ගමකට නමක් පටබැඳෙන්නේ එහි භූගෝලීය පිහිටීම හෝ එවකට ජන කොට්ඨාශ වල විසූ විවිධ චරිත අතර ඇතිවූ සිදුවීම් මුල් කර ගෙනය. මෙවැනි ජනප්‍රවාද වල ඉතිහාසමය වටිනාකමක් ඇති අතර තවත් සමහරක් පරම්පරාවෙන් පරම්පරාවට ජන වහරේ පැවත එන කතන්දර වෙයි. ගම් වැසියකු තවත් කෙනෙකුට කතාවක් පවසන්නේ ඊට යහමින් ලුණු ඇඹුල් එක් කොට, අතිශයෝක්තියක් උපදවන ආකාරයටය. මෙවැනි ආශ්චර්යාද්භූත, මිථ්‍යා කතා තවමත් අප සමාජයේ ප්‍රසිද්ධව පවතී. පෙර යුගවල ඇතිවූ සංස්කෘතික විපර්යාසයන් හා ජන ජීවිතය පිලිබඳ මනා අවබෝධයක් මෙම රසවත් ජනාශ්‍රුති වලින් අපට ලබා ගත හැකි වේ.
භාෂා වියතුන්ගේ හා ඉතිහාසඥයින්ගේ පොතපත පිරික්සීමෙන්ද ගම් නියම් ගම් වල පරිණත වැඩිහිටියන්ගේ හා හිතවතුන්ගේ අත්දැකීම්, දැනුම් සම්භාරය බෙදා හදා ගැනීමෙන් අප ගම් වලට නම් පටබැඳුනේ කොහොමද යන්න අපි විමසුවෙමු. පහත දැක්වෙන්නේ ඉන් සොයාගත් කරුණු කිහිපයකි.
කොළඹ
රාජාවලියේ කොළඹ හැඳුන්වා ඇත්තේ “කලන්තොට” හා “කැලණි ගම්තොට” යනුවෙනි. 1505, පෘතුගීසින්ගේ ලංකාගමනයෙන් පසු කොළඹ යන වර්තමාන නාමය ප්‍රචලිත විය.. “කොළ අඹ” මෙහි මුල් නම වූ අතර ගල් බොක්ක තුඩුව කොම්සරේයට් වීදිය අසල තිබූ අඹ නැති කොල පමණක් තිබුණු අඹ ගසක් මුල් කොට ගෙන මේ නම හැදෙන්නට ඇතැයි විශ්වාසයක් තිබේ. පෘතුගීසින්ට අනුව කොලඹ යනු කොලොම්බස්ට ගෞරව පිණිස තබා ගත් නමක්ද විය හැකියි. ඉබන් බතුතා හා වාං තා යුවාන් යන මුහුදු සෙනෙවියා “කොලාංපූ” හා “කලංපූ” ලෙස මෙම ස්ථානය හඳුන්වා තිබෙනවා. විදේශිකයින් විසින් ඇතිකල විශේෂ උච්චාරණයක් නිසා කොළඹ යන නාමය වඩාත් ස්ථාපනය වූ අතර පෘතුගීසි සමයේ බොහෝ ලියකියවිලි වල Kolahamba, Kolomba, Colahambo වැනි අනියම් රූප ද අපට දැක ගත හැකියි.
