගේ ම රබර්, තේ නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කළෙත් දේදුගල හරහා යි. මේ ටවුම 1900 සියවසේ මුල් කාලයේ අශ්ව රථ නැවතුමක් වූ අතර පසුව ලොරි සහ බස්රථ නැවතුමක් බවට පත්වුණා. කොළම, රත්නපුරය සහ නුවරඑළිය වැනි නගරවලින් පැමිණෙන වාහන රාත්‍රියට මෙහි ගාල්කර තිබුණා. මේ නිසා රෑ කඩ පවා ටවුමේ පවත්වාගෙන ගොස් තිබෙනවා. අදත් කුඩා තේවතු මෙන් ම විශාල තේවතුත් මේ අවට දක්නට ලැබෙනවා.
නගරය පාළුවට යයි
එවැනි කාර්යබහුල නගරයක් ක්‍රමයෙන් අත්හැර දැමුණේ ඇයි ද යන්න කාටත් මතු වන ගැටලුවක්. වැඩිහිටි ගැමියන් පැවසූ කරුණු අනුව එය මෙසේ පෙළගැස්වීමට පුළුවන්.
1970 පමණ වන විට තේමිල පහත වැටීමක් ද සිදුවුණා. 1972 දී ලංකාව, ශ්‍රී ලංකා ජනරජය බවට පත් වූ අතර ඉංග්‍රීසින් සතුව තිබූ තේවතු සහ රබර් වතු ජනසතු කිරීම් කර ජනතා වතු සංවර්ධන මණ්ඩලය පිහිටවූවා. මේ නිසා සුදු ජාතිකයන්ට තම දේපළ මෙහි දමා මව්රටවලට යන්න සිදුවුණා. සමහර වතු වැසී යාමත් සිදුවන්න ඇති. ඒ සමඟය වතුවගාවේ කඩිසරබව ඉවත්වී ගොස් තිබෙනවා. මේ නිසා තේ දළු ප්‍රවාහයට පැමිණි වාහනත් අඩුවුණා. මෙවැනි හේතු මත අවට සිටි විශාල දෙමළ ජනගහනයෙන් වැඩි පිරිසක් ප්‍රදේශය හැර ගියා.
දේදුගලින් වැඩිපුර බඩුමුට්ටු ගත්තෙ දෙමළ ජනතාව නිසා ඔවුන් නැතිවූ විට ටටුවේ වෙළෙඳාම පරිහානියට පත්වුණා. දේදුගල සහ පැලැම්පිටිය අවට පදිංචිව සිටියේ සිංහල සුළු ජනගහනයක්. ඔවුන් යැපුණෙ හේනෙන් සහ කුඹුරෙන්. ඔවුන් නිතර කඩවලින් බඩුගන්ට කඩවලට ගිය අය නොවේ. ඒ කාලයේ අවට කඳුබැවුම්වල හේන් ජවගාව සිදුවූ අතර ඇල් වී,කුරහන්, අමු වැනි ධාන්‍ය වගා කිරීම සිදුවුණා. එළවළු වගාවත් සිදු කළා. මේ නිසා සිංහල ජනතාව නිතර වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගත් පිරිසක් නොවේ.
ගමේ සිටි බොහෝ දෙනෙක් ද අපහසුකම් නිසා ගම හැර ගොස් තිබෙනවා. අද ගමේ ම ඉන්නේ පවුල් 50ක් පමණ යි.
ළඟ ම නගරය බුලත්කොහුපිටිය යි
දේදුගල දියුණු කඩමණ්ඩියක්ව පැවති යුගයේ මුස්ලිම් ප්‍රජාවක් ද එහි වාසය කළා. ඔවුන් මෙහි ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියා. වෙළෙඳාම දුර්වල වූ පසුව ඔවුන් දේදුගල හැර ගොස් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් ඉදි වූ මුස්ලිම් පල්ලිය අද නටබුන් බවට පත්ව තිබෙනවා. නගරයට එපිටින් බෞද්ධ ජනතාව වන්දනා මාන කරන බෝධි වෘක්ෂයක් ද පිහිටා තිබෙනවා. ඒ අසල ම අලංකාර දියඇල්ලක් කඩාහැලෙන ජල තටායකයක් ද දැකගත හැකි යි.
අද දේදුගල ජනතාවට ප්‍රවාහන දුෂ්කරතා මැද තමන්ගේ අවශ්‍යතා සඳහා ළඟ ම නගරය වන බුලත්කොහුපිටියට යාමට සිදු ව තිබෙනවා. ඒ සඳහා ටවුමට බස්රථ නොපැමිණෙන නිසා පැලම්පිටිය පාර දක්වා පයින් ගමන් කර බස්රථය අල්ලා ගැනීමට ඔවුන්ට සිදු වෙලා. එම ගමන දවසක් පමණ ගත වන වැඩක් බවට පත්වෙලා. ලෝකය දියුණුවනවිට ආපස්සට ගිය දේදුගල තවමත් තේ වතු නිසා හොඳ ජීවිතයක් ගත කරන ජනතාවක් සිටින පෙදෙසක්.