කොල්ලුපිටිය
ඈත අතීතයේ කොල්ලුපිටිය හැඳින්වුනේ බරන්දෙණිය ලෙසයි. එතරම් ජනාකීර්ණ පෙදෙසක් නොවූ මෙම නගරය ගස් වැල්, සරුසාර කුරුඳු හා පොල් වතු වලින් පිරුණු නිස්කලංක පරිසරයකට හිමිකම් කිව්වා. වෙළහෙලඳාම් කිරීම පිණිස ගොන් කරත්ත, අශ්ව කරත්ත හා රික්ෂෝ රථ වලින් පැමිණි වෙළඳුන්ගේන් මෙම ස්ථානය පිරී ඉතිරුණා. ඕලන්ද පාලන සමයේ පැවති පොල් වත්තක් ආදි මුතුන් මිත්තන්ගෙන් පැවත එන ඉඩ කඩම් වතු ද ආක්‍රමණය කරමින් ක්‍රම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. මෙම පොල්වත්ත පාලනය කලේ ලන්දේසින්ට හිතවත් අඹන්වෙල අප්පුහාමි නම් උඩරැටියෙක්. (අද ශාන්ත මයිකල් පල්ලිය හා විද්‍යාලය අවට ඇති ප්‍රදේශය, පොල්වත්ත ලෙස හඳුන්වන්නේ මේ නිසයි.) මෙයින් කෝපයට පත් ජනතාව ඊට ඊරෙහිව “කොල්ල කෑ පිටිය” ලෙස කෑ ගසමින් තම විරෝධය ප්‍රකාශ කලා. කොල්ලුපිට්ය පසුව ඉංග්‍රීසි පාලන සමයේ කොල්පිටි ලෙස පරිවර්තනය වුණා.
නිට්ටඹුව
ඔබ මීට කලින් නිත්තෑවන් හෙවත් නිට්ටෑවන් ගැන අසා තිබෙනවා වන්නට පුලුවන්. ශරීරය පුරා ලෝම පිරුණු, දිගු නිය ඇති, ශරීරයෙන් ඉතා මිටිවූ, ගල් ගුහා, උමං තුළ කණ්ඩායක් ලෙස ජීවත් වූ වඳ වූ ජන කොට්ඨාශයක් ලෙස නිත්තෑවන් හැඳින්විය හැක. පුරා විද්‍යාත්මක කැණීම් වලින් නිත්තෑවන් පිළිබඳ විධිමත් සාධක හමු නොවූවත් මෙම පුරාවෘත වලින් අපට ඔවුන් පිළිබඳ තොරතුරු රැසක් දැන ගත හැක. ගම්පහට නුදුරු නිට්ටඹුව මෙන්ම මහනුවර නිත්තවල යන ගම් හා බැඳුනු ජනප්‍රවාද මෙම නිත්තෑවන් ඇසුරු කොට ගෙන ගොඩ නැගුනු ඒවා විය හැකියි.
කිරුළපන
කෝට්ටේ රජ සමයේ මෙම ස්ථානයට කිරුළ (මෙහිදී කිරුළ යනු රජ වාසල වෙනුවට යෙදු නමක් ලෙස අපට අනුගමනය කල හැකියි ) පෙනී ඇති බැවින් ‘කිරුළ පෙනේ’ ලෙස නමක් පටබැඳි ඇත. එය පසු කාලයේදි කිරුළපන ලෙස ස්ථාපනය වුණි.
කුරුණෑගල
පාළි භාෂාවෙන් හස්තිශෛලපුර ලෙස හැඳින්වෙන ඇතුගල්පුරය හෙවත් කුරුණෑගල වඩාත්ම ප්‍රසිද්ධ නගරය මධ්‍යයේ ඇති විශාල ගල් පර්වතය නිසාය. “කුරුණෑ” යනු ඇතා ය. කඳු ගැටයක ගලක් ඇතකු මෙන් පෙනුණු නිසා කුරුණෑ ගල නම ව්‍යවහාරයට එක්විය. නමුත් සමහර වියතුන්ට අනුව ඇතාගල යනු කුරු මිනිසුන් ට නෑකම් ඇති පර්වතයක් විය හැකියි. මෙහි කුරු යනුවෙන් මිටි වාසීන් ද එහෙමත් නැත්නම් ඉන්දියාව සිටි පැමිණි කෞරව ගෝත්‍රයද යන්න අපට හරිහැටි කිව නොහැක.
ලැමසූරිය
හඟුරන්කෙත ලැමසූරිය යනු නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ගමකි. ලංකා සිවිල් සේවයේ නිලධාරියකු වූ ජේ. ආර්. මසූරියර් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ උප ඒජන්තවරයා ලෙස කටයුතු කල අතර දුම්බර රටේ ටිකිරි බණ්ඩා පානබොක්කේ මහතා සමඟ උඩරට නීතිය සම්බන්ධ විශිෂ්ට කෘතියක් වන “නීති නිඝණ්ඩුව” සම්පාදනය කරනු ලැබුවා. මසූරියර් මහතා කල සේවය සිහි වනු පිණිස ලැමසූරිය නමින් ගමට නමක්ද එකතුවිය.
වීරකැටිය
දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි වීරකැටිය ගම්මානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් ගමයි. වළගම්බා රජ්ජුරුවෝ යුද්ධයට සේනාවන් එක් රැස් කල ස්ථානය, “වීරයින් කැටි කර ගත්” වීර කැටිය ලෙස ප්‍රචලිත උනා.
බෝතලේ
ශ්‍රී ලංකාවේ පලමු අග්‍රාමාත්‍යවරයා වන ඩී.ඇස් සේනානායක මහතා උපත ලැබුවේ ගම්පහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝතලේ ගම්මානයේදීය. සේනානායක වලව්ව සහ මිනිරන් පතල් පැවති ස්ථානයක් හැටියට බෝතලේ ගම ප්‍රසිද්ධයි. බෝතලේ නම හැදුනු හැටි සම්බන්ධයෙන් ක්‍රිස්තුවර්ෂ තුන්වැනි සියවස තෙක් දිගු වන වටිනා පුරාවෘතයක් තිබෙනවා. රාජ්‍යත්වය අහිමි වීමෙන් වන වැදුණු සිරි සඟබෝ රජතුමාගේ මෘත ශරීරය සොයා ගෙන ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය කුමරු තම පිරිවර සමඟ අත්තනගල්ල බලා පිටත් වුණා. මේ යන ගමනේදි වැහැරේපොළ නම් ස්ථානයක නවාතැන් ගත් ගෝඨාභය කුමරුන්ට තමා ගෙන ආ බෝ පැළය මුල් ඇදී ඇති බව දැක ගන්නට ලැබුනා. එතැන් පටන් වැහැරේපොළ “බෝතලය” (බෝධිය පැළවූ තලයා නමින් ප්‍රසිද්ධ වුනා. තවත් ජනප්‍රවාදයකට අනුව කුල දහ අටකට අයත් පිරිවර ඉන්පසුව තම වාසභූමිය බවට පත් කර ගත් වැහැරේපොළ, බොහෝ දෙනා පැමිණි තලය යන අදහස අනුව බෝතලය වූ බවට ද කතාවක් පවතියි.)
කුණ්ඩසාලේ
සෙංකඩගල නුවරින් සැතපුම් හතරක් පෙරදිග මහවැලි ගඟේ වම් ඉවුරේ තමයි කුණ්ඩසාලේ පිහිටා තිබෙන්නේ. කුණ්ඩසාලේ නම හැදුණු හැටි ඩී. පී වික්‍රමසිංහ මහතාගේ මගදිගට ජන කතා පොතේ එක් කතාවක පැහැදිලි කර තිබේ. දඹදිව ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි දක්ෂ බ්‍රාහ්මන පණ්ඩිතයෙක් දවසක් ග්‍රහචාර ගණිමින් සිටිද්දී ශනි ගුරු ග්‍රහ යුද්ධයක පෙරනිමිත්තක් පෙනුණා. ඒ යුද්ධෙදි ශනි දේවතාවගේ කුණ්ඩලාභරණයක් ගැලවී මහවැලි ගඟේ එක් තැනකට වැටෙන බවත් ඔහුට දිස් වුණා. බමුණාගේ ගණිත ඥානයට අනුව මේ කුණ්ඩලාභරනය වැටෙන්නේ ගුරුදෙනිය නම් ගමේ කියල වැටහුණා. මේ කුණ්ඩලාභරණය සොයා ගැනීමේ අටියෙන් ගුරුදෙණිය පන්සලේ නවා තැන් ගත් බමුනා දිවා රෑ නොබලමින් පර්යේෂන වල නිරත වුණා. මේ ගැන විහාරාධිපති භික්ෂූන් වහන්සේ බමුණාගෙන් විමසීමක් කරන කොට බ්‍රාහ්මණයත් සම්පූර්න විස්තරේ හාමුදුරුවන්ට කිව්ව. ඒත් පන්සලේ හාමුදුරුවෝ නක්ශත්‍රාචාර්යෙක් කියල ඔහු දැනන් හිටියේ නැහැ. මේ පුවත අහපු හාමුදුරුවොත් නැකැත් ගැනීමෙහි යෙදුනා. කුණ්ඩලාභරණය නියමිත වේලාවට ගුරුදෙණියේ කඳු මුදුනට වැටී විසිවී ගොස් ගඟින් එතර එක් තැනක නතර වන බව හාමුදුරුවන්ට පෙනී ගියා. නියමිත වේලවාට ග්‍රහ යුද්ධය සිදුවනා කියන අතර කුණ්ඩාලාභරණය වැටෙන් තැන කූඩාරම් ගහගෙන හිටපු බමුණා එය විසි වූ තැන සොයා ගෙන යන විට තමාට කලියෙන් එහි කූඩාරමක් ගහගෙන සිටපු කෙනෙක් එය ඇහිඳ ගෙන ඇති බව තෙරුම් ගියා. මින් මනස්තාපයට පත් වූ බ්‍රාහ්මණයා මහවැලි ගඟට පැන සිය දිවි නසා ගත්තා. හාමුදුරුවෝ තමා ලඟ තිබූ කුණ්ඩලාභරණය පළමුවන විමලධර්ම රජතුමාට භාර දුන්නා. ඉන් ප්‍රීතියට පත් රජතුමා දළඳා වහන්සේ වැඩ හිඳුවීමට ඒ රත්තරනින් පලා පෙත්තක් හැදුවා. කුණ්ඩලාභරණය තිබුණ සාලා ප්‍රදේශය පසු කලෙක කුණ්ඩසාලේ නමින් ප්‍රසිද්ධ වුණා කියලත් පැවසෙනවා
ඔලුවාවත්ත (මහනුවර, පහත හේවාහැට)
රිටිගල ජයසේන හා ගෝඨයිම්බර යෝධයා අතර ඇති වුණු සටනේදි ගෝඨයිම්බර අසීමිත කාය බලය යොදා ජයසේන යක්ෂයාගේ හිසට පා පහරක් එල්ල කරා. ඒ පහරින් ඔහුගේ හිස වෙන්වී ඊට දෙගව්වක් පමණ දුරින් හේවාහැට ප්‍රදේශයේ පිහිටි ගමක ගල් තලාවක් මත පතිත වී සුණු විසුණු වී ගියා. එතැන් පටන් එම ස්ථානය ඔලුවාවත්ත ලෙස ප්‍රසිද්ධ වුණා. (ඔලු-ආ-වත්ත). ගලේ හැපී විසිවී ගිය මොල කැබිලි ඊට සැතපුම් භාගයක් පමණ දුරුන් පිහිටි තැනක පතිත උනා. අද එම ස්ථානය (“තුල්” එනම් මොළයේ ලොඳ, ‘පේ” එනම් පෙන්නුම් කල, “ගොඩ” එනම් බිම් ප්‍රදේශය යන අරුත දෙන අදහසින්) “තුල්පේගොඩ” ලෙස හැඳින්වේ.
ඔබේ ගමේ හෝ නගර නමටත් මෙවැනි අපූරු ඉතිහාසියක් තියෙනවා ද? එසේ නම් පහතින් comment කර අපට දැනුම් දෙන්න.
Cover image credit: lankapura.com
කවරයේ පින්තුරය: lankapura.com